සිහින් සිරුරක් හිමි මේ කොලුගැටයා එදා පාසල් අවධියෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවූයේ ඔහුගේ සහජ කුසලතා කලාව වෙනුවෙන් කැප කිරීමටයි. අද ජනප්‍රිය තරු අතරට එකතු වුණු රංගන ශිල්පියෙක් වුණු. ඔහු තමයි ජගත් බෙනරගම කියන්නේ.
ජගත් බෙනරගම සද්ද බද්ද නැත්තෙ ඇයි?
ජගත් බෙනරගම සද්ද නැතුව වෙන දේ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මේ දිනවල විශේෂ කලා කටයුත්තක් කියලා කෙරෙන්නේ නැහැ. පසුගිය දවස්වල ඡන්ද කතන්දර නිසා ගොඩදෙනෙක් නිර්මාණ කළේ නැහැ. කළාට වැඩක් නැහැනේ. දේශපාලන බලපෑම් නිසා නිර්මාණ ගෙදර තියාගෙන ඉන්න වෙනවනෙ.
ඔබ ඔය පවසන විදියට කලාව දේශපාලන අතකොළුවක් වෙලාද?
මොකද නැත්තේ. දේශපාලනයට අනුව තමයි දැන් නිර්මාණ හැදෙන්නේ. හැමතැනම දේශපාලන බලපෑම්. නිර්මාණ කළාට වැඩක් නැහැ. ඒ දේවල් විකාශය කරන්න බැරිනම්. දැන් නළු නිළියන් පවා තෝරන්නේ අමුතු තාලවලට. ඒ තාලවලට අපිට වැටෙන්න බැහැ.
අද ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් බැලුවත් ඒ හැම නිර්මාණයකම ඉන්නේ එස්.එම්.එස්.වලට යටවුණු රියැලිටි තරු නේද?
ඒක තමයි මම කලින් පැවසුවෙත්. නිර්මාණවලට තරු හොයන්නේ රියැලිටි වැඩසටහන් හරහා. ජනප්‍රිය ශිල්පීන් අද මේ ක්‍ෂේත්‍රයේ දකින්න නැහැ. රියැලිටි හරහා ශිල්පීන් තෝරාගෙන ඔවුන්ට ඕන විදියට ශිල්පීන් නටවනවා අඩු මුදලට. ඉතින් එතකොට අලුත් පිරිසට ඔවුන්ගේ පදයට නටන්න වෙනවා. ඉතින් එහෙම තරු බිහිවෙද්දී මේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කැපවුණු අයට අත්වන ඉරණම මොකක්ද? ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නෙ. ප්‍රවීණ ශිල්පීන් කැමැති නැහැ වහල්ලු වගේ වැඩ කරන්න. නාළිකාවලට අවශ්‍ය විදියට තමයි ශිල්පීන් තෝරාගන්න වෙලා තියෙන්නේ. එක ටෙලිනාට්‍යයක ඉන්න කෙනාම තමයි අනෙක් නිර්මාණවලත් අද දකින්න ලැබෙන්නෙ. ඔවුන් එකම රාමුවකට කොටුවුණු පිරිසක්.
චරිතයක දිගට රැඳී ඉන්නනම් ගොට්ට අල්ලන්න වෙනවා කියන කතාව ඇත්තද?
අද ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ පිරිසක් ගෙදර ඉන්නෙ. ඔය අතර කිහිපදෙනෙක් ඔවුන්ට කඬේ ගිහින් හරි නිර්මාණවල රැඳී ඉන්නවා. කලාව කියන දේ දැන් තියෙන්නේ අමුතු රටාවක. ඒ ගැන කනගාටුවක් විතරයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ. අඩු බජට් නිර්මාණ කලාවක් තමයි අද තියෙන්නේ.
පසුගිය දවසක පැල්බැඳගෙන හදපු නිර්මාණයකට ඔබත් එකතු වුණා නේද?
ඔබ ඔය පවසන්නේ “දෙවියන්ගේ රටේ” ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ප්‍රදීප් ධර්මදාස තමයි දෙයියන්ගේ රටේ ආරම්භ කළේ. ඉන්පසු ලක්මිණි අමරදේව, සංජය නිර්මාල් වගේ නිර්මාණකරුවන් කිහිපදෙනෙක් දෙවියන්ගේ රටේ අධ්‍යක්‍ෂණය කළ කාලයත් එක්ක දෙවියන්ගේ රටේ නිර්මාණයෙන් රංගන ශිල්පීන් පවා වෙනස් වුණා. ඉතින් මගේ සහෝදර ශිල්පි චින්තක කුලතුංග මගෙන් ඉල්ලීමක් කළා අවසාන හරිය මට අධ්‍යක්‍ෂණය කරන්න කියලා. ඔහුගේ ඉල්ලීමටයි මට බැහැ කියන්න බැරිකමට සම්බන්ධ වුණේ.
ඔබ ටෙලිනාට්‍යවලට කෙසේ වෙතත් වේදිකාවට නම් නැතුවම බැරි රංගන ශිල්පියෙක් බවට පත්වෙලා නේද?
මම වේදිකාවෙන් තමයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. මම ඒ නිසා වේදිකාවට ආදරය කරනවා. තලමල පිපිලා, ගුරු තරුව සහ අන්දරේලා කියන ජයලත් මනෝරත්නගේ නිර්මාණවල මම අදටත් රඟපානවා. පළමු දර්ශනයේ ඉඳලා අඛණ්ඩව එක දිගට ආපු ශිල්පියෙක් තමයි මම. ජයලත් මනෝරත්නගේ අසනීප තත්ත්වය නිසා දැන් ගොඩදෙනෙක් සංවිධාන පැත්තෙනුත් සම්බන්ධ වෙනවා අඩුයි. ඉදිරියේදී මේ නිර්මාණ මතු පරපුරට දැකබලා ගන්න අපි ඉඩකඩ සලස්වනවා.
ඉන්ද්‍රඛීලය ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ඔබේ රංගන චාරිකාව ඉදිරියේදී දැකගත හැකි නිර්මාණ මොනවද?
දයාරත්න රටගෙදරගේ කැලෑ හඳ ටෙලිනාට්‍යය සහ අස්වැන්න ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශ වීමට තිබෙනවා. ඒ නිර්මාණ විකාශ වෙන්නෙත් මම ආශාවෙන් බලාගෙන ඉන්නවා. මොකද මෙතෙක් කතා නොවුණු වෙනස්ම පැතිකඩක් නිසා.
තවත් ගොඩදෙනෙක් නොදන්න කරුණක් තමයි ඔබ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකට හඬ මුසුකළ සුවිශේෂී චරිතයක් බව.
දන්න අය දනිති. හැබැයි සමහරු නොදන්නවා ඇති. අද සිනමාවේ සපුමල් කුමාරයා රොෂාන් රණවකට හඬ මුසු කළේ මම. රොෂාන් හා හා පුරා කියලා රඟපාපු මුල්ම චිත්‍රපට “හිරිපොද වැස්ස.” ඔහුගේ පෙනුම තිබුණට ඔහුට චරිත අනුව හඬ හැසිරීමේ ප්‍රශ්න නිසා උදයකාන්ත වර්ණසූරිය මට ඒ අවස්ථාවට ආරාධනා කළා. රොෂාන්ගේ චරිතයට හඬ දෙන්න කියලා. අද රොෂාන් හොඳ තැනක ඉන්නවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. “බොරදිය පොකුණ” චිත්‍රපටය සහ “ප්‍රවේගය’‘ චිත්‍රපටයෙත් ශිල්පීන් දෙදෙනෙක්ට මම හඬ මුසු කළා.
වසන්ත විතාරණගේ