වේදිකාවට තම දිවිය කැප කරමින් විශාල සේවයක් කළ ජයලත් මනෝරත්න අද ලාංකේය කලා ත්‍රිත්වයේම දිදුලන තරුවක්. ‘මහාසාර, මනමේ, සිංහබාහු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, නරිබෑනා, රතුහැට්ටකාරී, සුබ සහ යස” ඇතුළු දැවැන්ත වේදිකා නාට්‍ය ගණනාවකට සිය විශිෂ්ට රංගන හැකියාවන් එකතු කළ ඔහු එතැනින් නතර නොවී පසු කාලයේ තලමල පිපිලා, සඳගිර, ගුරු තරුව, අන්දරේලා, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා වේදිකා නාට්‍ය නිර්මාණ කළා. ඔහුගේ සිනමා ජීවිතයට මුලපුරන්නේ අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘තිලකා සහ තිලක’ චිත්‍රපටයට දායක වීමෙන්. ඉන් පසුව හඳයා, සිරිබො අයියා, උමයංගනා, මංගල තෑග්ග, සුදු කළුවර, සිරිරජසිරි, පුංචි සුරංගනාවී, හිරිපොද වැස්ස, වෛෂ්ණාවී, ගෝල් චිත්‍රපටය ඇතුළු සිනමා නිර්මාණ රැසක ඔහුගේ රැඟුමන් දැකගත හැකි වුණා. වේදිකාවේත්, සිනමාවේත් වැජඹෙන තරුවක් වුණ මොහු හිරුට මුවාවෙන්, හත්පණ, සින්දුයි බින්දුයි, ගම්පෙරළිය, කළුවර ගෙදර, දූ දරුවෝ, මඩොල්දූව, උතුවන්කන්ද සරදියෙල්, ගජමන් නෝනා, රම්‍ය සුරම්‍ය ජනප්‍රියම තලයේ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වී සම්මානනීය රංගන ශිල්පියකු බවට පත්වුණා.
1970 සිට 2019 දක්වා අඛණ්ඩව කලාව වෙනුවෙන් ඔහුගේ දිවිය කැප කළ බව ඔබ අප දන්නා කරුණකි. එතෙක් මෙතෙක් කළ ඔහුගේ හැම නිර්මාණයකම සියලුම චරිත අදටත් ජීවමාන වීම තවත් විශේෂත්වයක්. ඉතින් මෑතක සිට ඒ විශිෂ්ට රංගන ශිල්පියා අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිටින බව අපි දනිමු. ඒ දැන දැනත් පසුගිය කාලේ ඔහුගේ රූප අන්තර්ජාල හරහා පළ කරමින් විවිධ අදහස් පළ කළා. ඒ ඔහුත් මේ කිසිවක් හරි හැටි නොදැන, ඉතින් මේ සියලුදෙනාට ඔහුගේ අසනීප තත්ත්වය නිසා හරිහැටි යමක් දැන ගැනීමට නොහැකි වී තිබුණා. ඔහුගේ අසනීප තත්ත්වය සුවදුක් විමසා බැලීමට අලුත් අවුරුද්ද ආරම්භයට ‘මව්රට’ අපි අදහස් කරගත්තේ ඔබ වෙනුවෙන් හරි දේ ඔබට පැවසීමට. එතුමන් දැන් සිටින තත්ත්වය ගැන ඔහුගේ ආදරණීය බිරිය අපට මේ විදියට පැවැසුවා.
ගොඩදෙනෙක් මනෝව බලන්න එන්න අහනවා. ඒ විතරක් නෙමේ විදේශීය රසික රසිකාවියන් පවා ඔහුගේ දුක සැප හොයා බලනවා. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ඔහු අසනීප වුණා. එදා පටන් අපිට කළ හැකි උපරිම සේවය ඔහුට කරනවා. අපේ ඇස් දෙක වගේ ඔහුව හොඳට බලා ගන්නවා. දැන් ඔහු එක්තැන්ව ප්‍රතිකාර කරන්නේ. වෛද්‍යවරු ඔහුට කරදර කරන්න එපා කියලා තියෙන්නේ. කතාබහ කරන්න එහෙම අපහසුයි. පසුගිය කාලේ ඔහු මැරුණා කියලා අන්තර්ජාල හරහා විවිධ අය පැතුරුවා. ඔහු නොමර මැරුවා. කිසිවක් නොදන්න පිරිස හරිහැටි නොදැන කළ දේවල් ගැන කනගාටු වෙනවා. මම මාධ්‍යයන්ට වැඩිය කතාබහ කරන්න යන්න කැමැති නැහැ. අවසානයේදී විවිධ දේවල් පළ කරනවා.
ඔහු ගැන මේ ක්ෂේත්රයේ කලාකරුවන් රැසක් අදටත් හොයා බලනවා. එය අපට සතුටක් වගේම ශක්තියක්. එය වචනවලින් කියන්නට බැහැ. ඔහුට දැන් වයස අවුරුදු 71ක් විතර වෙනවා. ඔහුගේ අසනීප තත්ත්වයත් එක්ක මතක ශක්තිය අඩුයි. ඉතින් මේ කරුණු කාරණා සියල්ල අතර කාගේත් එකම පැතුම වන්නේ නව වසරේ මෙතුමන්ට ඉක්මන් සුවය ලැබී නැවැත කලා අඹරට එකතු වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා යන්නයි.
වසන්ත විතාරණගේ











