මේ දවස්වල රටේ ගොඩදෙනෙක් විවිධ තනතුරු වෙනුවෙන් පොරකනවා. තවත් සමහරු ගත්ත තනතුරු වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය වැය කිරීමට සැලසුම් කරනවා. ඉතින් එවැනි ප්‍රතිභාපූර්ණ, ජනප්‍රිය, සම්මානලාභී රංගන ශිල්පියෙක් ලෙස ජනතාවගේ ආදරය දිනා සිටින ලක්‍ෂ්මන් මෙන්ඩිස් ඔබ හඳුනනවා ඇති. ඉතින් ඔහුට පසුගියදා සිංහල සංස්කෘති සුදර්ශි කලා ආයතනයේ ලේකම් ධුරය පිරිනැමූනා ඔහු ඒ සොඳුරු මතකයන් අප සමඟ කතා කළේ මේ විදියට.
රංගනයට අමතරව නව වසරට අලුත් පත්වීමක් ලැබුණා නේද. එය ගැන සඳහන් කළොත්?
සුදර්ශි සංස්කෘතික ආයතනය ආරම්භ වූයේ 1954. එය පසුගිය මාසයේ වසර 65 සැමරුවා. අලුත් මණ්ඩලයක් පත් කළා. ඩබ්ලිව්. ජයසිරි මහතා සභාපති ධුරයෙන්ද මම ලේකම් ධුරයෙන් ප්‍රවීණ කලාකරුවන්ගේ රැසකගේ යෝජනා කැමැත්ත මත පත්වුණා. 1954 ආරම්භයේ පටන් සිරිමාවෝ බණ්ඩාරනායක, නාලනී වික්‍රමසිංහ, දයාන් ගුණවර්ධන පසුගිය වසර කිහිපය තුළ ලේකම් ධුරයේ කටයුතු කළා. ඒ තැනට මාවත් පත්කිරීම ගැන මම සියලුම කලාකරුවන්ට ස්තුතිය පුදකරනවා මේ අවස්ථාවේ.
ඔබ ඔය පවසන සුදර්ශී සංස්කෘතික ආයතනය පිහිටි භූමිය දිගු ඉතිහාසයක් තිබෙන භූමි ප්‍රදේශයක් නේද?
ඔව්. 1942 ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ගුවන් යානා බස්සවන භූමියක් විදියට මේ ස්ථානය සඳහන් කරන්න පුළුවන්. ඒ භූමියේ තිබුණු වෙඩි බෙහෙත් ගබඩාව තමයි අපි සුදර්ශි විදියට පවත්වාගෙන ආවේ. මේ වන විට එහි ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාව, සුගතපාල ද සිල්වා අනුස්මරණ ශාලාව, දයානන්ද ගුණවර්ධන අනුස්මරණ ශාලාව, නිහාල් සිල්වා අනුස්මරණ ශාලාව විදියට කොටස් වශයෙන් වෙන්කර රංග ශාලා ඉදිකර තිබෙනවා.
මේ වන විට ප්‍රවීණ කලාකරුවන්ගේ මහගෙදර ලෙසට මෙය හඳුන්වන්න පුළුවන්. අදටත් කලාවට සම්බන්ධ ගොඩ දෙනෙක් බිහිවන එකම ආයතනය තමයි මෙය. අපගේ අරමුණු මතු පරපුරටත් මෙය රැක දීමට සැලසුම් කිරීම තමයි.
“සුදු ඇඳගෙන කළු ඇවිදින්” නිර්මාණය හරහා ඔබ ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක්වුණා නේද?
“සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍යයේ මම මහාචාර්යවරයකුගේ චරිතයක් තමයි නිරූපණය කළේ. සුනිල් කොස්තා වැළලී යන ටෙලිනාට්‍ය කලාව නැවැත ගොඩගැනීමට ගත් උත්සාහයක සාර්ථක සලකුණක් තමයි “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍ය. මට ඔහු සමඟ වැඩ කරන්න ලැබුණේ වසර 22කට පස්සේ තමයි. ඔහු සමඟ ඒකාංගික ටෙලිනාට්‍යයක තමයි මෙයට කලින් වැඩ කළේ. එයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. කෙටියෙන්ම කිව්වොත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. මෙවැනි ටෙලි නාට්‍ය තවදුරටත් බිහිවුණොත් ගුණාත්මක නිර්මාණ කලාවක් මතු පරපුරට දැකබලා ගන්න පුළුවන් කියලා මම හිතනවා.
අද අස්සක්, මුල්ලක් නෑර රංග පාසල් බිහිවෙලා. ඒත් එම පාඨමාලා අවසානයේ බොහෝ දෙනෙක් කියන්නේ පලක් වුණේ නැහැ කියලා තමයි. මෙයට වගකිවයුත්තන් කවුරුන්ද?
ඔබ ඔය පවසන කතාවෙ ඇත්තක් තියෙනවා. මේ වන විට මහේන්ද්‍ර පෙරේරා සහ කෞශල්‍ය ප්‍රනාන්දු රංගනය ඉගැන්වීම මෙම සුදර්ශි ආයතනයේ පාඨමාලා පවත්වාගෙන යන එක මතු පරපුරට ප්‍රයෝජනවත් දෙයක් විදියට අපට පවසන්න පුළුවන්. හරි දැක්මක් අනුව නිවැරැදි ගමනක් යන්න නම් මවුපියන්ගේ දැක්ම තිබිය යුතුයි. පළමුවෙන් මවුපියන්ට කලාව රසවිඳීමේ හැකියාව තිබිය යුතුයි. මවුපියන්ට කලාව ගැන හරි දැනුමක් තිබුණොත් කලාව ගැන හරි දේ කියලා දෙන්න පුළුවන්. හුණු වටයෙ කතාව, මකරාක්‍ෂයා, ධවල භීෂණ, නරි බෑනා, කැලණි පාලම, මනමේ වැනි නිර්මාණ සුවිශේෂම නිර්මාණ විදියට සලකන්න පුළුවන්. එවැනි නිර්මාණ බිහිකළ සුවිශේෂී පුද්ගලයන් යටතේ මතු පරපුරට ගුරුහරුකම් ලබන්න ලැබීමත් වාසනාවක් විදියට මම සලකනවා. ඉතින් හොඳ ප්‍රවීණ ගුරු මණ්ඩලයක් යටතේ දරුවන් හරි තැනකට යොමු කිරීම මවුපියන්ගේ වගකීමයි.
ඔබ ඔය පවසන විදියට මතු පරපුරට ඔබට දෙයක් දියහැකි බව අප විශ්වාස කරනවා?
මට බැහැ රංගනය උගන්වන්න. මට පුළුවන් ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකාවෙන් මම ලබපු අත්දැකීම් මතු පරපුරට දෙන්න. රංගනය කියන්නෙ ඇසුරු කිරීම හරහා ලැබෙන දෙයක්. කලාව හදාරන්න ඕන පොතපත කියවන්න ඕනෑ. විවිධ චරිත අනුකරණය කරන්න ඕනෑ. රංගනය මේකයි කියලා පුරුදු කරවන්න බැහැ. ඔවුන් එයට ගිලාබැහැලා හොයාගත යුතු දෙයක් තමයි රංගනය.
ඔබ රඟපානවාට වඩා වැඩිපුර කළේ තිරපිටපත් ප්‍රතික්‍ෂේප කරන එක නේද?
මට නිර්මාණවල එක දිගට ආරාධනා එනවා. මේ වන විට පිටපත්වල චරිත 250ක් විතර මම ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. රඟපානවා කියලා නිකම් රඟපාලා වැඩක් නැහැ. හරයක් නැති දෙයක් මම කීයටවත් භාර ගන්නේ නැහැ. කාලයක් මම එක ටෙලිනාට්‍යයක රඟපාලා අනෙක් ටෙලිනාට්‍යයක් එනකම් බලාගෙන ඉන්න පිරිසකුත් හිටියා.
ඉදිරි සැලසුම් මොනවිදියට ගලාගෙන යන්නේ ඔබගේ කලාව වෙනුවෙන්?
කලාව වෙනුවෙන් උපරිම දේ කරන්න මගේ ලේකම් ධුරයත් එක්ක මම වැඩ කරනවා. එයට අමතරව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ “මන්දරා” චිත්‍රපටයෙත් රොහාන් පෙරේරා අධ්‍යක්‍ෂණය කරන “සීගිරි” චිත්‍රපටයේත් ඉදිරියේදී රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ











