රංගන ශිල්පිනියන්ට අද තරුවක් වෙනවා කියන්නේ අපහසු දෙයක් නොවෙයි. හැබැයි ඉක්මනට තරු වෙන අයට කලාවේ එතරම් දිග ගමනක් නැති බව ඔබ අප දන්න කරුණක්. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද තවමත් තරුවක් නොවී තරුවක් වීමට සිහින දකින ලක්ෂිකා ජයවර්ධන තම අලුත් ගමන ගැන අපට පැවැසුවේ මේ විදියට.
ලක්ෂිකා හරිම සරල කෙනෙක් නේද?
සරල විදියට හිතුවම ජීවිතයම සැහැල්ලුයි කියලා මම හිතනවා. එහෙම වුණාම වැඩ කරගෙන යන්නත් පහසුයි.
සරල ජීවිතයකට හුරු ඔබගේ ජීවිතය ගතවෙන්නේ මොන විදියටද?
සැලැසුම් සහගතව කරගෙන යනවා. ටෙලි නාට්‍ය කිහිපයකටත්, චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඒ අනුව තමයි මගේ ජීවිතය හැඩ ගැහිලා තියෙන්නෙ.
සරල ජීවිතයක් ගත කරන්නද මේ දවස්වල මුහුදු පැත්තේ කැරකෙන්නේ?
මුහුද පැත්තට ගියාම කාගෙත් හිත්වලට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. එය මට විතරක් විශේෂ කරුණක් නොවේ. හැබැයි BEACH ROAD චිත්‍රපටය වෙනුවෙන් ළඟදීම ඒ පැත්තේ ගැවසෙන්න වෙනවා. මේ දවස්වල මම BEACH ROAD චිත්‍රපටය වෙනුවෙන් වොලිබෝල් ගහන්න පවා පුරුදු වෙනවා. මුහුද ආශ්‍රිත ආදරණීය කතාවක්. මගේ පෙම්වතා විදියට රඟපාන්නේ අනුජ් රණසිංහ.
ඔබ ගොඩාක්ම උත්සාහ කළේ සිනමා තාරකාවියක් වෙන්නයි. එහෙත් ඔබ ටෙලි තරු අතර තාරකාවියක් වුණා?
ඒ සිහිනය මගේ විතරක් නොවේ. ක්ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම කෙනෙක්ගෙ ආසාවක්. මගේ පළමු චිත්‍රපටය “සුපිරි අන්දරේ”. අනෙක මට එහෙම වර්ගීකරණයක් නැහැ. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට වේවා මම කැමැති හොඳ චරිත මවන්න. මට අවශ්‍ය කරන්නේ හැදෑරීමක් ඇතිව මේ ගමන හෙමින් යන්න. කලබලේ දුවනවාට වඩා හෙමින් යනකොට හරිම සුන්දරයි කියලා මම විශ්වාස කරනවා. මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් හැදෑරීමක් අවශ්‍යයි කියලා තවත් පැත්තකින් මම හිතනවා.
ඔබේ බාහිර ස්වරූපයත් එක්ක ඔබට ගොඩ දෙනෙක් ආරාධනා කරනවා ඇත්තේ වෙස්ටන් චරිත නිරූපණය කිරීමට වෙන්න ඇති?
මුලදි නම් මගේ බාහිර ස්වරූපය ගැන බලා තමයි මට නිර්මාණවලට ආරාධනා කළේ. නමුත් මම වාසනාවන්තයි. මම ඒ වෙනස වෙනස් කළා. “ඉඩෝර වැස්ස” ටෙලි නාට්‍ය හරහා මට ලැබුණ චරිතය හිතුවාට වඩා හොඳට කරන්න ලැබුණා.
මී මුරේ ගමනෙදි ලක්ෂිකාට අමතක නොවන සිදුවීම් පෙළකුත් ඇති නේද?
මී මුරේ ඉතාමත් සුන්දර පළාතක්. පසුගිය දවස්වල මම “වරමද්ද” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙලා හිටියේ. වෙනස්ම විදියේ ආදරණීය කතාවක්. මගේ පෙම්වතා හර්ෂ . හර්ෂට මම ආදරය කරන්න යන්නේ කූඩැල්ලන් සමඟ තරග කරමින්. කූඩැල්ලෝ මගේ කකුල් කාලා ඉදිමිලා තිබුණේ. හැබැයි ඒ හැම කැප කිරීමක් කරලා ආපස්සට හැරිලා හිතද්දී හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් තමයි.
ලක්ෂිකාගේ බාහිර ස්වරූපයත් එක්ක අඩ නිරුවත් රඟපෑමකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවාද?
මම චරිතයක් භාර ගන්නේ නිර්මාණයට කැමැති නිසා. මම චරිතයට සාධාරණයක් කළ යුතුයි. බලන්න “හුස්ම” චිත්‍රපටය චමත්කා අපූරු විදියට රඟපානවා. ඇය ඒ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් අපි මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් චරිතයක් වෙනුවෙන් කැපවීමක් කළ යුතුයි කියලා මම හිතනවා. මට කරන්න පු`ඵවන් උපරිම දේ මම අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා නිරූපණය කරනවා. එය මගේ වගකීමක්.
වසන්ත විතාරණගේ











