⬤ වැරැදි නම් මම සද්ද නැතුව ඉන්නෙ නැහැ…
⬤ විදේශගත වෙලා හිටියත් මට ආරාධනා ආවා…
ලෝචනා ඉමාෂි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය කාලෙකින් ටෙලිනාට්‍යවල දැකගන්නට ලැබුණේ නැහැ. ඉතින් කාලෙකට පස්සේ ඔන්න ඇයත් රඟපෑමට ඇවිත්. දිගු නිහැඬියාවකට පසු පුංචි තිරයේ හැඩදාන රුවැත්තිය සමඟ අපි කතා කළා.
🔴 කාලෙකට පස්සේ ඔබව නැවැත ‘සංසාර සිහිනේ’ හරහා දැකගන්නට පුළුවන්?
‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා ගොඩාක් කල් වෙනවා. දැන් තමයි විකාශය වෙන්නේ. මම ‘සංසාර සිහිනේ’ රඟපාලා විදේශගත වෙලා හිටියේ. ටෙලිනාට්‍ය දැන් විකාශය වෙන කොට මම ලංකාවේ. කාලෙකට පස්සේ තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ.
🔴 ඔබ නිරූපණය කරන ‘අනු’ චරිතය ඔබේ ජීවිතයට සමානයි කියලා කියන කතාව ඇත්තද?
‘අනු’ චරිතය තුළින් මට අමුතුවෙන් එකතු කරගෙන රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. මොකද මම ආශ්‍රය කරන අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක. මොකද මම ඔය විදියට සරලව සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නේ. වෙලාවකට පොඩි ළමයෙක් වගේ තමයි මම හැසිරෙන්නේ. ඉතින් මම මෙයට කලින් මෙවැනි චරිතයක් රඟපාලා නැති නිසා මට එය වෙනසකුත් දැනුණා. ඉතින් මම ගොඩාක් ආශාවෙන් තමයි ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.
🔴 කලාව එපා වෙලාද විදේශගත වෙලා හිටියේ?
මගේ පෞද්ගලික හේතූන් කිහිපයක් මත තමයි මම නෙදර්ලන්තයට වෙලා හිටියේ. සමහර අවස්ථාවල කලකිරීම් තිබුණා. නමුත් කලාව කියන දේ මට එපා වීමක් වුණේ නැහැ. කලාවට සම්බන්ධවෙලා වැඩ කරන්නේ හරිම සංවේදී පිරිසක්. ඉතින් එහෙම කෙනෙක්ට කලාවෙන් ඈත්වෙලා ජීවත් වෙන්න අමාරුයි. මම පිටරට හිටියත් මට නිතරම කලාව මතක් වෙනවා. මම ඒ කාලේ ගතකරපු ඒ සුන්දර ජීවිතය ගැන.
🔴 මෙහෙම නිර්මාණවලින් දුරස්වෙලා හිටීමෙන් ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට කරන්නේ අසාධාරණයක් නෙවෙයිද?
එය මම පිළිගන්නවා. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් නිතරම මගෙන් අහනවා ආයේ රඟපාන්න එන්නැද්ද කියලා. ඉතින් ඔවුන්ගේ ඒ ආශාව මම ඉටු කළා. මම රඟපෑමෙන් ඈත්වෙලා හිටියත් මගේ ජනප්‍රියතාවයේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. එදා වගේම ඒ ජනප්‍රියතාවය අදටත් මම රැකගෙන ඉන්නවා.
🔴 ඔබට තිබුණු ජනප්‍රිතාවයත් එක්ක නිර්මාණවලින් අඩුවක් තිබුණේ නැහැනේද?
මම විදේශගත වෙලා හිටියත් මට ආරාධනා ආවා. ඒ අතර සමහරක් නිර්මාණ මම ප්‍රතික්‍ෂේප කළා.
🔴 එහෙම නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන එක අපරාධයක් කියලා හිතුණේ නැද්ද?
මොකද මම කැමැති නැහැ එහෙම ආවට ගියාට රඟපාන්න. මට වගේම මගේ ප්‍රේක්‍ෂකයන්ටත් වෙනසක් දැනෙන්න ඕනෑ. මම කැමැති විවිධ චරිත රඟපාන්න. නිකම් එක තැන පල්වෙලා ඉන්න මම කැමැති නැහැ. එහෙම තෝරාබේරා ගෙන මම වැඩ කරපු නිසා තමයි අදටත් මගේ ජනප්‍රියතාවය එලෙසටම තියෙන්නේ.
🔴 දිගටම දැන් ලංකාවේ රැඳෙන්නද අදහස?
ලෝකයේම තිබෙන මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක දැන්ම විදේශගත වීමට අදහසක් නැහැ. මගේ පුතා, ඒ වගේම මගේ සැමියා ඉන්නේ විදේශගතවෙලා. ඔවුනුත් ලංකාවට ගෙන්නගෙන ටික කාලයක් ඉන්න අදහසක් තිබෙනවා. මේ ඉන්න කාල සීමාව තුළ හොඳ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.
🔴 ඔබේ තිබෙන සුරූපී බවත් එක්ක චරිතයකට ඕනෑම විදියකට මුහුණ දීමට සූදානම්ද?
මම මොන චරිතයක් රඟපෑවත් මගේ චරිතයට හානිවන විදියට සම්බන්ධවෙලා වැඩ කරලත් නැහැ. වැඩ කරන්න කැමැතිත් නැහැ.
🔴 ඔබ කෙළින් කතා කරන ගැහැනියක්. එයින් ඔබටද අවාසි වුණු අවස්ථාද ඇති?
එහෙම වුණු අවස්ථාවන් තියෙනවා. එහෙමයි කියලා වැරැදි තැන්වල මම නිහඬව ඉන්න කැමැති නැහැ. සමහර අවස්ථාවල මගේ හිතවතුන් පවා කියනවා ඔය දේවල්වලට කතා කරන්න ගිහින් තමන්ටම වළ කපාගන්නවා කියලා. එහෙමයි කියලා නිහඬව හිටියොත් එයින් අත්වන ඉරණම කොයි වගේ වෙයිද කියලා කවුද දන්නේ. වැරැද්ද දුටු තැන එය හරිගැස්සීම එදා ඉඳලා මගේ තිබුණු පුරුද්දක්.
වසන්ත විතාරණගේ