වේදිකාවට නව එළියක් ලබා දෙමින් වේදිකාව මනරම් හඬින් පිනවූ කලා ශිල්පීන් අතර මුලින්ම කියැවෙන ඇය රත්නා ලාලනී ජයකොඩි. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
මේ දවස්වල හිතේ වේදනාවෙන් කාලය ගතකරනවා කියලා ආරංචියි. ඇයි ඒ?
එය මට විතරක් නෙවේ. කලා ක්‍ෂේත්‍රයේ වගේම රටේ හැමෝටම වේදනාවක් කියලා මම හිතනවා. හේතුව තමයි ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නගේ අභාවය. නමුත් එතුමන්ට විතරක් නෙවේ අපි හැමෝටම උරුම දෙයක් එය.
මොකද්ද මේ උරුමයක පෙළහර ගැන කතාව?
රංගික ජීවන්ත මගේ ගෝලයෙක්. ඔහු මට ආරාධනා කළා ඔහුගේ මේ කලා කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා. එහි මංගල පියවර පසුගිය පෙබරවාරි 2දා සවස 7ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී රඟ දැක්වුණා. අපේ දේශීය උරුමය ගැන තමයි ඒ ප්‍රසංග කලාවෙන් ඉදිරිපත් කිරීම අදහස් කර තිබෙන්නේ.
ඉතින් මගේ ගෝලයෙක් එක්ක එකට වැඩ කරන්න ලැබීම මට සතුටක්. මගේ ගෝලයා මාව අධීක්‍ෂණය කරනවා එය වෙනස්ම අත්දැකීමක්.
ඔබ වේදිකාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඒ ගැන යමක් පැවසුවොත්?
වේදිකාවෙන් හොඳ දැනුමක් ලබාගෙන ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණවල වැඩකරමින් තමයි මේ තරම් දුරක් වේදිකාවේ රැඳීගෙන ආවේ. ඇත්තටම රූපවාහිනී නාට්‍යයත්, සිනමා නිර්මාණයකින් ලබන ප්‍රතිචාරවලට වඩා වෙනස්ම අත්දැකීමක් එයින් මම ලබනවා. ගුරුතරුව, අන්දරේ, තලමල පිපිලා ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණවල මම රඟපෑවා. එයට අමතරව ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන්ගේ වේදිකා නාට්‍යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. මම වැඩිපුර කාලය ගතකළේ වේදිකාව වෙනුවෙන්.
මැණිකෙ අත්තනායක, මානෙල් වානගුරු, නිශ්ශංක දිද්දෙණිය, බුද්ධදාස ගලප්පත්ති, රම්‍යා වනිගසේකර, දයා අල්විස්, නීල් අලස් වැනි හිටිය ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ මමත් එකට රඟපෑවා.
අද බිහිවන අය වේදිකාවට ලොකු නැඹුරුවක් දක්වන්නේ නැහැ නේද?
ඔවුන් කැමැති නැහැ කැපවීම් කරන්න. අනෙක වේදිකාවේ ලොකු මුදලක් නැහැ. කටුක ජීවිතයක් තමයි ගතකරන්න තියෙන්නේ. දුරබැහැර ප්‍රදේශවල වේදිකා නාට්‍ය තිබුණාම ඒ සඳහා සම්බන්ධ වෙන්න වෙනවා. ටෙලිනාට්‍ය එහෙම නැහැ. උදේට වාහනය එව්වා, හවසට ගෙදරට ගෙනත් දැම්මා. ඒ ක්‍රමවේදයට මතු පරපුර හුරුවෙලා තියෙන්නේ. නමුත් වේදිකාවෙන් ලැබෙන ආභාසයක වටිනාකම අද ඉන්න ගොඩ දෙනෙක් අධ්‍යයනය කරන්න කැමැති නැහැ. එය කනගාටුවට කරුණක් තමයි.
එදා ඔබ ගුරු තරුව, අන්දරේ වැනි වේදිකා නාට්‍යවල ජයලත් මනෝරත්නයන් සමඟ එකට රඟපෑවා නේද?
ඔව්. එයින් මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා. ඒ ජයලත් මනෝරත්නයන්ගේ අසනීපයත් සමඟ එතුමන් තීරණය කළා ඒ නාට්‍ය දෙකේ චරිතය රවීන්ද්‍ර යසස්ට නිරූපණයට අවස්ථාව දීමට. තලමල පිපිලා වේදිකා නාට්‍යයේ ප්‍රසන්ජිත් අබේසූරියත් සමඟ මම රඟපානවා. අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව මේ නාට්‍ය සියල්ල මතු පරපුරට දැකගැනීමට ඉඩකඩ සැලැස්වීම තමයි. නමුත් ජයලත් මනෝරත්න නැති අඩුව කාටවත් පුරවන්න බැහැ. ඒ අඩුව අපි හැමෝටම දැනෙනවා. නමුත් කාලයක් තිස්සේ ඉඳන් ඒ වේදිකා නාට්‍යවල මමත් ඉන්න නිසා එයට කිසි හානියක් නොවන විදියට අපි සියලුම දෙනා එකතු වෙලා ඉදිරියට වැඩකරගෙන යන්න තමයි.
ඔබ නිර්මාණය කළ ‘දෙසීය-තුන්සීය’ වේදිකාවෙන් බැහැර වුණාද?
හොඳ සංවිධායකවරයෙක්. අපිට කතා කළොත් ‘දෙසීය, තුන්සීය’ නැවැත වේදිකාවට ගේනවා. ඒ නාට්‍ය පරිවර්තන නාට්‍යයක්. එය පරිවර්තනය කළෙත් ජයලත් මනෝරත්න තමයි. ඔහු පරිවර්තනය කළ පළමු වේදිකා නාට්‍ය එය තමයි. අපි එය යුරෝපා සංචාරවල පවා අරගෙන ගියා. පසුගිය කාලේ රටේ ඇති වුණු භීෂණයත් එක්ක ඒ හැම දේම නතර වුණා.
වසන්ත විතාරණගේ











