දෙමව්පියන්ගේ ආදරය අහිමි වෙලා අනාත මඩමක හැදුණු වැඩුණු අහිංසා පොහොසත් ගෙදරක පාළු මකන්න යනවා. ඒ ගෙදර අයගේ ආදරය දිනා ගෙන ඉන්න අහිංසගේ ජීවිතයට එක පාරටම අමුත්තෙක් ඇතුළු වෙනවා. ඒ තමයි පැතුම්. තමන්ගේ දෙමව්පියන්ගේ තනි රකින්න ගෙදරට ආව අහිංසගේ තනිය මකන්න පැතුම් ඉදිරිපත් වෙනවා. ඒ ආදර කතාව හරිම සුන්දර එකක්. ඒත් ඒ ආදර කතාවට එල්ල වන කරදර බාධා සුළුපටු නැහැ. ඒ හින්දම ඒ ආදර කතාවට බොහෝ දෙනෙක් ආදරය කරන්න ගන්නවා. වසර ගණනාවක් ගෙවිලා ගිහින් තිබුණත් ඒ ආදරය තවමත් එහෙමමයි. රසික හදවත් අමන්දානන්දයට පත් කරමින් කාලයක් පුරා එකට රඟපෑ නළු නිළි යුග පිළිබඳව වැඩි පුර කතා වන්නේ සිනමාවේදී. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 දශකයේදී එවැනි තරු යුගල කිහිපයක්ම අපිට මුණගැහෙනවා. සිංහල ටෙලි නාට්‍ය වංශ කතාව දිහා බැලුවමත් ඒ වගේ තරු යුගල කිහිපයක් අපිට හොයා ගන්න පුළුවන්. හැබැයි ඒ අතරේ ඉදිරියෙන්ම ඉන්නේ චන්න පෙරේරා සහ යශෝධා විමලධර්ම කිව්වොත් ඒක වැරැදි නැහැ. අදටත් සිංහල ටෙලි නාට්‍ය කලාවේ හොඳම ආදරවන්තයන් දෙදෙනා චන්න සහ යශෝධා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. අපේ කලා ලොවේ ආදරණීය අතීත මතක හොයා ගෙන යන ගමනේ තවත් පියවරක් විදියට අපි අද ඒ ආදරවන්තයා හොයා ගෙන යන්න තීරණය කළා. සිනමාවෙන්ම කලා ගමන අරඹලා ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම හිත් දිනා ගත්ත ආදරවන්තයා බවට පත් වුණු චන්න වර්තමානය වෙද්දී දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඒ සුන්දර ගමනේ මතක ගොන්න චන්න අපි ඉදිරියේ දිග හැරියේ මෙන්න මෙහෙමයි.
චන්න පෙරේරා කොහොමද කලා ලෝකයට අවතීර්ණ වුණේ?
මම මුලින්ම රඟපෑවේ චිත්‍රපටයක. ඒ දයා විමලවීර මහත්තයගේ සුජාතා චිත්‍රපටයේ. ඒ කාලෙදිම මට ගොළු හදවත ටෙලි නාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ කේ. ඩබ්. පෙරේරා මහත්තයාගේ උණ්ඩය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව මට ලැබුණා. එහෙම තමයි මගේ ගමන පටන් ගත්තේ.
රඟපෑම වෙනුවෙන් චන්න තමන්ගේ රැකියාවෙනුත් අයින් වුණා කියලා අපි අහලා තියෙනවා?
ඔව්. මම ඒ වෙද්දී බැංකුවක රැකියාවක් කළේ. නමුත් ඒ වගේ රැකියාවක් එක්ක රඟපෑම වගේ වෘත්තියක නිරත වෙන්න අමාරුයි. ඒ හින්ද මම රඟපෑම වෙනුවෙන් ඒ රැකියාවෙන් ඉවත් වුණා. ඒ තීරණයට එරෙහි වුණු තාත්තා මාව ගෙදරිනුත් එළෙව්වා. ඒ කාලෙ නම් හරිම දුෂ්කර ජීවිතයක් ගෙව්වේ. මොකද ඒ දවස්වල අවුරුද්දටම එක නිර්මාණයක් වගේ තමයි හම්බ වුණේ. කොහොම වුණත් ඊට පස්සේ මට මේ ගමන එන්න තාත්තගේ උදව්වත් ලැබුණා.
සිනමාවෙන් කලා ගමන ඇරඹුවත් චන්න පෙරේරා කියන නම මිනිසුන් අතරට යන්නේ ටෙලි නාට්‍ය හරහා. ඒ ගැන කතා කළොත්?
උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ එකගෙයි කුරුල්ලෝ ටෙලි නාට්‍ය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මම සලකන්නේ. මොකද එතැනින් තමයි මිනිස්සු මාව හඳුනා ගත්තේ. ඊට පස්සේ නාලන් මෙන්දිස් මහත්මයාගේ ටෙලි නාට්‍ය හරහා මට බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදරය අදටත් එහෙමමයි.
නාලන් මෙන්දිස් මහත්මයාගේ සෙනෙහෙවන්තයෝ කතාවේ ඔබේ ආදරවන්තිය වෙන්නේ දමිතා අබේරත්න. නමුත් එතැනින් පස්සේ දිගටම ඔබේ ආදරවන්තිය වෙන්නේ යශෝධා විමලධර්ම. අපි ඒ ගැන කතා කරමු.
ඔව්. සෙනෙහෙවන්තයෝ හරහා තමයි මට මුලින්ම විශාල රසික ආදරයක් හිමි වුණේ. ඒ ටෙලි නාට්‍යයෙත් යශෝධා රඟපෑවා. නමුත් එහි මගේ ආදරවන්තිය වුණේ දමිතා. එතැනින් පස්සේ සත්පුර වැසියෝ ටෙලි නාට්‍යයේ තමයි මායි යශෝධයි මුලින්ම ආදරවන්තයෝ විදියට රඟපෑවේ. ඒ ටෙලි නාට්‍යයට අති විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. අදටත් ඒ ආදරය එහෙමමයි. මොකද පැතුම් කියන චරිතය තවමත් මිනිසුන්ට මතකයි. පැතුම්ට තවමත් හොඳ රසික ප්‍රතිචාර තියෙනවා.
සිංහල ටෙලි නාට්‍ය කලාවේ හොඳම ආදරවන්තයෝ දෙන්නා චන්නයි, යශෝධයි කියන එක තමයි වැඩි දෙනාගේ මතය. ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
ගොඩක් අය එහෙම කියනවා. ඊට පස්සෙත් ටෙලි නාට්‍ය කිහිපයක අපි එකට රඟපෑවා. ඒ වගේම අපි දෙන්නා ඇයි එකට රඟපාන්නේ නැත්තේ කියලා අහපු බොහෝ දෙනෙක් හිටියා. ඇත්තටම තවමත් එහෙම අහන අය ඉන්නවා.
ඒ ජනප්‍රියත්වය හින්දා චන්නට ජනප්‍රිය නළුවා සම්මානයත් හිමි වුණා?
ඔව්. සුමති ටෙලි සම්මාන උළෙලේ එක දිගට අවුරුදු තුනක් ජනප්‍රිය නළුවා වුණේ මම. ජනප්‍රිය නිළිය වුණේ යශෝධා.
ටෙලි නාට්‍ය හරහා අතිශයින් ජනප්‍රිය නළුවෙක් වුණු චන්න ඊට පස්සේ ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා සිනමාව පැත්තට යොමු වෙනවා. ඒ වෙනසට හේතුව මොකක්ද?
ඇත්තටම 90 දශකයේ අග භාගය සහ 2000 දශකයේ මුල භාගය වෙන කොට මට කර ගන්න බැරි තරමටම ටෙලි නාට්‍ය තිබුණා. නමුත් ඒ වෙද්දී මට පොඩි වෙනසකුත් වුවමනා කරලා තිබුණා. ඒ වගේම මම රඟපෑමට යොමු වුණු මුල් දවස්වල ඉඳන්ම කලාව සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම රංගනයේදි කාලය නාස්ති කෙරුව නළුවෙක් නෙවෙයි. මට පුළුවන් විදියට ඒ අතරෙදි හැමදේම ඉගෙන ගත්තා. ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්න තමයි 2000දි මම පුංචි වීරයෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. එතැනදී මට පොඩි ළමයින් අතරේ විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. ඒ අත්දැකීම් ඔක්කොම එකතු කර ගෙන තමයි 2006දි මගේ මුල්ම චිත්‍රපටය විදියට අංජලිකා අධ්‍යක්ෂණය කළේ.
අංජලිකා චිත්‍රපටය හරහා ලංකාවට තවත් දක්ෂ නිළියක් හඳුන්වා දීමත් ඒ හරහා සිද්ධ වුණා. ඇයි අංජලිකා චිත්‍රපටයට විදේශීය නිළියක් ගෙනාවේ.
මට ඕනෑ වුණේ අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන්න. මම අවුරුදු ගණනක් ඒ සඳහා අපේ නිළියක් හෙව්වා. මුලින්ම මගේ හිතේ තිබුණේ යශෝධාව තමයි. නමුත් ඒ දවස්වල ඇය අතිශයින් කාර්යබහුලයි. ඒ හින්දා මගේ චිත්‍රපටයට වෙනත් කෙනෙක් හොයන්න මට සිද්ධ වුණා. ඒ වෙලාවේ අහම්බයකින් තමයි පූජා උමාශංකර් මුණගැහුණේ. මං හෙව්ව නිළිය ඇය කියන එක මට තේරුණා. හැබැයි ඒ වෙද්දී ඇය ඉන්දියාවෙවත් ජනප්‍රිය නිළියක් නෙවෙයි. ඒත් අද වෙද්දී පූජා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ජනප්‍රිය චරිතයක්. පූජා මේ තත්ත්වයට පත් වෙනවා කියන එක මම ඇයව තෝරා ගනිද්දිම දැන ගෙන හිටියා.
චන්න පෙරේරා කියන්නේ අද වෙද්දී අත්දැකීම් බහුල ප්‍රවීණ කලාකරුවෙක්. නමුත් වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන බොහෝ දෙනාගේ විවේචන තියෙනවා. චන්න කොහොමද ඒ තත්ත්වය දකින්නේ?
මෙහෙමයි. දක්ෂ නළු නිළියෝ රැසක් අපිට ඉන්නවා. ඒකේ විවාදයක් නැහැ. නමුත් ඔවුන්ට රඟපාන්න හොඳ නිර්මාණ බිහිවෙනවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ නිර්මාණ බිහි නොවෙනවා කියන එක නෙවෙයි. තවමත් ඉතාම හොඳ නිර්මාණ අපේ රටේ බිහි වෙනවා. නමුත් බහුතරය එහෙම නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකම නාට්‍යය කොටස් 500ක්, 600ක් විතර යද්දී ඒකේ ගුණාත්මකභාවය රැක ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. පිටරටවල නම් 50ක, 60ක වගේ පිරිසක් එකතු වෙලා තමයි ඒ වගේ නාට්‍යයක තිර පිටපත ලියන්නේ. ඒ වගේම ඉස්සර විනාඩි 20ක ටෙලි නාට්‍ය කොටසක් රූගත කරන්න දවස් දෙකක් විතර යනවා. නමුත් දැන් එක දවසට ඒ වගේ කොටස් දෙකක් හෝ තුනක් රූගත කරනවා. මොකද දැන් තියෙන්නේ අති විශාල තරගයක්.
ඉදිරියේදී අපිට චන්න පෙරේරාව කලාව තුළින් දකින්න ලැබෙන්නේ මොන විදියටද?
මම චිත්‍රපට කිහිපයකම රඟපාලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරපු අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවර කළා. ඒ චිත්‍රපටය හැකි ඉක්මනින්ම රසියකයන් අතරට පත් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ තමයි යුගාත්‍රා. ඒක වෙනස්ම කතාවක් රැගත් චිත්‍රපටයක්. ආත්ම දෙකක ආදර කතාවක් තමයි ඒ හරහා කතා කරන්නේ. ආදරය, ත්‍රාසය, කුතුහලය වගේ හැම දෙයක්ම එහි ඇතුළත් වෙනවා. නමුත් බෞද්ධ දර්ශනය තමයි එහි ගැඹුරින් කතා වෙන්නේ. තරුණ පරපුරේ නළු, නිළියන් රැසක් රඟපාන ඒ චිත්‍රපටයත් රසිකයෝ ආදරයෙන් වැලඳ ගනීවි කියලා මම හිතනවා.
චන්දන පොන්නම්පෙරුම











