තමාගේ සියලුම ආශාවන් යටපත් කරගනිමින් පවුලට තිබෙන ආදරය වෙනුවෙන් දර-දිය අදිමින් ජීවිතයම කැප කරන නාලනීව… ඔබට හමුවන්නේ මේ දිනවල නැවැත විකාශයවන ‘මද්දහන’ ටෙලිනාට්‍ය හරහා. ‘මද්දහන’ තුළින් නාලනීව අපූරුවට ජීවමාන කළ ඇය ගයනි ගියන්තිකා.
නාලනී ගැන නැවැත පෙර පරිදි හැමෝම කතාබහ වෙනවා. මේ දවස්වල..?
‘මද්දහන’ ටෙලිනාට්‍ය 2017 විකාශය වුණේ. දැන් නැවැත දෙවැනි වරටත් විකාශය වෙනවා ස්වාධීන රූපවාහිනියේ. ඉතින් එය බොහෝ පිරිසක් නරඹනවා. විදේශීය මගේ හිතවතුන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පෙරටත් වඩා නිදහසේ මද්දහන රසවිඳීමට අවස්ථාව උදාවීම එක ගැන සතුටු වෙනවා. ‘මද්දහන’ තුළ 2017 නාලනී ජීවත් වුණා වගේම සදාකාලිකව ‘මද්දහන’ තුළ නාලනී ජීවත් වෙයි.
‘මද්දහන’ ටෙලිනාට්‍යයෙන් පසුව ඔබව විවිධ නිර්මාණ හරහා අප දුටුවා. ඒ චරිත අතර දැනුණු වෙනස කොයි වගේද?
හාත්පසින්ම වෙනස්. අනෙකුත් නිර්මාණ තුළ එවැනි ග්‍රාමීය චරිතයක මම ජීවත් වුණේ නැහැ. නපුරු, සුන්දර හා මධ්‍යස්ථව මම නාලනී චරිතය අනෙකුත් නිර්මාණ හරහා ගෙන ඒමට උත්සාහ කළා නම් මම එතැන ෆේල්. ‘මද්දහන’ ටෙලිනාට්‍යයට උචිත විදිය මම නාලනී චරිතය ජීවමාන කළා. නාලනී වගේ චරිතයක් වෙනත් නිර්මාණයකින් බිහි කිරීමට මම උත්සාහ කරන්නේ නැහැ. සුමිත් රත්නායකගේ අලුත් නිර්මාණයකට මට ආරාධනා කළා. එය නාලනී චරිතයට වඩා හාත්පසින්ම වෙනස් විදියට තමයි මම නිරූපණය කිරීමට උත්සාහ කරන්නේ.
‘මද්දහන’ ටෙලිනාට්‍ය වෙනුවෙන්මද ඔබ ලංකාවට පැමිණ සිටියේ?
‘මද්දහන’ ටෙලිනාට්‍යයේ නාලනී චරිතයට මාව සුදුසුයි කියලා සුමිත් අයියා මම ගැන හොයලා තියෙනවා. ගොඩදෙනෙක් හිතාගෙන ඉඳල තියෙන්නෙ ඔය කාලවකවානුවේ මම ලංකාවේ නැහැ කියලා. නමුත් මම ඔය කාලේ ලංකාවේ හිටියේ. ඉතින් සුමිත් අයියාටත් ලොකු පහසුවක් වුණා. ‘මද්දහන’ට මාව සම්බන්ධ කරගන්න.
වර්තමානයේ සිටින රංගන ශිල්පීන් අතර ඔබත් සුවිශේෂී රංග ශිල්පිනියක්. එහෙත් මෙගා ටෙලිනාට්‍ය නිළියක් ලෙසට ඔබත් දැන් පත්වී හමාරයි. එය ගැන මොකද හිතෙන්නේ?
සුළු නාට්‍යයද, මෙගා නාට්‍යයද, කියන එකට වඩා මම උත්සාහ කරන්නේ නිර්මාණය තුළ යම්කිසි දෙයක් කිරීමට තිබෙනවා නම් මම එය බාර ගන්නවා. හොඳ නිර්මාණයක් බිහි වෙනකම් බලන් හිටියොත් අපිව අමතක වෙලා යනවා. මෙගා ටෙලිනාට්‍යයක වැඩ කළත් අපිව නැතිවෙනවා. ඉතින් මම හිතුවා මට ආරාධනා කරන නිර්මාණයේ චරිතය අනුව එය බාරගන්න. ඒ තුළින් විවිධ චරිත කිරීම තමයි මම උත්සාහ කරන්නේ.
ඔබ ග්‍රාමීය ප්‍රදේශයෙන් ඈත්ව හැදුණු, වැඩුණු කෙනෙක්. නාලනී වැනි චරිතයක් තුළ ජීවත් වුණේ කොහොමද?
ඒක තමා මම කලින් කිව්වේ. සමාජයීය වටපිටාව එක්ක අප ජීවත් විය යුතුයි. විවිධ මිනිසුන් අපට හමුවෙනවා. ඔවුන්ගේ ජීවිත කතාබත් අප සමඟ බෙදා ගන්නවා. ඒ කතන්දර තුළ අප ජීවත් වුණාම අපට චරිතයක් කිරීමට පහසුයි. නාලනී වැනි ජීවමාන චරිත මේ රටේ තවමත් ජීවත් වෙනවා.
නාලනී වෙනුවෙන් ඔබ කළ කැපවීම ඇගැයීමට ලක්වුණා. එය ගැන කතා කළොත්?
අපි සියලුම දෙනාගේ තිබුණු එකමුතුකම, සහෝදරත්වය නිසා මට විතරක් නොවේ ‘මද්දහන’ ටෙලිනාට්‍යයට සම්මාන රැසක් හිමි වුණා. ඒ අනුව හොඳම සහාය නිළියට සුමති සම්මාන උළෙලේ මටද සම්මාන හිමිවීම සතුටක්.
වසන්ත විතාරණගේ











