ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත.
වසරින් වසරට හෝ කාලෙන් කාලෙට එක පොදියට නිර්මාණය වන ටෙලි පොකුරු අතර, සුන්දර කෙල්ලන් හරි හරියට බිහිවිය. වොල්ගා කල්පනීද එහෙව් සුන්දර කෙල්ලකි. දඟකාර පෙනුමැති සුරුබුහුටි වොල්ගා ටෙලිනාට්‍ය තෝරා ගැනීමේදී නම් දඟකාරියක වන්නට කැමැති වූයේ නැත. සුන්දර ටෙලියක බොළඳ පෙම්වතියක වෙනවාට වඩා හරයක් ඇති කතාවක මතක හිටින චරිතයක් කරන්නට කවදත් කැමැති වූ වොල්ගා තමා පිළිබඳව සරල කතාබහක යෙදෙන්නට ‘හාට්’ සමඟ එක්වූයේ හරිම නිහතමානීවය.
වොල්ගා ඔයා ආඩම්බරය කියා සමහරු කියනවා. මං හිතන්නේ ඒක බොරු?
ඇත්තෙන්ම ඒක බොරු. වොල්ගා කල්පනී කියන්නෙ බොහොම සරල කෙනෙක්. ඉන්ටර්වීව් එකක් කරන ඇරැයුමක් ආවට බොරුවට ‘මම බිසි…’ කියලා කියන මහන්තත්වකම් මගේ ළඟ නැහැ… දිනපොත බලලා දවසක් කියන්නම් කියන බොරු කෑලි මගේ ළඟ නැහැ. හැබැයි මම සමහර අයට වඩා වෙනස්. මගේ ළඟ මූනිච්චාව නැහැ. බොරුව නැහැ. යමක් කියන්න තියෙනවා නම් ඒක මූණටම කියනවා. අන්න ඒ හින්දා සමහරුන්ට මාව වෙනස් විදියට හෝ ආඩම්බරේට පේනවා ඇති.
මොනවද මේ දවස්වල ඔබ ගැන කියන්නට තියෙන අලුත් තොරතුරු?
අලුත් ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් ගැන සාකච්ඡා මට්ටමේ දවස් ගෙවී යනවා. ඒ අතර සුදත් රෝහණ මහතාගේ ටෙලිනාට්‍යයක ලැබෙන්නට තිබෙන චරිතයක් ගැන මෙහිදී සුවිශේෂීව කිව යුතුයි.
චරිතය කුමක්ද? කතා තේමාව මොන වාගේද?
සුදත් රෝහණ කියන්නේ ඉතා උසස් මට්ටමේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. සාකච්ඡා මට්ටමේ තිබෙන 2020 රූගතකිරීම් ආරම්භ කිරීමට නියමිත අලුත් නිර්මාණයද එවැනිම හොඳ තේමාවක් සහිත ටෙලිනාට්‍යයක්. ඊට වඩා යමක් ඒ පිළිබඳව කියන එක සුදුසු මදියි මම හිතන්නේ.
ඔබට ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ඇරැයුම් අසීමිතය කියලයි ආරංචිය?
ඇත්තටම මම හරිම නිහතමානීව එයට ‘ඔව්’ කියනවා. කවදාවත් මම ටෙලිනාට්‍ය පසුපස හඹා ගියේ නැහැ. නොසිතූ ලෙස මට ටෙලිනාට්‍ය සඳහා ඇරැයුම් ලැබෙන්නට ගන්නේ මා නවකයකු අවධියේ සිටමයි.
එහි රහස කුමක්ද? ඔබෙ ලස්සන, සුරතල් පෙනුමද?
පෙනුම හුරතල් කියලා හැමෝම කියනවා තමයි. හැබැයි ටෙලි නාට්‍ය ලැබෙන්නේ ‘රුව’ නිසා යැයි සිතන්න බැහැ. මොකද මට ලැබෙන බොහෝ චරිත බොළඳ පෙම්වතියන්ගෙන් අනූන ඒවා නෙවෙයි. මට ලැබෙන හැම චරිතයක්ම වාගේ එකිනෙකට වෙනස්. ඒ හැම චරිතයකම තිබෙන්නේ යම් පණිවුඩයක් දෙන්නට පුළුවන් චරිත වස්තුවක්. හිතලා බලන්න, හුස්ම වැටෙන මල්, සුළඟ මහමෙරක සහ පැණි කුරුල්ලෝ වැනි චරිත පවා කෙතරම සංකීර්ණද.
‘නිරාවරණ’ ටෙලිනාට්‍යයත් ඉතා උසස් නිර්මාණයක්. ඔබ මෑතකදී එයින් ඉවත් වූයේ ඇයි?
සත්තකින්ම එය මගේ අවාසනාවක්ද, ‘නිරාවරණ’ නිර්මාණය කළ පාර්ශ්වයේ අවාසනාවක්ද කියන්න මම දන්නේ නැහැ. මට ඉවත් වෙන්න වුණෙත් ප්‍රඩක්ෂන් එකේ අවුල් සහගත තත්ත්වයක් නිසයි. මම විතරක් නෙවෙයි, ජයනි සේනානායක, හේමසිරි ලියනගේ සහ ජෙහාන් අප්පුහාමි යන ප්‍රවීණයන්ද එහිදී ඉවත් වුණා. හරිම කනගාටුයි කියන්න. ඒ තරම් උසස් නිර්මාණයක් මඟහරින්නට සිදුවීම ගැන මම දුක්වෙනවා.
ඕනෑම ‘සෙට්’ එකකදී ප්‍රවීණයන් ඔබ සමඟ සුහදයි නේද?
ඒක මගේ වාසනාවක්. බොහෝ ටෙලිනාට්‍යවලදී මට රඟපෑමට ලැබෙන්නේ ප්‍රවීණයන් සමඟයි. හැබැයි ඒ කිසිම තැනකදී ඔවුන් මට වෙනස්කමක් කළේ නැහැ. හැමෝම මට උදව් කළා. මා සමඟ හොඳින් සුහද වුණා. මමද ඔවුන් හමුවේ ඉතා සුහද චරිතයක් වුණා.
‘අවලංගු කාසියක්’ මියුසික් වීඩියෝ එක ගැන කතා කරමුද?
අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කළ යුතුමයි. ‘අවලංගු කාසියක්’ වීඩියෝව නිසා මට බොහෝ තර්ජන පවා ආවා.
එයට හේතුව සඳහන් කරන්න පුළුවන්ද?
ඇයි බැරි. ඇත්ත කියන්න බය නැහැ මම. ‘අවලංගු කාසියක්’ සඳහා තේමා වන්නේ අහිංසක තරුණ යුවළකගේ ආදර කතාවක්. එය දික්කසාදය කරා ඇදී යන්නත්, බිවොක් ප්‍රඩක්ෂන් එක විසින් අනුග්‍රහය දැක්වූ මේ මියුසික් වීඩියෝව සඳහා පිටපත සකස් කළේ රොෂාන් ඈපාසිංහයි. ගායනය බිනොර පීරිස්ගේ. ඔවුන් මේ මියුසික් වීඩියෝව නිර්මාණය කළේ කාටවත් මඩ ගහන්න නෙවෙයි. හැබැයි නොසිතූ ලෙස පිටස්තරයකු මෙම වීඩියෝව නිසා කලබලයට පත්වුණා. ඔහු සිතුවේ මෙය ඔහුට සම්බන්ධව සිටින ‘අයකු’ අපහසුතාවට පත්කිරීම සඳහා ‘මම’ ඇතුළු අනෙක් අය මෙය මඩ ප්‍රහාරයක් කරගත්තා කියලයි.
ඔබ ‘ඔහු’ කියා නම් කරන්නේ හර්ෂණ බෙත්මගේද?
අනිවාර්යයෙන් මම කියන්නෙ හර්ෂණ ගැන තමයි. හර්ෂණ කියනවලු ඔහුගේ පෙම්වතියව අපහසුතාවකට මැදි කරන්න මෙම මියුසික් වීඩියෝව නිර්මාණය කළා කියලා. ඇත්තටම එය හරිම විහිළුවක්.
හර්ෂණ එවැනි චෝදනාවක් කරන්නට හේතුව කුමක්ද?
ඒ ප්‍රශ්නය අහන්නට ඕනෑ හර්ෂණගෙන්මයි. හර්ෂණ සහ ඔහුගේ පෙම්වතිය ඉතා සතුටින් කල්ගෙවන දෙන්නෙක්. ඒ අයට මඩ ප්‍රචාර කරන්නට හෝ ‘ඔවුන්ගේ ආදරය’ අපහසුතාවට පත්කරන්න තම නිර්මාණශීලීත්වය උගසට තියන්න තරමට වොල්ගා කල්පනීගෙ මානසික මට්ටම පහතට වැටී නැහැ. ‘වොල්ගා කල්පනී’ කියන්නේ කියන්නට වුවමනා යමක් තියෙනවා නම් එය මුහුණටම කියන කෙනෙක්.
ඔබට හුඟාක් තරහ ඇවිත් වාගේ?
තරහක් නෙවෙයි. මෙවැනි දේ ගැන මට හිනා එනවා. යම් නිර්මාණයක් තම හිතට නැඟුණු දක්‍ෂ තිර පිටපත් රචකයෙක් එයින් මියුසික් වීඩියෝවක් කළාම පැත්තක ඉන්න තවත් පුද්ගලයෙක් මට තර්ජනාත්මකව චෝදනා කරනවා. ඒ ඔහුගේ පෙම්වතියට අපහාසයක් කියලා. අද මේ අවස්ථාවේ මෙතැනදී මම කියනවා අවලංගු කාසිය මියුසික් වීඩියෝව හර්ෂණ බෙත්මගේ හෝ ඔහුගේ පෙම්වතියගේ කතාව නෙවේය කියලා.
2020ට අලුත් පණිවුඩයක් දෙනවද වොල්ගා?
ප්‍රේක්‍ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා කටකතා හෝ ගොසිප් විශ්වාස කරන්න එපා. ‘වොල්ගා කල්පනී’ තමා ගැන තමාගේම වචනවලින් යමක් ප්‍රකාශ කරනතුරු වෙනත් අය පතුරුවන කතා මත මා ගැන තීරණ ගන්න එපා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











