ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්…
මෙවර හාට් නත්තල් අතිරේකයේ කවරය සරසන්නේ නව පරපුරේ දක්ෂ නිළියක වන දිස්නි රාජපක්ෂ. ඉදිරි වැඩ කටයුතු සහ එළැඹෙන අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු පිළිබඳ පුංචි කතාබහකට එකතු වෙන්නත් ඇය අමතක කළේ නැහැ.
මොනවද අලුත් අවුරුද්දේ අලුත්ම කලා කටයුතු?
අලුත් චිත්‍රපට දෙකක රූගත කිරීම් ජනවාරි මාසයේදී ආරම්භ වෙනවා. දැන් ඒ සඳහා පෙර සූදානමේ යෙදිලා ඉන්නේ. හැබැයි ඒ ගැන වැඩි විස්තර කියන්න තවම කල් වැඩියි.
නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු විශේෂ වැඩකටයුතු ගැන කතා කළොත්?
මේ සැරේ ඇත්තටම ගොඩක් දේවල් කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැනේ. හිරු ටී. වී. එකේ නත්තල් උත්සවය සහ 31 වැනිදා රාත්‍රී ප්‍රසංගය සඳහා සහභාගි වුණා. ගෙවල්වලට හිර වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ මානසික සතුට වෙනුවෙන් පොඩි අවදානමක් අරගෙන වුණත් ඒ රූගත කිරීම් සඳහා සහභාගි වෙන්න තීරණය කළා.
ඉදිරි වසරේ ඔබේ බලාපොරොත්තු ගැන කතා කළොත්?
රංගනය ගැන වැඩිදුර හදාරන්න වගේම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නිම කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ උපාධියේ වැඩ කටයුතු ඉවරයි. ඒත් තවදුරටත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න තීරණය කරලා තියෙන්නේ.
මේ වෙලාවේ ඔබේ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන්නේ මොන වගේ උපදෙසක්ද?
මේක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපාලා තියෙන ව්‍යවසනයක්. ඒ හින්දා මේ වෙලාවේ බොහොම ඉවසීමෙන් සහ කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න, ජීවිතය අනිත්‍යයි කියන දේ හොඳින් තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක් වුණා කියලා මට හිතෙනවා. ඒ හින්දා ඒක හොඳින් තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙන්න කියලයි මම හැම
දෙනාගෙන්ම ඉල්ලන්නේ.
චන්දන පොන්නම්පෙරුම