සිංගප්පූරුවේ අගමැති ලී සෙන්ග් ලූන්ගෙන් වරක් විදේශ මාධ්‍ය අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.
“හිටපු ජනාධිපතිවරයෙක්, හිටපු අගමැතිවරයෙක් යළිත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් විදිහට වාඩිවෙලා ඉන්නව දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. සාමාන්‍යයෙන් එහෙම කැබිනට් මණ්ඩල ලෝකෙ දකින්න ලැබෙන්නෙ නැහැ. අනිත් එක එහෙම හිටපු ජනාධිපතිවරයෙක් හරි, අගමැතිවරයෙක් හරි කැබිනට් මණ්ඩලයේ වාඩිවෙලා ඉන්නව නම් ඒ කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යන එකත් එච්චර ලේසි නෑ. මොකද හිටපු ජනාධිපතිවරයගෙ හරි, හිටපු අගමැතිවරයගෙ හරි ආධිපත්‍ය ඒ කැබිනට් මණ්ඩලයට වැටිල තියෙන හින්ද ඒක පාලනය කරගෙන අරන් යන්න හරි අපහසුයි. ඔබතුමාගෙ තාත්ත වෙච්ච ලී ක්වාන් යූ මේ රටේ හිටපු අගමැති. දැන් එතුම ඔබතුමාගෙ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්. මොකක්ද හිතෙන්නෙ මේ ගැන…”
මාධ්‍යවේදියා ලී සෙන්ගෙන් මේ ප්‍රශ්නය අසද්දී ඔහු ඊට දුන්නේද අපූරු පිළිතුරකි.
“මටයි මගේ ඇමැති මණ්ඩලයටයි මගේ තාත්ත කැබිනට් මණ්ඩලයේ අසුන්ගෙන ඉන්න එක ගැන තියෙන්නෙ පුදුමාකාර ගෞරවයක්. මොකද එතුමා අපි නොදන්න ගොඩක් දේවල් අපිට කැබිනට් මණ්ලයෙදි කියල දෙනවා. එක පාරක් සිංගප්පූරුවෙ ජනාධිපති මන්දිරය පිහිටුවල තියෙන ‘ස්ථානා’ එක ඉස්සරහ ලස්සනට වැවිල තියෙන ගස් කොළන් ජනාධිපතිවරයාට දෙන ආරක්ෂාවට ලොකු බාධාවක් කියල ආරක්ෂක අංශවලින් ඒ ගස් ටික කපන්න කිව්වා. ආරක්ෂක නිලධාරීන් මේ යෝජනාව ඉදිරිපත් කළාම තාත්තා මට පොඩි නෝට් එකක් එව්වා. ඒ නෝට් එකේ තිබ්බෙ මේ ගස්කොළන් වැව්වෙ බොහොම අමාරුවෙන්, මේ ගස්කොළන් හින්ද ජනාධිපති මන්දිරයට විශාල එළියක් ඇවිල්ල තියෙනවා, ඒ පරිසරයට එන කුරුල්ලො හින්දා තවත් ලස්සන වෙලා තියෙනවා, මේක බලන්න සංචාරකයො එනවා, අපිට ආරක්ෂාවට වෙන උපායමාර්ග හදාගන්න පුළුවන්. හැබැයි ගස්කොළන් කැපුවොත් මේ තියෙන නිදහස් පරිසරය ආයෙත් හදාගන්න බැහැ. මේ තියෙන ලස්සන විනාශ වෙලා යනවා. සංචාරකයො එන එකක් නැතිවෙයි.”
මේ ලී සෙන් මාධ්‍යවේදීන්ට දුන්න උත්තරයය.
අන්තිමේදී ලී සෙන් තාත්තගේ උපදේශයට අවනතව ආරක්ෂක අංශ විසින් ලබාදුන් ජනපති මැදුර ඉදිරිපිට ගස්කොළන් කැපීමේ යෝජනාව සම්පූර්ණයෙන්ම ඉවතට දැම්මේය.
සිංගප්පූරුවේ ලී ක්වාන් යූගේ පුතාට ලැබුණු ඒ වාසනාවම අද ලංකාවේ ජනාධිපතිවරයා විදිහට පත්වෙලා ඉන්න ගෝඨාභයටද ලැබී තිබේ. ඒ, මේ රටේ අවුරුදු දහයක් විධායක ජනාධිපති විදිහට කටයුතු කරල අද කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා විදිහට මහින්ද අසුන්ගෙන ඉන්න එකෙන්ය. හැබැයි මහින්ද ලී ක්වාන් යූ වගේ නොව අගමැති ධුරයට පත්වූයේ ගෝඨා වගේම තුනෙන් දෙකක බහුතර ජනවරමකින්ය. අනෙක මහින්ද කියන්නේ හැත්තෑවේ ඉඳන් අවුරුදු 50ක් මේ රටේ දේශපාලනය කරල දේශපාලනයෙන්ම හොඳට තෙම්පරාදු වෙච්ච චරිතයක්ය.
මහින්ද ඉස්සෙල්ලාම හිටියේ මැතිනිගෙ 70-77 ආණ්ඩුවේය. ඒ, ලංකාවේ ළාබාලතම මන්ත්‍රිවරයා විදිහටය. ඒ අවුරුදු හතේදී ආණ්ඩුව ඇතුළෙ වෙච්ච වැරැදි මහින්ද හොඳහැටි දුටුවේය. මැතිනිගෙ කාලෙදීම අනුරයි, චන්ද්‍රිකයි දේශපාලනයට සම්බන්ධ වුණාට පස්සෙ ආණ්ඩුව ඇතුළේ වෙච්ච වැරැදි මහින්ද හොඳහැටි දැක්කේය. 77 මහ ඡන්දෙන් බින්දුවටම වැටිලා සමඟි පෙරමුණු ආණ්ඩුවට ගෙදර යන්නට වූ හැටිත්, ඊට බලපෑ හේතුත් මහින්ද හොඳහැටි දුටුවේය.
ඊට පස්සේ 77 ඉඳන් 94 වෙනකම් අවුරුදු 17ක් එක දිගට විපක්ෂයෙ ඉන්න බලපෑ හේතුත් මහින්ද හොඳහැටි දැක්කේය. ඒ අවුරුදු 17 ඇතුළත ජේ.ආර්. රට ආණ්ඩු කළ හැටිත්, ප්‍රේමදාස රට ආණ්ඩු කරපු හැටිත්, විජේතුංග රට ආණ්ඩු කරපු හැටිත් මහින්ද දුටුවේය. උතුරේ දෙමළ තරුණයන් ආයුධ අතට ගනිමින් ප්‍රභාකරන්ව පෙරටු කරගෙන ත්‍රස්තවාදී ගරිල්ලා යුද්ධයකට රට ඇදගෙන ගිය හැටිත් මහින්ද දැක්කේය. දකුණේ තරුණයන් ආයුධ අතට අරගෙන රට පුරාම භීෂණයක් ගෙන ගිය ආකාරයද මහින්ද දැක්කේය.
ඊළඟට 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙ හදපු හැටිත්, චන්ද්‍රිකා රට ආණ්ඩු කරපු හැටිත් මහින්ද දුටුවේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තිබුණු ශක්තිමත් දේවල් මෙන්ම දුර්වල තැන්ද මහින්ද හොඳහැටි දුටුවේය.
චන්ද්‍රිකාගෙන් පසු තමන්ගේම ආණ්ඩුවක් යටතේ අවුරුදු 10ක් රට කරපු විදිහ ගැන මහින්දට හොඳහැටි අත්දැකීම් තිබේ. ඒ අවුරුදු 10 ඇතුළත ආණ්ඩුව ඇතුළේ සිදුවුණු කුමන්ත්‍රණ, කඩාගෙන යෑම්, බෙලි කැපිලි, කකුලෙන් ඇදිලි, ජාත්‍යන්තර බලපෑම් ආදිය ගැන මහින්දට තරම් අත්දැකීම් වෙන කාටවත් නැත. ඒ වගේම 2015 ජනාධිපතිවරණයෙදි අතේ තිබුණු ජයග්‍රහණය ගිලිහී ගිය අත්දැකීමටද මහින්ද මුහුණදුන්නේය. 2015 පරාජය තරම් මහින්දට තම ජීවිතයේදී හිතට දැනුණු දෙයක් ගෝඨාභයට හෝ බැසිල්ට ජීවිත කාලයටම හෝ අත්දකින්නට ලැබී නැතිවාට කිසිදු සැකයක් නැත. ඒ අත්දැකීම්ද මහින්දට තිබේ.
සාමාන්‍යයෙන් දේශපාලකයෙකුට රටක ජනාධිපති ධුරයේ කටයුතු කොට යළිත් ආණ්ඩුවක ඇමැතිවරයකු, අගමැතිවරයකු වශයෙන් කටයුතු කිරීමට ලැබෙන්නේ බොහොම කලාතුරකිනි. මහින්දටද එම අවස්ථාව ලැබිණි. මහින්ද අගමැති වශයෙන් කටයුතු කරද්දී ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ ඔහුගේම සහෝදරයා වූ ගෝඨාභයය. ඉතින් සිංගප්පූරුවේ අගමැති ලී සෙන් තම පියා වූ ලී ක්වාන් යූගෙන් උපදෙස් ගන්න පසුබට නොවූවා සේ මහින්දගෙන් දේශපාලන උපදෙස් ගැනීමට ගෝඨාභයද පසුබට විය යුතු නැත.
මොකද මේ රටේ මිනිස්සු කවදාවත් රාජපක්ෂ සහෝදරවරුන්ට වචනයක්වත් කියන්නේ නැත. විපක්ෂය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභයට රටේ නැති චෝදනා එල්ල කළත් මේ රටේ ලක්ෂ 69ක් මිනිස්සු ගෝඨාභයට ඡන්දය දීලා දෝලාවේ තියාගෙන ඇවිත්, අතිවිශාල ජන වරමකින් රටේ ජනාධිපති කළේ ඒ නිසාය. ඉන් පසුව තුනෙන් දෙකේ බලයක් දී මහින්දව අගමැති කළේත් ඒ නිසාය. ඒ නිසා ආණ්ඩුව ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඒ විදිහටම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ගෝඨාභයත් මහින්දත් දෙන්නම එකට අඩිය ඉස්සරහට තැබිය යුතුය.
විමලසිරි ජයලත්










