ජනප්‍රියතාවට කවුද අකැමැති? ඒ වෙනුවෙන් මොනවද නොකරන්නේ? අද ජනප්‍රිය කිරුළ සල්ලි දීලා ගන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. ඉතින් එහෙම ජනප්‍රිය කිරුළට සමහරු දඟලනකොට හංසි දෙව්මිණිගේ එකම සිහිනය හොඳම නිළියන් අතරට එකතු වෙන්න කියලා අපට ආරංචි වුණා. ඉතින් ඇය ඒ ගැන අපට කිව්වේ මේ විදියට.
හංසි දැන් වැඩ ගොඩකට හිරවෙලා නේද?
සිරස ෆිල්ම් ස්ටාර් එකෙන් පස්සේ තමයි මට ‘කුමී’ ටෙලිනාට්‍යයට ආරාධනාවක් ලැබුණෙ චරිත් අබේසිංහ අයියා හරහා. කුමී ටෙලිනාට්‍යයේ මම සෙනුරිගෙ චරිතය රඟපෑවා. හිතුවටත් වඩා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ දවස්වල තවත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. මහේන්ද්‍ර කරුණාතිලක අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක ටිනාගේ චරිතය තමයි මට ලැබුණේ.
හංසිට වඩා හාත්පසින්ම වෙනස් ඇති ටිනා?
ඔව්, ටිනාගේ ගොඩක්ම තියෙන්නේ මවාපාමින් ආදරය පෙන්වමින් අවශ්‍ය දේවල් සපුරාගන්න එක. ටෙලිනාට්‍ය විකාශය වෙන කාලවල ටිනා ගැන අපි වැඩි දුරට කතා කරමු නේද?
තරුණ කාලේ ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ පෙම්වතියගේ චරිත රඟපාන්න. ඒත් හංසි අන්තර්ජාලයේ පවා හොයන්නේ වෙනස් චරිතයක් රඟපෑමට අවශ්‍ය කරුණු?
පොඩි කාලේ ඉඳලම මගේ තිබුණු ආශාවක් තමයි අන්ධ චරිතයක් රඟපාන එක. අන්ධ කියලා, ඇස් වහගෙන රඟපාන එක නෙවෙයි. ඒ චරිතය තුළ මිනිසුන්ට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආදරය, වේදනාව, සතුට ඔහුට දැනෙන්නේ මොන විදියටද කියල මම හොයා බලනවා.
ඔබ මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නිවේදිකාවක් විදියට නේද?
ඔව් මම මුල් කාලයේ සී.එස්.එන්., මැක්ස් රූපවාහිනී නාලිකාවල නිවේදිකාවක් විදියට කටයුතු කළා. ගෙදරින් මුලදි කැමැත්තක් තිබුණේ නැහැ මම මේ දේවල් කරනවට. දෙමව්පියන්ට ඕනෙ වුණේ මට හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒ දේ මම කළා. ඉතින් දැන් ගෙදරින් ප්‍රශ්නයක් නැහැ.
දැනගෙන ගියොත් කතරගම – නොදැන ගිහොත් අතරමඟ නේද හංසි?
ඒ නිසාම තමයි මම මේ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් ඇතිව යොමුවෙන්නේ. නිකම් හිස් මිනිහෙක් විදියට යොමුවුණාම අවසානයේ අපි අතරමං. මම මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය හා රංග කලා විශේෂ උපාධිය හදාරනවා.
මොනව ඉගෙන ගත්තත් හංසි විනයක් නැතිව මේ ගමන යන්න අපහසුයි කියලා පිළිගන්නවද?
මම මගේ වෘත්තියට සලකන්නේ මගේ දෙමව්පියන්ට වගේ. ඒ තරමට මම ආදරේ කරනවා වගේම ගෞරව කරනවා. මට එක රැයකින් ජනප්‍රිය නිළිය වෙන්න බැරිකමක් නැහැ. මට එහෙම නම කැත කරගෙන මේ ගමන යන්න උවමනාවක් නැහැ. විනයක් ඇතිව, හැදෑරීමක් ඇතිව මේ ගමන යනකොට හරිම සුන්දරයි මට නම්.
ගොඩ දෙනෙක් තැනකට යන්න හදනකොට කකුලෙන් අදිනවා වැඩියි. එහෙම අවස්ථාවන් හංසිගේ ගමනටත් බලපාන්න ඇති?
මම අද මේ තැන ඉන්නේ මගේ දෙමව්පියන් නිසා. සමහර අවස්ථාවල මගේම ඥාතීන් මට වළ කපපු අවස්ථා තිබුණා. මම එයාලට වෛර කරන්නේ නැහැ. මොකද එයාලටම දැනේවි මම කවුද කියලා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මේ කලා ජීවිතය කියලයි මට නම් හිතෙන්නේ.
වසන්ත විතාරණගේ