‘කහෝනා පෙයාර් හේ’ කියන්නේ උතුරු ඉන්දීය සිනමාව වසන්තයෙන් නැහැවූ ඉතා චමත්කාරජනක චිත්‍රපටයකි. 2000 වසරෙහි මුල් භාගයෙහි තිරගත වූ මෙම චිත්‍රපටයට 2020 ජනවාරි මස වන විට වසර විස්සක් ගෙවීගොස් අවසානය. ජනප්‍රිය චිත්‍රපට පිළිබඳව සමාලෝචනය කරන ජනප්‍රිය මාධ්‍ය වියෝජනයක් ඔස්සේ කහෝනා පෙයාර් හේද පසුගිය සතියක කතාබහට බඳුන් විය. එයට සහභාගි වූයේ රිතික් රොෂන් සහ අමීෂා පටෙල්ය. අදහස් දැක්වීමේදී සහ කතාබහේදී රිතික් රොෂන් කළ කී දෑ පසුගිය ‘හාට්’ විශේෂාංගය ඔස්සේ අප සටහන් කළෙමු.
ඒ සුන්දර කතාබහට රිතික් සමඟ වූ යාබද අසුනෙහි සිටි අමීෂාද ගිරවියක සේ මේ කතාබහට එක්වූ ආකාරය ඉතාම සිත්කලු විය. ‘කහෝනා පෙයාර් හේ’ වෙනුවෙන් දොඩමලු වන මොහොතේ පළමුව අමීෂා කීවේ කිසිම දිනෙක තමා නිළියක වීමේ සිහිනය නුදුටු බවයි. දෛවය අපට දෙන බොහෝ දේ තුළ අහඹු විස්කම් ඇති බව කී අමීෂා,
‘කහෝනා පෙයාර් හේ’ ගැන වචනයක් මම මුල්වරට ඇහුවේ මගේ තාත්තා සමඟ ඔහුගේ මිතුරකුගේ සාදයකට ගිය වේලාවේදීයි. රාකේෂ් අංකල්ද මගේ තාත්තාගේ පාසල් මිතුරෙක්. තාත්තා සමඟ සිටින මාව දක්වමින් ඔහු ඇසුවා කවුද අමිත් මේ ඔබ සමඟ සිටින පුංචි සුරංගනාවිය කියලා. ඒ මොහොතේ මගේ දෙකම්මුල් ලැජ්ජාවෙන් රතු වුණා.
තවත් දෙයක් මට මතකයි. මගේ වයස අවුරුදු පහළොවේදී රාකේෂ් අංකල් රිතික් සමඟ මාව චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ගන්න මගෙ තාත්තගෙන් අවසර ඉල්ලුවා. හැබැයි තාත්තා එයට කැමැති වුණේ නැහැ. ඒ ගැන රාකේෂ් අංකල්ගේ හිත තරමක් රිදුණා වගේම රිතික්ද යම් ලැජ්ජාවකට පත්ව තිබුණා මං හිතන්නෙ.
එදා සාදයේදී කලකට පසුව මුණගැසුණාට පසු රාකේෂ් අංකල් අපේ පවුලට රාත්‍රි කෑමකට ආරාධනා කළා.
එතැනදී දෙවැනි වතාවට ඔහු මාව ඔහුගේ චිත්‍රපටයක් සඳහා නැවැත ඉල්ලා සිටියා. තාත්තාගේ උත්තරය කුමක්වේදැයි මම බලා සිටියේ උපේක්ෂාවෙන් පමණයි. නිළියක හෝ තරුවක වීමේ උණ මා තුළ කෙසේවත් වූයේ නැහැ.
‘කහෝනා පෙයාර් හේ’ චිත්‍රපටයෙන් පසු ඒ සිතුවිල්ල වෙනස් වුණාද?
වැඩසටහන මෙහෙයවන්නා එලෙස ඇසුවේය.
මේ මොනවා කියනවද? තාත්තා රාකේෂ් අංකල්ට එයාගේ කැමැත්ත දුන්නට පසුව මම ‘කහෝනා පෙයාර් හේ’ සඳහා සම්බන්ධ වුණා. මට එහිදී තේරුම් ගන්න බැරි එකම කරුණ වූයේ, මා තුළ මටත් රහසේ එතරම් අපූරු නිළියක් කොහේ සැඟව සිටියාද කියලයි. හිතල බලන්න රඟපෑ පළමු චිත්‍රපටය එක රැයින් සියලු වාර්තා බිඳහෙළන්නටත්, සුපිරි තරුවක ලෙස මම ඉහළ අහස් කුස මත දිදුලන්නටත් ‘අමීෂා පටෙල්’ කියන තරුණිය තුළ කොහොම අයෙක් සැඟවී සිටින්නට ඇත්දැයි කියා.
අමීෂාගේ පෙනුම එතැනදී ඉතාම පාරට්ටු විය.
‘ඔබ සිතන්නේ අමීෂා එය ඔබේ මැජික් එකක් පමණයි කියාද?
අමීෂාගේ කියවිල්ල මැදට පැන්න වැඩසටහන් මෙහෙවන්නා ඇසුවේය.
ප්‍රධාන නිළිය අවුල් වුණොත් සියල්ල පරාදයි කියන මතය තුළයි මම දොඩන්නේ. අමීෂා ඉතා සැහැල්ලුව සිනාසී පිළිවදන් දුන්නාය.
අනෙක මම එහි රැඟුවේ සෝනියා ලෙස මිස අමීෂා යන තරුණිය ලෙස නෙමෙයි. ආරම්භක දර්ශනයේ සිට මම සෝනියා වෙත ආවේශව සිටියා. මා රැඟුවේ, හැඬුවේ, වචන මිමිණුවේ ඒ ආවේශය මතයි. මා කොහේ හෝ සිට පැමිණි සුරංගනාවියක ලෙස ප්‍රේක්ෂකයන් මාව හැඳින්වූවා. රසිකයන් මා දකින කළ උමතු වූවා. ඉතින් තව මොනවද?
ඇත්තෙන්ම ‘කහෝනා පෙයාර් හේ’ මගේ ජීවිතයේ සිහින පාරාදීසයයි. එය මගේ ඉල්ලමයි. චිත්‍රපට සිය ගණනක ගිවිසුම් මා වෙත එක රැයකින් ගෙන ආ ඒ අපූරු මැජික් එකට මම සදා ණයගැතියි.
කරීනා ඔබේ රංගනය තුට්ටු දෙකට දමා තිබුණා නේද?
මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. යම්කිසි අයකු ගැන කෙනකුට මොනවා කියන්න බැරිද? ‘කහෝනා පෙයාර් හේ’ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. ඈ කියන තරමට මා සවුත්තු වූවා නම් රසිකයන්ට මෙය මැජික් එකක් වූයේ කෙසේද? කියා පමණක් මම අසනවා.
අමීෂා පටෙල් ‘කහෝනා පෙයාර් හේ’ සමාලෝචනයට තිත තැබුවේ එලෙසය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











