ගංවතුරින් නිවස යටවීම හේතුවෙන් අසරණ වූ පවුලක් නිවෙසට කැඳවාගෙන විත් නවාතැන් දී දින දෙකක් තුන් වේලම කන්න බොන්න දුන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනා මැණික් ගල් සොරා ගත්තේ යැයි කියන එම පවුලේ මව පියා සහ පුතා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.Sri Lanka Latest News
රත්නපුරට පසුගියදා ගංවතුර ගැලූ අවස්ථාවේදී අසරණ වූ රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිඳ ස්වාමියා පිරිමි ළමයි දෙදෙනා සහ අවුරුදු හතරක දැරියක් මෙම මැණික් ව්‍යාපාරිකයා නිවෙසට කැඳවාගෙන විත් නවාතැන් ලබා දී දින දෙකක් තිස්සේ තුන්වේලම කන්න බොන්නදී ඇතැයි කියති
ගංවතුර බැස ගිය පසු මෙම දරු පවුලම මැණික් ව්‍යාපාරිකයාට පින්දී නිවසින් පිටව ගොස් ඇති බවත් ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ යළිත් දිනක පැමිණ නිවසේ මිදුල ශුද්ධ පවිත්‍ර කර දෙන බවටද පොරොන්දු දෙමින් බවත් පැවසේ.
පොරොන්දු වූ පරිදි එම අඹුසැමි යුවළ සහ අවුරුදු දොළහක් වූ පිරිමි ළමයා සමග දින කිහිපයකට පසු නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයා නිවසේ සිට නැත. නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ පමණක් බව පොලිසිය පවසයි.
එම පවුලේ පියා මිදුල පිරිසිදු කරද්දී ඔහුගේ බිරිඳ සහ පුතු නිවසට ඇතුළු වී නිවසේ බුදු මැදුරේ බෝතල් දෙකක සහ ගුණා කුප්පියක දමා තිබූ වටිනා මැණික් ගල් කැට රාශියක් වරින් වර අවස්ථා තුනකදී සොරකම් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
ඔවුන් මැණික් ගල් සොරකම් කරන ආකාරය නිවසේ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී ඇති බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මේ අනුව ව්‍යාපාරිකයා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර යුවළ සහ ඔහුගේ පුතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මැණික් සොරකම් කළ බව පිළිගෙන ඇත.
මේ අනුව ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් වලින් කොටසක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.
එම යුවලේ පිරිමියා මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා තිබියදී එම ව්‍යාපාරිකයන් එම මැණික් කැට දෙක ස්වේච්ඡාවෙන්ම භාර දුන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශනා අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.










