මානව හිමිකම් සහ වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන සාකච්ඡා සඳහා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙක් වන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී එම තනතුරට පත්වීමෙන් පසු ලූ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
ඩොනල්ඩ් ලූ ඊයේ (බ්‍රහස්පතින්දා) පැවති දුරකථන සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් කියා සිටියේ තමා ලබන මාසයේ බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි.
දෙමළ ජාතික සන්ධානය සහ ගෝලීය දෙමළ සංසදය සමඟ පසුගිය නොවැම්බර් මාසයේ වොෂින්ටනයේ පැවති සාකච්ඡාවකට පවා ඩොනල්ඩ් ලූ සම්බන්ධ වී තිබිණ.










