එනම් තව දින විස්සකින් ජල පෝෂක ප්‍රදේශවලට වැස්සේ නැතිනම් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සියල්ල විශාලා මහනුවරක් වනු ඇත. මෙය සෙල්ලමක් නොවේ. එනම් ජලය නැතිව මිනිසුන් තැන තැන මියයනු ඇත.
මේ තත්ත්වය උදාවුණේ ඇයි?
පසුගිය දශකය දෙස බැලුවහොත් කොළඹ නගරයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවිය. අහස උසට අපාර්ට්මන්ට් සංකීර්ණ, දැවැන්ත කාර්යාල පද්ධති සහ ව්‍යාපාරික ස්ථාන ඉදිවිය. නමුත් ඒ ඉල්ලුමට සාපේක්ෂව ජල සැපයුම වැඩිකරන කිසිදු සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූයේ නැත. මීට වසර 10කට පෙර දින 40කට සෑහුණු ජල සංචිතය අද දින 20කට වැටී ඇත්තේ මේ සැලසුම්සහගත නොවන නාගරීකරණය නිසාය.
රජයේ ප්‍රමුඛතාව කොහේද?
වත්මන් රජයේ එකම අරමුණ වී ඇත්තේ පක්ෂ අරමුදල, විදේශ සංචිත සහ භාණ්ඩාගාරය පිරවීම පමණි. ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අනාගතය දෙස බලා කරන කිසිදු නව මහා පරිමාණ ව්‍යාපෘතියක් ඔවුන් ගෙන ආවේ නැත. වැස්ස ලැබෙන තුරු උඩ බලාගෙන සිටීම පාලන තන්ත්‍රයේ උපායමාර්ගය වී ඇත. මේ ප්‍රශ්නයට පසුගිය රජයන්ද වගකිව යුතු වුවත් ඒවා නිවැරදි කිරීමට යයි කියා බලයට පැමිණි මොවුන් ඊට අන්තය.
විසඳුම කුමක්ද? මුහුදු ජලය පානයට ගැනීම (Desalination)
අපේ රට වටේම මුහුද ඇත. මැදපෙරදිග රටවල් සහ සිංගප්පූරුව වැනි රටවල් අද ජල සුරක්ෂිතතාව තහවුරු කරගෙන ඇත්තේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණයෙනි.
බලාගාරවලින් වැඩක් ගමු
කැලණිතිස්ස සහ සපුගස්කන්ද වැනි තාප විදුලි බලාගාරවලින් පරිසරයට මුදාහරින අපතේ යන තාපය භාවිත කර අඩු පිරිවැයකින් මුහුදු ජලය පිරිපහදු කළ හැකිය.
ගංගා මත යැපීම අවම කිරීම
නියඟ කාලයට කැලණි ගඟේ ජලයට ලුණු මිශ්‍ර වනවිට, අපට තිබෙන එකම විකල්පය වන්නේ මුහුදු ජලය පිරිපහදු කිරීමය. කොළඹ නගරය තවදුරටත් ගංගා ජලය මතම යැපීම අනතුරුදායකය.
අඛණ්ඩ සැපයුම
වැස්ස නැතත්, කෙතරම් කාලයක් නියඟය තිබුණත් මුහුද කවදාවත් හිස් වන්නේ නැත. මෙය බස්නාහිර පළාතේ අධික ජනගහනයේ ජල සුරක්ෂිතතාව වෙනුවෙන් ගත හැකි හොඳම රක්ෂණයකි.
කොළඹ ජනගහනයෙන් අඩකට මුහුදු වතුර පිරිපහදු කර දීමට ඩොලර් මිලියන 130ක පමණ මූලික ආයෝජනයක් අවශ්‍ය වේ. මේ වනවිට අප සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7000කි. දින 20කින් ජලය අවසන් වීමේ අවදානමක් පවතින නගරයකට මෙය වියදමකට වඩා අනාගතය වෙනුවෙන් කරන අත්‍යාවශ්‍ය රක්ෂණයකි.
වගකිව යුතු රජයක් කළ යුත්තේ ‘සල්ලි නැහැ’ කියමින් සිටීම නොව, ජනතාවගේ අනාගත අවශ්‍යතාවන් හඳුනාගෙන අවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කිරීමය. සල්ලි නැත්නම් කළ යුත්තේ PPP වැනි ක්‍රමවේද හරහා පුද්ගලික අංශය සහභාගී කර ගනිමින් ආයෝජකයින් දිරිමත් කර ජනතාවගේ මූලික ජල අවශ්‍යතාව තහවුරු කිරීමය.
මෙම ව්‍යාපෘතිය අද පටන් ගත්තොත් තව වසර තුනකින් පමණ නිම කළ හැකිවනු ඇත. නමුත් අද මෙවන් ව්‍යාපෘතියක් පටන් ගත්තේ නැත්නම්, තව වසර තුනකින් පසු එන නියඟයකට සහ දිනපතා ඇතිවන ඉල්ලුමට මුහුණදීගත නොහැකිව විශාල විනාශයක් වීමට ඉඩ ඇත.
ප්‍රසංග අල්විස්










