යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.Sri Lanka Latest News
ඒ අනුව මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර යන අයට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.
එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට එරෙහිව පෙත්සම් විභාගයක් නොපැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් වෙත නොතිසි නිකුත් නොකිරීමට ද නියෝග කර ඇත.
මෙම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ කමණී රූපිකා ප්‍රියංගනී විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම ඉදිරිපත් කර තිබූ මියගිය තැනැත්තාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුක්තිය මෙහෙයුමේ නිරත වූ පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩිතැබීම සිදුකළ බවත් සිවිල් ඇඳුමින් සිටි මෙම නිලධාරීන්ට ආයුධ රැගෙන යාමට අවසර දුන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කර ඇත.
මෙම සිද්ධියට නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාත් වගකිවයුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට මේ කරුණු දක්වමින් මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.
එහෙත් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින බවත් සඳහන් කළේය.
මෙම අපරාධයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරියාට එරෙහිව ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කර ඇති බවත් අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් රජය නීතිඥවරයා පැවසීය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ලබාදුන්නේය.
පොලිස් වෙඩි පහරකින් සිය සැමියා මරණයට පත්වීම තුළින් පොලීසිය විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200ක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණාය.











