රනිල්ට රොෂාන්ගෙන් කෝල් එකක් ඇවිත්!
කැබිනට් එකේදී උණුසුම් වචන හුවමාරුවක්!
රොෂාන් අස් කරන්න යද්දී සිරිපාලයි-ලන්සයි රනිල්ට කියපු දේ?
සජිත් පාර්ලිමේන්තුවම එකතු කරයි!
ගහපු මැච් 9න් 7ක්ම කෑවේ කොහොමද?
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සිය ගමන අවසන් කළේ තරග 7ක් පරාජයට පත්වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කරමිනි. එංගලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරග දෙක පමණක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තාන යන කණ්ඩායම් හමුවේ දරුණු හා ලැජ්ජාසහගත පරාජයකට මුහුණ දුන්හ. මේ හේතුවෙන් තරගාවලියෙන් එළියට විසිවුණා පමණක් නොව ඊළඟ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තමන්ට හිමි තැන පවා අහිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.Sri Lanka Latest News
විරෝධය මැද ලේකම් ඉල්ලා අස්වීම එවයි!
මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයන්ට මුහුණ දෙද්දී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පමණක් නොව ක්‍රිකට් පාලක මණ්ඩලයට පවා එරෙහිව විරෝධයක් සමාජය ඇතුළෙන් නිර්මාණය වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩිව විවේචනය වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. බොහෝ දෙනා කියන්නට වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් වී නව කණ්ඩායමකට අවස්ථාව ලබාදිය යුතු යැයි කියාය. ඊට යම් රුකුලක් දෙමින්දෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමෙ ලිපිය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉකුත් සෙනසුරාදා දින යොමුකිරීමට පියවර ගත්තේය. ඒ වන විට සෞඛ්‍ය හේතූන් මත මොහාන් ඔස්ටේ්‍රලියාවට ගොස් සිටි අතර, ඒ බවද සිය ඉල්ලා අස්වීමේ ලිපියට ඇතුළත් කිරීමට ඔහු පියවර ගත්තේය.
බෝඩ් එකයි ඇමැති රොෂානුයි අතරත් ගැටුමක්!
මෙම සිදුවීම් දාමය අතරවාරයේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතරද කාලයක් තිස්සේ සීතල යුද්ධයක් තිරය පිටුපස දියත් වෙමින් තිබිණි. අවස්ථා කිහිපයකදීම මෙම ගැටුම එළියට පැමිණි අතර, ප්‍රසිද්ධියේ එය දැකගන්නට ලැබුණු එක් අවස්ථාවක් වූයේ අවසන් වරට පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20යි 20 තරගාවලියය. එහිදී මෙම තරගාවලියට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය නොමැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ඇමැති රොෂාන් රණසිංහ ඊට සහභාගි වීමෙන් පවා වැළකී සිටීමට පියවර ගත්තේය. නමුත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තරග නරඹීමට පැමිණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමුඛ ක්‍රිකට් බලධාරීන් සමග ඉතා සමීපව කටයුතු කළ ආකාරයක් ඒ අවස්ථාවේදී දැකගන්නට ලැබිණි.
රනිල්ට කෝල් එකක් දීලා කිව්වා!
මේ ආකාරයට ඇමැති රොෂාන් හා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සීතල යුද්ධය උග්‍ර අතට පෙරලුණේ මෙවර ලෝක කුසලානයේදී ලංකා කණ්ඩායමට අමිහිරි තරග පරාජයන්ට මුහුණ දීමට සිදුවීමත් සමගය. විශේෂයෙන්ම මාස දෙකක් ඇතුළත ඉන්දීය පිළ හමුවේ හමුවේ දෙවැනි වතාවටත් ලකුණු 55කට දැවී යෑමෙන් පසු මෙම ගැටුම ප්‍රසිද්ධියේ කරළියට එන ආකාරයක් දැකගන්නට ලැබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවට අතුරු පාලක මණ්ඩලයක් පත්කොට ෂම්මි සිල්වා ඇතුළු පාලක මණ්ඩලය ඉවත් කිරීමට ඇමැති රොෂාන් තීන්දු කිරීමත් සමගය. ඒ අනුව ඊට අදාළ වැඩකටයුතු ආරම්භ කළ රොෂාන් ඉකුත් සිකුරාදා දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්න්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා ඒ වනවිට සිටියේ සති අන්තයේ සිය නුවරඑළිය සංචාරයට සහභාගි වීම සඳහා සූදානම් වෙමිනි. මේ අයුරින් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කොට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට තමන් තීන්දු කර ඇති බව දැනුම් දීමත් සමග කලබලයට පත්වූ ජනාධිපතිවරයා ගත් කටටම එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
රනිල්ගෙන් පොල්ලක්! රොෂාන්ගෙන් ගේමක්!
‘නෑ නෑ… ඒක කරන්න එපා. ඕක කරන්න ගියොත් අයි.සී.සී. එකෙනුත් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්…’ යනුවෙන් කී ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය. ඒ අනුව ජනාධිපතිවරයා සිතා සිටියේ වැඩේ එතැනින් අවසන් වූවා යැයි කියාය. නමුත් රොෂාන් එය එතැනින් අවසන් කිරීමට කටයුතු කළේ නැත. ජනාධිපතිවරයා මෙවැනි පිළිතුරක් ලබාදෙනු ඇති බව කල්තියාම දැන සිටි රොෂාන් ජනාධිපතිවරයාගේ විරෝධය හමුවේ වුව මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යෑමේ දැඩි තීන්දුවක සිටියේය. ඒ අනුව පසුගිය සඳුදා දිනයේ ජනාධිපතිවරයාගේ විරෝධය මැද වුවද සිය තීන්දුව ක්‍රියාත්මක කරමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට රොෂාන් පියවර ගත්තේය.
දානකම් කවුරුවත් දන්නෙ නෑ!
මෙහිදී ඇමැති බලතල භාවිත කරමින් ඉතා රහසිගත ලෙස ඊට අදාළ ගැසට් නිවේදනය පවා සකස් කිරීමට රොෂාන් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. යම් හෙයකින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී ඊට නීතිපති උපදෙස් ලබාගැනීමට ගියහොත් එම තත්ත්වය ඉහළට ආරංචි වී වැඩේ ලත් තැනම ලොප් වනු ඇති බව දැනගෙන සිටි රොෂාන් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිවක් විමසීමට ගියේ නැත. අතිශය රහසිගත ලෙස සති අන්තයේ වෙනමම නීතිඥ මණ්ඩලයක් හා සිය නිලධාරීන් සමග එක්ව ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කළ රොෂාන් ඉරිදා දිනයේදී එය රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගත්තේය.
රනිල් ක්‍රීඩා ලේකම්ට එන්න කියයි!
කෙසේ වෙතත් වැඩේ පත්තු වුණේ සඳුදා දිනයේදී ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගය. මේ තත්ත්වය පිළිබඳ වටින් ගොඩින් තොරතුරු ලැබීමත් සමග ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම නවත්වන ලෙසට දැනුම් දීමට ජනාධිපතිවරයා රොෂාන්ට අවස්ථා ගණනාවකදී දුරකතන ඇමතුම් ලබාගත්තද ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වීමට රොෂාන් කටයුතු කළේ නැත. ඒ අනුව සඳුදා දින ජනාධිපතිවරයා මුලින්ම කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඒ පිළිබඳ තොරතුරු විමසා සිටීමට පියවර ගැනීමය. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාද ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ තමන්ද ඒ පිළිබඳ කිසිවක් නොදැන සිටි බවත්, ඇමැතිවරයා විසින් ඊට අදාළ කටයුතු සිදුකොට ඇති බවත්ය.
කතාබහ උණුසුම්!
ඒ අනුව ජනාධිපතිවරයා වහාම නීතිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කොට ගැසට් පත්‍රයේ නීතිමය තත්ත්වය විමසා සිටීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවට රොෂාන් සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාද එක්කර ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙහිදී අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මෙම හමුවේදීද මෙම පාර්ශ්වයන් අතර උණුසුම් වාදවිවාද මතුව ඇති බවකි. විශේෂයෙන් නීතිපතිවරයා සහ රොෂාන් අතර උණුසුම් කතාබහක් සිදුව ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පැවසිණි. ඒ කෙසේ වෙතත් මෙහිදී නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ අදාළ ගැසට් නිවේදනයේ බරපතළ ප්‍රශ්න ගණනාවක් පවතින බවකි. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ මතයක් හෝ අදහස් විමසා නොසිටීම නිසා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නීතිමය ගැටලු ගණනාවක් පවතින බව පෙන්වා දී ඇති නීතිපතිවරයාද මෙය අධිකරණය හමුවේ ඉතා පහසුවෙන් අභියෝගයට ලක් කළ හැකි බවද පිරිසට පෙන්වා දුන්නේය. ඊට අදාළ වගන්තිද එකින් එක පැහැදිලි කිරීමට මෙහිදී නීතිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ අනුව නීතිපතිවරයා නොකියා කියා සිටියේ මෙම ගැසට් නිවේදනයේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට ගත නොහැකි යැයි කියාය. නමුත් රොෂාන් එය පිළිගැනීමට සූදානම් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ඔක්කොම පුදුම කරමින් කැබිනට් එකට ආවා!
කෙසේ වෙතත් අර්බුදයේ ඊළඟ අදියර පටන්ගත්තේ සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. තමාගේ උපදෙස්වලට පිටින් ගොස් කටයුතු කිරීම නිසා කෝපයට පත්ව සිටි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැමිණියේ රොෂාන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ පසුබිම සකස් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව බොහෝ දෙනා සිතුවේ සඳුදා දින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට රොෂාන් සහභාගි නොවනු ඇතැයි කියාය. නමුත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් රොෂාන් කැබිනට් රැස්වීමට පැමිණ අසුන් ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා ආරම්භයේදීම අතුරු පාලක මණ්ඩලයේ සිදුවීමේ ගැසට් එක ඉවත් කරගන්නා ලෙස රොෂාන්ට දැනුම් දීමට පියවර ගත්තේය.
ලීගල් ප්‍රශ්න! ගැසට් එක දුර්වලයි!
‘රොෂාන් මම මේ ඔයාට කියන්නේ මේ ගැසට් එක ගහලා තියෙන්නේ අන්තිම දුර්වල විදියට. මේකෙ ලීගල් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයා මේක වහාම අයින් කරගන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියද ඉතා දැඩි ස්ථාවරයක සිටි රොෂාන් කියා සිටියේ තමන් මෙම ගැසට්ටුව ඉවත් කරගැනීමට සූදානම් නැතැයි කියාය.
‘ඔයා මේ කරපු වැඩෙන් ෂම්මිට මැරෙනකම්ම ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙලා ඉන්න පුළුවන් එක විතරයි වෙන්නේ…’ යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියද තම ස්ථාවරය වෙනස් කරගැනීමට රොෂාන් සූදානම් නොවීය. එහිදී නිමල් සිරිපාල ද රොෂාන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළද සෙසු අමාත්‍යවරුන් නිශ්ශබ්දව සිටින ආකාරයක් මෙහිදී දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වූයේ ජනාධිපතිවරයා හා රොෂාන් අතර පමණක් තවත් මුහුණට මුහුණ හමුවක් සංවිධාන වෙමිනි.
රනිල්-රොෂාන් හමුවත් උණුසුම්!
මෙම හමුවේදීද ජනාධිපතිවරයා හා රොෂාන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේ අතුරු පාලක මණ්ඩලය ඉවත් කරගන්නා ලෙසට ජනාධිපතිවරයා රොෂාන්ට දැනුම් දීමත් සමගය. එහිදී රොෂාන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට බරපතළ චෝදනා රැසක් ඉදිරිපත්ව ඇති බවත්, එම නිසා අතුරු පාලක කමිටුව පත්කිරීමට තමන් ගත් පියවර කෙසේවත් ඉවත් කර නොගන්නා බවත් රොෂාන් ජනාධිපතිවරයාට දැනුම් දී සිටීමට පියවර ගැනීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
අයින් කරගන්නේ නෑ! මාව අස්කරන්න!
‘ ජනාධිපතිතුමා කියන එක කරන්න මම සූදානම් නෑ. අතුරු පාලක කමිටුව මම අයින් කරගන්නේ නෑ. ඕනෙ නම් ඔබතුමා මාව ඇමැතිකමෙන් අයින් කරලා වෙන කෙනෙක් දාගන්න…’ යනුවෙන් කී රොෂාන් මෙම වැඩපිළිවෙළේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතාගේ හැසිරීම සම්බන්ධයෙන්ද බරපතළ චෝදනා රැසක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සාකච්ඡාවද අවසන් වූයේ ජනාධිපතිවරයා හා රොෂාන් අතර කිසිදු එකඟතාවකින් තොරවය. නමුත් මෙම සාකච්ඡාව අවසන් වීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න සොයා බැලීම සඳහා විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇතැයි කියාය. එහි සෙසු සාමාජිකයන් ලෙස කංචන විජේසේකර, විජයදාස රාජපක්ෂ හා මනුෂ නානායක්කාර පත්කොට ඇති බවද වැඩිදුරටත් කියැවිණි.
කමිටුවේ රොෂාන් නෑ!
නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් රොෂාන් රණසිංහට හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හෝ එම කමිටුවේ පුටුවක් වෙන්ව නොතිබීමය.
කෙසේ වෙතත් අඟහරුවාදා පෙරවරුවේම ජනාධිපතිවරයා අනාවැකි පළ කළ ලෙසටම ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් අභියාචනාධිකරණය හමුවට ගොස් රොෂාන්ගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූ රොෂාන්, පළමුව මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී බදාදා දිනයේ ක්‍රිකට් ආයතනය පිළිබඳවත්, අධිකරණ තීන්දුව පිළිබඳවත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කරන බව කියා සිටියේය.
ජනපතිගෙනුත් කතාවක්!
මේ අතර ජනාධිපතිවරයාද දැන් සතියක පමණ සිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙමින් තිබිණි. ඒ, ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳ සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තුවත්, රටත් දැනුවත් කිරීමටය. ඒ අනුව අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට පැමිණ කතාව කිරීමට ජනාධිපතිවරයා කලින් සැලසුම් කර තිබුණත් ක්‍රිකට් අර්බුදය හේතුවෙන් අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට පැමිණිම අතහැර දැමීමට ජනාධිපතිවරයාට සිදුව තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලසුම වූයේ බදාදා දිනයේදී පාර්ලිමේන්තුව හමුවේ සිය විශේෂ ප්‍රකාශය සිදුකිරීමටය. නමුත් බදාදා දින රොෂාන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් වන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් රොෂාන්ට පණිවුඩ පිට පණිවුඩ ලැබෙන ආකාරයක් දැකගත හැකි විය. එම සියලු පණිවුඩවලින් කියැවුණේ බදාදා දින සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශය සිදු නොකරන ලෙසය. නමුත් ඊට රොෂාන්ගෙන් ලැබී තිබුණේ ඉතා දැඩි පිළිතුරකි. ඒ තමන් ප්‍රකාශ කළ පරිදිම බදාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කරන බවත්, එහිදී ක්‍රිකට් ආයතනය සහ අධිකරණයේ තීන්දුව පිළිබඳවත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හැසිරීම පිළිබඳවත් බරපතළ හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකිරීමට සූදානම් වන බවකි.
සජිත්ටත් තොරතුරු එයි! උත්තර දෙන්න සූදානමින්!
අනෙක් අතට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් වන බවට වූ තොරතුර කල්තියාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද දැනගන්නට ලැබී තිබිණි. ඒ අනුව සජිත්ද කල් තියා සූදානම් වූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කරන කතාවට ඒ අවස්ථාවේදීම නැගී සිට පිළිතුරු ලබාදීමටය. විශේෂයෙන්ම ආර්ථිකයේ දැන් මතුව ඇති අර්බුදය පිළිබඳ පමණක් නොව, නව පොලිස්පතිවරයකු පත් නොකොට ව්‍යවස්ථාදායක සභාවට චෝදනා එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඊටද ලබාදිය යුතු පිළිතුරු පිළිබඳ සජිත් කල්තියාම සූදානම් වීමට පියවර ගෙන තිබිණි. නමුත් බදාදා දිනයේ රොෂාන්ගේ විශේෂ ප්‍රකාශය හේතුවෙන් රටේම අවධානය ඒ දෙසට යොමුවීම වැළැක්විය නොහැකි නිසා ජනාධිපතිවරයා සිය සැලසුම වෙනස් කරමින් තම ප්‍රකාශය සිදුකිරීම දින කිහිපයකින් කල් දැවීමට පියවර ගත්තේය.
ජනපති පාර්ලිමේන්තු කාමරයේ සිට රොෂාන්ගේ කතාව බලයි!
ඒ අනුව ජනාධිපතිවරයාද බදාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට පැමිණියේ එදින රොෂෘන් කරන්නට කියන්නට යන්නේ කුමක්දැයි දැකබලා ගන්නටය. පාර්ලිමේන්තුවට පැමිණියද සභාවට නොපැමිණි ජනාධිපතිවරයා කළේ පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයට වී රූපවාහිනියෙන් සජීවීව සභාවේ කටයුතු බලා සිටීමය. ඒ අතරවාරයේ විවිධ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් කැඳවා යම් යම් උපදෙස් ලබාදීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
රනිල්ටත්-සාගලටත් ප්‍රහාර!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා නොසිතූ ආකාරයට රොෂාන් සිය කතාවේදී ක්‍රිකට් ආයතනය පිළිබඳ බරපතළ හෙළිදරව් කිරීම් රැසක් සිදුකළේය. එමෙන්ම අතුරුපාලක මණ්ඩලය පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ක්‍රියාකලාපය පමණක් නොව අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය පිළිබඳවද දැඩි විවේචනයක් රොෂාන් විසින් සභාවට ඉදිරිපත් කළේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම කටයුත්තේදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන්ද රොෂාන්ට ලොකු සහයෝගයක් ලැබීමය.
සජිත් බැට්න් එක අතට ගනී!
අනෙක් අතට රොෂාන් විසින් කළ බරපතළ හෙළිදරව් කිරීමත් සමග එතැනින් එහාට සටන පටන් ගත්තේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් සජිත් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනය පිළිබඳ බරපතළ කරුණු රැසක් අනාවරණ කර තිබීම නිසා පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙමින් යෝජනාවක් සම්මත කිරීමට පියවර ගත යුතු යැයි කියාය. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ ඒ පිළිබඳ විවාදයක් අවශ්‍ය බවත්, 225 දෙනාම එකතු වී අත් උස්සා ඡන්දය ප්‍රකාශ කොට ඒකමතිකව එම යෝජනාව සම්මත කළ යුතු බවත් සජිත් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
විවාදයක්-ඡන්ද විමසීමක් ඉල්ලයි!
නමුත් ඒ අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා දැනුම් දී සිටියේ එය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු යැයි කියාය. එවිට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගී සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනකු නැගිට එම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටින බව දැනුම් දීමට කටයුතු කළේය. එහිදී නැගී සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවශ්‍ය නම් කල්තැබීමේ විවාදයක් ලබාදිය හැකි බව දැනුම් දී සිටියද සජිත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දිනක විවාදයක් අවශ්‍ය බවත්, විවාදය අවසානයේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙමින් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවත්ය.
එළියන් පණිවඩු පිට පණිවුඩ එයි!
මේ ආකාරයට රොෂාන්ගේ කතාවෙන් පසු එහි හයිය අතට ගෙන විපක්ෂ නායකවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව ආණ්ඩුවයි, විපක්ෂයයි දෙකම එකතු කිරීමට ගන්නා උත්සාහය ඒ වන විට සිය නිල කාමරයේ සිටිමින් සභාවේ කටයුතු රූපවාහිනියෙන් නරඹමින් සිටි ජනාධිපතිවරයාටද දැකගන්නට ලැබිණි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ට මෙන්ම පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවලටත් දිගින් දිගටම ලැබුණු පණිවුඩවලින් කියැවුණේ වහාම පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කල්තැබීමට හෝ අත්හිටුවීමට පියවර ගන්නා ලෙසය. විශේෂයෙන්ම මෙම විවාදය දෙස රටම බලා සිටින බැවින් දිවා ආහාරය සඳහා සභාව කල් නොතියා දිගටම ගෙනයන ලෙසට සජිත් ඇතුළු විපක්ෂය යෝජනා කරද්දී ඊට ඉඩ නොතබා දිවා ආහාරය ගැනීමට පාර්ලිමේන්තුව කල් තබන ලෙසටද මෙසේ පැමිණි පණිවුඩවලින් කියැවිණි. නමුත් ඒ සියලු පණිවුඩ පසෙක තිබියදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂද තීන්දු කළේ දිවා විවේකයට පාර්ලිමේන්තුව කල් නොතියා සජිත්ගේ ඉල්ලීමට ඉඩ දෙමින් පාර්ලිමේන්තු රැස්වීම දිගටම පැවැත්වීමටය.
මැතිඇමැතිවරුන්ට ගම්වලින් ආපු කෝල්ස්!
මේ වනවිට තත්ත්වය ඉතා උණුසුම් වී තිබුණු බැවින් ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාම රූපවාහිනියෙන් සභාවේ කටයුතු නරඹමින් සිටියේ හරියට ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින තරගයක් දෙස බලා සිටිනවා හා සමානවය. ඒ අතරවාරයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පණිවුඩ එවීම සඳහා යොදාගත්තේ වෙන කවුරුවත් නොව කලක් රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයකුව සිටි නිමල් ලන්සාය. ඒ අනුව ලන්සා විටින් විට ජනාධිපතිවරයාගේ පණිවුඩ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ට රැගෙන යෑමට කටයුතු කළද විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ගේ යෝජනාවන්ට එකඟ වෙනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධානීන්ට නොවීය. ඊටද බලපෑ ප්‍රධාන හේතුවක් තිබිණි. ඒ, ගම්වලින් පැමිණි මැති ඇමැතිවරුන් හට ඒ වන විටත් ගම්වල පාක්ෂිකයන්ගෙන් දුරකතන ඇමතුම් රැසක් ලැබී තිබීමය. එම ඇමතුම්වලින් පාක්ෂිකයන් දැනුම් දී තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ගම්වල ජනාතවගේ දැඩි විරෝධයක් පවතින බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට වාසි වන ආකාරයේ තීන්දුවක් හෝ ප්‍රකාශයක් සිදු නොකළ යුතු බවත්ය. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ පොහොට්ටු මැති ඇමැතිවරුන් රැසක්ම පවා සිටියේ ආණ්ඩුවේ ප්‍රධානීන් කුමන තීන්දුවක් ගත්තද විපක්ෂයේ ස්ථාවරයේ සිටිමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව කටයුතු කිරීමටය.
අජිත් යෝජනාවට ඉඩ දෙයි!
මෙහි ප්‍රතිපලයක් ලෙසින්දෝ පළමු අවස්ථාවේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා දිවා විවේකය නොමැතිව පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යායුතු බවට සජිත් කළ යෝජනාවට එකඟ වීමට පියවර ගත්තේය. දෙවැනුව ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කරගත යුතු බවට සජිත් කළ යෝජනාවට විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු විපක්ෂය එකට එකතුව අදහස් දක්වද්දී නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා පස්වරු 1.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවනවා යැයි කියාය.
අස්කරන්න තීන්දුව අරන් රනිල් පාර්ලිමේන්තුවට!
ඒ අතරතුර කිසිවකුත් නොදත් තවත් විශේෂ සිදුවීමක්ද ජනාධිපතිවරයා රැඳී සිටි පාර්ලිමේන්තුවේ නිල කාමරයේ සිදුවෙමින් පැවැතිණි. ඒ, රොෂාන් විසින් පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශය හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කිරීමට සූදානම් වීමය. මේ තත්ත්වය වාර්තා වීමත් සමග වහාම ජනාධිපතිවරයාගේ කාමරයට ගිය ඇමැති නිමල් සිරිපාලත්, නිමල් ලන්සාත් දිගින් දිගටම ජනාධිපතිවරයාට කියා සිටියේ මේ අවස්ථාවේ කිසිසේත්ම එවැනි තීන්දුවක් නොගන්නා ලෙසටය.
නිමල්ලා දෙන්නාම රනිල්ට එපා කියයි!
මේ වන විට රටම සිටින්නේ රොෂාන්ගේ ස්ථාවරයේ බව ජනාධිපතිවරයාට පෙන්වා දුන් නිමල් සිරිපාලත්, නිමල් ලන්සාත් ආණ්ඩුව පැත්තෙන් ලැබී තිබුණු තවත් බරපතළ පණිවුඩයක්ද ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගත්හ. ඒ, යම් හෙයකින් මෙම අර්බුදය මුල්කරගෙන ඇමැති තනතුරෙන් රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළුව තවත් ඇමැතිවරයෙක්ද, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇමැති තනතුරුවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවය. එසේ වුවහොත් එය මේ මොහොතේ ආණ්ඩුවට විශාල අවාසියක් ඇතිවීමට හේතු වනු ඇති බවද සිරිපාලත්, ලන්සාත් ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව ජනාධිපතිවරයාද සිය තීන්දුව අවසන් මොහොතේ වෙනස් කිරීමට පියවර ගෙන තිබූ අතර, එසේ නොවුණා නම් බදාදා දිනයේ ආණ්ඩුව ඇතුළේ විශාල පිපිරීමක් සිදුවන ආකාරය සියලු දෙනාටම දැකගැනීමට ඉඩ තිබිණි. එමෙන්ම එසේ වූවා නම් රොෂාන් සමග තවත් කීදෙනෙක් එළියට බැසීමට සූදානමින් සිටියාද යන්න බලාගැනීමටද ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.
දෙපැත්තම එකඟයි!
මේ අතරවාරයේ හරියටම පස්වරු 1.30ට කතානායක සාකච්ඡා කාමරයේදී විශේෂ පක්ෂ නායක රැස්වීම ආරම්භ විය. මෙම පක්ෂ නායක රැස්වීමේදී ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වළක්වාලීමට ආණ්ඩු පක්ෂයෙන් යම් උත්සාහයක් ගත්තද විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ සිය ස්ථාවරය වෙනස් කිරීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය. කෙසේ වුවත් යෝජනාවේ අධිකරණය සම්බන්ධ කොටසක් ඇතුළත්ව තිබුණු බැවින් එය ඉවත් කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දැඩිව කරුණු ඉදිරිපත් කෙරිණි. මෙම යෝජනාව කෙසේ හෝ පාර්ලිමේන්තුව ඇතුළේ විවාද කළ යුතු වීම හේතුවෙන් අවසානයේදී අධිකරණ කොටස ඉවත් කර යෝජනාව ඉදිරිපත් කිරීමට සජිත් ඇතුළු විපක්ෂ නියෝජිතයෝ එකඟතාව පළ කළහ.
අනතුරුව පැනනැගුණු ප්‍රශ්නය වූයේ විවාදය සිදුකරන දිනය පිළිබඳවය. විපක්ෂය පෙන්වා දුන්නේ මෙය ඉතා ඉක්මනින් සාකච්ඡාවට ගත යුතු වන කරුණක් වන නිසා ස්ථාවර නියෝග අත්හිටුවා හෝ බ්‍රහස්පතින්දා දිනයේදීම විවාදයට ගත යුතු යැයි කියාය. ඊට ආණ්ඩු පක්ෂයේ එකඟතාවද හිමිවිය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ විපක්ෂ නායක සජිත් විසින් යෝජනාව ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් යෝජනාව ස්ථිර කරනු ලැබීමටත්ය. මෙම තත්ත්වය වාර්තා වීමත් සමග පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සැලසුම් කර පැමිණි ජනාධිපතිවරයා පස්වරු 1.45ට පමණ පාර්ලිමේන්තුවෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
විවාදයට පොහොට්ටුවේ කීපදෙනෙක්ම නෑ!
මේ අතර බදාදා පස්වරුව වනවිට මේ විවාදයට අදාළව තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවෙමින් පැවැතිණි. ඉන් එකක් වූයේ විවාදය පැවැත්වෙන බ්‍රහස්පතින්දා දිනයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සහභාගි නොවී සිටීමට තීන්දු කොට තිබීමය. එම පිරිස අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් කිහිප දෙනකුම සිටීමද විශේෂ සිදුවීමක් විය.
බෝඩ් එකත් සූදානම වෙයි! උඩින් ආපු පණිවුඩය මෙන්න!
එමෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවන දර්ශන මැච් එක්ක බලන පරිද්දෙන් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටි තවත් විශේෂ කණ්ඩායමක්ද වූහ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ය. ඒ අනුව ඔවුන්ද බදාදා පස්වරුවේදී රැස්වී දිගින් දිගටම එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. මෙම සාකච්ඡා සඳහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට අමතරව සුප්‍රසිද්ධ නීතිඥ කණ්ඩායමක්ද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුරදී ඉහළම තැනකින් මෙම පිරිසට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු කතාවේදී අධිකරණයට සහ අධිකරණයේ විනිසුරුවරුන්ගේ නම්ගම් කියමින් චෝදනා එල්ල කළ බවත්, ඒ හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රොෂාන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසත්ය. ඒ සඳහා අතීත උදාහරණයක්ද මෙම ඉහළම තැනින් පිරිසට ලැබුණු පණිවුඩයේ සඳහන්ව තිබිණි. එනම් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා එක් අවස්ථාවක අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ බවත්, පසු අවස්ථාවක ඒ පිළිබඳ පැවැත්වුණු නඩු විභාගයකදී විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා ජෙයරාජ් විසින් අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දුව ප්‍රකාශ කළ බවත්ය. ස්ථාවර නියෝග අත්හිටුවීමකින් තොරව එසේ කළ නොහැකි බවට එහිදී තීන්දු කොට තිබුණු බවද මෙම පණිවුඩයෙන් වැඩිදුරටත් කියවිණි.
අවධානය වෙනතකට!
ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරියේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රොෂාන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඊට විශාල ප්‍රසිද්ධියක් ලබාදී මෙම ක්‍රිකට් අර්බුදයේ අවධානය වෙනතකට යොමුකිරීමට කිසියම් පිරිසක් සැලසුම් කරමින් සිටින බවය.
චිත්‍රසිරි වාර්තාව ආවේ ඇයි?
අනෙක් අතට රොෂාන් විසින් මෙම ක්‍රිකට් අර්බූදය කරළියට ගෙන ඒමත් සමග ජනාධිපතිවරයාද දැඩි කලබලයට පත්ව සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ, රොෂාන් විසින් ජනාධිපතිවරයාටත්, කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන්ටත් බරපතළ චෝදනා කිහිපයක්ම එල්ල කර තිබීම නිසාය. ඒ අනුව රොෂාන් විසින් පත්කරනු ලැබූ අතුරු පාලක කමිටුව වෙනුවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. එම වාර්තාව බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද බදාදා සවස ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබිණි. බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය හඳුන්වා දී තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් වන කතාබහ ඇල්මැරුණු තත්ත්වයකට පත්කොට අවධානය වෙන අතකට යොමුකිරීම සඳහා කළ වැඩක් ලෙසය.
හිටපු ක්‍රීඩා ඇමැතිවරුත් බෝඩ් එක පැත්තට!
මේ අතර බදාදා දිනයේදී පාර්ලිමේන්තු ලොබියේදී තවත් සිදුවීමක් සිදුවිය. ඒ, විපක්ෂයේ සිටින හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් දෙදෙනකු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වටකරගෙන රොෂාන්ගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් යම් යම් විවේචන සිදුකිරීමට පියවර ගැනීමය.
‘මේ විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයට ගහලා හදිසියේ හරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවේ ක්‍රිකට් තහනම් කළොත් කවුද වගකීම භාරගන්නේ…?’ යන්න මෙහිදී හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් දෙදෙනා විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියා සිටි කතාව විය. මේ හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් දෙදෙනාගේ මෙම කතාවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට එකක් හොඳ හැටි පැහැදිලි විය. ඒ, ඔවුන් දෙදෙනාද ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ද කරමින් කතා කරන බවය. එමෙන්ම තවත් හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් ඇති විය. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ න නාමල් මේ වන විට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ විවාදයට හෝ ඡන්ද විමසීමට නාමල් සහභාගි නොවන බවත්ය.
ඡන්දයක් තිබ්බේ නෑ!
මේ අතර ක්‍රිකට් විවාදයේ හොඳම සිදුවීම දැකගන්නට ලැබුණේ බ්‍රහස්පතින්දා දින ඡන්දය විමසන අවස්ථාවේදීය. මෙහිදී සජිත් පැහැදිලිවම දැනුම් දී සිටියේ නමින් ඡන්ද විමසීම අවශ්‍ය බවකි. ඊට හේතු වූයේ රොෂාන් සිය කතාවේදී පාර්ලිමේන්තුවට කළ අනාවරණයකි. රොෂාන් එහිදී කියා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ ක්‍රිකට් ආයතනයෙන් යැපෙන බවට චෝදනා එල්ලවී ඇති බවකි. එම නිසා සජිත්ට අවශ්‍යව තිබුණේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගේ නමින් ඡන්ද විමසීමක් කොට ක්‍රිකට් ආයතනයෙන් යැපෙන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රටට පෙන්වා දීමටය.
චාමර සම්පත් නැගිටී!
නමුත් සජිත් ඇතුළු විපක්ෂය විවාදය අවසානයේදී බෙදීමක් ඉල්ලා සිටියද පෙර සැලසුමකට අනුව මෙන් වහාම නැගී සිටි චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යවරයා යෝජනාවට ආණ්ඩුවද පක්ෂ බව සඳහන් කරමින් එය ඒකමතිකව සම්මත වූ බව සඳහන් කර සිටියේය. නමුත් ඊට විපක්ෂය දිගින් දිගටම විරෝධය පළකරමින් ඡන්දයක් ඉල්ලා සිටියද කතානායකවරයාද අවසානයේ කියා සිටියේ දෙපැත්තම යෝජනාවට පක්ෂ බැවින් එය ඒකමතිකව සම්මත වූවා යැයි කියාය. ඒ අනුව පාර්ලිමේන්තුව අවසන් කිරීම හේතුවෙන් බරපතළ චෝදනා එල්ලවී ඇති ක්‍රිකට් ආයතනයෙන් යැපෙන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රටට හෙළිදරව් කිරීමට තිබූ අවස්ථාව වැළකී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
මූල්‍ය අරමුදලෙන් අලුත් යෝජනා 3ක්!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 1.9ක ණය මුදලෙහි දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්ව නොමැත. මූල්‍ය අරමුදල ඊට හේතු දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව නිසි පිරිදි කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් දෙවැනි ණය වාරිකය පමා කිරීමට කටයුතු කරන බවකි. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම මෙම තීරය ඔස්සේ අප අවස්ථා ගණනාවකදීම තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
චීන ගිවිසුම දෙන්නේ නෑ!
කෙසේ වෙතත් මෙවර අප අනාවරණ කරන්නේ මූල්‍ය අරමුදලේ ලොකුම කොන්දේසිය වන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මේ වන විට මතුව ඇති අලුත්ම අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය. ඉකුත් වතාවකදී අප මේ තීරය ඔස්සේ වාර්තා කර සිටියේ පැරිස් සමාජය මෙන්ම ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය වැනි ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකා ආණ්ඩුව චීන එක්සිම් බැංකුව සමග ඇතිකරගත් ගිවිසුම අනාවරණ කළ යුතු බවටය. නමුත් තවමත් ආණ්ඩුව එම ගිවිසුම හෙළිකිරීමට කටයුතු කොට නොමැත්තේ අදාළ ගිවිසුමේ ඇති එක්තරා විශේෂ වගන්තියක් මුල්කරගෙනය. එම වගන්තියෙන් කියවී තිබුණේ කිසිදු පාර්ශ්වයකට අදාළ ගිවිසුමේ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවකි. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට ඇත්තේ මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීය.
අලුත් යෝජනා මෙන්න!
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුකරණය මුල්කරගෙන විශේෂ වාර්තාවක් පසුගිය කාලයේ ආණ්ඩුව වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. එම වාර්තාව හරහා විශේෂ යෝජනා 3ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට තිබූ අතර, වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද එම වාර්තාවෙන් දක්වා තිබිණි.
ඉන් පළමුවැනි යෝජනාව වී තිබුණේ ජනාධිපති, මැති ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවේ නිලධාරීන්ද වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතු බවය. දෙවැනි යෝජනාව වී තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් ආයතනයක් බවට පත්කිරීමය. මේ යෝජනා දෙකම ඉටුකළ හැකි මට්ටමේ යෝජනා වුවත් තුන්වැනි යෝජනාව තරමක් බරපතළ එකක් වී තිබිණි. එම තුන්වැනි යෝජනාවෙන් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඉහළ නිලධාරීන් පත්කිරීම එම ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු කරන බැවින් එම පත්කිරීම් නැවත සමාලෝචනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවත්ය.
එකකට කැමැතියි!
මූල්‍ය අරමුදල මෙම යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් කතා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කොට තිබුණේ මෙම යෝජනා ඉටුකළහොත් පමණක් දැනට අස්සන් කොට ඇති දෙවැනි වාරිකය ලබාදීමේ කාර්ය මණ්ඩල ගිවිසුම විධායක සභාවට ඉදිරිපත් කොට සම්මත කළ හැකි බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් දැනට කොළ එළියක් පත්තු වී ඇත්තේ තුන්වැනි යෝජනාව වූ ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් තවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමේ යෝජනාවට පමණි. අනෙක් යෝජනා දෙකටම තවමත් ආණ්ඩුව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවක් දැනගන්නට ඇත.
සල්ලි ලැබෙන එකක් නැද්ද?
ඒ අනුව මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය ලබාදීමේ කටයුතුද මේ වන විට ඇත්තේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකය. නියමිත කාල රාමුව අනුව කටයුතු කළේ නම් මේ වන විට ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලෙන් තුන්වැනි වාරිකයද ලබාගැනීමේ වටපිටාවකය. නමුත් කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් සහ තවත් අලුත් කොන්දේසි ඉදිරිපත් වීම හේතුවෙන් මේ වන විට ආණ්ඩුව පත්ව ඇත්තේ මූල්‍ය අරමුදලෙන් දෙවැනි වාරිකයද නොලැබෙන වටපිටාවකය.
සජිත් සූදානම්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ සූදානමින් සිටියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටය. ඒ, පවතින ආර්ථික අර්බුදය, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු විශේෂ කාර්ණා කිහිපයක් මුල්කරගෙනය. කෙසේ වෙතත් ඉකුත් සතියේ ක්‍රිකට් අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තුව ගිනියම් වී තිබීම හේතුවෙන් රනිල් සිය කතාව ඉදිරිපත් කිරීම දින කිහිපයකින් කල්දැමීමට පියවර ගත්තේය.
එළියෙ ඉන්න කෙනා කව්ද?
කෙසේ වෙතත් මේ ආකාරයට ජනාධිපතිවරයා විශේෂ කතාවක් කිරීමට සූදානමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ සම්බන්ධ පැවැති සාකච්ඡාවලදී බොහෝ දෙනා අවධාරණය කොට තිබුණේ ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිට දමා මැතිවරණ කල්දැමීම සඳහා වූ කූට උපායක් ක්‍රියාත්මක කිරීමට බවය. ඒ අනුව සජිත්ද පසුගිය සතියේ සූදානමින් සිටියේ යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම කතාව සිදුකළහොත් ඊට ඒ මොහොතේම දැඩිව පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වීමටය.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ඡන්ද කල්දැමීමේ උත්සාහය පසුපස සිටින විවිධ පුද්ගල චරිත සහ සංවිධාන පිළිබඳවද සජිත්ට තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. ඒ අනුව සජිත් සිටියේ රනිල් එම කතාව කළේ නම් ඡන්ද කල්දැමීම පසුපස සිටින මෙම පුද්ගලයන් මෙන්ම සංවිධාන පිළිබඳවද පාර්ලිමේන්තුවේ විශේෂ හෙළිදරව්වක් කිරීමටය.