රනිල්ගේ ඊළග ටුවර් එක ඔස්ට්‍රේලියාවට!
දිනේෂ්-කරු ගැටුමක්!
චන්ද්‍රකාගෙන් මෛත්‍රීට යෝජනාවක්!
බොරු මතවිමසුම් එළියට!
මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රතිපල මුල් කරගනිමින් විවිධ මත විමසුම් කරළියට ආ ආකාරය පසුගිය සති කිහිපයේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අනාවරණ කළෙමු. විවිධ ආයතන, විවිධ සංවිධාන, විවිධ පුද්ගලයන්, විවිධ අරමුණු, ඉලක්ක මුල්කරගෙන මෙම මත විමසුම් තම තමන්ට හිතෙන ආකාරයට සිදුකොට ප්‍රකාශයට පත්කර තිබූ බවද අපි එහි සඳහන් කළෙමු. ඉන් එක් මත විමසුමක් ලෙස අප පෙන්වා දුන්නේ ආචාර්ය රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකර තිබූ එක්තරා මත විමසුමකි. එම මත විමසුම හරහා අනාවරණ කර තිබූ ප්‍රතිඵල කෙතරම් ආන්දෝලනාත්මකද කියනවා නම් මෙරට සිටින තානාපති කාර්යාලවල නිලධාරීන් පවා එම ප්‍රතිපල පිළිගැනීමට කටයුතු කොට තිබිණි. මෙරට පිළිගත් මාධ්‍යවේදීන් යැයි කියන යම් යම් පුද්ගලයන් පවා තමන් විසින් ලියනු ලබන මාධ්‍ය විචාරවල මෙම මත විමසුමේ තිබූ තොරතුරු උපුටා දක්වමින් කරුණු දක්වා තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. රන්නන් එලියගේ මෙම මත විමසුම හරහා පෙන්වා දී තිබුණේ අනෙකුත් සියලු දේශපාලන පක්ෂ අභිභවමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වේගයෙන් ඉදිරියට ගොස් ඇති බවකි. ඉදිරි ජාතික මැතිවරණවලදී එම පක්ෂය 51% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එහිදී අවධාරණය කොට තිබිණි.
සාමාන්‍යයෙන් මැතිවරණයක් කට මුල තබා මේ ආකාරයේ ජනප්‍රිය මත විමසුම් කලඑළි බැසීම ලංකා දේශපාලනයේ අලුත් දෙයක් නොවේ. බොහෝ දුරට පවතින ආණ්ඩුවට වාසිසහගත ලෙස මේවායේ ප්‍රතිඵල නිකුත් වීම සාමාන්‍ය සම්ප්‍රදායය. මෙය පළමුවෙන්ම ආරම්භ කෙරුණේ 1994 පැවැති එජාප ආණ්ඩු සමයේදීය. එවක වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් චරිත රත්වත්තේ මහතාට අයත් ආයතනයක් මගින් මත විමසුමක් කර තිබූ අතර, එහිදී ඔහු සඳහන් කොට තිබුණේ ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවය. ආණ්ඩුව විසින් එජාපය ඇතුළේ ගෙන ගොස් තිබුණේද මෙම මතයය. එම මත විමසුම රනිල්ට ලබාදීමෙන් අනතුරුව ඔහුගේ පවුලට සම්බන්ධ මාධ්‍ය ආයතනයේ පුවත්පතක මෙම මත විමසුමේ ප්‍රතිඵල පළකිරීමටද එවකදී පියවර ගෙන තිබිණි. එහිදී අදාළ පුවත්පත සඳහන් කොට තිබුණේ එළඹෙන මහ මැතිවරණයෙන් එජාපය ඉදිරියෙන්ම සිටින බවකි. මේ ආකාරයේ කවුරුත් නොදන්නා මත විමසුමක නිල නොවන ප්‍රතිඵලයක් ප්‍රධාන පුවත්පතක පළකොට අයුතු සහගත වාසියක් ලබාගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මහා සංවාදයක්ද ගොඩනැගිණ. එහිදී විපක්ෂයේ බොහෝ දෙනා කියා සිටියේ මෙය මැතිවරණ ප්‍රතිඵලයට එල්ල කරන අයුතු බලපෑමක් යැයි කියාය.
කව්ද මේ රන්නන් එලිය
කෙසේ වෙතත් චරිත රත්වත්තේගේ මේ මත විමසුමේ ප්‍රතිඵලය වැඩකළේ නැත. 1994 මහ මැතිවරණය එජාපය පරදා ජයග්‍රහණය කළේ චන්ද්‍රිකාගේ පොදු පෙරමුණය. එම ප්‍රතිඵලයෙන් පසු චරිත රත්වත්තේගේ ආයතනය කවදාවත් දේශපාලන මත විමසුම් කරන්නට ගියේ නැත. මේ නිසාම අපද මේ හදිසියෙන්ම මෙන් අහසින් කඩාවැටී ලංකාවේ මත විමසුම් කරන රන්නන් එලිය ගැන සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට අනාවරණ කරගැනීමට හැකි වූයේ මේ රන්නන් එලිය යනු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ දැනීමක් ඇති අයකුට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනීමක් ඇති අයකු බවය. එසේම හෙතෙම නීලන් තිරුචෙල්වම් ආයතනයට සම්බන්ධව කටයුතු කරන්නකු ලෙසද දැනගත හැකි විය. ජවිපෙ ඉදිරියට ගෙන රනිල් සහ සජබය ඊට පසුපසින් තබා රනිල් සහ සජිත් එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකිරීමේ අරමුණෙන් මෙම හදිසි මත විමසුම සිදුකොට ඇති බවද අපට දැනගන්නට ලැබිණි. ඒ අනුව, අප මෙම රන්නන් එලිය නමැත්තා පිළිබඳ සියලු තොරතුරු පසුගිය කලාපයක පළකිරීමටද පියවර ගත්තෙමු.
රන්නන් එලිය කලබල වෙයි
අප කළ මෙම අනාවරණයත් සමග රන්නන් එලියගේ කොන්ත්‍රාත්තුව හෙළිදරව් වීම හේතුකොට ගෙන ඔහුද කලබලයට පත්වූ බවක් අපට වාර්තා වියි. ඒ අනුව තවත් එක් මත විමසුමක් හදිසියේම වාගේ පළකරමින් එහිද අනුර කුමාර දිසානායක 51%ක් ලබාගන්නා බව රටට කී රන්නන් එලිය ඉන් අනතුරුව සිය මත විමසුම් කඩේ වසාදැමීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් අප කළ හෙළිදරව්වෙන් පසු බොහෝ දෙනකු රන්නන් එලිය පිළිබඳ තොරතුරු සොයා බැලීමට උනන්දු වී තිබුණු අතර, මේ නිසාම රන්නන් එලිය ‘මව්රට’ පුවත්පත් කාර්යාලයේ පොදු දුරකතන අංකයට කතාකොට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන කර්තෘවරයා සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලීමක්ද කළේය. අප එහිදී ඔහුට දැනුම්දී සිටියේ අදාළ මත විමසුම අසත්‍ය එකක් මෙන්ම එක්තරා දේශපාලන වැඩපිළිවෙළක පිලිබිඹුවක් බැවින් ඔහු සමග සාකච්ඡා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියාය.
සජිතුත් බෑ කියයි
කෙසේ වෙතත් ඉන් අනතුරුව රන්නන් එලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලයටද ගොස් තිබිණි. නමුත් රන්නන් එලිය සමග සාකච්ඡා කිරීමට සජිත්ද කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව රන්නන් එලිය හමුවීම ප්‍රතික්ෂේප කළ සජිත් ඔහුට දැනුම් දී තිබුණේ අවශ්‍ය නම් විපක්ෂ නායක කාර්යාලයේ වෙනත් කාමරයක සුජීව සේනසිංහ මහතා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කරන ලෙසත්ය. ඒ අනුව සුජීව හමුවී රන්නන් එලිය විශාල දේශපාලන විග්‍රහයක් කිරීමට කටයුතු කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ජවිපෙ ඉදිරියට පැමිණිය හැකි බවද රන්නන් එලිය සුජීවට ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ. නමුත් සුජීව වැඩිය ගණනකට නොගෙන රන්නන් එලියගේ එම කතාව වම් කනෙන් අසා දකුණු කනෙන් පිටකළ බවක්ද දැනගන්නට ඇත. ඒ අනුව රන්නන් එලියගේ මත විමසුමේ ප්‍රතිපල තවත් කඩාවැටුණු ආකාරයක් මේ හරහා දැකගන්නට ලැබිණි.
තවත් මතවිමසුමක් එළියට
ඒ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ එක්තරා ප්‍රධාන පෙළේ පුවත්පතක් විසින් තවත් මත විමසුමක ප්‍රතිඵලයක් පළකිරීමට පියවර ගෙන තිබිණි. ‘රිසර්ච් ලංකා’ නමැති ආයතනයක් මගින් මෙම මත විමසුම සිදුකොට ඇති බවත්, එහිදී ලංකාවේ 46.5%ක ජනතාවක් අනුර කුමාර ලංකාවේ ජනාධිපති වනවාට කැමැති බව ප්‍රකාශ කොට ඇති බවත් එම පුවත්පතේ සඳහන් කොට තිබිණි. එමෙන්ම 79.5%ක් දෙනා මුලින්ම ජනාධිපතිවරණයක් ඉල්ලා සිටි බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන් කොට තිබිණි.
මෙම පුවත අදාළ පුවත්පත මගින් ප්‍රකාශයට පත්කිරීමත් සමග එය මුල්කරගෙන විශාල දේශපාලන ප්‍රචාරයක් දියත් කළ ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඊට එක්තරා දේශපාලන කණ්ඩායමක් සහ ඔවුන්ට සහාය දක්වන වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාල ඉහළ ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
පත්තරේ ගහපු බොරුව
අප මේ පුවත පිළිබඳ එතරම් සොයා බැලීමක් නොකළද මාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ජාලවල පළවන අසත්‍ය සහ නිර්මාණය කරන ලද පුවත් සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකරන ‘ෆැක්ට් ක්‍රෙසින්ඩෝ’ නමැති වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකොට තිබිණි. ඒ අනුව ඔවුන් අවධාරණය කොට තිබුණේ මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, අවම වශයෙන් මත විමසුම් සිදුකරන ‘රිසර්ච් ලංකා’ නමින් ආයතනයක්වත් ලංකාවේ නොමැති බවත්ය. කෙසේ වෙතත් ‘සර්වේ රිසර්ච් ලංකා‘ යනුවෙන් මත විමසුම් සිදුකරන ප්‍රකට ආයතනයක් පැවැතියද, එම ආයතනය මෙවැනි මත විමසුමක් සිදුකර නොමැති බවක් එහි ප්‍රධාන විධායක නිලධාරිනී මිහිරානි දිසානායක අදාළ වෙබ් අඩවියට ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව එම මත විමසුමද සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට සනාථ වී අවසන්ය.
මෙන්න ලින්ක් එක!
කුමන්ත්‍රණය මෙන්න
ඒ අනුව, මෙමගින් පෙනී යන්නේ එම සියලු මත විමසුම් එකකට එකක් සම්බන්ධ එක්තරා තැනකින් ක්‍රියාත්මක වන ප්‍රචාරයන් බවය. එසේත් නැතිනම් ජවිපෙ බලය ලබාගනු ඇති බවට කියමින් අනෙකුත් දේශපාලන පක්ෂ බියගන්වා රනිල් හා සජිත් එකතු කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් මෙහි පසුපස පවතින බවය.
පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් කරමින් අප කියා සිටියේ කිසියම් කණ්ඩායමක් ඇමෙරිකාවේ තානාපතිනි ජූලි චන්ග් සහ මහාචාර්ය ජී.එල්. පීරිස් සම්බන්ධ කරමින් මෙවැනිම ආකාරයේ පුවතක් පළකර තිබූ බවකි. එම පුවතෙන් කියවී තිබුණේ චන්ග් මහත්මිය ජී.එල්. මුණගැසී ජවිපෙ බලයට පත්වුවහොත් රට උතුරු කොරියාවක් වනු ඇති බවත්, ඊට හොඳම පිළිතුර රනිල් සහ සජිත් එකතු කිරීම බවත් ප්‍රකාශ කොට තිබූ බවකි. එමෙන්ම චන්ග් හිටපු ජනාධිපති මෛත්‍රීපාලවද මුණගැසී මේ කතාවම දැනුම්දී ඇති බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි. යටකී අසත්‍ය පුවත්වලට මෙන්ම මේ පුවතටද කිසියම් කණ්ඩායමක් විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ ආකාරය දැකගත හැකි විය.
බය කිරීමේ තියරිය
කෙසේ වෙතත් මේ පුවත ප්‍රචාරය වන විට ජී.එල්. සිටියේ විදේශගතවය. නමුත් ලංකාවට පැමිණි වහා පාර්ලිමේන්තුවේදීම ඊට ප්‍රතිචාර දැක්වූ ජී.එල්. කියා සිටියේ තමන් ඇමෙරිකානු තානාපතිවරිය මුණගැසුණු පුවත සත්‍ය නමුත් එහිදී ඇය මෙවැනි ප්‍රකාශයක් කිසිසේත්ම නොකළ බවකි. එමෙන්ම විපක්ෂ නායක සජිත්ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් සහ රනිල් අතර කිසිදු සන්ධානයක් ඇති නොවන බවත්, ඒ සඳහා කිසිවකුත් ඩීල් දැමීමට අවශ්‍ය නැති බවත්ය.
මේ සියලු සිදුවීම් බැලූ කල එකක් හොඳහැටි පැහැදිලිය. ඒ, මෙම සියලු ප්‍රවෘත්ති එකම තැනකින් ‘පැළකරන’ ඒවා බවය. ඒ සෑම පුවතකින්ම ජවිපෙ 50% ඉක්මවා ජයග්‍රහණය කරන බව කියවෙන බවය. නමුත් මෙම මත විමසුම් සත්‍ය නොවන අතාර්කික ඒවා බව ඕනෑම අයකුට වැටහෙන්නේ 3% සිටින ජවිපෙ එක්වරම 50% ඉක්මවා යන ප්‍රතිඵලයක් ලබාගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන නිසාය. සාමාන්‍යයෙන් ජවිපෙ 3% සිට ඊට වඩා යම් ඉහළ ප්‍රතිශතයක් මෙවර ලබාගනු ඇති බව සත්‍ය නමුත් එය 50% ඉක්මවා යනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක. ඒ අනුව මෙය සජිත් සහ සජබය බයකොට රනිල් ළඟට ගෙන යෑමේ දේශපාලන මෙහෙයුමක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මෙවර එය පැමිණ ඇත්තේ ‘මත විමසුමක’ මුහුණුවරකිනි. ඉදිරියේදී එය ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ’ මුහුණුවරින්, ‘ආර්ථික’ මුහුණුවරකින් මෙන්ම ජවිපෙ පෙන්වා අනෙකුත් සියලු දෙනා ‘බය කිරීමේ‘ මුහුණුවරින් පැමිණිය හැකි බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
තිතට කරන මතවිමසුම්
මේ ආකාරයට යම් යම් පුද්ගලයන් සහ යම් යම් ආයතන පිළිගත නොහැකි ආකාරයේ මත විමසුම් සිදුකළද විශ්වාසදායක ආකාරයට මත විමසුම් සිදුකරන ආයතනද ලංකාවේ නැත්තේ නොවේ. අප දන්නා තරමට සෑම මැතිවරණයක් ආසන්නයේදීම අංශ දෙකක් නිවැරැදි ප්‍රතිඵලයට ඉතාම ආසන්නයෙන් යන මත විමසුම් සිදුකිරීමට කරනු ලබයි. ඉන් එක් අංශයක් වන්නේ තානාපති අංශය. අනෙක් අංශය වන්නේ ආණ්ඩුවේ බුද්ධි අංශය. මේ අංශ දෙකම ඔවුන් සතු රට තුළ සිටින ජාලය මෙහෙයවා ඉතා නිවැරැදි ආකාරයෙන් සහ පිළිගත හැකි ආකාරයෙන් මත විමසුම් සිදුකරනු ලබයි. සාමාන්‍යයෙන් ඒ අංශ දෙක මගින්ම සිදුකරන මත විමසුම් ප්‍රසිද්ධියට පත්කරන්නේ නැත. තානාපති අංශ මගින් සිදුකරන මත විමසුම් ඔවුන්ගේ මවු රටට යවන අතර, බුද්ධි අංශ මගින් කරනු ලබන මත විමසුම් ලබාදෙන්නේ පවතින රජයටය. ඒ අනුව, මීට මාස දෙකකට කලින් එක්තරා තානාපති කාර්යාලයකින් ඉදිරි මැතිවරණ පිළිබඳ ලංකාවේ මත විමසුමක් සිදුකර තිබූ අතර, එහි ප්‍රතිපලය ‘රාජ්‍ය රහස්‘ තීරයටද දැකගන්නට ලැබිණ. එහිදී ලැබී තිබූ ප්‍රතිඵලය වූයේ සජබයට 33%ක් හිමිවන බවත්, ජවිපෙට 26%ක් හිමිවන බවත්, පොහොට්ටුවට 18%ක් හිමිවන බවත්ය. මෙහිදී ඔවුන් සජබයට 33%ක් හිමිවන බව දක්වා ඇත්තේ ඉදිරියේදී ඊට එක්වන වෙනත් පක්ෂ සහ පුද්ගලයන් සම්බන්ධ ප්‍රතිඵලය නොමැතිවය. ඒ අනුව ඉදිරියේදී සන්ධානය බිහිකිරීමෙන් අනතුරුව මෙම ඡන්ද ප්‍රතිශතය තවත් ඉහළ යා හැකි බව එම මත විමසුමෙහි සඳහන් කොට තිබේ. ඒ අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ අනෙකුත් ඒකපාර්ශ්වික සහ කොන්ත්‍රාත් මතවිමසුම්වලට වඩා මීට මාස දෙකකට කලින් මෙම තානාපති කාර්යාලය මගින් සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල වඩාත් නිවැරැදි යැයි කියාය.
තවත් යුද්ධයක්
මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකාව ලෝකයේම අවධානයට යොමුවූයේ 2009 වසරේදී කොටි සංවිධානය සමග කළ යුද්ධය අවසන් කිරීමත් සමගය. ඉන් පසු වසරක් පාසා එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට එරෙහිව යෝජනා සම්මත වූ අතර, වසරක් පාසා එහි පැවැත්වෙන ඡන්දවලටද මුහුණ දීමට ලංකාවට සිදුවිය. ඒ අනුව යුද්ධයෙන් පසු ලංකාවේ බලධාරීන්ට සිදුව තිබුණේ තවත් මානව හිමිකම් යුද්ධයකට ලෝකය සමග මුහුණ දීමටය. නමුත් කාලයත් සමග සහ ආර්ථික අර්බුදයත් සමග මෙම මානව හිමිකම් ප්‍රශ්න කෙමෙන් කෙමෙන් යටපත්ව ගිය ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ අනුව පසුගිය කාලයේදී ලංකාවට ජාත්‍යන්තරයෙන් මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්න එල්ල වූයේ නැති තරම්ය. නමුත් කරුමයකට වාගේ ආණ්ඩුව පසුගිය සතියේ සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත හෙවත් සමාජ මාධ්‍ය පාලනය කෙරෙන ඔන්ලයින් පනත හරහා බරපතළ මානව හිමිකම් ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබේ. කාටත් නොපෙනුණාට යුද්ධයෙන් පසුව පැවැති ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ මානව හිමිකම් ප්‍රශ්නය හා සමාන බරපතළ ගැටලුවකට මෙම පනත සම්මත වීමත් සමග වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවටද මුහුණ දීමට සිදුව තිබේ. ඊට හේතුව වන්නේ අදාළ පනත සම්මත කරගැනීමත් සමග ලොව ප්‍රබල රටවල් රැසක් මෙන්ම මානව හිමිකම් සංවිධාන රැසක්ද ඒ සම්බන්ධයෙන් දැනටමත් දැඩි ප්‍රතිචාර දක්වා තිබීමය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, ආසියානු අන්තර්ජාල සංවිධානය මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් එය බරපතළ ලෙස හෙළාදැකීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව, කැනඩාව සහ බි්‍රතාන්‍යයද ලංකා ආණ්ඩුව සම්මත කළ මෙම පනතට එරෙහිව නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව බොහෝ දෙනා සැක පළකරන්නේ ආණ්ඩුවට ඉදිරියේදී යුද්ධ කාලයේ මුහුණ දුන් ආකාරයටම මානව හිමිකම් යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.
ඩිජිටල් ආර්ථිකයත් ඉවරයි?
අනෙක් අතට ආසියානු අන්තර්ජාල සංවිධානය නිකුත් කර තිබූ නිවේදනයෙන් තවත් බරපතළ කරුණක් මතුකොට තිබිණි. ඒ, මේ හරහා ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බිඳවැටීමේ බරපතළ ගැටලුවක් ඇතිවිය හැකි බවත්, ඒ හරහා රටේ ආර්ථිකය නැවත වතාවක් බිඳවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවත්ය. එමෙන්ම අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා මොහොතේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව බිඳවැටී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. බොහෝ දෙනා සැක පළකරන්නේ මෙය ඉදිරියේ ඇතිවිය හැකි බරපතළ තත්ත්වයක පෙරනිමිත්තක් යැයි කියාය.
විපක්ෂය තනි අරගලයක
කෙසේ වෙතත් ආණ්ඩුව මෙම ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මොහොතේ සිටම විපක්ෂය ඊට එරෙහිව දැවැන්ත අරගලයක් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් දියත් කිරීමට පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමට කටයුතු කර තිබිණි. සජිත් අදාළ පනත සම්මත කරගැනීමට පෙර කතානායකවරයාට ලිපියක් යොමුකරමින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දමන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්තේය. එම ලිපියේ සජිත් පෙන්වා දී තිබුණේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් යම් නියාමනයක් පැවැතිය යුතු නමුත් එය සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට සියලු දෙනාගේ එකඟත්වයෙන් සිදුකරනවා විනා ආණ්ඩුවේ වුවමනාවන් අනුව සිදුකිරීම පිළිගත නොහැකි යැයි කියාය.
ජවිපෙ ඇවිත් නෑ
එමෙන්ම මේ සම්බන්ධයෙන් පළමු දින විවාදය ආරම්භ කිරීමට පෙර සජිත් විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සමග කතානායකවරයාගේ නිල කාමරයට ගොස් ඔහු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. ඊට ජවිපෙට ආරාධනා කර තිබූ නමුත්, එම පක්ෂයේ කිසිදු නියෝජිතයකු ඊට එක් නොවීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායකවරයා එකඟතාව පළකළේය. ඒ, අදාළ පනත විවාද කිරීම කල්දමා ගැනීම සඳහාය. නමුත් පක්ෂ නායක රැස්වීමේදී පනත විවාද කිරීම කල්දැමීමට ආණ්ඩුව පැත්තෙන් එකඟතාව පළවූයේ නැත. ඒ අනුව ආණ්ඩුවේ පිළිතුර වී තිබුණේ නියමිත පරිදි දෙදින විවාදය පවත්වා බදාදා දිනයේදී අදාළ පනත සම්මත කරගන්නා බවය.
විවාදය මැද අවුල්
කෙසේ වෙතත් විවාදය අතරවාරයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් එකක් වූයේ ආසියානු අන්තර්ජාල සංවිධානය සහ සිවිල් සංවිධාන රැසක් සමග පැවැති සාකච්ඡාවලදී අමාත්‍ය ටිරාන් අලස් මහතා යම් යම් සංශෝධන කිහිපයක් එම පනතට සිදුකිරීමට එකඟතාව පළකොට තිබීමය. නමුත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට එම සංශෝධන ඊට ඇතුළත් කොට නොමැති බවට බොහෝ පාර්ශ්වලින් චෝදනා එල්ල විය. එහිදී ටිරාන් ඉදිරියේදී එම සංශෝධන කෙටුම්පතට ඇතුළත් කරන බව කියා සිටියද, විපක්ෂය එම ප්‍රකාශ පිළිගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
නිර්දේශ 13 දාලා නෑ
ඊළඟ බරපතළම සිදුවීම වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබූ සංශෝධන 13ක් කෙටුම්පතට ඇතුළත් කර නොමැති බවට එල්ල වූ චෝදනාවය. මෙම චෝදනාව එල්ල කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්.ඒ. සුමන්තිරන්ය. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදයක් පවතිද්දී ඊට අදාළ අමාත්‍යංශවල නිලධාරීන් සිටිනුයේ කතානායකවරයාට පසුපසින් දකුණු පසට වන්නට සභාවට පිටතින් පිහිටා ඇති කුටියකය. එහිදී යම් මන්ත්‍රීවරයෙකුට අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් යම් පැහැදිලි කරගැනීමක් සිදුකරගැනීමට අවශ්‍ය නම්, සභාව ඇතුළෙන් එම කුටිය අසලට ගොස් අදාළ නිලධාරීන් සමග කතාකිරීමට පුළුවන. එසේත් නොමැති නම් සභාවට පිටතින් අදාළ කුටිය වෙත පැමිණ හෝ එම නිලධාරීන් කුටියෙන් පිටතට ගෙන්වා ගෙන සාකච්ඡා කළ හැකිය. කෙසේ වෙතත් බදාදා දිනයේදී කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී සුමන්තිරන්ට දැකගත හැකි කරුණක් වූයේ අදාළ කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර තිබූ සංශෝධන 13 ඊට ඇතුළත් කර නොමැති බවය. ඒ අනුව සුමන්තිරන් කළේ මේ පිළිබඳ කතානායකවරයාට දැනුම් දී නියෝජ්‍ය මහලේකම්වරයා සමග කෙළින්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැඳී සිටි අදාළ කුටියටම ගොස් මෙම සංශෝධන එකින් එක විමර්ශනයට ලක්කිරීමය. එහිදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැකගත හැකි විය.
ටිරානුත් ඇවිත්
මේ තත්ත්වය වාර්තා වීමත් සමග ටිරාන්ද සභාව මැදින් අදාළ කුටිය අසලට ගොස් සුමන්තිරන් ඇතුළු පිරිස සමග මේ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. එහිදී තත්ත්වය තේරුම් ගත් ටිරාන් කියා සිටියේ අදාළ සංශෝධන ඉදිරියේදී කෙටුම්පතට එක් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. මතුව ඒමට තිබූ බරපතළ විරෝධයක් ටිරාන් සමනය කරගත්තේ මේ ආකාරයට සුමන්තිරන් හට කරුණු දක්වමිනි. නමුත් අදාළ සංශෝධන ඊට ඇතුළත් කළේද යන්න පිළිබඳ තවමත් ඇත්තේ අපැහැදිලි තත්ත්වයකි.
කෙසේ වෙතත් අපට මේ වන විට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව මෙම පනතට තවත් සංශෝධන කිහිපයක්ම ඉදිරියේදී එක්කිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. විශේෂයෙන්ම ආසියානු අන්තර්ජාල සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා රැසක්ම ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගැනීමෙන් අනතුරුව එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවක් ආරංචිය.
දිනේෂ්-කරු ගැටුමක්
මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පසුගිය සතියේ සිදුවූ එක්තරා ගැටුමක තොරතුරු හෙළිකිරීමට සූදානම්ය. මෙම ගැටුම සිදුවූයේ වෙන කවුරුත් අතර නොව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ කරු ජයසූරිය මහතා අතරය. පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගේ යම් යම් මෙහෙයුම් කිහිපයකටම සක්‍රීයව දායකත්වය දක්වා තිබීම හේතුවෙන් කරු ජයසූරිය මහතා මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල භූමිකාවක් රඟදක්වමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. වරක් කරු උපයෝගී කරගෙන ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීම සඳහා අතිසාර්ථක මෙහෙයුමක් දියත් කළේය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල් දමාගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටියදී ඒ සඳහා උපයෝගී කරගත් ලොකුව ආයුධය බවට පත්ව තිබුණේ කරු ඒ දවස්වල ඉදිරිපත් කර තිබූ ජනසභා ක්‍රමයය. ගම් ඇතුළේ කමිටු පිහිටුවා දේශපාලන බලය ගමට ලබාදීම කරුගේ එම සංකල්පය විය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දැමීමට මාර්ග සොයද්දී කරුගෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවත් සමග වහාම ජනාධිපතිවරයා කළේ එම යෝජනාව එළියට ගෙන එය ක්‍රියාත්මක කරන බව පවස ඒ සඳහා අවශ්‍ය කාලය ගැනීමය. ඊට අයවැයෙන් මුදල් වෙන් කිරීමය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ කරු වෙනුවෙන් වෙනම කාර්යාලයක් විවෘත වූ අතර, කරුට හිතවත් කිහිප දෙනකුම එහි සේවය කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව පසුගිය කාලය පුරාම කරු ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ හිඳිමින් මෙම ජනසභා වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා යම් යම් වැඩකටයුතු සිදුකොට තිබිණි.
දිනේෂ් බාල්දිය පෙරළයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම මේ ජනසභා ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන, කරු, ප්‍රසන්න රණතුංග, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ අගමැතිවරයාගේ අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම අශෝක ජනසභා ක්‍රමයට විරෝධය පළකරමින් මෙය රාජ්‍ය නොවන ආයතනවල වුවමනාව මත එම ස්වරූපයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් බව පෙන්වා දුන්නේය. එහිදී මනූෂද පෙන්වා දී තිබුණේ මෙය ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වන්නේ නම් ඊට දේශපාලනය සම්බන්ධ විය යුතු යැයි කියාය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දිනේෂ් ඊට ජනාධිපතිවරයා ඉදිරියේදීම විශාල බාල්දියක් පෙරළීමය. ඊට හේතු වූයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවක් නොදැන සිටීමය. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ්ද කිසිවක් නොදැන සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව දිනේෂ් එම වැඩසටහනේ ඇති ප්‍රායෝගික ගැටලු, ඊට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ ඇති විරෝධය, ගම්වල සිටින හාමුදුරුවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ විරෝධය ආදිය ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට පියවර ගත්තේය. එහිදී එල්ල වූ ප්‍රබලම චෝදනාවක් වූයේ මෙම ක්‍රමය රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරයට සකස් කර ඇති බවය.
කරුට කේන්ති යයි
මේ ආකාරයට දිනේෂ් දිගින් දිගටම චෝදනා කරද්දී එක්තරා අවස්ථාවක කරුට කේන්ති ගිය බවක් දැකගත හැකි විය. ඒ අනුව කරු වහාම කියා සිටියේ, ‘මේක මගේ පෞද්ගලික වුවමනාවක් අනුව අරගෙන ආපු එකක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මම මේක අරගෙන ආවේ. එතුමට උදව්වක් විදියටයි මම මේක භාරගත්තේ…’ යැයි කියාය. එහිදී වහාම දිනේෂුත්, සාකච්ඡාවේ සිටි ප්‍රසන්නත්, ‘නෑ නෑ මේක ඔබතුමා එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. වෙන එකක්. මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ පැත්තේ මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. අපි කියන්නේ එතුමන්ලාවත් දැනුවත් කරලා මේ වැඩේ කරන්න කියලා…’ යැයි කියද්දී ජනාධිපතිවරයා ප්‍රසන්නට කියා සිටියේ එසේ නම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් සංවිධාන කොට ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්නැයි කියාය.
ඒ අනුව, පෙබරවාරි 24 වැනි දින ජනසභා නිලධාරීන් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර රැස්වීමක් සංවිධාන කිරීමට ප්‍රසන්න සැලසුම් කළේය.
රැස්වීම උණුසුම්
මේ සම්බන්ධයෙන් නැවත වතාවක් බරපතළ සංවාදයක් මතුවූයේ පසුගිය අඟහරුවාදා පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, මෙහිදී පළමු බාල්දිය පෙරලුවේ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තය.
‘මොකක්ද මේ ජනසභා කතාව? අපි මොනවත් මේ ගැන දන්නේ නැහැ. කවුරුත් අපිව මේ ගැන දැනුවත් කරලත් නෑ. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ ගැන සාකච්ඡා කරන්න සමුළුත් තියනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛත් ගහලා. මෙතැන තියෙන්නේ වෙන න්‍යායපත්‍රයක්.’ යනුවෙන් අශෝක කියද්දී අගමැතිවරයාද එය අනුමත කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
‘එහෙම කොහොමද මන්ත්‍රීවරු කැඳවන්නේ? ඒ අය දන්නේ නැහැනේ මේකෙ තියෙන්නේ මොනවද කියලාවත්.’ යනුවෙන් දිනේෂ් කියද්දී ප්‍රසන්න ඊට යම් පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ජනසභා ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමට මෙසේ මන්ත්‍රීවරුන් කැඳවා ඇතැයි කියාය. එහිදී නැවතත් දිනේෂ් ප්‍රශ්න කරමින් කියා සිටියේ ‘දැනුවත් කරන්නේ මොකක් ගැනද කියලා මන්ත්‍රීවරුන් මුලින් දැනගෙන ඉන්න ඕනනේ.’ යැයි කියාය.
එහිදී සාකච්ඡාවට මැදිහත් වූයේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධය. ඉන්දික කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුගේ කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, මාර්තු 31 වැනිදාට පෙර ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඒ හරහා දැනුම්දී ඇති බවත්ය. එවිට දිනේෂ් කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවකි. එහිදී වහාම ඉන්දික කළේ සිය පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතන ඇමතුමක් ලබාදී, දුරකතනයේ ‘ස්පීකර්‘ ක්‍රියාත්මක කර ඇගෙන් මේ පිළිබඳ විමසා සිටීමය. එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සත්‍යයක් බව ප්‍රකාශ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායමේ සිටි සියලු දෙනා අගමැතිවරයාගෙන් විමසා සිටියේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඊට කිසිසේත්ම ඉඩ දිය යුතු නැතැයි කියාය.
දිනේෂ්ට තද වෙයි
‘අගමැතිතුමනි, මේකට ඉඩ දෙන්න එපා. මේක ඔබතුමාගේ විෂයපථයට අයිති දෙයක්. එහෙම චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන කාර්යාලයකින් නිකුත් කරනවා කියලා ඔබතුමා දන්නෙත් නෑ. වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න. එහෙම නැතිවුණොත් මේවා කරන්න ගිහින් රාජ්‍ය නිලධාරීනුත් අමාරුවේ වැටෙනවා.’ යනුවෙන් මන්ත්‍රීවරු දිනේෂ්ට දැනුම් දී සිටියහ. එහිදී දිනේෂ් කියා සිටියේ, එය ලේකම් කාර්යාලයක් පමණක් බවත්, ඊට නීත්‍යනුකූල තත්ත්වයක් නොමැති බවත්ය.
‘ඒක එක ලේකම් කාර්යාලයක් විතරයි. ඒකෙන් ගහන චක්‍රලේඛ නීත්‍යනුකූල නෑ. හැබැයි මට ඒකට ගිහින් නියෝග නිකුත් කරන්න බෑ මේක කරන්න එපා කියලා. ඒ හින්දා ඉස්සෙල්ලාම ඔය කැඳවලා තියෙන මීටින් එක කැන්සල් කරන්න. මොකද මන්ත්‍රීවරු මේ ගැන දන්නෙත් නෑ. ඒ නිසා මන්ත්‍රීවරුන්ව ඉස්සෙල්ලාම මේ ගැන දැනුවත් කරලා ඉන්න. අනෙක මේ මන්ත්‍රීවරු මේකට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණොත් මොකද කරන්නේ?’ යනුවෙන් එහිදී දිනේෂ් කියද්දී සියලු දෙනා එය නිහඬව අසා සිටි ආකාරයක් දැකගත හැකි විය.
අපිටම කෙළවෙනවා
ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන ඔන්ලයින් පනත පිළිබඳවය. මෙහිදී ප්‍රසන්න මුලින්ම අදහස් දක්වමින් කියා සිටියේ මේ හරහා අධිකරණය අපහාසයට ලක්කිරීමේ ඉඩකඩ අහිමි කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. එවිට බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අධිකරණය පමණක් නොව, පාර්ලිමේන්තුවටද අපහාස කිරීමේ ඉඩකඩ මෙමගින් වැළැක්විය යුතු යැයි කියාය. මේ අවස්ථාවේදී නීතිපතිවරයා පවා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි අතර, ඔහුටද චෝදනා එල්ල වන ආකාරයට මන්ත්‍රීවරුන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් රැස්වීම අවසානයේදී පෙළක් මන්ත්‍රීවරුන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ ඉදිරියේදී මෙම පනත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද පාරාවළල්ලක් විය හැකි යැයි කියාය.
‘අපි මේකට අත් ඉස්සුවට මේක අපිටත් කෙළවෙන වැඩක්. අපි විපක්ෂයට ගිය දවසට අපිටත් මේ පනතෙන් බැට කන්න වෙනවා. මං කියන්නේ බොරුද කියලා මන්ත්‍රීතුමන්ලා මේ පනත හොඳට කියවලා බලලා තේරුම් ගන්න’ යනුවෙන් මන්ත්‍රීවරුන් එහිදී එකිනෙකාට කියා ගන්නා ආකාරයක් දැකගත හැකි විය.
ජනපති ඕස්ට්‍රේලියාවට!
පසුගිය සතියේදී ජනාධිපතිවරයාට විපක්ෂයෙන් එල්ල වූ ප්‍රබල චෝදනාවක් වූයේ මසකට වතාවක් ජනාධිපතිවරයා විදේශගත වීමට කටයුතු කරනවා යැයි කියාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත්, පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පැමිණ ගතවූ මාස 17ට 18 වතාවක් විදෙස්ගතව ඇතැයි කියාය. අනුර කුමාර තවත් චෝදනාවක් කරමින් කියා සිටියේ එම වියදම් සහ ජනාධිපතිවරයාගේ අනෙකුත් වියදම් සඳහා අයවැයෙන් යොමුකළ මුදලට අමතරව තවත් රුපියල් ලක්ෂ 2000ක් වෙන්කර ගැනීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි කියාය. ඔවුන් මේ බව පාර්ලිමේන්තුවේ කියද්දී ජනාධිපතිවරයා සිටියේ සිය ස්විට්සර්ලන්ත සහ උගන්ඩා සංචාරයන්ට එක්වෙමිනි.
මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටට අනාවරණ කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ 19 වැනි විදෙස් සංචාරය පිළිබඳවය. මෙවර ජනාධිපතිවරයා සිය 19 වැනි විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ ඔස්ටේ්‍රලියාවය. ලබන පෙබරවාරි 09 වැනි දින ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවක් පැවැත්වෙන අතර, ඊට සහභාගි වීමට ජනාධිපතිවරයා තිරණය කොට ඇති බවක් මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
චන්ද්‍රකාගෙන් මෛත්‍රීට යෝජනාවක්
ජනාධිපතිවරණය සම්බන්ධ මාතෘකාවද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙම සටනට මේ වන විට එක්ව ඇති අලුත්ම චරිතය වන්නේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියය. චන්ද්‍රිකා මෙලෙස යළිත් දේශපාලන කරළියට පිවිස ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා බවට පත්කොට ඔහුගේ සහායට අනෙකුත් කණ්ඩායම් එක්කිරීමේ අරමුණ ඇතිවය. ඒ අනුව, චන්ද්‍රිකා මුලින්ම උත්සාහ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ගෙන ඒ හරහා රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය. තමන්ට හිතවත් මහින්ද අමරවීර උපයෝගී කරගෙන චන්ද්‍රිකා මෙම මෙහෙයුම දියත් කර තිබිණි. නමුත් ඊට ඇතුළෙන්ම ප්‍රබල විරෝධයක් මතුවීමත් සමග එම මෙහෙයුම අතහැර දැමීමට චන්ද්‍රිකාට සිදුව තිබිණි.
චන්ද්‍රිකාගේ ඊළඟ සැලසුම වූයේ ශ්‍රීලනිපයේ බලය සියතට ගෙන ඒ හරහා රනිල්ට සහාය දෙන වේදිකාවක් සකස් කිරීමටය. ඒ සඳහා චන්ද්‍රිකා පසුගිය සතියේදී අතරමැදියකු මාර්ගයෙන් ශ්‍රීලනිප නායක සහ සභාපති මෛත්‍රිට යෝජනා මාලාවක් යැවීමට පියවර ගත්තාය. එමගින් චන්ද්‍රිකා මෛත්‍රිට දැනුම් දී තිබුණේ තමන් යළිත් ශ්‍රීලනිපයට එක්වීමට සූදානම් බවත්, ඒ සඳහා පක්ෂයේ සභාපති තනතුර සහ ක්‍රියාකරී බලතල තමන්ට ලබාදිය යුතු යැයි කියාය. මෛත්‍රී හට මෙම යෝජනාවලිය ලැබුණද තවමත් මෛත්‍රීගේ පැත්තෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
පෙහොට්ටුවෙනුත් යෝජනාවක්
මේ අතරවාරයේ රනිල් මුල් කරගෙන පොහොට්ටුව ඇතුළේද මේ වන විට යම් බෙදීමක් හටගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම වැන්නවුන් ප්‍රසිද්ධියේම රනිල්ට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමගය. නමුත් මේ දිනවල ඇමෙරිකාවේ රැඳී සිටින පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල්ගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිර තීන්දුවක් ගැනීම සඳහා රනිල්ට මාර්තු තෙක් කල් ලබාදිය යුතු බවත්, ඉන් අනතුරුව පොහොට්ටුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත්ය. කෙසේ වෙතත් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස බැසිල් අභිෂේක ගැන්වීමට සූදානමින් සිටි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තාවකාලිකව අඩියක් පසුපසට ගැනීමත් සමග යළි ලංකාවට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට බැසිල් තීරණය කොට ඇති බවක් ආරංචිය.
නමුත් බැසිල් මෙසේ විදෙස්ගතව සිටියදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරවා මහින්දද මුල් පුටුවේ තබාගෙන රනිල් පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට යෝජනාවක් සම්මත කරගැනීමේ උත්සාහයක් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අතරේ ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සඳහා මහින්දට පවුලේ හිතවතුන් කිහිප දෙනකු හරහා මේ දිනවල බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද දැනගන්නට ඇත. එම සැලසුම සාර්ථක වුවහොත් බැසිල් ලංකාවට පැමිණීමට පෙර මෙම රැස්වීම කැඳවා අදාළ යෝජනාව සම්මත කරගැනීම එම පිරිසේ සැලසුම වී ඇති බව දැනගන්නට තිබේ.
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක්
පසුගිය කාලයේදී ලංකාවට ආ චීන නැව් මුල් කරගෙන ජාත්‍යන්තර අර්බුදයක් මතුවූ ආකාරය අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. විශේෂයෙන්ම ඉන්දීය සහ ඇමෙරිකානු විරෝධය නොතකා මෙම චීන නැව් ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම හේතුකොට ගෙන මෙම රටවල් දෙකම නිල වශයෙන් විරෝධය දක්වා තිබූ ආකාරයක්ද අපි එහිදී වාර්තා කර සිටියෙමු. ජනවාරි මාසයේදීද චීන පර්යේෂණ නෞකාවක් මේ ආකාරයට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණද, පවතින ජාත්‍යන්තර වටපිටාව මුල්කරගෙන ඒ සඳහා අවසර ලබා නොදීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් කලාපයේ අනෙකුත් රටවල් යළිත් වතාවක් අවුස්සමින් ඉදිරි දින කිහිපය ඇතුළත මෙම චීන නෞකාව මාලදිවයිනට පැමිණිමට නියමිතය. ඒ අනුව මෙම චීන නෞකාව මුල්කරගෙන නැවත වතාවක් ඉන්දීය සාගර කලාපයේ ලොකු දේශපාලන ගින්නක් ඇවිලීමට නියමිත බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. දැනටමත් ඉන්දියාව සහ ඇමෙරිකාව ඊට විරෝධය පළකර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත ඇමෙරිකාවේ ඉහළම නියෝජිත පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මාලදිවයිනට පැමිණීමට නියමිත බව දැනගන්නට ඇත. මෙම ඇමෙරිකානු දූත පිරිස ඉන් අනතුරුව ලංකාවේද සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම දූත පිරිස ඉදිරියේදී හූති කැරැලිකරුවන්ට එරෙහිව රතු මුහුදේ ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා ලංකාවේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතය. ලංකාව එසේ රතු මුහුදේ මෙහෙයුම් සඳහා යැවීමට නියමිතව ඇත්තේද ඇමෙරිකාව විසින් ලංකාවට පරිත්‍යාග කරනු ලැබ තිබූ යුද නෞකාවකි.