පොහොට්ටුව එළිපිට ගහගන්න පටන් ගනී!
බැසිල් පිළිගන්න කටුනායකට ආ ලිස්ට් එක!
කතානායක ගැන රනිල් දීපු සහතිකය!
ආණ්ඩුව වට්ටන්න තිබ්බ චාන්ස් එකක් නැති කළාද?
ආවා… ආවා.. බැසිල් ආවා..
පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියේ පසුගිය අඟහරුවාදා (05) දිනයේදීය. බැසිල් ලංකාවෙන් පිටව ගියේ අප්‍රේල් අවසන් වන තෙක් යළි ලංකාවට නොඑන සැලසුමක් ඇතිවය. නමුත් ආණ්ඩුව ඇතුළේත්, පොහොට්ටුව ඇතුළේත් මතුවෙමින් පැවැති දේශපාලන අර්බුද හේතුකොට ගෙන බැසිල් තීන්දු කළේ සිය ඇමෙරිකානු සංචාරය කෙටි කොට නැවත ලංකාවට පැමිණීමටය. පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කළේද පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක් සිදුකිරීමේ සැලසුම අතේ තියාගෙන බැසිල් ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය.Sri Lanka Latest News
පොහොට්ටුවේ බෙදිල්ල
මේ වන විට පොහොට්ටුව ඇතුළේ එළිපිට කණ්ඩායම් දෙකක් මතුවී ඇති අතර, ඉන් එක් කණ්ඩායමක් කෙළින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් නැවත වතාවක් රනිල් ජනාධිපති පුටුවේ වාඩිකිරීම සඳහා එළිපිට සටනක් ආරම්භ කොට තිබේ. එහි මූලිකත්වය ගෙන ඇත්තේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමකි. ඊට එරෙහිව නාමල්, සාගර ඇතුළු බැසිල්ට හිතවත් පිරිස පසුගිය දින කිහිපය පුරාම ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, රනිල්ට පොහොට්ටුවේ අපේක්ෂකත්වය නොලැබෙනු ඇති බවත්ය. මේ ගැටුම නිසා ප්‍රසන්න හා නාමල් අතර ගම්පහ මුල්කරගෙන යම් දේශපාලන ගැටුමක්ද පසුගිය සතිය වන විට මතුව තිබිණි. ඒ, නාමල් විසින් ගම්පහ කැඳවා තිබූ බලමණ්ඩල රැස්වීමක් මුල්කරගෙනය. මෙම රැස්වීමට ප්‍රසන්න සහභාගි නොවුණද දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටියහ.
ප්‍රසන්න වෙනම යයි
කෙසේ වෙතත් නාමල් කැඳවූ මෙම රැස්වීමෙන් පසු සිය හයිය පෙන්වීම සඳහා ප්‍රසන්නද ගම්පහ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට පියවර ගත්තේය. ඊට ජනාධිපතිවරයාද සහභාගි වූ අතර, ගම්පහ නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට එක්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය. මෙහිදී ජනාධිපතිවරයා රැස්වීමට එක්වී සියලු මන්ත්‍රීවරුන්ට මුදල් වෙන්කොට ඇති බවත්, එම නිසා ගමට ගොස් බය නැතුව වැඩකරන ලෙසට ප්‍රකාශයක්ද සිදුකළේය. මෙම රැස්වීමෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ ඒ හරහා ප්‍රසන්න ජනාධිපතිවරයාගේ හයිය ඇත්තේ තමන්ට බව පොහොට්ටුවේ නායකයන්ට නිල නොවන ආකාරයෙන් දැනුම්දීමට කටයුතු කළා යැයි කියාය.
පොහොට්ටුවෙන් යනවා
මේ අතර, පසුගිය සතියේදී ප්‍රසන්න හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමින් විශේෂ ප්‍රකාශක්ද සිදුකිරීමට පියවර ගත්තේය. ඒ, තමන් ජනාධිපතිවරයා නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ප්‍රසිද්ධියේම වැඩකරන බවත්, පොහොට්ටුව ජනාධිපතිවරයාට සහාය නොදක්වා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නේ නම් තමන් පොහොට්ටුවෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට කටයුතු කරන බවත්ය. යම් හෙයකින් බැසිල් පොහොට්ටුවෙන් ජනාධිපති සටනට ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහාය දක්වන බව කී ප්‍රසන්න, නමුත් බැසිල් ජනාධිපති සටනට ඉදිරිපත් නොවන බව සහතික යැයිද සඳහන් කර සිටියේය. ඒ අනුව බැසිල් ලංකාවට ගොඩබසින්නට පැය කිහිපයක් තබා ප්‍රසන්න තමන් පොහොට්ටුවෙන් ඉවත් වීමට පවා සූදානම් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටීම විශේෂ සිදුවීමක් විය.
කටුනායකට ආපු අය
මෙවැනි පසුබිමක් මතුව තිබුණද බැසිල් ලංකාවට පැමිණි අඟහරුවාදා දිනයේදී ප්‍රසන්නද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. ප්‍රසන්න සමග මන්ත්‍රීවරු 25 දෙනකුට අධික ප්‍රමාණයක් එම අවස්ථාවට එක්ව සිටි අතර, තමන්ට පාර්ලිමේන්තුවට යෑමට සිදුව ඇති බව පවසමින් මද වේලාවකින් ප්‍රසන්න බැසිල්ගෙන් සමුගෙන නික්ම ගියා ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එසේ බැසිල් පිළිගැනීමට කටුනායකට පැමිණ සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් වූයේ පියල් නිශාන්ත, ජගත් පුෂ්පකුමාර, සිරිපාල ගම්ලත්, ඉන්දික අනුරුද්ධ, ඩී.බී. හේරත්, අරුන්දික ප්‍රනාන්දු, ඩී.වී. චානක, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත කැටගොඩ, තිස්ස කුට්ටිආරච්චි, සංජීව එදිරිමාන්න, යූ.කේ. සුමිත්, සාගර කාරියවසම්, කෝකිලා ගුණවර්ධන, රංජිත් බණ්ඩාර, මිලාන් ජයතිලක, ප්‍රදීප් උඳුගොඩ, නාමල් රාජපක්ෂ, විමලවීර දිසානායක, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සරත් වීරසේකර, නෂීර් අහමඩ්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එම්. මුසාම්මිල්, එස්.එම්. රංජිත් සහ උපාලි කොඩිකාර ඇතුළු පිරිසකි.
මහින්දත් ඇවිත්
මෙහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් කියා සිටියේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්, මහ මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාවක්ද ඇති බවත්ය. කුමන මැතිවරණයක් පැවැතියද ඒ වෙනුවෙන් පක්ෂය සූදානම් කරන බවද බැසිල් එහිදී කියා සිටියේය. පසුව බැසිල් පිරිවරාගත් මන්ත්‍රීවරුන් කෙළින්ම පැමිණියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් ආසන්නයේ පිහිටි බැසිල්ගේ පෞද්ගලික නිවෙසටය. එහිදී බැසිල්ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද බැසිල්ගේ නිවෙසට පැමිණීම විශේෂ සිදුවීමක් විය. එහිදී බැසිල් සහ මහින්ද අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. එමෙන්ම රනිල්, මහින්ද සහ බැසිල් අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
කට්ටිය එකතු කරයි
කෙසේ වෙතත් සිය නිවෙසට අඩිය තැබූ මොහොතේ සිටම බැසිල් සිය දේශපාලන මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී බැසිල් පළමුවෙන්ම අත තබා ඇත්තේ 2005 සිට පසුගිය කාලය පුරාවට මහින්ද සමග එක්ව දේශපාලනය කොට දැනට වෙන්ව සිටින සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ ප්‍රබල දේශපාලන චරිත ඇතුළු සියලු පාර්ශ්ව යළි එකමුතු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමටය. ඒ සඳහා යම් යම් පාර්ශ්ව කැඳවා ඉදිරියේදී කළ යුතු වැඩකටයුතු ඔවුන්ට පැවරීමටද බැසිල් කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව මෙම පාර්ශ්වයන් ඉදිරියේදී මහින්ද සමග කටයුතු කළ කණ්ඩායම් සහ චරිත හමුවී නැවත වතාවක් මහින්ද සුළඟ වටා සිටි පිරිස් ඒකරාශී කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.
රනිල්ට යැවූ ලියුම
ඔන්ලයින් පනත සම්මත කිරීමේදී සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කොට ඇති බවට චෝදනා කොට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ එක්වී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් භාර දීමට පියවර ගත්තේ පසුගිය අඟහරුවාදා දිනයේදීය. එම විශ්වාසභංගයට විපක්ෂයේ මන්ත්‍රීවරු 44 දෙනකු අස්සන් කොට තිබූ අතර, සජබය හැරුණු කොට ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලනිපය, ඩලස් පිලද ඊට අස්සන් කොට තිබීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ එක් තැනක කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති බවට කියවෙන ලිපියක කොටසක්ද ඇතුළත් කොට ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
‘2024 පෙබරවාරි 26 වැනි දින පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ නම සලකා බැලූ අවස්ථාවේදී එසේ නිර්දේශ කරන ලද පුද්ගලයා එම ධුරයට පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 4 දෙනකු පක්ෂවද, දෙදෙනකු විපක්ෂවද ඡන්දය දී තිබියදී සහ සාමාජිකයන් දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියදී සහ ඒ අනුව එකී නිර්දේශිත නාමය පොලිස්පති ධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුමත කර නොතිබියදී ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දෙන ලද 2024 පෙබරවාරි 26 දින දරන ලිපියේ 4 වැනි ඡේදයේ,
‘කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) (5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දයද පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි.’
යනුවෙන් දක්වමින්, එසේ ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද පුද්ගලයා නීති විරෝධී ලෙසත්, ව්‍යවස්ථා විරෝධී ලෙසත් පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථා විරෝධී ලෙසත්, නීති විරෝධී ලෙසත් අනුබල දීමෙන්ද, සහාය දැක්වීමෙන්ද, අනුග්‍රහය දැක්වීමෙන්ද කතානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතුවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇති හෙයින්ද’ යනුවෙන් කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ සඳහන් කිරීමට විපක්ෂය කටයුතු කොට තිබිණ.
රනිල් දීපු සහතිකය
ඒ අනුව, පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සවස 5ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ කතානායකවරයා සම්බන්ධයෙන් මේ ආකාරයට විශාල ආන්දෝලනයක් රට ඇතුළේ මතුව පැවැතියදීය. මෙහිදී පොහොට්ටුව සහ ආණ්ඩුව අතර පවතින මතගැටුම මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද එළියට පැන තිබූ දැකගන්නට ලැබිණි. ඒ, 120කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුව සමග සිටියද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට 54 දෙනකු පමණක් සහභාගි වී සිටීම හරහාය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ව්‍යවස්ථාදායක සභාව තුළ මතුව ඇති අර්බුදය සහ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු දැකගත හැකි විය.
‘ව්‍යවස්ථාදායක සභාව කරන සමහර වැඩ නිසා අපි ලොකු අසීරුතාවකට පත්වෙලයි ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාව වැඩකරන්නේ ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය අතර ප්‍රශ්න මතුවෙන විදියටයි. මම යවපු සමහර නම් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත නොකරන හින්දා අධිකරණ ක්ෂේත්‍රයෙත් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළත් ඒක ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නෑ, ඒ හින්දා එතැන ප්‍රශ්නයක් මතුවෙලා. දැන් තව විනිසුරුවරුන් කීප දෙනෙක්ම විශ්‍රාම අරන් තියෙනවා. එතැනත් වේකන්සි පත්කරගන්න විදියක් නෑ. ඒ හින්දා නඩු ගොඩගැහිලා තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. පොලිස්පතිවරයා පත්කිරීමේදිත් මේ ප්‍රශ්නයම ඇවිල්ලා. හැබැයි එතැන කතානායකතුමා ව්‍යවස්ථාව අනුවයි වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ව්‍යවස්ථාදායක සභාව හදන්නේ එතැනත් අර්බුදයක් ඇතිකරන්නයි.’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා කතානායකවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරමින් ඔහු ආරක්ෂා කරන ආකාරයේ ප්‍රබල ප්‍රකාශයක් කරන අයුරු දැකගන්නට ලැබිණි.
www.mawratanews.lk පුවත පළකළා
කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විශාල මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි නොවීම පිළිබඳ වූ පුවත අප ඒ අවස්ථාවේදීම අප වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. අප විසින් දිනපතා පුවත්පතක් පළ නොකිරීම හේතුවෙන් එවැනි විශේෂ දේශපාලන පුවත් අප වෙබ් අඩවියේ නිරතුරුවම පළකරන හෙයින් දිනපතා ඊට ප්‍රවේශ වීම හරහා අප පාඨකයන්ටද එම විශේෂ දේශපාලන පුවත් බලාගැනීමේ අවස්ථාව ඇති බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
අජිත් අවදානම පෙන්වයි
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය බොහෝ සෙයින් අඩුවී තිබීම සම්බන්ධ ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේ වෙන කවුරුවත් නොව, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාය. නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නේ මේ ආකාරයට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු අවම වීම හරහා ඉදිරියේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි කියාය.
‘දැන් එන්න එන්නම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු සහභාගි වෙන එක අඩුවෙලා තියෙනවා. ඒක බරපතළ ප්‍රශ්නයක්. අදත් මන්ත්‍රීවරු ඇවිල්ලා ඉන්නේ සුළු ප්‍රමාණයක්. මේකෙන් ආණ්ඩුවට ලොකු සංඥාවක් දෙනවා කියන එක තමයි මගේ මතය. මේ විදියට ඇයි මන්ත්‍රීවරු එන්නේ නැත්තේ කියන එක අපි හොයලා බලන්න ඕනේ. මොකද මෙහෙම ගියොත් ඉස්සරහට ආණ්ඩුවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා’ යනුවෙන් නියෝජ්‍ය කතානායකවරයා කියද්දී ජනාධිපතිවරයාද එය බරපතළව ගත් ආකාරයක් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් දැකගන්නට ලැබිණි.
ඔත්තුව විපක්ෂයට
නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන් මේ අවදානමට මුහුණ දීමට පැය 48ක් යෑමට මත්තෙන් ආණ්ඩුවට සිදුවීම විශේෂ සිද්ධියක් විය. ඒ, පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේදීය. එදින ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 59 දෙනකු පමණක් වීම විශේෂ සිදුවීමක් විය.
මේ ආකාරයට මෙම පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේදී විශාල මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් නොඑන බවට වූ ඔත්තුව සඳුදා දිනයේදීම විපක්ෂයට දැනගන්නට ලැබිණි. ඒ අනුව, අඟහරුවාදා පැවැති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද සිදුවිය. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙම මුදල් පනතට ඡන්දය ලබාදීම සඳහා නොඑන බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී ඇති නිසා එම මුදල් පනත පරාජයට පත්කිරීමට විපක්ෂය කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව එම රහස් මෙහෙයුම භාරදෙනු ලැබුවේ වෙන කාටවත් නොව, විපක්ෂයේ තනතුරු දරන ගයන්ත කරුණාතිලකටත්, ජේ.සී. අලවතුවලටත්ය. විපක්ෂයේ සියලු පක්ෂ සහ මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය කොට බදාදා දිනයේ ඡන්දය විමසන අවස්ථාවේ ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන ඒම ගයන්තටත්, ජේ.සී.ටත් පැවරුණු රාජකාරිය විය.
මෙහෙයුම අල කළාද?
නමුත් මෙම මෙහෙයුම සාර්ථකව ඔවුන් දෙදෙනා ඉටුකළාද යන්න පිළිබඳ බදාදා දිනයේදී සජබෙට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මතුව තිබුණේ බරපතළ ගැටලුවකි. ඒ, විපක්ෂයේ බොහෝ පාර්ශ්වවලට එම පණිවුඩය නිවැරැදිව සන්නිවේදනය වී නොතිබීම නිසාය. කොටින්ම කියනවා නම් විමල් වීරවංශ පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් හාංකවිසියක්වත් දැන සිටියේ නැත. ජවිපෙටද එම පණිවුඩය නිවැරැදිව සන්නිවේදනය වී තිබුණේ නැත. පනතට ඡන්දය විමසන අවස්ථාවේ අනුර සිටියේ පාර්ලිමේන්තුවෙන් පිටතය. පනතට ඡන්දයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දීමත් සමග සභා ගැබේ සිටි හරිනි අමරසූරිය අනුරට කතාකොට ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කළාය. එහිදී අනුර කියා සිටියේ තමන්ට හෝ සජබයෙන් කල් තියා එවැන්නක් දැනුම් දී නොතිබූ බවකි. ඒ අනුව අවසානයේදී පනතට ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබුණේ 59 දෙනෙකි. විපක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබුණේ 35 දෙනෙකි. ඒ අනුව, විපක්ෂයේ මන්ත්‍රීවරුන් තවත් 24 දෙනකු එක්කර ගත්තේ නම් එම පනත පරාජයට පත්කිරීමට විපක්ෂයට හැකියාව තිබිණි.
දිගටම ඇමතුම්
මේ ඡන්ද ප්‍රතිඵලය දුටු බොහෝ දෙනා බදාදා පස්වරුවේම විපක්ෂයේ ප්‍රධානීන්ට කතාකොට විමසා සිටියේ, ‘අයියෝ හරි අපරාධයක්නේ. ආණ්ඩුව පරද්දන්ත තිබ්බ චාන්ස් එකක් ඕගොල්ලෝ මඟහැර ගත්තානේ. අපිට කලින් කියලා තිබ්බා නම්, අපිත් එනවනේ ඡන්දේ දෙන්න…’ යැයි කියාය.
මෙම සිදුවීමෙන් පසු සජබ ප්‍රධානීන්ට කතා කළ බොහෝ දෙනා විපක්ෂයේ තනතුරු දැරූවද ආවාට ගියාට වගකීමකින් තොරව කටයුතු කරන සංවිධායකවරුන් වෙනුවට සක්‍රීයව පක්ෂය වෙනුවෙන් අවංකවම කැපවන මන්ත්‍රීවරුන්ට තනතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටද කටයුතු කොට තිබිණි. ඊට සජබය කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇද්ද යන්න ඉදිරි කාලයේදී දැකබලා ගන්නට පුළුවන.
රාජාසන කතාවෙදිත් එහෙමයි
මේ ආකාරයටම සජබය නිසි ලෙස සංවිධාන නොවී කටයුතු කළ අවස්ථාවක් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේදීද දැකගන්නට ලැබිණි. එහිදී සජබය තීන්දු කොට තිබුණේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට විරෝධය පා විපක්ෂයේ සියලු දෙනාම එය වර්ජනය කිරීමටය. නමුත් එම පණිවුඩය නිසි අයුරින් විපක්ෂයේ සෙසු පක්ෂවලට සන්නිවේදනය කිරීම එදාද සිදුව නොතිබිණි. ඒ අනුව, සජබය ජනාධිපතිවරයාගේ කතාවට විරෝධය පා සභා ගැබෙන් පිටවුවද විපක්ෂය නියෝජනය කළ ඩලස් පිලට, ශ්‍රීලනිපයට, ජවිපෙට සහ දෙමළ සන්ධානයට එම පණිවුඩය නිසියාකාරව සන්නිවේදනය වී නොතිබිණි. ඒ අනුව ඔවුන් සභා ගැබෙන් ඉවත්ව තිබුණේ සජබය සභාවෙන් නික්ම ගොස් මඳ වේලාවකට පසුවය.
අනුර ගැන ඉන්දීය මතය
පසුගිය කාලයේදී රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයය. එහිදී ආණ්ඩුවේ බොහෝ පාර්ශ්ව ජවිපෙට චෝදනා කරමින් කියා සිටියේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ පන්ති පැවැත්වූ ජවිපෙ අංශ 360ක් ආපසු හැරී දැන් ඉන්දියානු වන්දනාවේ යෙදෙන්නට පටන්ගෙන ඇතැයි කියාය. නමුත් ජවිපෙ කියා සිටියේ තම පක්ෂය මේ වන විට රට ඇතුළේ යම් දේශපාලන ප්‍රගතියක් ලබා ඇති බැවින් ඉන්දියාවෙන් ලද විශේෂ ආරාධනාවක් යටතේ අනුර ඉන්දියාවට ගියා යැයි කියාය.
මේ ආකාරයට ජවිපෙට විවිධ චෝදනා එල්ල වෙද්දී ජවිපෙද ඔවුන්ගේ ඉන්දීය ගමන සාධාරණීකරණය කරමින් අදහස් දැක්වූ නමුත් ඒ කිසිදු අවස්ථාවකදී ඉන්දියාව පාර්ශ්වයෙන් ජවිපෙට ආරාධනා කළේ මන්ද, ඊට හේතුව කුමක්ද, එහිදී සාකච්ඡාවට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් පසුගිය සතියේදී පළමු වතාවට ඉන්දියාව පාර්ශ්වයෙන් අනුරගේ ඉන්දීය ගමන පිළිබඳ පැහැදිලි කිරීමක් කරනු දැකගත හැකි විය. ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට කළ පැහැදිලි කිරීමක් හරහාය. එහිදී සන්තෝෂ් පවසා සිටියේ ‘එය ශ්‍රී ලංකා නායකයකුට කළ සාමාන්‍ය ආරාධනාවක්. සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලයේ කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහන නමින් වෙනත් රටවලින් ව්‍යාපාරික නායකයින්, දේශපාලන නායකයින් සහ සංස්කෘතික නායකයින් ඉන්දියාවට ගෙන ඒමේ යෝජනා ක්‍රමයක් තිබෙනවා. ඒ යෝජනා ක්‍රමය යටතේ තමයි ඔහුට ආරාධනා කළේ’ යනුවෙනි.
ජවිපෙ මුදල් ඇමැති
මේ ආකාරයට අනුරගේ ඉන්දීය ගමන ගැන පළමු වතාවට ඉන්දියාවේ මතය හෙළිදරව් කළ අප, ජවිපෙ සම්බන්ධයෙන් තවත් විශාල රහසක්ද හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, ඉදිරි ජවිපෙ ආණ්ඩුවක පත්කිරීමට නියමිත මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන්ය. බොහෝ දෙනාගේ සාමාන්‍ය මතය වී ඇත්තේ ජවිපෙ ආර්ථිකය සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා දිගින් දිගටම කතා කරන බැවින් ඉදිරි ජවිපෙ ආණ්ඩුවක හඳුන්නෙත්ති මුදල් ඇමැති වනු ඇතැයි කියාය. නමුත් මේ වන විට මතුව ඇති නව ආර්ථික අර්බුද හමුවේ එම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් යම් යම් රාමුවලට කොටු නොවී ලිබරල් ආර්ථික අදහස් ඇති අයෙකු පත්කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය. සජබයෙන් ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ වෙන කවුරුවත් නොව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත්තේද සජබ ආණ්ඩුවක් යටතේ හර්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි කියාය.
ඒ නිසා හර්ෂ සමග තරග කළ හැකි තරුණ ලිබරල් මුදල් අමාත්‍යවරයකු ජවිපෙටද අවශ්‍ය බව පසුගිය කාලයේදී පක්ෂය ඇතුළේ සාකච්ඡාවට ලක්ව තිබූ කරුණක් වී තිබිණ. ඒ අනුව ජවිපෙ තේරීම වී ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති නොව, තරුණ ලිබරල් මතධාරියකු වශයෙන් සැලකෙන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමය. හර්ෂණ යනු කොළඹ කොටස් හුවමාරුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් ජවිපෙ හමුවූ අවස්ථාවේදී සාකච්ඡාවට සහභාගි වී සිටි ජවිපෙ නියෝජිතයන් අතර ආචාර්ය හර්ෂණද සිටියේය. එමෙන්ම ඉදිරි ජවිපෙ ආර්ථික සැලැස්ම සකස් කරන කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයකු ලෙස හර්ෂණ සැලකේ. ඒ අනුව ඉදිරි ජවිපෙ ආණ්ඩුවකදී බොහෝ විට හර්ෂණට මුදල් අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවත්, සජබ මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂ සමග ජවිපෙන් තරග කිරීමට නියමිතව ඇත්තේ ආචාර්ය හර්ෂණ බවත් දැනගන්නට ඇත.
තානාපතිවරු පෝලිමක්
මේ අතර, පසුගිය සතියේ ප්‍රධාන පෙළේ රටවල් හයක තානාපතිවරුන් එකවර ජවිපෙ මුණගැසීම සඳහා පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණියහ. එම තානාපතිවරුන් අතර පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ’මය්සර ඵග්‍යග ෘ්ර ’්සා මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි ඍග ෘැපැඑ ීැනැරජසදටකම මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් ඕරුු ඵගෘග ්රසමෙක ෂික්ප මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ෘැඅස ඨමිඑසබ් ඔදඉසබට මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් ්‍යැරම ඡර්හසඑබද මහතා, මැලේසියානු මහකොමසාරිස් ඊ්ාකස ්‍යසිය්ප ඊසබ ්ා්ප මහතා සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ත්‍්එයසප්එය ඨයසබ් මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන මහත්වරුද මේ සඳහා සහභාගි වූහ.
කතා කරපු දේවල්
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයන් විසින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන ලද අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගිතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී එම පක්ෂයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්හ.
මේ පාර කිව්වේ නෑ
පසුගිය සතියේ ජනාධිපතිවරයා කිසිවකුටත් නොදන්වා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය. වෙනදා නම් ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ ජාතිය අමතා කතා කරද්දී කල් තියාම ඊට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නත් එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තු එන බවක් කිසිවකුත් දැන සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා සඳහන් කරන්නේ මීට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණ කළ කතාවකට ඒ මොහොතේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැක්වූ ප්‍රබල ප්‍රතිචාරය හමුවේ සජිත් හොඳ හැටි ලකුණු රැස් කළ බවත්, මේ හේතුව නිසා ජනාධිපතිවරයා ඉන් පසුව පාර්ලිමේන්තු පැමිණීම කල් තියා ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවත්ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා බදාදා දින පාර්ලිමේන්තුවේ කළ කතාවට එදිනම සවස සජිත් පිළිතුරු ලබාදීමට කටයුතු කළ ආකාරයක්ද දැකගත හැකි විය. ජනාධිපතිවරයාගේ කතාව අසා සිටි බොහෝ දෙනා කියා සිටියේ එය ආර්ථිකය සම්බන්ධයෙන් කළ කතාවකට වඩා ඉදිරි මැතිවරණ ඉලක්ක කර කතාවක් සිදුකළ කතාවක් යැයි කියාය.
ගෙදර යන්නෙ කව්ද?
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අදහස් දක්වද්දී වරෙක හර්ෂ සමග අපූරු සංවාදයකටද පැටලිණ. මෙහිදී හර්ෂ කියා සිටියේ ජනාධිපතිවරයාට තව කොපමණ කාලයක් තනතුර දැරීමට සිදුවනු ඇද්දැයි නොදන්නා බවත්, සජබ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට නියමිත බවත්, ඒ පසුබිම යටතේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර තිබිය යුතු බවත්ය. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට ගෙදර යෑමට ප්‍රථම හර්ෂට ගෙදර යෑමට සිදුවනු ඇතැයි කියාය. ඒ හරහා ජනාධිපතිවරයා ඉඟි කළේ පළමුව ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට මහ මැතිවරණයක් පැවැත්වීමදැයි කියන්න දන්නේ නැත. එසේ මහ මැතිවරණයක් පවත්වනවා නම් පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නිසා හර්ෂගේ රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධුරය අහිමි වීම ඉඟිකොට ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළාදැයි කියන්න දන්නේත් නැත.
නැකැත් බැලුවෙ නෑ
කෙසේ වෙතත් මේ ආකාරයට ගෙවල් ගැන පාර්ලිමේන්තුවේදී සිදුවූ කතාබහෙන් පසු ජනාධිපතිවරයාගේ ගෙදර ගැනද අලුත් ආරංචියක් රාජ්‍ය රහස් තීරය වෙත ලැබී තිබේ. ඒ, ඉකුත් අරගලයෙන් පසු යම් යම් පිරිස් විසින් ගිනිතබා විනාශ කළ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවෙස සම්බන්ධයෙනි. මේ වන විට එම නිවෙසෙහි සැලැස්මේ කිසිදු වෙනසක් සිදු නොකට යළිත් ප්‍රතිසංස්කරණය කර ගොඩනගා ඇති අතර, පසුගිය දිනෙක ජනාධිපතිවරයා එහි පදිංචියට ගිය බවක් දැනගන්නට තිබේ. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කිසිදු නැකැත් බැලීමකින් හෝ තොරව එම නිවෙසෙහි පදිංචියට ගොස් ඇති බවය.
ගරු නෑ… තුමනි නෑ..
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළාට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා සම්බන්ධයෙන් තවත් විශේෂ තීන්දු කිහිපයක්ම පසුගිය සතියේදී ගැනිීමට කටයුතු කොට තිබිණි. ඒ, කතානායකවරයා පොලිස්පතිවරයාගේ පත්කිරීමේදී සහ ඔන්ලයින් පනත සම්මත කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළකරමිනි. එහිදී සජිත් තීන්දු කොට තිබුණේ මින් ඉදිරියට පාර්ලිමේන්තුවේදී කතාකිරීමේදී ‘ගරු කතානායකතුමනි’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීමටත්, සාමාන්‍ය ආකාරයට ‘කතානායක’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමටත්ය. මිට අමතරව කතානායකවරයා සහභාගි වන ප්‍රසිද්ධ උත්සවවලදී ඔහුගෙන් අවසර නොගැනීමටද සජිත් තීන්දුවක් ගෙන තිබේ.
එය පළමු වතාවට සජිත් ක්‍රියාවේ යෙදවූයේ පසුගිය සතියේ පැවැති හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් මහතාගේ අවමඟුල් උත්සවයේදීය. එහිදී සජිත් අවමඟුල් උත්සවයට සහභාගි වී සිටි ජනාධිපතිවරයා, අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන් අවසර ගත්තද, කතානායකවරයාගෙන් අවසර ගැනීමට කටයුතු කළේ නැත.
පුටුව මාරුවෙයි
මෙම අවමඟුලට සහභාගි වීමේදී සජිත්ට යම් අකරතැබ්බයකට මුහුණ දීමටද සිදුවිය. ඒ, සජිත් තමන්ට වෙන්කොට තිබූ අසුන වෙනුවට ජනාධිපතිවරයාට වෙන්කොට තිබූ අසුනේ අසුන්ගැනීම හේතුවෙන්ය. වහාම සංවිධායකවරුන් පැමිණ ඒ පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසු සජිත් වහාම කනගාටුව පළකොට තමන්ට වෙන්කොට තිබූ අසුන වෙත යෑමට පියවර ගත්තේය. ඒ අනුව අසුන් පනවා තිබුණේ සජිත්, මහින්ද සහ ජනාධිපතිවරයා එක පේළියට සිටින ආකාරයටය. එහිදී තිදෙනාම වරින් වර අදහස් හුවමාරු කරගත් ආකාරයක්ද දැකගත හැකි විය.
මෙහිදී ජනාධිපතිවරයා සිය කතාව අතරතුරදී ජවිපෙ සහ රොනී සම්බන්ධ කවුරුත් නොදැන සිටි ඉතිහාස කතාවක්ද මතක් කිරීමට පියවර ගත්තේය. ඒ, ජවිපෙ නායක රෝහණ විජේවීර සිරගතව සිටියදී එජාප නායක ජේ.ආර්. ජයවර්ධන සහ රෝහණ විජේවීර අතර පණිවුඩ හුවමාරු කිරීමේ අතරමැදියකු ලෙස රොනී කටයුතු කළ ආකාරය පිළිබඳවය.
විජේවීර සහ රොනී
‘77 වෙද්දී විජේවීර හිටියේ හිරේ. ජේ.ආර්.ට වුවමනාව තිබ්බා විජේවීර හරහා ජවිපෙ සහාය මහ ඡන්දෙදී එජාපයට ගන්න. ඉතින් ඒකට මැදිහත්කරුවකු ලෙස කටයුතු කළේ රොනී. රොනී තමයි ඉස්සෙල්ලාම හිර ගෙදරට ගිහින් විජේවීරව හමුවෙලා මේ ගැන කතා කළේ. දේශපාලන තත්ත්වය ගැන කතාකරලා ඇවිත් රොනී මේ ගැන ජේ.ආර්.ට කිව්වාම ජේ.ආර්. කිව්වා රොනීට විජේවීර එක්ක ඡන්දෙට සහාය දෙන එක ගැන කතාකරන්න කියලා. එතැනදී විජේවීර කොන්දේසි සහිතව ජේ.ආර්.ට සහාය දෙන්න එකඟ වුණා. විජේවීර කිව්වේ ජේ.ආර්. ඡන්දේ දින්නට පස්සේ එයාව නිදහස් කරන්නයි, දේශපාලනය කරන්නයි ඉඩ දෙන්න ලොකු පොරොන්දුවක් ඕනේ කියලයි. රොනී මේක ඇවිත් ජේ.ආර්.ට කිව්වාම ජේ.ආර්. ඒකට එකඟ වුණා. ජේ.ආර්.ට ඡන්දෙදී විජේවීර යටින් සපෝට් කළා. ජේ.ආර්.ට 77දී හයෙන් පහක බලයක් ලබාගන්න ඒකත් ලොකු හේතුවක් වුණා.’ යන්න එහිදී ජවිපෙ – රොනී සම්බන්ධයෙන් රනිල් කී ඉතිහාස කතාව විය.
කෙසේ වෙතත් රොනීගේ අවමඟුලෙන් පසු සිදුවූ කනගාටුදායකම සිදුවීමක් වූයේ ඔහුගේ හත් දවසේ දානය දීමටත් ප්‍රථම නිවෙස හොරු බිඳීමය. එහිදී වැසිකිළියේ තිබූ කොමොඩ් එක පවා සොරකම් කොට රැගෙන යෑමට හොරු කටයුතු කොට තිබූ බවක් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ලන්සා රාජපක්ෂ බළකොටුවේ
ජනාධිපතිවරයාට සහාය පළකරමින් පොහොට්ටුවේ ප්‍රධාන චරිතයක්ව සිටි නිමල් ලන්සා ඇතුළු පිරිස ගොඩනගා ඇති නව සන්ධානය සිය ඊළඟ රැස්වීම පැවැත්වීමට සූදානම් කර ඇත්තේ රාජපක්ෂ බළකොටුව ලෙස සැලකෙන හම්බන්තොටය. මෙහි පළමු රැස්වීම ලන්සා පැවැත්වූයේ ජාඇලය. දෙවැනි රැස්වීම පැවැත්වූයේ කොළඹ හයිඩ් පිටියේදීය. තුන්වැනි රැස්වීම පැවැත්වීමට මේ වන විට ඔවුන් සැලසුම් කර ඇත්තේ රාජපක්ෂ බළකොටුව වන හම්බන්තොටය. එම රැස්වීම පැවැත්වීම සඳහා ලන්සාට අමතරව හම්බන්තොට ශ්‍රීලනිප ප්‍රබලයා වන මහින්ද අමරවීරද එක්ව සිටින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රාජපක්ෂවරුන් විසින් ගොඩනගන ලද දේශපාලන චරිත මේ වනවිට රාජපක්ෂවරුන්ගේ බළකොටුවටම පැමිණ රාජපක්ෂවරුන්ට එරෙහිව රැස්වීම් පැවැත්වීමට තරම් ප්‍රබල වී තිබීමය. මහින්ද අමරවීර සැලකෙන්නේ රාජපක්ෂවරුන් විසින් දේශපාලනයට ගෙන ආ චරිතයක් ලෙසටය. මුල් අවධියේදී අමරවීර රාජපක්ෂ පවුල සමග ඉතා සමගියෙන් යුතුව හම්බන්තොට දේශපාලනය සිදුකළේය. නිමල් ලන්සාද එසේමය. එදා රාජපක්ෂවරු නිමල් ලන්සාට කොපමණ සැලකුවාද කියනවා නම් වරක් විශේෂ කාර්ය බළකාය නිමල් ලන්සාගේ ගේ වටකොට පරීක්ෂා කරද්දී මහින්ද කොළඹ සිට හෙලිකොප්ටරයෙන් ලන්සාගේ නිවෙසට ගොස් ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කළේය. අද හම්බන්තොටටම පැමිණ රාජපක්ෂවරුන්ට එරෙහිව රැස්වීම් සංවිධාන කරන්නේ මේ කියන ලන්සාත්, මහින්ද අමරවීරත් වීම දෛවයේ සරදමක් හා සමානය.
නායකයා අනුර යාපා
මේ අතර, බැසිල් ලංකාවට පැමිණි දිනයේදීම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමරවීරගේ නිවෙසේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. ඊට ලන්සාගේ කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ශ්‍රීලනිපය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව සන්ධානයේ තනතුරු බෙදී යායුතු ආකාරය පිළිබඳ පිරිස තීන්දුවක් ගත්හ. ඒ අනුව එහි නායකයා ලෙස පත්කර ගැනිමට නියමිතව ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාය. ශ්‍රීලනිපය වෙනුවෙන් මහින්ද අමරවීර නව සන්ධානයේ මහලේකම් ධුරයට පත්කිරීමට නියමිතව තිබේ. පසුගිය බදාදා දිනයේදී අමරවීර සහ නිමල් සිරිපාල ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී මේ බව දැනුම්දී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.