අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි රූමත් කාන්තාවක් පසුගිය මාර්තු මස 11 දා අමානුෂික ලෙස ඝාතනයකර නිවස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදී සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කළ අලවතුගොඩ පොලීසිය සිද්ධියෙන් මාස පහකට පසු ඝාතනය සම්බන්ධව සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
විමර්ශනයන් ඔස්සේ අනාවරණ වූ කරුණු මත අලවතුගොඩ පොලීසිය ඊයේ (22) පෙරවරුවේ මියගිය මධුවන්තිගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබේ.
ධනුෂිකා මධුවන්ති නැමැති මියගිය කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු මස 11 දින සොයාගනු ලැබුවේ මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදවා පරික්ෂණ සිදුකිරීමෙන් පසුවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ වනතුරු ඉන්නේ බන්ධනාගාරයේය.
මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩතුළ එරී තිබිය දී සෙරෙප්පුවක් සොයාගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියා ගේ බව හෙළි වීමත් සමඟ ඔහු දෙසට ද සැකය යොමුවිය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තද විමර්ශන අඛන්ඩව සිදුකළ පොලීසියට මෙම ඝාතනයට මියගිය කාන්තාවගේ සැමියාගේ සම්බන්ධයක් ද ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ ඔස්සේ සිදුකළ පරික්ෂණවලින් සැකය වඩාත් තහවුරු වී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලකගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරෙයි.
lankasara










