මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43ක ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කාරකසභාව හමුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් සමාව අයැද සිටියේය. තමන් දැඩි පීඩනයකට ලක්ව සිටි බැවින් එම අසත්‍ය ප්‍රකාශය කළ බව ඔහු එහිදී පිළිගැනීමත් සමග, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය එම සියලු චෝදනාවලින් නිදහස් වූවාය. රාජ්‍ය නිලධාරීන් දේශපාලන වුවමනාවන් මත මෙලෙස ඉත්තන් බවට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ බරපතළ කතාබහකට ලක්විය යුතු කරුණකි. අසත්‍ය ප්‍රචාර මගින් මහජන නියෝජිතයකුගේ දේශපාලන ප්‍රතිරූපයට සිදුවන බලපෑම සහ එවැනි අභියෝගාත්මක වටපිටාවක වගකීම්සහගතව කටයුතු කළ ආකාරය පිළිබඳ මන්ත්‍රිනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සමග කළ සවිස්තරාත්මක සාකච්ඡාවයි මේ. Sri Lanka Latest News
වසරකට පසු අද සැබෑ නිදහසක් දැනෙනවා ඇති. ඒ සැහැල්ලුව ගැන මුලින්ම කිව්වොත්?
මේක ඇත්තටම නඩුවක් නෙවෙයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් හන්තානයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර එළිපෙහෙළි කිරීම පිළිබඳ ගොනුකර තිබුණු චෝදනා ඔප්පු කරන්න සාක්ෂි තිබුණේ නැහැ. 2023 වසරේදී මෙම චෝදනා පදනම් විරහිත චෝදනා ලෙස ඔප්පු වීමත් සමග මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම චෝදනා ඉල්ලා අස්කර කරගනු ලැබුවා. ඉතින් මේ සිදුවීමෙන් අනතුරුව කෝප් කමිටුවේදී අහඹු ලෙස මගේ නම ප්‍රකාශයට පත්වීමත් එක්ක ඇතිවුණු ප්‍රශ්නයක් තමයි මේක. එහෙම නැතිව ඇත්තටම මට විරුද්ධව නඩුවක් ගොනුවීමක් මෙතැනදී සිදුවුණේ නැහැ. මොනවා වුණත් ඒ වැරැද්ද නිවැරදි වීම සම්බන්ධව ලොකු සතුටක් දැනෙනවා.
‘මම වැරදිකාරියක් නෙවෙයි’ කියලා ඔබ දන්නවා වුණත්, නොකළ වරදකට රටම ඇඟිල්ල දිගු කරද්දී, ඒ පීඩනය ඔබ දරාගත්තේ කොහොමද?
නොකළ වරදක් කළා කියනකොට පීඩනයක් දැනුණා. කොහොමද මම මේ වැරැද්ද නිවැරදි කරන්නේ කියන එක ගැන මම ගොඩක් හිතුවා. මොකද ගොඩක් තැන්වල මේ වැරදි අදහස ප්‍රචාරය වුණා. ඉතින් මේ වගේ මට විරුද්ධව බොරු චෝදනා එල්ල කරන කාලයකදී තමයි මම මැතිවරණයටත් ඉදිරිපත් වුණේ. මම ගැන දන්න අය දැනගෙන හිටියා මම එහෙම දෙයක් කළේ නැහැ කියලා. ඇත්තටම මට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ලොකු ශක්තියක් වුණා. මම මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්ක මම හිතනවා මගේ පීඩනයට මගේ ජනතාව හරි පිළිතුරක් ලබාදුන්නා කියලා. මොනවා වුණත් ඒ සිදුවුණු හානිය නැවතත් ඒ විදිහටම නිවැරදි වුණා කියලා මම හිතන්නේ නැහැ.
පාරට බැස්සම මිනිසුන්ගේ බැල්මෙන් සහ කතාවලින් ඔබට දැනුණු ඒ අසරණකම ගැන කතා කළොත්?
ඇත්තටම එහෙම ලොකු අසරණකමක් දැනුණේ නැහැ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මගේ පාක්ෂිකයෝ නිතරම මාව විශ්වාස කළා. ඔවුන් නිතරම මා සමග හිටියා. ඉතින් මට එහෙම අසරණකමක් දැනෙන විදිහට කවදාකවත් ඔවුන් මා දිහා බැලුවේ නැහැ.
ඔබ අද මෙතැන ඉන්නේ ඔබේ ඡන්දදායකයන් නිසා. ඒ අය අතරට යද්දි ඔවුන් මොන වගේ දේවල්ද කිව්වේ?
මැතිවරණ කාලයේදී නම් මගේ ඡන්දදායකයන් අතරට යනකොට එයාලාට ප්‍රශ්නයක් තිබුණා මොකක්ද මේ ගැටලුව කියන එක ගැන. ඉතින් ඔවුන්ට පැහැදිලි කිරීමක් අවශ්‍ය වන හැම වෙලාවකම මම ඔවුන්ට වෙලා තියෙන සිදුවීම හරි විදිහට පැහැදිලි කළා. ඒ වගේම මැතිවරණ කාලයේදී මේ සිදුවීම සම්බන්ධව සම්පූර්ණ නිවැරදි පැහැදිලි කිරීමක් සහිත පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් මගින් ජනතාව දැනුවත් කළා. ඇතැම් අවස්ථාවන්වලදී හැමෝම මගෙන් ඍජුවම මේ ප්‍රශ්නය ඇහුවේ නැහැ. ඒ වගේ අවස්ථාවන්වලදී, මේ ප්‍රශ්නෙ හිතේ තියාගෙන ඉඳලා, අහපු නැති අය මම වැරදිකාරයා කියලා පිළිගත් අවස්ථා තියෙන්න ඇති. ඉතින් ඒ අවස්ථාවන් මගේ ප්‍රතිරූපයට හානි වීම වගේම ඒ නිසා ඡන්දය අහිමි වූ අවස්ථාවන් බොහොමයක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් මට පුළුවන් උපරිමයෙන් මම ජනතාවට කරුණු පැහැදිලි කළා.
සමාජය මොනවා කිව්වත් තමන්ගේම පවුලේ අය ඉදිරියේ අපහසුතාවට පත්වෙන එක තමයි ඕනෑම කෙනකුට වැඩියෙන්ම රිදෙන තැන. ඒ වගේ සංවේදී අවස්ථා ඔබටත් තියෙන්න ඇති නේද?
මේ හන්තානේ සිදුවීම සම්බන්ධව මගේ විතරක් නෙමෙයි මගේ පවුලේ අයගේ, මගේ දරුවන්ගේ, ඡායාරූප පවා භාවිත කරලා මඩ ප්‍රහාර එල්ල කර තිබුණු අවස්ථා තිබුණා. විශේෂයෙන් මගේ දරුවන්ට සාප කළ අවස්ථා තිබුණා. ඒ වගේ අවස්ථාවන්වලදී මම මගේ පවුල ඉදිරියේ අපහසුතාවට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුක හිතුණු අවස්ථා තියෙනවා. සමාජයෙන් එල්ල වූ චෝදනා අවලාද නිසා පවුලේ අය ඉදිරියේ අපහසුතාවට ලක්වුණු අවස්ථා තිබුණත් කවදාවත් මම පවුලේ අය නිසා, ඒ අයගේ හැසිරීම හෝ වෙනත් දේවල් නිසා මම අපහසුතාවට ලක්වුණේ නැහැ. මොකද එයාලා හැම වෙලාවෙම ඇත්ත දැනගෙන හිටියා. ඔවුන් හොඳටම දන්නවා එහෙම දෙයක් වුණේ නැහැ කියලා ඒක නිසා කවමදාකවත් මට ගෙදර අයගෙන් කිසිම අපහසුතාවක් දැනුණේ නෑ.
ඇත්ත මොකක්ද කියලා හොයන්නේ නැතුව මාධ්‍යවලින් ඔබට මඩ ගහද්දී, අපේ රටේ මාධ්‍ය ගැන කලකිරුණේ නැද්ද?
කලකිරුණු අවස්ථාව ගැන කතා කරනකොට මාධ්‍ය ගැන විතරක්ම නෙවෙයි ඇතැම් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ හැසිරීම ගැනත් කලකිරීමක් තියෙනවා. මාධ්‍ය කියන්නේ හරි ප්‍රබල දෙයක්. මිනිස්සු මාධ්‍යයෙන් කියන දේ විශ්වාස කරනවා. ඒක නිසා නිතරම ඔවුන් යමක් ඉදිරිපත් කිරීමේදී හොඳට හොයලා බලලා වගකීම්සහගතව තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ජනමාධ්‍යයට විතරක් නෙමෙයි, මේක සමාජ මාධ්‍යයටත් පොදුයි.
පීඩනය මැද වුණත් සැලෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේදී ඔබේ මතය ඍජුව ප්‍රකාශ කරන්න ඔබට ලැබුණු ඒ ධෛර්යය ගැන මතක් කළොත්?
කොහොමත් මම හිතන්නේ ඒ මගේ හැටි. මම ඒ වගේ දේවල්වලට සැලෙන කෙනෙක් නෙවෙයි. මගේ නිර්දෝෂීභාවය මම දැනගෙන හිටියා. එහෙම සැලෙනවා නම් දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න අමාරුයි. මගේ මවුපියන්ගෙන් ලැබුණු ආභාෂයක් එක්ක මම කොහොමත් ශක්තිමත් කාන්තාවක්. ඉතින් හැමෝටම එක දරාගන්න බැහැ. නමුත් මට වැටෙන්නේ නැතුව ඉන්න ඒ පන්නරය ශක්තියක් වුණා.
මේ වගේ අසාධාරණ චෝදනා ඉදිරියේ, ‘ඇයි මම දේශපාලනය කරන්නේ?’ කියලා හිතුණු අවස්ථා තිබුණේ නැද්ද?
ඇත්තටම මට එහෙම දෙයක් හිතුණේ නැහැ. මම මේ ක්ෂේත්රයට ආවේ මම දේශපාලන පවුලක සාමාජිකයෙක් නිසාම නෙවෙයි. මගේ පියා දේශපාලනය හා සම්බන්ධ වූ අවධියේදී ඔහු කරපු දේවල් නිසා මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් වුණු හැටි මම දැකලා තියෙනවා. ඔහු මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවුණු හැටි මම දැකලා තියෙනවා. ඒත් එක්ක සමාජ සේවයට තිබුණු කැමැත්ත නිසයි මම මේ ක්ෂේත්රයට ආවේ. මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙන්න මගේ කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. මම මුලින් රැකියාවේ නිරතවුණේ නීතිඥවරියක් විදිහටයි. මගේ නීතිඥ වෘත්තිය ආරම්භ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඉන් පසුව මම පෞද්ගලික ආයතනයන් දෙකක නීතිඥ අංශයේ වසර පහළොවක පමණ රැකියාවේ නියැළී සිටියා. දේශපාලනය සම්බන්ධවත් මම දැනගෙන හිටියා. මොකද මගේ පියා සම්බන්ධ කාරණාවලදී වුණත් හොඳ දේවල් දහයක් තිබුණත් ඒ අතර තියෙන එකක් දෙකක් හෝ විවේචනයට ලක්වන අවස්ථා ඕනෑ තරම් තිබුණා මම දැකල තියෙනවා. ඒ නිසා මේ දේශපාලනයේ ස්වභාවය ගැන මම දැනගෙන හිටියා. කොතරම් චෝදනා තිබුණත් ජනතාව සමග කටයුතු කරන විට ඔවුන්ගෙන් ලැබුණු ආදරයත් එක්ක මට අපරාදේ කියන හැඟීම ඇති වුණේ නෑ. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශක්තිය නිසා, ඇයි මම දේශපාලනයේ ඉන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට එන්න අවස්ථාවක් ආවේ නැහැ.
දේශපාලන බලවතුන්ගේ වුවමනාවට රාජ්‍ය නිලධාරීන් මෙලෙස ඉත්තෝ වීම ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක් නේද?
මේ ආණ්ඩුව නිතරම කුමක් හෝ වැරැද්දක් වුණොත් ඒක රාජ්‍ය සේවකයෝ මත පටවන්න උත්සාහ කරනවා. මේ සිද්ධිය සිදුවන අවස්ථාවේදීත් කෝප් කමිටුවේදී මගේ නම ප්‍රකාශ වුණාට නිගමනයක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මගේ නම ප්‍රකාශ වුණු විගස මන්ත්‍රීවරයාගේ ඝෝෂාව, ඒ කතාවත් එක්ක තමයි ජනතාව අතරට මේක වැඩිපුර ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. එහෙම නැතිව රාජ්‍ය නිලධාරියා නම ප්‍රකාශ කළ පමණින් මම වැරදිකරුවෙක් වුණේ නැහැ. රාජ්‍ය නිලධාරියාට වඩා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා තමයි මීට හේතු සාධක වුණේ. නමුත් අවසානයේදී සමාව ඉල්ලන්න සිදුවුණේ රාජ්‍ය නිලධාරියාට. කඩුවෙල මන්ත්‍රීවරයාගේ කිසිම සද්දයක්වත් නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කිරීමට ඔහුටත් වගකීමක් තියෙනවා. ඒ වගේම අවිනිශ්චිතභාවයක් තියෙන විට යමක් ඉදිරිපත් කිරීමට කලින් ඒක සංශෝධනයකට ලක්කිරීම සම්බන්ධව කෝප් කමිටුවේ සභාපතිවරයාටත් වගකීමක් තියෙනවා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ආණ්ඩු පක්ෂයේ කෙනකුට මෙහෙම වුණා නම් මේ ගැන මීට වඩා හොයලා බලනවා. නමුත් ඒ කිසිම දෙයක් නැතිව එකපාරම මේ දේවල් සමාජගත කිරීම කනගාටුවට කරුණක්. මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. ඒ වගේම අද වැරැද්දක් කළත් නොකළත් කෝප් කමිටුවට යන හැමෝම දිහා බලන්නේ හොරු දිහා බලනවා වගේ. මේ නිසා අද බොහෝ දෙනා කෝප් කමිටුව ඉදිරියේ තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න මැළිකමක් දක්වනවා.
බොරුව හැමතැනම යද්දී ඇත්ත එළියට එන්න ගොඩක් කල් යනවා. ඒ ප්‍රමාදය නිසා ඔබට ජීවිතේ අතහැරුණු හෝ අහිමි වුණු දේවල් ගැන මතක් කළොත්?
මහනුවර ප්‍රදේශයේ විතරක් නෙවෙයි, මුළු ලංකාවෙම ඉන්න ජනතාවට හන්තාන ගැන තියෙන්නේ හරිම සුන්දර හැඟීමක්. ඉතින් ඒක නිසා ඒ වගේ ස්ථානයක් හා සම්බන්ධව චෝදනාවක් එල්ල වීමේදී ජනතාව අතර අප්‍රසාදය ඇතිවන එක සාමාන්‍ය දෙයක්. මොකද තමන් කැමැති තැනක් පරිහානියට ලක්වීම ඕනෑම කෙනෙක්ට තරහක් ඇති කරන කාරණාවක්. ඉතින් ඒක නිසා මට තිබුණු කීර්ති නාමයට හානියක් වුණා. ඒකත් එක්ක මට ලැබෙන්න තිබුණු විශාල ඡන්ද ප්‍රමාණයක් මට අහිමි වුණා කියලා මම හිතනවා.
මේක ‘සැබෑ මිනිසුන්’ හඳුනා ගන්න ඔබට ජීවිතයට ලැබුණු ලොකු පාඩමක් කියල හිතෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම ඔව්. විරුද්ධ පක්‍ෂය විතරක් නෙමෙයි ඇතැම් අවස්ථාවන්වලදී අපේ පක්ෂයේ ඇතුළේ පවා සමහර අය මට විරුද්ධව කටයුතු කළ අවස්ථා තිබුණා. සාමාන්‍යයෙන් මැතිවරණ කාලසීමාවක් තුළ මනාපය සම්බන්ධයෙන් තරගකාරීත්වයක් ඇති වෙනවානේ. ඒකත් එක්ක අපේම අය පවා මට මඩ ගහපු අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඇත්තටම මේක මිනිස්සුන්ගෙ හැටි දැනගන්න ලැබුණු හොඳ අවස්ථාවක්.
අවසාන වශයෙන්, මේ අසීරු කාලේ ඔබව විශ්වාස කරමින් ඔබ අසලම සිටි අයට මොනවද කියන්න තියෙන්නේ?
මෙතරම් දරුණු චෝදනාවක් ඉදිරියේදී මාව විශ්වාස කරලා මම අසලින් සිටි නොසිටි, මට ඡන්දය දුන්, නොදුන් සියලු දෙනාටම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ට බොහොම ස්තුතියි. ඔවුන් නිසා තමයි අද මම මෙහෙම ශක්තිමත්ව ඉන්නේ. ඔවුන් මම වෙනුවෙන් තැබූ විශ්වාසය රකින්න මම සූදානම්. ඒවගේම ඉදිරියටත් මම විශ්වාස කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒවගේම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවී ඉදිරියටත් කටයුතු කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට කටයුතු කරනවා.
සටහන – තිලක්ෂි බස්නායක










