රූපවාහිනී මාධ්‍ය කලාව තුළ ප්‍රවෘත්ති වාර්තාකරණය යනු හුදෙක් තොරතුරු සපයන මාධ්‍යයකට වඩා සමාජ විඥානය මෙහෙයවන ප්‍රබල මෙවලමක්. වත්මන් රූපවාහිනී ප්‍රවෘත්ති සංස්කෘතියේ පවතින සීමාවන් සහ අභියෝගයන් පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගෙන පසුබිමක, මෙත් TV නාලිකාව Citizen News සංකල්පය හරහා මානුෂීය සහ සදාචාරාත්මක වගකීම පෙරදැරි කරගත් සුවිශේෂ ප්‍රවේශයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අපට දැනගන්නට ලැබුණා. නවමු මාධ්‍ය අනන්‍යතාවකින් යුතුව ප්‍රේක්ෂක විශ්වාසය දිනාගැනීමට ඔවුන් සතු වැඩපිළිවෙළ පිළිබඳ අද අප මෙලෙසින් විමසා බලමු.Sri Lanka Latest News

අති පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි
නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක – මෙත් TV / Citizen News


මුලින්ම පැහැදිලි කළොත්, මෙත් TV නාලිකාවේ මේ සිදුවන සුවිශේෂ වෙනස සහ ඔබ අලුතින් හඳුන්වා දෙන Citizen News සංකල්පය කුමක්ද?
මෙතෙක් කලක් ආගමික රාමුවකට පමණක් සීමා වූ මෙත් TV, දැන් පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ලසන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගත් පොදුජන අවකාශයක් බවට පත්වෙනවා. Citizen News කියන්නේ හුදෙක් තොරතුරු වාර්තාකරණය නෙමෙයි, පුරවැසියා සවිබල ගැන්වීමේ සංකල්පයයි. මෙහිදී ප්‍රවෘත්තිය යනු භීතිය හෝ කුතුහලය විකුණන මෙවලමක් නෙමෙයි, සමාජ ප්‍රගමනයට අවශ්‍ය දැනුම සහ විසඳුම් ලබාදෙන වේදිකාවක්. අපි බලාපොරොත්තු වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතියට එහා ගිය, තොරතුරු මගින් සමාජය වෙනස් කිරීමේ බලය ජනතාවට ලබාදෙන්න.

ලසන්න වික්‍රමරත්න – නාලිකා ප්‍රධානී
අද රූපවාහිනී ප්‍රවෘත්ති කලාව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ හොරකම් විකුණන ලකුණු රසයකට කොටුවෙලා කියලා ප්‍රේක්ෂක දැඩි කලකිරීමක් තියෙනවා. මෙත් TV කියන්නෙත් ඒ රැල්ලම පස්සේ දුවන තවත් එක නාලිකාවක් විතරක් වෙයිද?
අපට රේටින් අවශ්‍යයි, නමුත් ඒ මිනිසුන්ගේ මළකඳන් හෝ පෞද්ගලික ජීවිත විකුණා ලබාගන්නා රේටින් නෙමෙයි. අප ‘සිරස්තල’ හඹා යන්නේ නැහැ. අප හඹා යන්නේ ඒ සිදුවීම් පිටුපස ඇති ‘සමාජයීය හේතුව’ සහ ‘විසඳුම’යි. අපට අවශ්‍ය කරන්නේ ප්‍රේක්ෂකයා වල්මත් කරන නාලිකාවක් නෙමෙයි ඔවුන්ව බුද්ධිමත් කරන නාලිකාවක් වෙන්න. අපගේ ප්‍රවෘත්ති තෝරාගැනීම සිදුවන්නේ මනස දූෂණය කරන සිදුවීම් මත නොවෙයි, මනස අවදි කරන සිදුවීම් පදනම් කරගෙනයි.

චතුරංග කරුණානායක – ප්‍රවෘත්ති අංශ ප්‍රධානී
හැම නාලිකාවක්ම කරන්නේ උදේට අනුන්ගේ පත්තර ටිකක් කියවන එක. ඔබත් මේ පරණ පත්තර රැල්ලටම එකතු වෙන්න හදන්නේ, තමන්ගේම කියලා දෙයක් සොයාගන්න බැරිකමටද?
අනුන්ගේ පත්තර කියවීම ලේසියි. නමුත් අප කරන්නේ පුවත්පත් සිරස්තල කියවීම නෙමෙයි, ඒ පුවත්වල සැඟවුණු දෘෂ්ටිවාදය විග්‍රහ කිරීම. අපට අපේම අනන්‍යතාවක් තිබෙනවා. අපේ වැඩසටහන් පෙළගැසෙන්නේ පත්තර කෑලි මත නෙමෙයි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ ජනතාවගේ සැබෑ හඬ මත පදනම්වයි. අපි පත්තරයේ තිබෙන දේ නැවත කීම වෙනුවට, පත්තරේ නැති දේ ජනතාවට සොයා දෙනවා.

ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැන් පුවත් බලලා ඇති වෙලා හෙම්බත් වෙලා තියෙන්නේ. එවැනි කලකිරුණු පිරිසක් ආයෙමත් ඔබ කියන ඔය වෙනස්ම විදියේ පුවත් සංකල්පයක් විශ්වාස කරයි කියලා ඔබ හිතනවද?
ප්‍රේක්ෂකයා හෙම්බත් වී සිටින්නේ ‘එකම බොරුව’ විවිධ වෙස්මුහුණුවලින් දැකලයි. අප ඔවුන්ට ඉදිරිපත් කරන්නේ තවත් එක ප්‍රවෘත්ති ප්‍රකාශයක් නෙමෙයි, ඔවුන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන ‘සත්‍යවාදී සහ නිර්මාණාත්මක’ මැදිහත්වීමක්. විශ්වාසය ගොඩනැගෙන්නේ වචනයෙන් නෙමෙයි අපගේ ක්‍රියාවෙන් සහ තෝරාගන්නා පුවත්වල ගුණාත්මකභාවයෙනුයි. කලකිරුණු ප්‍රේක්ෂකයාට අවශ්‍ය වන්නේ සැබෑ විකල්පයක් මිස තවත් එක ආදේශකයක් නෙමෙයි.
‘ප්‍රවෘත්තිය’ වෙළෙඳ භාණ්ඩයක් කරගත්තු මාධ්‍ය කලාව ඇතුළේ, ඔබ කියන ඔය ‘සදාචාරාත්මක වගකීම’ නිකම්ම නිකම් හිස් වචනයක් විතරක් වෙයි නේද?
වෙළෙඳපොළ ඇතුළේ සදාචාරය රැකගැනීම අසීරු බව ඇත්ත. නමුත් මෙත් TV පදනම වැටී ඇත්තේ ලාභයම අරමුණු කරගත් සමාගමක නෙමෙයි, පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ උදාර ආගමික සහ දාර්ශනික මගපෙන්වීම් සහිතවයි. අපට ‘ලාභය’ කියන්නේ මුදල් පමණක් නෙමෙයි, ගුණවත් සමාජයක් නිර්මාණය වීමයි. එය අපට හිස් වචනයක් නෙමෙයි ‘ප්‍රතිපත්තියක්’. අපි වෙළෙඳපොළට ගැති නොවී, වෙළෙඳපොළට සදාචාරය හඳුන්වා දීමට උත්සාහ කරනවා.
ආගමික නාලිකාවක් විදිහට තිබුණු ගෞරවය, ‘රේටින්’ පස්සේ පන්නන පුවත් සහ විනෝදාස්වාද වැඩසටහන් නිසා කෙලෙසෙන්නෙ නැහැ කියලා ඔබ සහතික වෙන්නේ කොහොමද?
ආගමික නාලිකාවක් වීම යනු සමාජයෙන් වෙන්ව හුදකලා වීම නොවෙයි. බුදුදහම හෝ ඕනෑම දහමක් උගන්වන්නේ ජීවිතය අවබෝධ කරගැනීමයි. විනෝදාස්වාදය වුවත් අප ලබාදෙන්නේ ලඅශිෂ්ටත්වයෙන් තොර ශිෂ්ටසම්පන්න රාමුවක සිටයි. රේටින් පස්සේ පන්නා අපේ පදනම අපි කෙලෙසා ගන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ශිෂ්ටසම්පන්න රුචිකත්වයක් ඇති ප්‍රේක්ෂක ප්‍රජාවක්.
රූපවාහිනී තිරය ඉදිරිපිට කරන ඝෝෂාවෙන් බැහැරව, සැබෑ ප්‍රවෘත්තිමය අනන්‍යතාවයක් ගොඩනගන්න තරම් ශක්තියක් Citizen News සතුව ඇත්තටම තියෙනවද?
අද රූපවාහිනිය යනු කෑගැසීමක්. අපට අවශ්‍ය වන්නේ ‘නිශ්ශබ්ද නමුත් බලගතු’ (Silent but Powerful) හඬක් වීමටයි. සත්‍යය ප්‍රකාශ කිරීමට කෑගැසිය යුතු නැහැ. තර්කයේ සහ දත්තවල ශක්තිය අප සතුව තිබෙනවා. අපේ ශක්තිය වන්නේ සත්‍යවාදී බව සහ අපේක්ෂාව මිස ඝෝෂාකාරී බව නෙමෙයි.
දේශපාලන හෝ ව්‍යාපාරික බලපෑම්වලින් තොරව ‘ස්වාධීන’ වෙන්න හීන දැක්කට, ප්‍රායෝගිකව ඔබත් කාගේ හරි අතකොළුවක් බවට පත්වෙයි නේද?
මෙත් TVහි හිමිකාරීත්වය සහ මගපෙන්වීම සැමවිටම ස්වාධීනයි. අප කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපාරික කල්ලියකට ගැති නැහැ. අපේ එකම බලපෑම පොදුජන යහපත පමණයි. එය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවක් අප සතුයි. අපේ පාලනාධිකාරියට ඇත්තේ ජනතාවට වගකීමේ වුවමනාව පමණයි.
බොහෝ නාලිකා ආරම්භයේදී ‘සුවිශේෂ’ කියලා ලොකු සද්දයක් දැම්මත්, අන්තිමට නතර වෙන්නේ අනිත් නාලිකා කරන ‘මඩ සහ ඕපාදූප’ රැල්ලෙමයි. Citizen news එකටත් වෙන්නේ ඔය සෙතේම නේද?
Citizen news සංකල්පය තුළ පුද්ගලික මඩ ප්‍රහාරවලට ඉඩක් නැහැ. අප අවධානය යොමු කරන්නේ පුද්ගලයන්ට නොව ප්‍රතිපත්තිවලටයි. අපේ පුවත් කාමරය තුළ මඩ සහ ඕපාදූප සඳහා වන ඉඩකඩ අපි සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. අපි පුද්ගලයන් විවේචනය කරනවා වෙනුවට ක්‍රමය විවේචනය කරන සංස්කෘතියක් ගොඩනගනවා.
විනෝදාස්වාදය ලබාදීමේදී ඔබ පනවාගෙන ඇති සදාචාරාත්මක සීමාවන් ප්‍රායෝගික නැහැ කියලා කවුරු හරි කිව්වොත්, ඒක නිකම්ම නිකම් සටන් පාඨයක් විතරයි නේද?
ඕනෑම පහත් පෙළේ දෙයක් පෙන්වා මිනිසුන්ව හිනස්සන එක හෝ ආකර්ෂණය කරගන්න එක ලෙහෙසියි. නමුත් විනයක් සහිතව, උසස් රසවින්දනයක් ලබාදෙමින් මිනිසුන්ව පිනවීම සඳහා විශාල නිර්මාණශීලීත්වයක් අවශ්‍යයි.
අඛණ්ඩව මේ වැඩේ කරගෙන යන්න තරම් සුදුසු මානව සම්පත් ඔබ සතුව තියෙනවා කියලා සහතික වෙන්න පුළුවන්ද? නැත්නම් මේකත් අතරමග ඇනහිටින තවත් එක ව්‍යාපෘතියක් වෙයිද?
අප සතුව සිටින්නේ වැටුපට පමණක් වැඩ කරන පිරිසක් නොව, ලසන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් මේ වෙනස වෙනුවෙන් කැපවුණු ‘ප්‍රතිපත්තිගරුක කණ්ඩායමක්’. මෙය එක් ව්‍යාපෘතියක් නෙමෙයි මෙය දිගුකාලීන ගමනක ආරම්භයයි. අපගේ පුහුණු ශ්‍රම බළකාය මෙයට හොඳම සාක්ෂියයි. අපේ කණ්ඩායම මේ වෙනුවෙන් විශාල පෙර පුහුණුවක් සහ කැපවීමක් සිදුකර තිබෙනවා.
අවසාන වශයෙන් ඍජුව ඇහුවොත්, මේ හදන්නේ ලාංකීය මාධ්‍ය කලාවේ සැබෑ වෙනසක් කරන්නද? නැත්නම් පවතින ‘මාධ්‍ය මාෆියාවේ’ තවත් එක කොටස්කරුවෙක් වෙන්නද?
අප එන්නේ පවතින ‘මාධ්‍ය මාෆියාවේ’ කොටස්කාරයෙක් වීමට නෙමෙයි, ඒ මාෆියාව නිසා විනාශ වන ජනතාවගේ මනස සුවපත් කරන්නයි. මෙය ලාංකීය මාධ්‍ය කලාවේ ‘විපර්යාසයක්’ බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම අපේ එකම අරමුණයි. අපේ ඉලක්කය වන්නේ මාධ්‍ය කලාව තුළ මනුෂ්‍යත්වය නැවත ස්ථාපිත කිරීමයි.
සටහන – තිලක්ෂි බස්නායක










