ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව නැවතත් නැගි සිටිය යුතු බවත් ඒ සඳහා හොද අවබෝධයක් ඇති ශූරයන්ට වීරයන්ට එම වගකීම බාර දී දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊ (4) සක්වල වැඩසටහන යටතේ හිගුරක්ගොඩ යෝධඇල මහා විද්‍යාලයට 43 වැනි සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
සියලු ක්‍රීඩා දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් එහිදී අදාල ක්‍රීඩාව සම්බන්ධ අවබෝධයක් ඇති අයට එම වගකීම ලබා දී ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති ගජමිතුරු සේවනය නැති කර දැමිය යුතු බවත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගජමිතුරු සේවයන නිසා පාසල් සහ සංගම් මට්ටමේ ක්‍රීඩකයන්ට තැනක් නැතිවී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව හා බැදුනු ක්‍රිකට් ක්‍රීඩාව සුළු පිරිසකගේ බඩගෝස්තරවාදය සඳහා යොදා ගැනීම මහා ඛේදවාචකයක් වී ඇති බව යි.
මේ වන විට ක්‍රීඩාව තුළ පුද්ගල චරිත වර්ධනයට සහ වැට්ටවීමට කඳවුරු ගැසී ඇති බවත් මේ තත්ත්වය වෙනස් වී රටක් ලෙස එක කඳවුරක් බවට පත් වී පාසල් වයසේ සිට දක්ෂතාවට කුසලතාවට හැකියාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යා හැකි තත්ත්වයක් ඇති කළ යුතු බවත් මෙහි ඇති දේශපාලන සබඳතාව නැති කර දැමිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති හොරකම් නැති කිරීමට හොරු රකින ආණ්ඩුවකට නොහැකි බව යි. නමුත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුම ක්‍රීඩා නිර්දේශපාලනීකරණය කර අදාළ ක්‍රිඩාව ගැන දැනුමක් සහිත ලොව ජය ගත් ශූරයන්ට වීරයන්ට එහි වගකීම ලබා දෙන බවත් කිසිම පුද්ගලයකු රැකීමට හෝ වැට්ටවීමට සමගි ජන බලවේගය සූදානම් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
ජනතාව දුක් විදින කොට පාලකයෝ සුරසැප විදිනවා
මේ වන විට රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දෙන බවත් අඟහිඟතාවන් රැසක් තුළ අතිශය පීඩනකාරි ජිවිතයක් ගෙන යන බවත් මෙවැනි තත්ත්වයක් රටේ පැවැතියත් පාලකයෝ සුරසැප විඳින බවත් ඔවුන්ට ගැටලු ප්‍රශ්න නොමැති බවත් ඔවුන්ගේ සුබසාධනයට රට සවාරි යන්න මුදල් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල් සංවර්ධන ගාස්තුවත් 50%කින් ඉහලට
ඉදිරියේ දී පාසල් සංවර්ධන සමිති හරහා පාසල් සංවර්ධන ගාස්තුවත් සියයට 50කින් ඉහළ දැමීමට සූදානම් බවත් පාසල් පද්ධතියට මුදල් නැති වුවත් පාලකයන්ට හොරා කන්න ඕනෑ තරම් මුදල් ඇති බවත් හදිසි මිලදී ගැනීම් යටතේ වෙළෙඳපොල වටිනාකමටත් වඩා මුදල් ගෙවා ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාස 8ට ලක්ෂ 7කගේ විදුලිය කපලා
මේ වන විට අනීතිකව 3 වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් ගෙවුණු මාස 8ට රටේ ලක්ෂ 7කගේ විදුලිය විසන්ධි කර ඇති බවත් මේ වන විට උග්‍ර ඖෂධ හිඟයක් පවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල් ළමුන්ගේ හඬ බවට අපි පත් වෙනවා
එසේම රටේ සිටිනා 41 ලක්ෂයක් පාසල් දූදරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගීමට සමගි ජන බලවේගය සූදානම් බවත් මොවුන්ට ඡන්ද අයිතිය නැති වුවත් ඔවුන් රැක ගැනිමේ අයිතිය අපට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට මේ වන විට ලබා දී ඇත්තේ බංකොලොත් රටක් බවත් සෑම පාසල් දූදරුවෙකුගේම ඒකපුද්ගල ණය බරතාව ලක්ෂ ගණනක් බවත් එබැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 43ක් සදහා රුපියල් ලක්ෂ 394ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.



























