රනිල්ගේ ලන්ඩන් ඩිනර් එක අවුලක් වෙයි!
ජපාන තානාපති කාර්යාලය ආණ්ඩුවට ඇනපු ටොක්ක!
අධිආරක්ෂිත කලාප හදන්න රනිල් බය කළ ඇමැතිවරු කව්ද?
පළමු වතාවට මහින්ද ගෝඨාගේ පලු යවයි!
රනිල් බ්‍රිතාන්‍යට යන්න කලින් කරපු ගෙදර වැඩ!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස සහභාගි වූයේ එලිසබෙත් මහ රැජිනගේ අවමගුලට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයටය. ජනාධිපතිවරයා මෙම සංචාරයට කෙතරම් කල් තියා සූදානම් වූයේද යත් මහ රැජිනගේ අවමගුල් දින ලංකාවේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමද පියවර ගත්තේය. කලකට පසු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බ්‍රිතාන්‍යය ධජය එසවීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. මෙසේ බ්‍රිතාන්‍යය ධජය එසවීම සම්බන්ධයෙන් ඒ දිනවල ආණ්ඩුවේම සිටින යම් යම් පිරිස් විවිධ මත ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් එසේ කිරීම සුදුසු යැයි කියද්දී විමල් පිල කියා සිටියේ එය වහල් මානසිකත්වයක් බවත්, ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා සිටියදී මේ ආකාරයට කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්ය.
ගමනේ අරමුණු මෙන්න!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කොට බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේ කිසියම් සැලසුමක් සිතේ තබාගෙන විය යුතුය. මන්ද යත් දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති යෝජනාවේ මධ්‍ය කණ්ඩායම නියෝජනය කරන රටවල් අතර බ්‍රිතාන්‍යය ප්‍රබල භූමිකාවක් දරයි. මෙම බ්‍රිතාන්‍යය ගමන හරහා ජනාධිපතිවරයා එම යෝජනාවේ සැර බාල කරගැනීමට හෝ බ්‍රිතාන්‍යය සමග පළුදු වී ඇති සම්බන්ධතා යළි අලුත් කරගැනීම හෝ සිතුවා විය හැකිය. අනෙක් අතට රැජිනගේ අවමගුලට සහභාගි වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති බැවින් එසේ රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීම රනිල්ගේ මෙම බ්‍රිතාන්‍යය සංචාරයේ තවත් අරමුණක් වූවා විය හැකිය.
ඩයස්පෝරාවෙන් ඩොලර් හොයන්නත් සැලසුම්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය ගමනේ තවත් එක් සැලසුමක් තිබිණි. ඒ, ලොව ප්‍රබලම දෙමළ ඩයස්පෝරාව වන බ්‍රිතාන්‍යයේ සිටින ඩයස්පෝරා නායකයන් මුණගැසී සාකච්ඡා පැවැත්වීමය. දැනට රට මුහුණපා ඇති මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ පියවරක් ලෙස දෙමළ ඩයස්පෝරාව සතු මුදල් ලංකාවට ලබාගැනීමට ජනාධිපතිවරයා මෙතෙක් තහනම් කර තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන රැසක තහනම ඉවත් කිරීමටද පියවර ගත්තේය. මීට අමතරව එම තහනම් ලැයිස්තුවේ සිටි දෙමළ ඩයස්පෝරා නායකයන් රැසකගේ තහනම ඉවත් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අතර දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලතම සාමාජිකයා වශයෙන් බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කොට ගෙන ජීවත් වන සුරේන් සුරේන්ද්‍රන්ගේ නමද තිබිණි. මෙසේ ජනාධිපතිවරයා ඩයස්පෝරා සංවිධානය සහ ඩයස්පෝරා නායකයන්ගේ තහනම ඉවත් කළද තවමත් ඔවුන්ගෙන් එක ඩොලරයක් හෝ ලංකාවට ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි. එම නිසා රැජිනට අවසන් ගෞරව දක්වන අතරවාරයේ මෙම දෙමළ ඩයස්පෝරා නායකයන් මුණගැසී ඔවුන් සමග සාකච්ඡා කොට ලංකාවට ආධාර උපකාර ලබාගැනීමද ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය ගමනේ තවත් අරමුණක් වී තිබිණි. එම නිසා දැන් කිරා මැන බැලිය යුත්තේ ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය සංචාරය හරහා අරමුණු කර තිබූ ඉලක්ක සියල්ල ඒ ආකාරයෙන්ම ඉටුවූවාද යන්න පිළිබඳවය. එසේ නොමැති නම් එම සංචාරයේ අපේක්ෂිත ප්‍රතිඵල ලංකාවට ලැබුණාද යන්න පිළිබඳවය.
ලෝක නායකයන් හමුනොවුණේ ඇයි?
කෙසේ වෙතත් මෙම බ්‍රිතාන්‍යය සංචාරයේදී අප ජනාධිපතිවරයා එතරම් රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් හමුවන ආකාරයක් දුටුවේ නැත. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද නිකුත් කළ ඡායාරූපවලින් දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා ප්‍රධානීන් දෙදෙනකු හමුවන අයුරු පමණි. ඒ, චාල්ස් රජු හමුවන ඡායාරූපය සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා මුණගැසෙන ඡායාරූප පමණි. ජනාධිපතිවරයාට චාල්ස්ව මුණගැසී තිබුණේද අවමංගල උත්සවයට පැමිණි සියලු දෙනාටම ස්තුති කිරීම සඳහා චාල්ස් පැමිණ තිබූ අවස්ථාවේදීය.
වැඩේ බාරදුන්නේ දේවාදිත්‍යට!
මේ ආකාරයට රනිල්ට බ්‍රිතාන්‍යය සංචාරයේදී ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් මුණගැසීමට නොහැකි වූයේ ඇයි? අප දන්නා පරිදි ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට යෑමට පෙර රාජ්‍ය නායකයන් මුණගැසීම සඳහාම වෙනම මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා එය භාරදී තිබුණේ තමන්ගේ අතිජාත මිත්‍රයකු වන නෙරන්ජන් දේවාදිත්‍ය මහතාටය. නෙරන්ජන් දේවාදිත්‍ය යනු ලංකාවේ ඉපදුණු අයෙකු වුවද,බ්‍රිතාන්‍යය ප්‍රධාන කොට ගෙන ජීවත් වන අයෙකි. ඔහු බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. මේ හේතුවෙන් නෙරන්ජන් හට බ්‍රිතාන්‍යය රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරුන් පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රිකයන් සමගද විශාල සබඳකම් තිබේ. එමෙන්ම රනිල් ජනාධිපති ධුරයට පත්වූ වහාම යුරෝපය සහ බටහිර රටවල විදේශ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස නව තනතුරක්ද නෙරන්ජන් දේවාදිත්‍යට ලබාදීමට පියවර ගෙන තිබිණි. බ්‍රිතාන්‍යය රජය සමග පවතින විශේෂ සබඳතා නිසාම රනිල් සිතා සිටියේත්, නෙරන්ජන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේත් මෙම සංචාරය අතරතුරදී බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ නායකයන් සියලු දෙනාම ජනාධිපතිවරයාට මුණගැස්වීමට කටයුතු කරන බවකි.
සුපිරි හෝටලයක ග්‍රෑන්ඩ් ඩිනර් එකක් ලෑස්ති කරයි!
ඒ අනුව රනිල් බ්‍රිතාන්‍යයේ සිටින අතරතුරදී නෙරන්ජන් ප්‍රධාන පෙළේ බ්‍රිතාන්‍යය මැති ඇමැතිවරුන්ට ආරාධනා කොට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළේය. ඊට වෙනත් රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමටද නෙරන්ජන් පියවර ගත්තේය. භෝජන සංග්‍රහය සඳහා නෙරන්ජන් තෝරාගත්තේ ශාන්ත ජේම්ස් වීදියේ පිහිටි ‘ආමි ඇන්ඩ් නේවි ක්ලබ්‘ නමැති සුපිරි හෝටලයය. රාජ්‍ය නායකයන් රැසකට ආරාධනා කර තිබූ නිසාත්, ජනාධිපතිවරයාත් රාජ්‍ය නායකයන් රැසක් ඊට සහභාගි වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි නිසාත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය ගමනේ තීරණාත්මක අවස්ථාව විය. එම රාත්‍රි භෝජන සංග්‍රහය සහ රැජිනගේ අවසන් කටයුතු යන දෙකම එකම කාල පරාසයක යෙදී තිබුණු බැවින් ජනාධිපතිවරයාද රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණියේ රැජිනට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුවය.
හිතාගෙන හිටපු නායකයන් කවුරුත් ඇවිල්ලා නෑ!
කෙසේ වෙතත් අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රාජ්‍ය නායකයන් විශාල පිරිසකට ආරාධනා කර තිබුණද එම රාත්‍රී භෝජන සංග්‍රහය අන්තිම අසාර්ථක එකක් වී ඇතැයි කියාය. නෙරන්ජන් දේවාදිත්‍ය බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයකු වුවත්, එම පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී ධුරයක් දැරූවකු වුවත් අවම වශයෙන් එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් හෝ මැති ඇමැතිවරුන් හෝ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වී නොසිටීම කැපීපෙනෙන සිදුවීමක් විය. එහි යම් තරමකට හෝ ලොවම දන්නා චරිතයකට සහභාගි වී සිටියේ වසර ගණනකට පෙර බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා වශයෙන් කටයුතු කළ ඩේවිඩ් කැමරන් පමණි. ඒ අනුව විශාල රාජ්‍ය නායකයන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපතිවරයාට නිසැක වශයෙන්ම මෙම තත්ත්වය දුටු වහා සියලු බලාපොරොත්තු බිඳවැටුණා නිසැකය.
සල්ලි ගියේ කාගේ අතින්ද?
එමෙන්ම මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ‘ආමි ඇන්ඩ් නේවි ක්ලබ් නමැති සුපිරි හෝටලයේ සංවිධාන කිරීම සඳහාද අතිවිශාල මුදල් කන්දරාවක් වියදම් වූවා නිසැකය. එසේ නම් එම මුදල ආණ්ඩුවෙන් ගෙව්වාද, එසේත් නැත්නම් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ගෙව්වාද, එසේත් නොමැති නම් නෙරන්ජන් දේවාදිත්‍ය ගෙව්වාද යන්න පිළිබඳ තොරතුරු නැතත්, එම භෝජන සංග්‍රහය අසාර්ථක වීම හරහා ඊට වැය කළ මුදල් ගඟට කැපූ ඉනි බවට පත්වූ බව පමණක් කීමට පුළුවන.
ඩයස්පෝරා හමුව ලෑස්ති කළේ මහකොමසාරිස් කාර්යාලයෙන්!
ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය සංචාරයේ ඊළඟ විශේෂම සාකච්ඡාව වූයේ බ්‍රිතාන්‍යය ඩයස්පෝරාව සමග සංවිධාන කර තිබූ සාකච්ඡාවය. මෙම සාකච්ඡාව සංවිධාන කිරීමේ වගකීම භාරවූයේ බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ටය. ඒ අනුව දැනටමත් ඩයස්පෝරා සංවිධාන රැසක තහනම ඉවත් කර තිබූ නිසා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් බ්‍රිතාන්‍යයේ සියලු දෙමළ ඩයස්පෝරා සංවිධානවලටත්, එහි නායකයන්ටත්, විශේෂයෙන් සුරේන් සුරේන්ද්‍රන්ටත් ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මහකොමසාරිස් කාර්යාලය බලාපොරොත්තු වූයේ ඉතා විශාල පිරිසක් මෙම හමුවට දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් පැමිණෙනු ඇතැයි කියාය.
කවුරුවත් ඇවිත් නෑ! කතාවෙලා වර්ජනය කරලා!
නමුත් මෙම රැස්වීමටද අත්වූයේ නෙරන්ජන් දේවාදිත්‍ය සංවිධාන කළ රාත්‍රී භෝජන සංග්‍රහයට වෙච්ච සන්තෑසියමය. එනම් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් කිසිදු නියෝජිතයකු ඊට සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතු වූයේ ආරාධනාව ලැබීමත් සමග මේ සාකච්ඡාවට සහභාගි නොවිය යුතු බවට දෙමළ ඩයස්පෝරාව අතර විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වී තිබීමය. විශේෂයෙන්ම මේ වන විට ලංකාව මානව හිමිකම් කඩකරන බවට ජිනීවා මානව හිමිකම් කොමිසමට බරපතළ චෝදනා ඉදිරිපත්ව තිබීමත්, ආණ්ඩුවේ ජනවරම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනැගී තිබීමත් හේතුවෙන් ජනාධිපතිවරයාගේ මෙම සාකච්ඡාව වර්ජනය කළ යුතු බව එම ප්‍රචාරක ව්‍යාපාරය හරහා සියලු දෙනාටම දැනුම්දීමක් සිදුකොට තිබිණි. ඒ අනුව ඊටද කිසිදු දෙමළ ඩයස්පෝරා නියෝජිතයකු හෝ සංවිධානයක් සහභාගි වී නොසිටි නමුත් එක් දමිළ වෛද්‍යවරයකු සහ තවත් එක් අයකු පමණක් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. රැස්ව සිටි අනෙක් සියලු දෙනාම සිංහල සහ මුස්ලිම් ඩයස්පෝරාව නියෝජනය කළ අය වූහ.
ලියුම් පළහිලව්වකින් දේවාදිත්‍ය රැස්වීමටවත් නොඑයි!
එමෙන්ම අපට වාර්තා වී ඇති තවත් තොරතුරකින් කියැවෙන්නේ මෙම රැස්වීම වර්ජනය කිරීමට ජනාධිපතිවරයාගේ අතිජාත මිත්‍රයා වූ නෙරන්ජන් දේවාදිත්‍ය කටයුතු කොට ඇති බවය. ආමි ඇන්ඩ් නේවි ක්ලබ් හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කරද්දී නෙරන්ජන් විසින් ජනාධිපතිවරාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු බවට සඳහන් කරමින් යවා තිබූ ලිපියක් හේතුවෙන් නෙරන්ජන් සහ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් මතගැටුමක් ඊට හේතු වී ඇති බව පැවසේ. මේ හේතුවෙන් නෙරන්ජන් විසින් මහකොමසාරිස් කාර්යාලයෙන් සංවිධාන කළ මෙම ඩයස්පෝරා රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
හම්බ වුණේ චාල්ස් විතරද?
ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය සංචාරයේ ඊළඟ ප්‍රශ්නය පැනනැඟුණේ චාල්ස් රජු සමග කතා කරමින් සිටින ආකාරයේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමගය. එම අවස්ථාවට රටවල් රැසක රාජ්‍ය නායකයන් සහභාගි වී සිටියත් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යයට නිකුත් කොට තිබුණේ ජනාධිපතිවරයා සහ චාල්ස් රජු කතාබහක නිරත වන ආකාරයේ ඡායාරූපයක් පමණි. ඒ අනුව ප්‍රශ්න කිහිපයක් මෙම ජායාරූපය හරහා පැනනැගීම වැළැක්විය නොහැකිය. ඉන් එක් ප්‍රශ්නයක් වන්නේ ඡායාරූපයක් නිකුත් කිරීමට තරම් ප්‍රබල රාජ්‍ය නායකයකු සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළේ නැද්ද යන්නය. ජනාධිපතිවරයා මෙම අවමගුලට සහභාගි වූයේම රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමට බැවින් ඊට අවස්ථාවක් මෙහිදී හිමිවූයේ නැද්ද යන්නද මෙහිදී පැනනගින ප්‍රශ්නයක් වී තිබේ.
ජපන් බොරු ටික අපි කලින්ම හෙළි කළා!
බ්‍රිතාන්‍යය රැජිනගේ අවමඟුල් උත්සවයෙන් පසු ජනාධිපතිවරයා සිය දෙවැනි විදෙස් සංචාරය ලෙස සහභාගි වූයේ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමඟුල් උත්සවයටය. ජනාධිපතිවරයාගේ මෙම ජපන් ගමන පසුපසද ලොකු කතාවක් තිබේ. ජනාධිපතිවරයා අගමැති ධුරය භාරගැනීමට ප්‍රථම එජාප ජ්‍යෙෂ්ඨයන් මාධ්‍ය හරහා කියා සිටි කතාවක් වූයේ ජපානය සමග රනිල්ට විශාල සබඳතා ඇති බවත්, රනිල් පැමිණි විගස ජපානයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවත්ය. නමුත් ඒ අවස්ථාවේදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේත්, ‘මව්රට’ පුවත්පත ඔස්සේත්, www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේත් අවධාරණය කරමින් කියා සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ජපානයෙන් එවැනි ආධාර මුදලක් හෝ ප්‍රදානයක් කිසිසේත්ම නොලැබෙන බවත්ය. අප එසේ කියද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු පමණක් නොව විපක්ෂයේ ඇතැමුන්ද මෙම ලනුව කා තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ජපානයේ ණය සමුලුවට මොකද වුණේ?
මෙම ලනුවෙන් පසු ආණ්ඩුව රටට දුන් දෙවැනි ලනුව වූයේ ණය අයි.එම්.එෆ්. ණය ආධාර ලබාගැනීමේදී ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළේ ප්‍රධානත්වය දැරීමට ජපානය සූදානමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම ජපානයේ ණය සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර අති බවක්ද ආණ්ඩුව කියා සිටියේය. පුදුමයට කාරණය වූයේ මෙම පුවත ලොව පිළිගත් රොයිටර් පුවත් සේවය පවා වාර්තා කර තිබීමය. රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කිරීමෙන් පසු මෙරට මාධ්‍යද උඩ පැන පැන එම පුවත වාර්තා කරන්නට විය. නමුත් ඒ අවස්ථාවේද අප යළිත් කියා සිටියේ එම පුවතද සම්පූර්ණ අසත්‍යයක් බවත්, ජපානය එවැනි සමුළුවක් පැවැත්වීමට තීරණය කර නොමැති බවත්ය. අවසානයේ ජපාන විදේශ අමාත්‍යවරයා අප කී කතාව තහවුරු කරමින් ජපානය එවැනි සමුළුවක් පැවැත්වීමට අදහස් කර නොමැති බව ලොවටම ඇසෙන්නට කියා සිටියේය. ඒ අනුව ආණ්ඩුව දුන් දෙවැනි ලනුවද බොරුවක් බවට තහවුරු විය.
ජපාන තානාපති කාර්යාලයෙන් අමුතු නිවේදනයක්!
ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේ මෙවැනි වාතාවරණයක් මධ්‍යයේය. බි්‍රතාන්‍ය සංචාරයේදී මෙන්ම ජපාන සංචාරයේදීද ජනාධිපතිවරයාගේ එක් සැලසුමක් වී තිබුණේ අබේගේ අවමගුලට පැමිණෙන රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා කිරීමය. එමෙන්ම ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද සාකච්ඡාවේ තවත් අරමුණක් විය. ඒ අනුව ජපානයේදී ජනාධිපතිවරයා නිල වශයෙන් ජපන් අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාවලින් පසු ආණ්ඩුව නිකුත් කළ නිවේදනයෙන් කියැවුණේ ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානය සමග කළ සාකච්ඡා සාර්ථක බවත්, ඊට ජපානයේ එකඟත්වය හිමිවූ බවත්ය. කෙසේ වෙතත් ආණ්ඩුව මෙම නිවේදනය නිකුත් කොට පැය කිහිපයක් යෑමට මත්තෙන් අමුතු දෙයක් සිදුවිය. ඒ, මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් ජපාන අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු ඇතුළත් නිවේදනයක් නිකුත් කිරීමය. සාමාන්‍යයෙන් මෙවැනි හමුවීම්වලදී දෙපාර්ශ්වයේම එකඟතාව මත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත්, මෙවර එය කණපිට හරවමින් ජපන් තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ ආණ්ඩුව කී කරුණු කිසිවක් සඳහන් වූයේ නැත. ඒ වෙනුවට එහි ඉතා සියුම් රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුකිරීමේදී විනිවිද පෙනෙනසුළු සහ ජාත්‍යන්තර නීතිරීතීන්ට අනුකූල වන ආකාරයෙන් ලංකාව කටයුතු කළ යුතු බව සඳහන් කොට තිබිණි.
ආණ්ඩුවට හීන් සීරුවේ ටොක්කක් ඇනලා!
ඒ අනුව ආණ්ඩුව මොනවා කීවද මෙම නිවේදනය දුටු වහාම අපට නම් පෙනී ගියේ ජපානය මෙම නිවේදනය හරහා ආණ්ඩුවට හීන්සීරුවේ ටොක්කක් ඇන ඇති බවය. ඒ, ජපාන තානාපතිවරයා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය වෙත ඇමැති නිමල් සිරිපාල සම්බන්ධයෙන් කළ පැමිණිල්ල මෙම නිවේදනයෙන් සිහිපත් කොට දී තිබීමෙනි. ජපාන තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීමේ චෝදනාව දැනුම් දීමෙන් පසු නිමල්ව ඇමැතිකමෙන් ඉවත් කිරීමට එදා ගෝඨා පියවර ගෙන තිබුණද, ඔහුව යළි එම තනතුරටම පත්කිරීම සම්බන්ධයෙන් ජපානය කනස්සල්ලෙන් පසුවන බව මෙම නිවේදනය හරහා පැහැදිලිය. මෙම සිදුවීමෙන් පසු ජපානයෙන් ලංකාවට ලැබීමට නියමිතව තිබූ විශාල සහනයක් අහිමිව ගිය අතර, ජපාන තායිසේ සමාගමද කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතුවලින් ඉවත්ව ලංකාවෙන් පිටව යෑමට පියවර ගත්තේය.
දාපු අමාරු කොන්දේසිය!
ඒ අනුව මෙවර තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයට අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් සියලු ණය හිමි රටවල් එක පදනමක සිට කටයුතු කළ යුතු බවට කොන්දේසියක්ද ජපානය පැත්තෙන් පැනවී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය සිතූ තරම් සාර්ථකත්වයක් අත් නොවූ එකක් බව මෙම සිදුවීම් හරහා පැහැදිලි වේ.
හදිසියේම සිංගප්පූරුවෙන් බැස්සේ ඇයි?
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවුණු විශේෂ කරුණක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ, ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යද්දී සිංගප්පූරුවට ගොඩබැස ඇති බවය. සාමාන්‍යයෙන් කොළඹ සිට ජපානයේ නරීටා ගුවන් තොටුපළට ඍජු ගුවන් ගමනක් ඔස්සේ සහ සිංගප්පූරුව හරහා යන ගුවන් ගමනක් පැවැතියද ජනාධිපතිවරයා ඉකුත් සඳුදා දිනයේ ජපානය බලා පිටත්ව යෑමට තෝරාගෙන තිබුණේ සිංගප්පූරුව හරහා ජපානය බලා යන සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකි. එම යානය ඉරිදා අලුයම 12.50ට කටුනායකින් පිටත්ව ගිය අතර, පෙ.ව. 7.20 පමණ වන විට සිංගප්පූරුවට ගොඩබැස තිබිණි. ඒ අනුව සිංගප්පූරුවේ පැය ගණනක් රැඳී සිටීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එහිදී ජනාධිපතිවරයා සිංගප්පූරු ආණ්ඩුවේ ප්‍රබල ද්‍රවිඩ ඇමැතිවරයකු හමුවී සාකච්ඡා කොට ඇති බවකි. එම ද්‍රවිඩ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ උපදේශක සාගල රත්නායක මහතා සමග මෙන්ම රාජපක්ෂ පවුල සමගද සමීප සබඳකම් ඇති අයකු ලෙස සැලකේ. ගෝඨා සිංගප්පූරුවට ගොස් සිටියදී පවා එම ද්‍රවිඩ අමාත්‍යවරයා ගෝඨා සිටි හෝටලයට පැමිණ ඔහු සමග සාකච්ඡා කළ බවක්ද එකල මාධ්‍ය වර්තා කොට තිබිණි.
තවත් කවුරු හරි හමුවුණාද?
මීට අමතරව මේ වන විට පැතිර යන තවත් නිල නොවන කසුකුසුවකින් කියැවෙන්නේ ජනාධිපතිවරයාද ඉතා හොඳින් දන්නා හඳුනන ලංකාවට සම්බන්ධ තවත් විශේෂ පුද්ගලයකුද මෙම ගමනේදී ජනාධිපතිවරයා හමුවී ඇති බවකි.
අධිආරක්ෂිත කලාප හදන්න රනිල්ව බය කළාද?
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග එල්ල වූ බරපතළ චෝදනාවක් වූයේ ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලයක නිරත වූ තරුණයන්ට ආරක්ෂක අංශ ලවා පහරදී ඔවුන් එතැනින් ඉවත් කිරීමේ චෝදනාවය. ඒ හරහා බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුවූ බවට එවකදී ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය. එහි උණුසුම අවසන් වී ටික කලක් ගතවුවද මේ වන විට ජනාධිපතිවරයා නිකුත් කොට ඇති නව ගැසට් පත්‍රයක් හේතුවෙන් නැවත වතාවක් සමාජ දේශපාලන ක්ෂේත්‍රයම කැලඹී ගොස් තිබේ. ඒ, අධි ආරක්ෂිත කලාප රැසක් නම්කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමගය. ජනාධිපතිවරයා සිය දෙවැනි සංචාරය වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම මෙම ගැසට් පත්‍රයට අස්සන් තබා තිබූ අතර ඒ සමගම දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව නීතිඥ ප්‍රජාවද කැලඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ සාලිය පීරිස් මහතා ජනාධිපතිවරයාගේ මෙම අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කිරීම නීති විරෝධී බවත්, ‘රාජ්‍ය රහස’ පනත උපයෝගී කොට ගෙන මෙසේ අධි ආරක්ෂිත කලාප නම් කළ නොහැකි බවත්, ඊට එරෙහිව නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවත් කියා සිටීමය. නීතිඥ සංගමය පමණක් නොව ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයද වහාම කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා යැයි කියාය.
ජපානයෙන් ඇමැතුම් පිට ඇමතුම්!
කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය අස්සන් තබා ජනාධිපතිවරයා ජපානයට යෑමෙන් අනතුරුව ලංකාවේ මහත් ආන්දෝලනයක් මතුව ඇති බව විවිධ ආරංචි මාර්ගවලින් ජනාධිපතිවරයාටද දැනගන්නට ලැබිණි. ඒ අනුව වහාම ජනාධිපතිවරයා ජපානයේ සිටම නීතිපතිවරයා සහ තමන්ට හිතවත් නීතිඥවරුන් සමගත් ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනකු සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ඔවුන්ද ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ එවැනි ආකාරයේ අධි ආරක්ෂිත කලාප නම්කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලපෑ හේතු කාරණා මොනවාදැයි කියාය. එහිදී මෙම අධි ආරක්ෂිත කලාප නම්කිරීමේ කටයුත්ත පිටුපස තිබූ ඇත්ත කතාව දැනගැනීමට මෙසේ ජනාධිපතිවරයා හට කතා කළ පිරිසට හැකි විය.
ප්‍රසන්ටේෂන් එකකුත් කරයි!
ඒ අනුව ජනාධිපතිවරයා මෙම පිරිසට දැනුම්දී ඇත්තේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් පිරිසක් පැමිණ තමන් ජපානය බලා පිටත්ව යෑමට පෙරාතුව යම් කරුණු දැක්වීමක් (ප්‍රසන්ටේෂන් එකක්) සිදුකළ බවත්, එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කොට සිදුකළ ආකාරයේ ප්‍රබල වැටලීමකට යම් කිසි කණ්ඩායමක් සැලසුම් කරන බව තමන්ට දැනුම්දී සිටි බවත්ය. ඒ අනුව තමන් මෙම අධි ආරක්ෂිත කලාප නම්කිරීම සිදුකළ බවද ජනාධිපතිවරයා එම පිරිසට දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් මෙහිදී නීතිඥ කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම හරහා ජාත්‍යන්තර වශයෙන් රටට ඍණාත්මක බලපෑමක් මතුවෙමින් පවතින බවත්, පාර්ශ්ව රැසක් මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බවත්ය. එසේ වුවහොත් අධිකරණයේදී අවාසිසහගත තීන්දුවක් ලැබීමේ ඉඩකඩ පවතින බවට මෙහිදී මෙම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
පුලුවන් නම් අයින් කරන්න!
මෙම කරුණු දැක්වීමත් සමග ජනාධිපතිවරයා වහාම නීතිපතිවරයාටත්, පොලිස්පතිවරයාටත් කතා කොට මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම තොරතුරු විමසා සිටීමට පියවර ගත්තේය. අපට ඇති ආරංචිවලට අනුව කියවෙන්නේ මෙසේ තොරතුරු ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරයා ජපානයේ සිටම අදාළ අධි ආරක්ෂිත කලාප නම්කිරීමේ ගැසට් පත්‍රය අවලංගු කිරීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසා ඇති බවය. නමුත් නීතිපතිවරයා එහිදී එසේ කළ නොහැකි බවත්, එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ අස්සන අවශ්‍ය බවත් දැනුම්දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා ලංකාවට පැමිණි වහාම ඊට අස්සන තැබීම සඳහා අදාළ නිවේදනය සකස් කර තබන ලෙස නීතිපතිවරයාට දැනුම්දී ඇති බවත් ආරංචිය. කෙසේ වෙතත් ඒ වන විටත් සමගි ජන බලවේගය ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක්ම මෙම ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට කටයුතු කර තිබිණි.
රනිලුත් ගෝඨා වගේම රිවස් කරයි!
සාමාන්‍යයෙන් පසුගිය කාලයේදී ගැසට් ගසා ඒවා රිවස් කිරීමට නම් දරා තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ගෝඨාභය සමයේදී ඔහු විසින් නිකුත් කළ ගැසට් පත්‍රිකා රැසක්ම යම් යම් විරෝධතා හේතුකොට ගෙන රිවස් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු මෙම අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව රිවස් කිරීමට කපියවර ගැනීමත් සමග වත්මන් ජනාධිපතිවරයා යටතේ රිවස් කරන පළමු ගැසට්ටුව ලෙස එය වාර්තා පොත් අතරට එක්වීය.
වෙනස්කම් රැසක් කරන්න තීන්දුයි!
එමෙන්ම මේ සිදුවීමට අදාළව අපට අනාවරණ කළ නොහැකි තවත් තොරතුරු රැසක්ම මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී තිබේ. එම තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණි පසු ආරක්ෂක අංශවල වෙනස්කම් කිහිපයක්ම සිදුවනු ඇති බවට තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජපානයේ සිටියදීම දීර්ඝ සාකච්ඡා රැසක නිරතව ඇති බවත්, එහිදී දැඩි තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.
බැසිල් වැඩ පටන් ගනී!
මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා සිටින්නේ ඇමෙරිකාව බලා පිටත්ව ගොස්ය. ඒ අනුව බැසිල් සම්බන්ධව අප පසුගිය සතියේ විශේෂ හෙළිදරව්වක් කරමින් ඔහුගේ වසර 20ක් පැරැණි ජංගම දුරකතන අංකය අක්‍රිය කොට තිබූ බවක් අනාවරණ කළේය. බැසිල් මීට පෙර ලොව කොතැනකට ගියත් සිය ජංගම දුරකතනය පැය 24 පුරාම සක්‍රීය තබා ගනිමින් ලංකාව සමග ගනුදෙනු කිරීමට වග බලාගෙන තිබිණි. නමුත් මෙවර කවදාවත් නොමැතිව බැසිල්ගේ පරණ පුරුදු ජංගම දුරකතන අංකය විසන්ධි කොට තිබීම නිසා බැසිල්ගේ අතිශය සමීප පොහොට්ටුවේ හිතවතුන්ට පවා ඔහුව සම්බන්ධ කරගැනීමේ අපහසුතාවක් පැනනැගී තිබිණි. නමුත් බැසිල් නම් වෙනත් අලුත් දුරකතන අංකයක් ඔස්සේ තමන්ට අවශ්‍ය පුද්ගලයන් සමග ඇමෙරිකාවේ සිට අදහස් බෙදාහදා ගැනීමට පියවර ගෙන තිබිණි.
අලුත් අංකයකින් කතා කරයි!
‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති ආකාරයට අනුව බැසිල් මෙසේ ඇමෙරිකාවේ සිට කතා කොට ඇති පුද්ගලයන් කිහිප දෙනකුටම දැනුම්දී ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත දේශපාලන වෙනස්වීම් කිහිපයක්ම සිදුවීමට ඉඩ ඇතැයි කියාය. එහිදී බොහෝ දෙනා බැසිල්ට ආණ්ඩුව ඇතුළේ දැනට මතුව පවතින අලුත් ප්‍රශ්න, ගැටුම් සියල්ල දැනුම්දී ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව බැසිල්ද මේ වන විට ඉදිරි කාලසීමාවේදී ආණ්ඩුව ඇතුළේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් රැසක් සකස් කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මහින්ද පළමුවරට ගෝඨාගේ පලු යවන්න ගනී!
බැසිල් මේ ආකාරයට ඇමෙරිකාවේ සිට සැලසුම් හදද්දී පසුගිය කාලය පුරා සක්‍රීය දේශපාලනයෙන් මඳක් ඉවත්ව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද නැවත වතාවක් සිය නිහඬතාව බිඳ දමා යළි දේශපාලනයට අවතීරණ වීමට තීරණය කොට ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව පසුගිය සතිය පුරාම මහින්ද සිය දේශපාලන හිතවතුන් රැසක්ම නිල නිවෙසට කැඳවා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද මහින්ද සහ මෙම දේශපාලන හිතවතුන් අතර අදහස් හුවමාරු වූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී පැමිණි බොහෝ දෙනා පොහොට්ටු ආණ්ඩුවේ පසුබෑමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව බලපෑ බව මහින්දට පෙන්වා දුන්හ. වෙනදා නම් මේ ආකාරයට වෙනත් පාර්ශ්වයන් ගෝඨා පිළිබඳ විවේචනාත්මකව අදහස් පළ කරද්දී මහින්ද, ගෝඨාව ආරක්ෂා කරමින් ඔහු පිළිබඳ කිසිදු වැරැදි දෙයක් ප්‍රකාශ නොකර සිටින ආකාරය දැකගන්නට ලැබිණි. නමුත් පුදුමයට කාරණාව වූයේ පසුගිය දින කිහිපය පුරා මෙසේ තමන් හමුවට පැමිණි හිතවතුන් ගෝඨාව විවේචනය කරද්දී පළමු වතාවට මහින්දද ඔවුන් සමග එක්ව ගෝඨාව විවේචනය කිරීමය.
අපිව කෑවා!
‘ඔව්, ගෝඨා අපි ඔක්කොම කෑවා. පොහොට්ටුවත් විනාශ කළා. දැන් ආයෙමත් ඔක්කොම මුල ඉඳන් පටන්ගන්න තමයි අපට වෙලා තියෙන්නේ…’ යනුවෙන් මෙහිදී මහින්දද ඔවුන් සමග එක්ව ගෝඨා පිළිබඳ අදහස් දක්වද්දී ඔවුන්ද පුදුමයෙන් යුතුව මුහුණෙන් මුහුණ බලාගත්තේ මෙතෙක් මහින්ද කවදාවත් ගෝඨාට විරුද්ධව වචනයක් හෝ කතාකර නොතිබීම හේතුවෙනි.
නාමල් රාජපක්ෂ පවුල එකතු කරන්න මැදිහත් වෙයි!
කෙසේ වෙතත් කවදාවත් නැතිව මහින්ද ගෝඨාව විවේචනය කිරීම ආරම්භ කොට ඇති බව කනින් කොනින් නාමල්ගේ කනටද වැටිණි. ඒ අනුව නාමල් කළේ රාජපක්ෂ පවුලේ සමගිය යළි ඇතිකිරීම සඳහා රාජපක්ෂ සහෝදරවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සංවිධාන කිරීමය. ඒ සඳහා බලපෑ තවත් එක් විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, බැසිල් සහ චමල් අතරද කිසියම් හිත් නොහොඳකමක් මතුව තිබීමය. ඊට හේතුවී තිබුණේ ගෝඨාට යම් යම් වැරැදි තීන්දු ගැනීම සඳහා චමල් උපදෙස් ලබාදී ඇති බවට බැසිල්ට කරුණු වාර්තා වී තිබීමය. ඒ අනුව බැසිල් තැන් කිහිපයකදීම චමල්ව දැඩි ලෙස විවේචනය කර තිබූ බවද නාමල්ට දැනගන්නට ලැබී තිබිණි. ඒ අනුව නාමල් මහින්ද – ගෝඨා – චමල් සහ බැසිල් එක් කරමින් පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කළේය.
බැසිල් ඔන්ලයින් එයි!
සාමාන්‍යයෙන් අප මීට පෙරද මෙම තීරයේ අවස්ථා කිහිපයකදීම වාර්තා කර ඇත්තේ රාජපක්ෂ සහෝදරවරුන් අතර මොන ප්‍රශ්න පැවැතියද ඔවුන් යම් තීරණාත්මක අවස්ථාවකදී එක මේසයකට පැමිණ එකට අසුන්ගෙන සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා බවය. ඒ අනුව පසුගිය සතියේද නාමල්ගේ මෙහෙයුමකට අනුව රාජපක්ෂ පවුල යළිත් වතාවක් එක මේසයකට පැමිණ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළහ. මෙම සාකච්ඡාවට බැසිල් ඇමෙරිකාවේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සහභාගි වීමට පියවර ගත්තේය. සාකච්ඡාවට මහින්ද, ගෝඨා සහ බැසිල් සහභාගි වුවද, චමල් ඊට එක් වූවාද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කළ පුවතක් අප වෙත වාර්තා වී නැත.
තීන්දු තීරණ රැසක් ගනී!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මහින්ද, ගෝඨා, බැසිල්, නාමල් යන සිවුදෙනාම දැනට ආණ්ඩුව ඇතුළේත්, පොහොට්ටුව ඇතුළේත් මතුව ඇති ප්‍රශ්න දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එම සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස දැඩි තීන්දු තීරණ ගණනාවක්ම ගැනීමට මෙහිදී පිරිස කටයුතු කළහ. ආණ්ඩුව ඇතුළේ ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය, පාර්ලිමේන්තුව තුළදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ තීන්දු ගණනාවක්ම මෙහිදී ගැනිණ.
පොහොට්ටු අණ්ඩුවට වැඩි වාසි ගන්න සැලසුම්!
මීට අමතරව සාකච්ඡාවේදී ගනු ලැබූ ප්‍රධානම තීන්දුව වූයේ මෙය පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයක් සිටින ආණ්ඩුවක් බැවින් පොහොට්ටුවේ ආණ්ඩුවක් ලෙස සලකා ඉදිරියේදී කටයුතු කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී සම්පූර්ණයෙන්ම ඒ සඳහා මැදිහත් විය යුතු බවටද එහිදී තීන්දු විය. එසේ කටයුතු කිරීමේදී එල්ල විය හැකි බලපෑම් සහ ප්‍රතිචාර පිළිබඳවද පිරිස අතර සාකච්ඡා විය. එසේ එන බලපෑම්වලට සහ ප්‍රතිචාරවලට කණ්ඩායම් රැස්වීම තුළදී සහ ආණ්ඩුව තුළදී දැක්විය යුතු ප්‍රතිචාර පිළිබඳවද මෙහිදී තීරණ ගණනාවක්ම ගැනිණ.
ජන්දයට ලෑස්ති වෙන්න කියයි!
මීට අමතරව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන් අතරේ සාකච්ඡාවක් විය. එහිදී බැසිල් පැහැදිලිවම පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරයාත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් පළාත් පාලන මැතිවරණය යළිත් වරක් කල්දමා ගැනීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කළද කිසිසේත්ම ඒවාට හසු නොවී නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. තමන්ට අවාසිසහගත බව වැටහී ඇති බැවින් එම පාර්ශ්වයන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සාහ දරන බවත්, එම දේශපාලන න්‍යායපත්‍රයට පොහොට්ටුව හසු නොවිය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් බැසිල් මැතිවරණ කොමිසම සමග එක්ව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද කියා සිටියේය. ඊට මහින්දගේත්, ගෝඨාගේත්, නාමල්ගේත් එකඟතාවද පළවිය.
මහින්ද-ගෝඨාත් රහස් සාකච්ජාවක්!
මෙම සාකච්ඡාව අවසන් වීමෙන් පසුව මහින්ද සහ ගෝඨා අතර නිවෙසේ ඇතුළු කාමරයක තවත් විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය. දෙදෙනාට පමණක් සීමා වූ එම සාකච්ඡාවේදී විශේෂ කරුණු රැසක් සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ජනවරම ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත්, මහ මැතිවරණයේදී ජනවරම ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාට බවත් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී එම ජනවරමට අනුව යමින් කටයුතු කිරීමට තීන්දු වී ඇති බවක් දැනගන්නට ඇත. එය ගෝඨා විසින්ද තහවුරු කර ඇති අතර ගෝඨාද පෙන්වා දී ඇත්තේ මහින්ද යළිත් කරළියට පැමිණ මෙම ජනවරමට අනුව කටයුතු කළ යුතු බවකි. ඒ අනුව ඉදිරියේදී මහින්ද යළිත් සක්‍රීය ලෙස දේශපාලනට පැමිණ පොහොට්ටුවට ලැබුණු ජනවරමට අනුව කටයුතු කරනු ඇති බවක් දැනගන්නට ඇත.
කැබිනට් ඇමැති කෙනෙකුත් අලුත් කපුකමක!
මේ අතර පසුගිය සතියේ අපි මෙම තීරය ඔස්සේ ගෝඨා යළි දේශපාලනයට රැගෙන ඒමේ කපුකමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ මේ සඳහා ආණ්ඩුවේ සිට ස්වාධීනව සිටින විමල් පිලේ එක්තරා මන්ත්‍රීවරයකු සහ ව්‍යාපාරිකයකු මුල්වී ඇති බවකි. මෙවර අප අනාවරණ කරන්නේ එම කපුකමට එක්ව ඇති අලුත්ම කැබිනට් අමාත්‍යවරයකු පිළිබඳවය. එම කැබිනට් අමාත්‍යවරයා පසුගිය කාලයේ ගෝඨාට අතිශය සමීපව කටයුතු කළ චරිතයකි. ඒ අනුව පසුගිය දින කිහිපයේම මෙම කැබිනට් ඇමැතිවරයාද ගෝඨා හමුවීමට ගොස්, ගෝඨාව යළි දේශපාලනයට රැගෙන ඒම සම්බන්ධයෙනුත්, ගෝඨා සහ රනිල් අතර දේශපාලන හිතවත්කමක් ගොඩනගා ගෝඨා – රනිල් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙනුත් සාකච්ජා පවත්වා තිබේ. එය අසාර්ථක වුවහොත් ගෝඨාව පොහොට්ටුවෙන් හෝ වෙනත් බලවේගයකින් දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය.
චන්ද්‍රිකා රනිල් යාලු කරක්නත් කපුකමක්!
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ජනාධිපතිවරයා අතර යළිත් දේශපාලන සංහිඳියාවක් ඇතිකිරීමට දෙදෙනාටම හිතවත් ප්‍රකට ව්‍යාපාරිකයකු මේ දිනවල කපුකම් කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදී තිරය පිටුපස හිඳිමින් චන්ද්‍රිකා විශාල කාර්යභාරයක් සිදුකළ නමුත් මහබැංකු හොරකම ඇතුළු කරුණු කාරණා ගණනාවක් මුල් කරගෙන රනිල් සමග යම් විරසකයක් හටගෙන තිබිණි. මෙම සිදුවීම යහපාලන ආණ්ඩුව බිඳවැටීම දක්වා ප්‍රබල හේතුකාරකයක් වූ අතර යහපාලන ආණ්ඩුව බිඳවැටීමෙන් පසු චන්ද්‍රිකා සහ රනිල් අතර තිබූ විරසකයද තරමක් වර්ධනය වී තිබිණි.
ඩිනර් එක චන්ද්‍රිකා මගහරී!
කෙසේ වෙතත් මේ වන විට රනිල් සහ චන්ද්‍රිකා එකතු කිරීමට පණිවුඩ ගෙන යන මෙම ව්‍යාපාරිකයා පසුගිය දිනවල සජබ මන්ත්‍රීවරුන්ටද කතා කරමින් ආණ්ඩුව සමග එක්වන ලෙසට ආරාධනා කළ අයකු ලෙස සැලකේ. එමෙන්ම මෙම ව්‍යාපාරිකයා පොහොට්ටුවෙන් ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ටද ඇමතුම් ලබාදෙමින් ආණ්ඩුවට එක්වන ලෙස දැනුම් දුන් අයකු බවද දැනගන්නට තිබේ. ඒ අනුව මෙම ව්‍යාපාරිකයා පසුගිය සතියේ චන්ද්‍රිකා සහ රනිල් නැවත එක් කොට ආණ්ඩුවට ශක්තියක් ලබාදීමට එක්තරා උපායමාර්ගයක් යෙදුවේය. ඒ, සිය නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමය. එම රාත්‍රී භෝජන සංග්‍රහයට රනිල්ටත්, චන්ද්‍රිකාටත් ආරාධනා කිරීමටද ඔහු කටයුතු කළේය. දෙදෙනාම එම ව්‍යාපාරිකයාගේ ආරාධනාව පිළිගැනීමට කටයුතු කළහ. නමුත් අවසානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවීමට චන්ද්‍රිකා තීරණය කළාය. පසුව මේ සම්බන්ධයෙන් කිහිප දෙනකුම චන්ද්‍රිකාගෙන් විමසද්දී ඇය ඊට දී තිබුණේ අපූරු පිළිතුරකි.