ජනපති ඩලස්ට සහෝදරකම ගැන පාඩමක් උගන්වයි!
ගෝඨාගේ ගියුමේ මහින්ද ගැන තිබ්බ වගන්තිය!
දෙමළ සන්ධානයත් විමල්ලාට එරෙහිව යයි!
එළහරකයි මී හරකයි වගේ ආණ්ඩූවක්ද?
පසුගිය සතිය ආරම්භ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් මුළු රටටම පෙනෙන්නට තිබුණේ ඉකුත් 2015-2019 කාලයේ පැවැති යහපාලන ආණ්ඩුවේ පිළිබිඹුවකි. අප එසේ කියන්නේ එවක යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රධානීන් දෙදෙනා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ආණ්ඩුවේ අගභාගය වෙද්දී දෙපැත්තට අදිමින් දේශපාලන වශයෙන් ගහමරා ගැනීම මේ වන විට වත්මන් ආණ්ඩුවෙනුත් හොඳහැටි දැකගැනීමට ලැබෙන නිසාය. විපක්ෂයේ සිටි වත්මන් පාලකයන් එදා යහපාලන ආණ්ඩුව ප්‍රසිද්ධියේම හැඳින්වූයේ එළහරකගෙයි – මීහරකගෙයි ආණ්ඩුවක් යැයි කියාය. මෛත්‍රී එක පැත්තකට අදිද්දී රනිල් තව පැද්දකට අදින ආණ්ඩුවක් යැයි කියාය. මෛත්‍රී වමට සිග්නල් දාද්දී, රනිල් දකුණට හරවන ආණ්ඩුවක් යැයි කියාය. එදා රනිල්ට එරෙහිව මෛත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙහෙයුම් සකස් කරද්දී මෛත්‍රීට එරෙහිව රනිල් අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් දියත් කරන ආකාරයක් දැකගන්නට තිබිණි.
ජනපති මැදුරෙයි අරලිය ගහ මැදුරෙයි මෙහෙයුම් 2ක්!
කෙසේ වෙතත් දෛවයේ සරදමකට මෙන් ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයන් දෙදෙනකු ජනාධිපතිකම සහ අගමැතිකම දරන වත්මන් ආණ්ඩුව යටතේද මේ ආකාරයටම ගැටුමක් ඇති බව රටටම පෙනෙන්නට තිබීම විශේෂ සිදුවීමකි. ගියවර අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අතර තිබූ ගැටුම මෙවර ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අතර මතුව ඇති ආකාරයක් දැකගන්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයය. එහිදී ජනාධිපති මන්දිරය ඇතුළේ අගමැති ඉවත් කර අන්තර්වාර ආණ්ඩුවක් බිහිකිරීම සඳහා මෙහෙයුම් දියත් වද්දී අරලියගහ මන්දිරයෙන් දියත් වූයේ පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් රැකගන්නා ආකාරයේ මෙහෙයුමක්ය.
ජනපති මැදුරේ මෙහෙයුම මහින්දානන්ද බාර ගනී!
ජනාධිපති මන්දිරය ඇතුළේ එම මෙහෙයුම දියත් කළේ එක්තරා විශේෂ පුද්ගලයෙකි. පසුගිය සතිය වන විටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැවැති කතාවලින් කියැවුණේ මෙම පුද්ගලයා මේ වන විට නිල නොවන ජනාධිපති ලේකම්වරයා බවට පත්ව විවිධ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට කැඳවීම, ඔවුන් සමග සාකච්ඡා කිරීම, ඔවුන්ව ඉහළ මහලේ සිටින ජනාධිපතිවරයා වෙත රැගෙන යෑම, මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර හමු සංවිධාන කිරීම ආදී සියල්ල සිදුකරමින් සිටිනවා යැයි කියාය. මේ පුද්ගලයා වෙන කවුරුවත් නොව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේය. රසායනික පොහොර තහනම හේතුවෙන් ගොවීන්ගේ දැඩි විරෝධයට පාත්‍ර වූ මහින්දානන්ද මේ වන විට ජනාධිපති මන්දිරයේ බලවත් පුද්ගලයා බවට පත්ව මේ සියලු මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම විශේෂ සිදුවීමක් බවට පත්ව ඇත. එමෙන්ම අරලියගහ මන්දිරයේ සිදුවන සිදුවීම් පවා පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා වෙත වාර්තා කරමින් සිටියේද වෙන කවුරුත් නොව මහින්දානන්දය.
අරලිය ගහ මැදුරේ මෙහෙයුම ජොනී-රෝහිත-පවිත්‍රා අතට ගනී!
මහින්දානන්ද මේ ආකාරයට අගමැති ඉවත් කර අන්තර්වාර පාලනයක් දියත් කිරීමේ මෙහෙයුමට ජනපති මැදුරේ සිට සම්බන්ධීකරණය කරද්දී අරලියගහ මැදුරේ අගමැතිවරයා වෙනුවෙන් මෙහෙයුම් දියත් කිරීමට පැමිණියේ ඇමැතිකම් අහිමි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි යනාදීන්ය. එහිදී සැලසුම දියත් කෙරුණේ තවදුරටත් අගමැතිවරයා ආරක්ෂා කරගනිමින් පොහොට්ටු ආණ්ඩුව ඉදිරියට රැගෙන යෑම පිළිබඳවය. පසුගිය සතිය පුරාම විවිධ පුද්ගලයන්, නීති ප්‍රවීණයන්, මැති ඇමැතිවරුන් ඊට කැඳවා දිවා රෑ නොබලා මෙම කණ්ඩායම අරලියගහ මන්දිරයේ සිට පක්ෂය කේන්ද්‍ර කොට ගෙන සිදුකළ යුතු මෙහෙයුම් සකස් කිරීමට පියවර ගත්හ. ඒ අනුව පසුගිය සති අන්තය වන විට විශේෂ ලියුම් දෙකක් අරලියගහ මන්දිරයේ සකස් විය. ඉන් එක් ලියුමකින් කියැවුණේ පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟතාව පළ කරන බවය. දෙවැනි ලියුමෙන් කියැවුණේ පක්ෂය ගන්නා තීන්දුවට එරෙහිව යන යම් මන්ත්‍රීවරයකු වේද, ඔහු මන්ත්‍රී ධුරයෙන් සහ පක්ෂයෙන් නෙරපා හරින බවය. ඒ අනුව පසුගිය සති අන්තය වන විට ලිපි දෙකම සියලු මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට අරලියගහ මන්දිරයෙන් පියවර ගෙන තිබිණි.
නාමල් දැඩි තීන්දුවක් ගනී
මෙහිදී අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර එහිදී සියලු දෙනාම පාහේ කියා සිටියේ කිසිසේත්ම අන්තර්වාර පාලනයකට එකඟ නොවිය යුතු බවත්, පොහොට්ටුවට ජන වරමක් දුන්නේ පොහොට්ටු ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට මිස වෙනත් ආණ්ඩු බිහිකිරීමට නොවන බවත්ය. ආණ්ඩුවට බහුතරය අහිමි වන්නේ නම් අන්තර්වාර පාලනයකට නොගොස් විපක්ෂයේ අසුන්ගත යුතු බවද එහිදී බොහෝ දෙනා අවධාරණය කොට තිබිණි. ඊට මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව නාමල් රාජපක්ෂය. නාමල් මෙහිදී දැඩිව පෙන්වා දී තිබුණේ කිසිසේත්ම අන්තර්වාර පාලනයකට එකඟ නොවිය යුතු බවත්, බහුතරය නොමැති නම් විපක්ෂයේ අසුන්ගෙන දේශපාලනය කළ යුතු බවත්ය. මහින්ද සිටියේද නාමල් කී මතයේම වීම විශේෂ සිදුවීමක් විය.
නීතිඥයන්ගෙන් අරලිය ගහ මැදුර පිරෙයි!
ඒ අනුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනකු සහ ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකු අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබිණි. නීති තර්කවලින් හෙබි දීර්ඝ සාකච්ඡාවකින් පසු ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබුණේ පක්ෂ මතයට පිටින් ගොස් කිසියම් මන්ත්‍රීවරයකු අන්තර්වාර ආණ්ඩුවේ සාමාජිකයකු වන්නේ නම් ඔවුන් පක්ෂ තීන්දුවට පිටින් ගිය අය ලෙස සලකා පක්ෂයෙන් නෙරපා හැරීමට හැකි බවය. එවිට එම පිරිස එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණයේ පිහිට පැතිය යුතු බවත්, එහිදී ඔවුන් අධිකරණය හමුවේ වගඋත්තරකරුවන් පිරිසක් බවට පත්ව ඇති නිසා, පිහිටුවන ආණ්ඩුවට නීත්‍යනුකූලභාවය සහ නීතියේ සුජාතභාවය අහිමි වන බවත් ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ ලොව කිසිදු රටක් ආණ්ඩුවට සහාය දැක්වීමට ඉදිරිපත් නොවන බවද ඔවුහු ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දුන්හ. පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට පක්ෂ තීන්දුවට පිටින් යන්නේ නම් පක්ෂයෙන් නෙරපා හරින බවට වූ ලිපිය යොමු කෙරුණේ එම නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුවය.
මහින්ද බිම් මට්ටමේ මතය විමසන්න තීන්දු කරයි! යන්නෙ නෑ! අවසන් තීන්දුව ගනී!
එමෙන්ම අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා අලුත් අගමැතිවරයකු හා අලුත් අමාත්‍ය මණ්ඩලයක් බිහිකරන බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය මතයත් සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් ගත් තවත් තීන්දුවක් වූයේ වහාම පක්ෂයේ බිම් මට්ටම කැඳවා ඒ පිළිබඳ ඔවුන්ගේ මතය විමසීමය. ඒ අනුව සඳුදා දින පළාත් සභා මන්ත්‍රී සංසදයත්, අඟහරුවාදා දින නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවීමටත් තීන්දු කෙරිණි. එම කැඳවීම්වලට අනුව සඳුදා දින පෙරවරුවේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය අරලියගහ මන්දිරයට පැමිණි අතර, එහිදී පළමුවරට අගමැතිවරයා තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවටත්, අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස තමන්ට කිසිවකුත් දැනුම් දී නොමැති බවත් සඳහන් කර සිටියේය. ඒ හරහා පළමු වරට අගමැතිවරයා ධුරයෙන් ඉවත් නොවන බවට වූ මතය අරලියගහ මන්දිරයෙන් එළියට ආවේය.
මන්ත්‍රීවරු පයින්ම ජනපති මැදුරට යන්න ලෑස්ති වෙයි! මහින්ද මැද්දට පනී!
කෙසේ වෙතත් මෙම රැස්වීම එතරම් උණුසුම් මුහුණුවරක් නොගත්තත් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් ආකාරයක් දැකගත හැකි විය. දිවයින පුරා විසිරී සිටින පොහොට්ටුවේ නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 300කට පමණ ඊට ආරාධනා කර තිබූ අතර, 250කට ආසන්න පිරිසක් ඊට සහභාගි වී සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස දැඩිව අවධාරණය කර සිටියේ අගමැති ඉවත් වීම හෝ අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීම සිදු නොකළ යුතු බවත්, අගමැතිවරයා තවදුරටත් තනතුරේ රැඳී සිටිය යුතු බවත්ය. යම් හෙයකින් පක්ෂයේ තීන්දුවට පිටින් යමින් කිසිවකු හෝ වෙනත් තීන්දුවක් ගනු ලබන්නේ නම් ඔවුන්ට ගමට ඒමට ඉඩ නොතබන බවද ඔවුහු එහිදී අවධාරණය කර සිටියහ. ඒ අනුව පිරිස එසැණින් තීරණය කළේ ඔවුන්ගේ මේ ස්ථාවරය අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට දක්වා පාගමනින් ගොස් ජනාධිපතිවරයාට දැනුම්දීමටය. නමුත් අගමැතිවරයා වහාම මැදිහත් වී එම තත්ත්වය වළක්වා ලූ අතර, ඉතා දැඩි කතාවක් කරමින් ඔහු කියා සිටියේ තමන් කිසිවකුටත් බිය නැති බවත්, යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත්ය.
ව්‍යපාරිකයෙක් ලක්ෂ 2500ක සල්ලි මල්ලක් හොල්ලයි! බිලිබාගැනීම ඇරඹෙයි!
මේ අතර අරලියගහ මන්දිරයෙන් ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමට හිටිහැටියේ බෝම්බයක් ගැසුවා සේ අඟහරුවාදා වන විට තවත් එක්තරා විශේෂ පුවතක් වාර්තා වන්නට විය. එම පුවතින් කියැවුණේ 113 සොයාගන්නා මෙහෙයුමට එක්තරා කෝටිපති ව්‍යාපාරිකයකුද සම්බන්ධ වී සිටින බවත්, ඔහු විසින් දැවැන්ත සල්ලි මල්ලක් එක්තරා හිටපු අමාත්‍යවරයකුට ලබාදී ඇති බවත්ය. පැතිර ගිය තොරතුරුවලට අනුව මෙම කෝටිපති ව්‍යාපාරිකයා මෑත කාලයේදී එක්තරා දැවැන්ත ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ කර ඇති බවත්, එහි ගිවිසුමේ යම් සංශෝධනයක් කරගැනීම සඳහා මෙසේ හිටපු අමාත්‍යවරයකුට රුපියල් ලක්ෂ 2,500ක මුදලක් ලබාදී ඇති බවත් කියැවිණි. එම වගන්තියට අනුව යම් මුදලක් ඩොලර්වලින් ගෙවිය යුතු බවත්, පවතින මූල්‍ය අර්බුදය හමුවෙ එය සිදුකළ නොහැකි නිසා එම වගන්තිය සංශෝධනය කරගැනීමට මෙම ව්‍යාපාරිකයාට වුවමනා වී තිබී ඇත. එම වගන්තිය වෙනස් කර දිය හැකි බවත් ඊට, රුපියල් ලක්ෂ 2,500ක මුදලක් අවශ්‍ය බවත් මෙම හිටපු අමාත්‍යවරයා දැනුම්දී ඇති අතර එම මුදල මෙම ප්‍රබල ව්‍යාපාරිකයා විසින් අදාළ දේශපාලකයාට ලබාදී ඇති බවත්, එම දේශපාලකයා මන්ත්‍රීවරුන් බිලිබාගැනීම සඳහා එම මුදලින් කොටසක් වැයකර ඇති බවත් එම තොරතුරුවලින් කියැවිණි.
වැඩේ මාට්ටු වෙයි! සල්ලි ගියේ කාගේ සාක්කුවලටද?
මෙම තොරතුරු වාර්තා වීමත් සමග පොහොට්ටුවේ ප්‍රබල පුද්ගලයෙක් එම ව්‍යාපාරිකයාට කතා කොට, මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගෙන ඇත. එහිදී මෙම ව්‍යාපාරිකයාද ඒ කතාව ඇත්තක් බව පිළිගෙන ඇති බව ආරංචිය. ඒ අනුව අදාළ ප්‍රධානියා දැඩිව කියා ඇත්තේ වහාම මෙම මුදල් ගනුදෙනුව නවත්වන ලෙසත්, ගෙවූ මුදල්ද වහාම ලබාගන්නා ලෙසත්ය. මෙම ව්‍යාපාරිකයාගේ නම පසුගිය කාලසීමාවේදී බොහෝ ආන්දෝලනයට ලක්වූ එකක් වූ අතර, විශේෂයෙන්ම 2015 වසරෙන් පසු විදෙස් රටවල මෙන්ම මෙරටද ව්‍යාපාර රැසක් අත්පත් කරගත්තකු ලෙස හෙතෙම ප්‍රචලිතය. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රකට ව්‍යාපාරිකයා විසින් ලබාදුන් ලක්ෂ 2,500 ලබාගත් පුද්ගලයා කවුද, එම මුදලේ කොටස් ගියේ කාටද, එකඟ වූ පරිදි නියමිත පරිදි මුදල් ලබාදුන්නාද යන්න පිළිබඳවය. එමෙන්ම මෙම ලබාදුන් මුදලින් විශාල ප්‍රමාණයක් ඒ ලබාගත් අය විසින් පිල්ලි ගසා ඇති බවක්ද මේ වන විට ආරංචිය.
ජනපති ලියුම් 2ක් හදයි! මහින්ද ඉවත් කරන්න කැමැති වෙයි!
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා විශේෂ ලියුම් දෙකක් පසුගිය සතියේ යොමුකිරීමට පියවර ගත්තේය. ඉන් පළමු ලිපිය ජනාධිපතිවරයා යොමු කළේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් එවනු ලැබූ ලිපියකට පිළිතුරු වශයෙනි. එමගින් ජනාධිපතිවරයා අවධාරණය කොට තිබුණේ පවතින දේශපාලන අර්බුදය විසඳාලීම සඳහා තමන් නව අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සූදානම් යැයි කියාය. ජනාධිපතිවරයා දෙවැනි ලිපිය යොමුකර තිබුණේ එහි දිගුවක් ලෙසිනි. එම ලිපිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට යොමුකිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එමගින් දැනුම්දී තිබුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් යැයි කියාය.
නිලධාරියෙක් වගන්තිය මහින්දට ඇහෙන්න කියවයි!
මෙම ලිපිය පසුගිය සඳුදා දවසේදී අරලියගහ මන්දිරයේ සිටි එක් නිලධාරියකු රැගෙන විත් අගමැතිවරයාට ලැබෙන්නට සැලැස්වීය. එම ලිපිය සම්බන්ධයෙන් දැනුවත්ද යන්න මෙම නිලධාරියා අගමැතිවරයාගෙන් විමසා සිටිද්දී අගමැතිවරයා කියා සිටියේ තමන් එවැන්නක් ගැන කිසිවක් නොදන්නවා යැයි කියාය. ඒ අනුව මෙම නිලධාරියා ජනාධිපතිවරයාගේ ලිපියේ තිබූ එක් වගන්තියක් අගමැතිවරයාට ඇසෙන සේ කියවන්නට වූයේය. එහි තිබුණේ ‘පවතින අගමැති හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පත්කරනු ලබන නව අගමැති හා ඇමැති මණ්ඩලය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇතැයි’ කියාය. ඒ අනුව අගමැතිවරයා පළාත් සභා සංසදය සමග රැස්වීමට සහභාගි වීම සඳහා අසුනෙන් නැඟී සිටියේ එම වගන්තියට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් යැයි කියමිනි. තමන් ධුරයෙන් ඉවත් නොවන බවත්, කිසිවකුත් තමන්ට ඉවත් වන ලෙස ප්‍රකාශ කර නොමැති බවත් අගමැතිවරයා පළාත් සභා සංසදයේ නියෝජිතයන්ට ප්‍රසිද්ධියේම කියා සිටියේ ඊට පිළිතුරක් වශයෙන්ය.
මහින්ද ගෝඨාටවත් ගෝඨා මහින්දටවත් ගැහුවේ නැත්තේ ඇයි!
මේ සියල්ල අතරතුර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විශාල දේශපාලන ගැටුමක් පවතින බවට රාවයක් පැතිර ගියද අරලියගහ මැදුරටත්, ජනපති මැදුරටත් ගිය සියලු දෙනාට එක් පොදු කාරණයක් දැකගන්නට ලැබිණි. ඒ, කුමන මතගැටුම් පවතිනවා යැයි කීවද අගමැතිවරයාගේ කටින් ජනාධිපතිවරයාට වචනයක් හෝ ජනාධිපතිවරයාගේ කටින් අගමැතිවරයාට එරෙහිව වචනයක් හෝ එළියට නොපැමිණිමය. අවස්ථා ගණනාවකදී අරලියගහ මන්දිරයට පැමිණි මැතිඇමැතිවරුන් ‘ජනපති මැදුරේ මෙහෙම වෙනවා, ජනාධිපති මෙහෙම කියල තියෙනවා, ජනාධිපති මෙහෙම කරනවා’ යැයි කියමින් විවිධ කතා කීවද අගමැතිවරයා ‘ආ ඇත්තද, එහෙමද’ යැයි කියමින් උත්තර දුන්නා විනා ජනාධිපතිවරයාට එරෙහිව වචනයක් හෝ කියන ආකාරයක් දැකගත නොහැකි විය. ජනපති මැදුරට යන එන නියෝජිතයන්ද ‘අරලියගහ මැදුරේ මෙහෙම වෙනවා, අරලියගහ මැදුරේ මෙහෙම කරන්න යනවා’ යැයි කුමන කතා කීවද ජනාධිපතිවරයාත් නාමල්ට හෝ යෝෂිත සම්බන්ධයෙන් වචනයක් හෝ දෙකක් කීවා විනා අගමැතිවරයාට එරෙහිව කිසිදු වචනයක් කියන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මහින්දට ගෝඨාගෙන් කෝල් එකක් එයි!
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වූ මාතෘකාව පසුගිය සතිය වන විට කලඑළි බැස්සේ මේ සියලු සිදුවීම් අතරවාරයේදීය. අප පසුගිය වතාවේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින්, අගමැතිවරයා අරලියගහ මන්දිරයට දෙමළ සන්ධානයේ නියෝජිත සුමන්තිරන්ව කැඳවා විධායක බලතල අඩු කරන 20 වැනි සංශෝධනය සකස් කළ බවත්, එය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් සඳහන් කර සිටියේය. ඒ අනුව සති අන්තයේ කාල්ටන්හි ගත කළ අගමැතිවරයා යළි කොළඹ බලා පැමිණියේ සඳුදා දිනයේදී මෙම 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ අරමුණෙන්ය. එමෙන්ම ඉරිදා රාත්‍රියේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග මුහුණට මුහුණ හමුවක් යොදාගෙන තිබුණද කොළඹ බලා එන ගමනේදී ලබාදුන් දුරකතන ඇමතුමකින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සාකච්ඡාව කැබිනට් මණ්ඩල රැස්වීමට පසුව පැවැත්වීමට කටයුතු කරමු යැයි කියාය.
මහින්දගේ 21ට ගෝඨා හීන් නූලෙන් ගුලියක් අඹරයි!
ඒ අනුව සඳුදා දිනයේදී ජනාධිපති බලය අඩුකරන 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන බවට තොරතුරු වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාද යම් තීන්දුවක් ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා කළේ තමන් මීට වසරකට පමණ පෙරාතුව ජනාධිපති නීතිඥවරුන් හට නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කරන ලෙසට කළ දැනුම්දීමට අනුව සකස් කර තිබූ නව ව්‍යවස්ථාවේ පිටපතක් වහාම තමන් වෙත ගෙන්වා ගැනීමය. එමෙන්ම මාධ්‍ය වෙත වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව ව්‍යවස්ථාවේ අතුරු පිටපතක් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්ය. ඒ අනුව අගමැතිවරයා එදින සවස් වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සකස් කර තිබූ 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොවීමේ පළමු ඉඟිය ඒ හරහා නිකුත් වූ බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි.
කංචන, ප්‍රසන්න කැබිනට් මණ්ඩලයේදී මහින්දට එරෙහිව යයි!
කෙසේ වෙතත් මහින්ද කී පරිදිම එදින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීටම 21 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කළේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාය. ව්‍යවස්ථා පිළිබඳ විශාරදයකු වන හෙතෙම මෙම සංශෝධනය පිළිබඳ ව්‍යවස්ථානුකූල භාෂාවකින් කරුණු පැහැදිලි කරන ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් සියලු දෙනාම පාහේ පුදුමයට පත්කරමින් මහින්ද ගෙන ආ යෝජනාවට එරෙහිව ප්‍රසන්න රණතුංගත්, කාංචන විජේසේකරත් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඔවුන් දෙදෙනාම කියා සිටියේ රටේ පවතින වත්මන් තත්ත්වය යටතේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීම සිදු නොකළ යුතු යැයි කියාය. කංචනත්, ප්‍රසන්නත් එසේ අදහස් දක්වද්දී මහින්ද නිහඬව සිටි ආකාරයක් දැකගත හැකි විය.
මහින්දගේ 21 හබක්! 4ක කමිටුවක්!
පසුව ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත්ව ඇති බවකි. එක් පාර්ශ්වයකින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර, අනෙක් පාර්ශ්වයෙන් 21 වැනි සංශෝධනය ඉදිරිපත්ව ඇති බව කී ජනාධිපතිවරයා තවදුරටත් 19 වැනි සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණ සහ 20 වැනි සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණත් එක්කොට 21 වැනි සංශෝධනය ඉදිරිපත් කළ යුතු බවට මතයක්ද සමාජගත වී ඇති බව පෙන්වා දුන්නේය. එම නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා තමන් සිවු පුද්ගල අමාත්‍ය කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. එම කමිටුවට අලි සබි්‍ර, ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළත් කෙරිණි. ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තේරීම් කාරකසභාවක් පත්කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට සඳහන් කර සිටියේය. ඒ අනුව 21 වැනි සංශෝධනය අද හෙට නොඑන ලකුණුත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය තවත් කල් ඇදෙන ලකුණුත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
පවුලේ සාකච්ජාව ඇරඹේ!
මෙම සිදුවීමත් සමග කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වී ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයෙන් නික්ම ගියද ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කලින් යොදාගත් පරිදි සාකච්ඡාවක් සඳහා වෙනත් කාමරයකට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. දෙදෙනා එසේ යන විට එහි චමල් රාජපක්ෂ මහතාත්, බැසිල් රාජපක්ෂ මහතාත් පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ දේශපාලන ගැටලුවක් මතුවූ විට එය සියලු දෙනා එක්ව සාකච්ඡා කොට විසඳාගන්නා නිසා බොහෝ දෙනා සිතා සිටියේ මෙවර පවුල ඇතුළේ ඇති අර්බුදයද සාකච්ඡා මාර්ගයෙන් විසඳාගනු ඇතැයි කියාය. තවත් සමහරුන් සිතා සිටියේ මෙවර නම් එක්ව සාකච්ඡා කළත් මතුව ඇති දේශපාලන ගැටලු පවුල ඇතුළේ විසඳාගත නොහැකි වනු ඇතැයි කියාය.
ගෝඨා තමන්ගේ දුක කියයි! මහින්ද අයින් වෙන්න හදයි!
කෙසේ වෙතත් රාජපක්ෂවරුන් අතර මුහුණට මුහුණ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ආණ්ඩුව ඇතුළේ තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු එකින් එක පිරිසට විස්තර කර දීමට පියවර ගත්තේය. විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ යෝජනා තමන්ට ලැබෙන බව එහිදී කී ජනාධිපතිවරයා එසේ යෝජනා ගෙන එන පිරිස පිළිබඳවද විස්තරයක් පිරිසට ඉදිරිපත් කර සිටියේය. එහිදී ජනාධිපතිවරයා කළ කතාවෙන් බොහෝ දුරට පිරිසට වැටහී ගියේ එය අගමැතිවරයාට තනතුරෙන් ඉවත් වන ලෙස නොකියා කී කතාවක් ලෙසය. එය වටහාගත් අගමැතිවරයාද කියා සිටියේ, ‘ඔයා මට කියන්නේ අගමැතිකමෙන් අයින් වෙන්න කියලා නම් මම ඉවත් වෙන්න සූදානම්’ යැයි කියාය. ඊට වහාම පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ‘නෑ නෑ මම එහෙම කියන්නෙ නෑ. මට තියෙන ප්‍රශ්න ටික තමයි මම කිව්වේ. ඒ අය කියනවා ඒගොල්ලන්ට 113ක් තියෙනවා කියලා. ඒකයි ඒ අය අලුත් අගමැති කෙනෙක් ඉල්ලන්නේ. දැන් මේ පැත්තට කීදෙනෙක් ඉන්නවද?’ යැයි කියාය. එවිට බැසිල් පැහැදිලිව කියා සිටියේ තමන්ට 103ක මන්ත්‍රී කණ්ඩායමක් සිටිනවා යැයි කියාය.
බැසිල් බහුතරය පෙන්වයි!
‘අපිට පැහැදිලිවම 103ක මන්ත්‍රී කණ්ඩායමක් ස්ථිරවම ඉන්නවා. තවත් 11 දෙනෙක් විතර ඔය යන රැල්ලට එහෙ මෙහෙ වෙච්ච කට්ටිය ඉන්නවා. හැබැයි 103 කියන්නෙත් මේ වෙලාවෙ බහුතරය. මොකද කාටවත් අපිට ඉන්න මන්ත්‍රීවරු ගාන නෑ.’ යනුවෙන් බැසිල් කියද්දී ජනාධිපතිවරයා බැසිල්ගේ කතාවට බාධා කරමින් කියා සිටියේ ඩලස්ලාගේ පැත්තෙන් ඔවුන්ට බහුතරයට ඇති බවට ගණන් හිලව් සකස් කොට තමන්ට දැනුම් දී ඇතැයි කියාය. ඊට බැසිල් දුන්නේ අපූරු පිළිතුරකි.
අන්තර් ආණ්ඩුව උසාවියේ වගඋත්තරකරුවන් කරයි!
‘නෑ, ඒ අය ඔය කියන්නේ සමගි ජන බලවේගයයි, ජේ.වි.පී. එකයි, ටී.එන්.ඒ. එකයි ඔක්කොම එකතු කරලා. ඒ අය ඒගොල්ලො එක්ක නෑ. එහෙම නැතුව ඒ අයට බහුතරය නෑ. අනෙක් එක තමයි අගමැතිතුමා අයින් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ පක්ෂය. ඔය ඔක්කොම තරග කළේ පොහොට්ටුව කියන පක්ෂය යටතේ. මේක සන්ධානයක් නෙවෙයි. පක්ෂයක්. ඒ නිසා තීන්දුව ගන්නේ පක්ෂය. අපි මේ ගැන මේ වෙද්දි නීති උපදෙස් අරගෙනත් ඉවරයි. අපේ නීතිඥවරුන් කිව්වා පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂය ගන්න තීන්දුවට පිටින් කාටවත් යන්න බෑ කියලා. එහෙම අපේ තීන්දුවට පිටින් ගියොත් අපට සිදුවෙනවා ඒ මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් නෙරපන්න. අපි ඒකට දැනටමත් ලියුම් හදලා ඉවරයි. එහෙම වුණොත් මේක උසාවිය ඉදිරියේ තියන කාරණයක් බවට පත්වෙනවා. එතකොට අලුතින් පිහිටුවන ආණ්ඩුව අධිකරණය ඉදිරියේ තියෙන ආණ්ඩුවක්. ඒකෙ තීන්දුව දෙන්න මාස දෙකක් විතර යනවා. ඒ වගේ අධිකරණය ඉදිරියේ වගඋත්තරකාරයො වෙලා ඉන්න ආණ්ඩුවකට ජාත්‍යන්තරයෙ කවුරුවත් උදව් කරන්න එන්නෙ නෑ. එහෙම නම් අපි ලෑස්තියි විපක්ෂයෙ ගිහින් වාඩිවෙන්න.’ යනුවෙන් බැසිල් කියද්දී අගමැතිවරයාද කියා සිටියේ බහුතරය ඇතැයි කියන කණ්ඩායමට 113ක බහුතරය පෙන්වන ලෙස දැනුම් දෙන්නැයි කියාය. එවිට අපට ඔවුන්ට අගමැතිකම ලබාදිය හැකි බවද අගමැතිවරයා කියා සිටියේය.
ඊට ජනාධිපතිවරයාද ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන්ද එම කණ්ඩායමට මේ බව කියා ඇති බවය.
ගෝඨා දීපු උත්තරය!
‘මමත් ඒ අයට කියන්නේ ඒකම තමයි. ඕගොල්ලො ඕගොල්ලන්ගෙ වැඩේ කරගෙන යන්න. මමත් ඒ අයට කියලා තියෙන්නේ බහුතරය අරන් ආවොත් මම තීන්දුවක් ගන්න ලෑස්තියි කියලයි.’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී පිරිස එකඟතාවකට පැමිණෙමින් කියා සිටියේ 113ක අස්සන් රැගෙන පැමිණෙන කණ්ඩායමට අගමැති ධුරය ලබාදිය හැකි යැයි කියාය.
ජනපති මැදුරට 110ක් එයි! විමල්ලාගේ අගමැති ඩලසුත් ඇවිත්!
මේ අතරවාරයේ ස්වාධීනව සිටින 40 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමද ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට කොන්දේසියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පොහොට්ටුවේ සාමාජිකයන් සමග තමන්ට එක්ව සාකච්ඡා කළ නොහැකි නිසා තම කණ්ඩායමට පමණක් වෙනම වේලාවක් ලබාදෙන ලෙසය. ඒ අනුව ජනාධිපතිවරයා පළමුව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට අවස්ථාව ලබාදෙමින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස පොහොට්ටුවේ ප්‍රධානීන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස් වරුව වන විට ජනාධිපති මන්දිරය පිරී ඉතිරී යමින් 110ක මන්ත්‍රී කණ්ඩායමක් පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ විමල් වීරවංශලාගේ අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස අභිෂේක ගන්වා සිටි ඩලස් අලහප්පෙරුම මහතාද සාකච්ඡාවට එක්ව සිටීමය.
හරියට තැනක් නැති අරුන්ධික මහින්දට යන්න කියයි!
මෙහිදී මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ දැනට රට තුළ පවතින තෙල්, විදුලි, ගෑස් අර්බුදය පිළිබඳය. මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ දීර්ඝව අදහස් දැක්වුවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියා අසා සිටින ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් දෙබරෙට පළමු ගල ගැසුවේ අරුන්දික ප්‍රනාන්දුය. අරුන්දික සාමාන්‍යයෙන් සැලකෙන්නේ එක එක වෙලාවට එක එක තැන්වල සිටින ඇමැතිවරයකු ලෙසය. පසුගිය වතාවකදී අගමැතිවරයා තවදුරටත් එම තනතුර දැරිය යුතු බව ප්‍රකාශ කර සිටි අරුන්දික මේ අවස්ථාවේදී ඊට හාස්පතින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්, ඊට අවස්ථාව ලබාදීම පිණිස අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් සඳහන් කර සිටියේය.
ඔක්කොම ඇවිස්සෙයි! තිස්ස කුට්ටි රිදෙන්න ගහයි! ඩල්ස් අගමැතිකමට කුමන්ත්‍රණයක!
අරුන්දිකගේ මෙම කතාවත් සමග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම එකම ඝෝෂාවක් බවට පත්විය. ඒ අනුව අරුන්දිකට පළමු ප්‍රහාරය එල්ල කරමින් නැගී සිටි තිස්සකුට්ටිආරච්චි මහතා, ‘මොන අන්තර්වාර ආණ්ඩුද? කවුද ඒවට ජන වරමක් දුන්නේ? රටේ ජනතාව ජන වරමක් දුන්නේ පොහොට්ටු ආණ්ඩුවක් හදන්න. ඒ නිසා මේ එක එක්කෙනාට ඕනෙ විදියට අගමැති අයින් වෙන්නයි, අන්තර්වාර ආණ්ඩු හදන්නයි බෑ. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මේ අගමැති සිහිනවල ඉන්න සමහරු මෙතන ප්‍රශ්න ඇතිකරනවා. හැංගි හොරා කතාකරන්න ඕනෙ නෑ. මේ කුමන්ත්‍රණයෙ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි, ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා. එතුමා දැනටමත් සූට් මහගෙන ඉන්නේ අගමැති වෙන්න…’ යැයි කියමින් ඩලස්ට අපහාස වන ආකාරයෙන් අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
ඩලස්ට යකා නගී! කේන්තියෙන් උත්තර දෙයි!
තිස්සකුට්ටිගේ මේ ප්‍රබල ප්‍රහාරයත් සමග දැඩි කලබලයට පත්වූ ඩලස්ද තරමක කේන්තියෙන් යුතුව ඊට උත්තර බැඳීමට නැගී සිටියේය.
‘නෑ මම කුමන්ත්‍රණ කරන්නේ නෑ. මම කරන දේ කෙළින්ම කරන කෙනෙක්. එදත් මම කිව්වේ ආණ්ඩුව අලුත් වෙන්න ඕනෙ කියලයි. එහෙම නැතුව මහින්දව අයින් කරන්න කියලා නෙවෙයි. අදත් මම කියන්නේ එළියෙ යන කැරැල්ල දිහා බලලා ආණ්ඩුව අලුත් වෙන්න ඕනෙ කියලයි. හැබැයි මට එහෙම කිව්වට පස්සේ ෆේස්බුක්වල ‘කොටා කොටා’ කියලා මඩ ගහනවා. මම මිටියි තමයි. හැබැයි මම කන්දක් වගේ උස ශක්තිමත් කෙනෙක්. ඒ ෆේස්බුක්වල ගහන ඒවා තමයි මෙතනත් මේ කියවෙන්නේ. මේ වගේ දේවල් මෙතන වෙනවා කියලා දන්නවා නම් මම මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එන්නෙත් නෑ. මම ගැන හොඳට අගමැතිතුමා දන්නවා. අගමැතියි මමයි හොඳ යාළුවො. මම එතුමා වෙනුවෙන් කරපු සටන් එතුමා දන්නවා. එතුමා වෙනුවෙන් මම හුඟක් කැපකිරීම් කළා.’ යනුවෙන් ඩලස් කියද්දී ජනාධිපතිවරයා කතාව පටන්ගත්තේ එතැනින්ය.
ඩලස්ට ජනපති සහෝදරකම උගන්වයි!
‘ඔයා අගමැතිතුමාගෙ හොඳ යාළුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න එතුමා මගේ අයියා කියන එක…’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී වහාම සංවාදයට මැදිහත් වූ අගමැතිවරයා කියා සිටියේ, ‘නෑ නෑ මම හිතන්නේ නෑ ඩලස් එහෙම අපිට ද්‍රෝහි වෙයි කියලා. මමයි ඩලස්ව ආයෙමත් දේශපාලනයට ගෙනාවේ. ඩලස් මගෙත් එක්ක එකතු වෙලා ලොකු දේශපාලන ගමනක් ආවා. එතුමා අපට ද්‍රෝහි වෙන එකක් නෑ….’ යැයි කියාය. ඉන් අනතුරුව කතාව පටන් ගත්තේ පවිත්‍රාය. ඉතා ආවේගශීලී කතාවක් කළ පවිත්‍රා අන්තර්වාර පාලනයට එරෙහිව දැඩි ප්‍රහාරයක්ද දියත් කළාය.
ගැහුවෙ පවිත්‍රාටමද? වෙන කාට හරිද?
කෙසේ වෙතත් පවිත්‍රාගේ කතාවත් සමග ජනාධිපතිවරයා කිසිවකු නොසිතූ පරිදි පවිත්‍රාට කෝපයෙන් බැණවැදීමට පටන් ගැනීම විශේෂ සිදුවීමක් විය. එම බැණවැදීම පවිත්‍රාට කළාද, එසේත් නැතිනම් අන් අය ඉලක්ක කොට සිදුකළාද යන්න පැහැදිලි නැතත් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සහ සහෝදරයා කෙටවීමට කටයුතු නොකරන්න යැයි කියාය.
‘පවිත්‍රා මම ඔයාට එකක් කියන්නම්. ඕගොල්ලො එහෙටයි මෙහෙටයි කේළම් කිය කියා අයියවයි මාවයි කොටවන්න ලෑස්තිවෙන්න එපා. මම කොයි වෙලාවෙවත් කියලා නෑ අයියාව අයින් කරන්න ඕනෙ කියලා. මම මේ ඔක්කොම දේවල් කරන්නේ ඉස්සරහට පාර්ලිමේන්තුවෙ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්න තියෙන හින්දා. අපි ඒක ඉස්සරහට පාර්ලිමේන්තුවට දානවා. ඒක අපිට සම්මත කරගන්න ඕන. මම කියන්නෙත් ඕගොල්ලො කියන දේම තමයි. 113 තියෙනවා නම් අගමැතිකම තියෙන එක ප්‍රශ්නයක් නෑ.’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී අගමැතිවරයාද යළිත් කියා සිටියේ එම කතාවමය.
අරුන්දික යළි නාගනී! නාමල්ගෙන් හොඳ හැටි අහගනී!
ඉන් අනතුරුව නැවතත් අරුන්දික දෙබරෙට ගලක් ගැසීමට පියවර ගත්තේය. ඒ, මෙම ප්‍රශ්නය පවුලේ ගැටලුවක් බවට පත්කර නොගන්නා ලෙස ප්‍රකාශ කිරීමත් සමගය. අරුන්දික කී මෙම පවුල් කතාවට නාමල්ට යකා නැග්ගේය. වහාම අසුනෙන් නැගී සිටි නාමල් දැඩි කෝපයෙන් යුතුව අරුන්දිකට කියා සිටියේ, ‘ඕගොල්ලන්ට ඡන්දෙ දිනනකොටයි, ආණ්ඩු පෙරළනකොටයි අපේ පවුල් හොඳයි. දැන් මේ ප්‍රශ්නයක් ආවම තමයි ඕගොල්ලොත් අපේ පවුලට ගහන්න ලෑස්ති වෙන්නෙ. ඕගොල්ලන්ට අගමැතිතුමා අයින් කරන්න ඕනෙ නම් දේශපාලන තීන්දුවක් අරන් ඒක කරන්න. හැබැයි පවුල් කතා ඇදලා මෙතන කතා කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද මෙතන ඔක්කොමල්ලා ආණ්ඩු කරන්නෙත් මේ පවුල හින්දා තමයි.’ යැයි කියාය. නාමල්ගේ මේ දැඩි ප්‍රහාරයත් සමග අරුන්දික කට වසාගත් ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඒ සංවාදයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ දැඩි ඝෝෂාවක් මතුවූ නිසා අගමැතිවරයා වහාම සාකච්ඡාව ‘දැන් ඇති’ යැයි කියා අවසන් කිරීමට පියවර ගත්තේය.
ගේම් ගහපු කට්ටියම මීක් නෑ!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී එක්තරා විශේෂ සිදුවීමක්ද දැකගන්නට ලැබිණි. ඒ, ජනපති මැදුරේ සිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ශක්තිමත් කිරිම සඳහා විශාල මෙහෙයුමක් දියත් කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාද රැස්වීමට සහභාගි වී සිටි නමුත් ‘මීක්’ සද්දයක් නොමැතිව නිහඬව සිටීමය. මීට අමතරව අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයාගේ පාර්ශ්වය ශක්තිමත් කරමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යනාදීන්ද රැස්වීමට සහභාගි වී සිටි නමුත් ඔවුන්ද ‘මීක්’ සද්දයක් නැතිව සිටිනු දැකිය හැකි විය. එමෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායක වන බැසිල්ද සාකච්ඡාවේ සිටි නමුත් ඔහුද වචනයක්වත් රැස්වීමේදී කතා කරන්නට ගියේ නැත. මීට අමතරව අගමැතිවරයා ඉවත් විය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් පවා යොමුකළ පසුපෙළ මන්ත්‍රීවරුන් දහ දෙනාගේ කණ්ඩායමද රැස්වීමේදී වචනයක් හෝ නොකියා නිහඬව සිටීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා රාත්‍රියේම අප මේ පුවත අතිවිශේෂ පුවතක් ලෙස අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ගත්තෙමු.
ශ්‍රීලනිපය ජනපතිට කොන්දේසියක් දමයි!
මේ අතරවාරයේ ශ්‍රීලනිපය ඇතුළේද කිසියම් අර්බුදයක් පැනනැගී තිබුණේ ජනාධිපතිවරයා යම් හෙයකින් සාකච්ඡාවක් ලබාදුනහොත් ඊට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙනි. විශේෂයෙන් මෙහිදී සාකච්ඡාවට සහභාගි විය යුතු නැති බවට වූ ස්ථාවරයේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනත්, මහ ලේකම් දයාසිරි ජයසේකරත් සිටින ආකාරයත් දැකගත හැකි විය. ඔවුන් දෙදෙනාම පෙන්වාදී තිබුණේ සාකච්ඡාවට සහභාගි වීමට අවශ්‍ය නම් පළමුවෙන්ම ජනාධිපතිවරයා ඇමැතිකම් ලබාදුන් තම කණ්ඩායමේ සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර එම තනතුරුවලින් ඉවත් කළ යුතු යැයි කියාය. නමුත් ශ්‍රීලනිපයේ අනෙක් බොහෝ දෙනා කියා සිටියේ කොන්දේසි දමා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු නැතැයි කියාය. ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා හමුවී අන්තර්වාර පාලනයක් සඳහා අවශ්‍ය ශක්තිය ලබාදිය යුතු යැයි කියාය.
අමරවීරට ඇමැතිකම් තදියමක්!
මෙම පිරිස නියෝජනය කළේ ශ්‍රීලනිපය ඇතුළේ සිටින ඉතා ඉක්මනින් ඇමැති ධුර ලබාගත යුතු කිහිප දෙනෙකි. ඔවුන්ට මෙම ඇමැතිකම් ලබාගැනීමේ තදියම කොපමණ දුරකට ගිහින් තිබෙනවාද කියනවා නම් පසුගිය සතියේ අමරවීර, පක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනකුටම සඳහන් කර තිබුණේ තව සුමානයක් ඉවසන්න යැයි කියාය.
‘ඕගොල්ලො පොඩ්ඩක් ඉවසලා ඉන්න. තව සුමානෙකින් අපේ ආණ්ඩුවක් එනවා. අපට ඇමැතිකම් හම්බවෙනවා. ඒ ගැන බයවෙන්න එපා.’ යනුවෙන් අමරවීර එම නියෝජිතයන් කිහිප දෙනාටම කියා තිබිණි. මෙම පිරිස දැඩිව ජනාධිපතිවරයා සමග සාකච්ජාවට යායුතු බව කියා සිටි නිසා අවසානයේදි මෛත්‍රිටත්, දයාසිරිටත් සිදුවූයේ තමන් පළමුව ගත් තීන්දුව රිවස් කිරීමටය.
විමල්ගේ පිලෙන් මහ රෑ මන්ත්‍රී කෙනෙක් ජනපති හමුවන්න එයි!
නමුත් මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා වෙනම හමුවිය යුතු බවට දැනුම්දී තිබුණද ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. ඒ අනුව එම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා එකඟ කරවා ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කටයුතු කර තිබුණේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම අතර පණිවුඩ හුවමාරු කරන්නාගේ චරිතයටද පණපොවා තිබුණේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාය. ඒ අනුව මෙම මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ තනිවම ගොස් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාද එහිදී සිකුරාදා පෙරවරු 10.30ට සාකච්ඡාව සඳහා වේලාව ලබාදීමට පියවර ගත්තේය. නමුත් ස්වාධීන කණ්ඩායමේ එක් කොන්දේසියක් වී තිබුණේ අගමැතිවරයා මෙම සාකච්ඡාවට සහභාගි නොවිය යුතු යැයි කියාය. ජනාධිපතිවරයා ඊටද සිය එකඟතාව ලබාදුන්නේය. කෙසේ වෙතත් මේ එකඟතාව පළකොට මන්ත්‍රීවරයා ජනාධිපති මන්දිරයෙන් නික්මෙන්නටත් පෙර වහාම අගමැතිවරයාට දුරකතන ඇමතුමක් දුන් ජනාධිපවරයා මේ බව ඔහුට දැනුම් දීමට පියවර ගත්තේය.
සුසිල්ලාත් ජනපති මැදුරේ!
මෙම සිදුවීම සිදුවන්නට පැය කිහිපයකට මත්තෙන් ජනාධිපති මන්දිරයේදී තවත් විශේෂ හමුවක් සිදුවිය. ඒ සඳහා එක්ව සිටියේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ ජෝන් සෙනෙවිරත්නය. බොහොම සුහදව ජනාධිපතිවරයා සමග පැවැති එම සාකච්ඡාවේදී අන්තර්වාර පාලනය පිළිබඳ සාකච්ඡා වුවද ජනාධිපතිවරයා එහිදී පැහැදිලිවම කියා සිටියේ අගමැතිවරයා ඉවත් කිරීමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නැතැයි කියාය. මෙය පවුලේ ප්‍රශ්නයක් බව කී ජනාධිපතිවරයා එය කිසිසේත්ම සිදුකළ නොහැකි බව අවස්ථා කිහිපයකදීම මේ තිදෙනාට දැනුම්දී සිටීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා මේ නොකියා කියන්නේ කුමක්ද යන්න අනුර යාපාට සහ ජෝන්ට තේරුණාදැයි නොදන්නා නමුත් සුසිල් නම් එය තේරුම් ගත් බව පෙනෙන්නට තිබුණේ ඔහු එම සාකච්ඡාව නිමා කොට එළියට පැමිණි වහා වෙබ් අඩවිවල පළවූ එක්තරා පුවතක් හේතුවෙන්ය. එම පුවතින් කියැවුණේ ජනාධිපතිවරයා සුසිල් ඇතුළු කණ්ඩායම මුණගැසී ඇති බවත්, සුසිල්ට බලශක්ති අමාත්‍ය ධුරය යෝජනා කළ නමුත් සුසිල් එය ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.
නමුත් මෙම පුවත දුටු අනුර යාපාත්, ජෝනුත් පුදුමයට පත්ව සිය හිතවතුන් කිහිප දෙනකුට කියා තිබුණේ එවැනි කිසිවක් සාකච්ඡාවේ සිදුවූයේ නැතැයි කියාය. නමුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා කෙළින්ම අගමැතිවරයා ඉවත් නොකරන බවට කළ ප්‍රකාශයත් සමග අන්තර්වාර ආණ්ඩු යෝජනාවට සිදුවන්නට යන දේ මේ වනවිට බොහෝ දෙනෙක් වටහාගෙන අවසානය.
ටිරාන්ගේ කාර්යාලයට සජබෙත් එයි!
මේ අතරවාරයේ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම හා සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක්ද මන්ත්‍රී ටිරාන් අලස්ගේ බොරැල්ල කාර්යාලයේදී පැවැත්වී තිබිණි. ඊට සජබ පාර්ශ්වයෙන් හර්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර හා මරික්කාර් එක්ව සිටි අතර, ස්වාධීන කණ්ඩායම් පාර්ශ්වයෙන් විමල්, උදය ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ. මෙහිදී අන්තර්වාර පාලනය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර විමල්ලාගේ යෝජනාව වී තිබුණේ හැකි ඉක්මනින් අගමැතිවරයා ඉවත් කිරීමේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියාය.
වාසු පිස්සුවක් කෙළියි!
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙහෙයුම් දියත් වෙද්දී වාසුදේව මාධ්‍යයට කළ එක්තරා ප්‍රකාශයක් හේතුවෙන් සියල්ල කනපිට පෙරළිණි. වාසුදේව කියා සිටියේ සජබ නායක සජිත් හා බැසිල් අතර දේශපාලන ඩීල් එකක් පවතින බවත්, මේ හේතුවෙන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම සජිත් පිල විසින් කල්දමන බවත්ය.
හොර හැත්තක් එක්ක ඩීල් නෑ!
වාසුගේ මෙම ප්‍රකාශයට ඊට පසුදිනම සජිත් මාවනැල්ලේදී දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ තමන්ට ජනතාව සමග හැරෙන්නට වෙන කිසිවකුත් සමග ඩීල් නොමැති බවත්, හොර හැත්තක් සමග ඩීල් දැමීමට තමන් කිසි විටෙක සූදානම් නොමැති බවත්ය.
වාසුට වටකර පහර දෙයි!
මීට අමතරව වාසුගේ මෙම ප්‍රකාශයත් සමග ඔහුට හතර වටෙන්ම ප්‍රහාර එල්ල වන්නට පටන්ගත් අතර මරික්කාර් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ විශ්වාසභංග ගැන කතා කරන වාසු තවමත් ඊට අස්සන් තබා හෝ නැතැයි කියාය. එපමණක් නොව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව කී මරික්කාර් හැකි නම් ඊට අස්සන් තබන්න යැයි වාසුට අභියෝගයක්ද කළේය. මරික්කාර්ට අමතරව මනෝ ගනේෂන්ද වාසුට ප්‍රහාර එල්ල කරමින් කියා සිටියේ වාසුගේ මොළය පරීක්ෂා කරගත යුතු යැයි කියාය. සජිත් ගත් ස්ථාවරය හරි බව කී මනෝ, රටම කියන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත්, ජනාධිපතිවරයා සිටින තාක් වෙනත් ආණ්ඩු සකස් කොට පලක් නොමැති බවත්ය.
වාසුටත් ඇමැතිකම් තදියමක්!
ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයද වාසු මෙසේ පිස්සු ප්‍රකාශයක් කළේ කුමන හේතුවක් නිසාද යන්න සොයාබැලීමට කටයුතු කළේය. එහිදී අපට වැටහී ගියේ විශ්වාසභංග යෝජනාව ප්‍රමාද වෙත්ම අන්තර්වාර ආණ්ඩු බිහිකිරීමේ අවස්ථාව ප්‍රමාද වන බවත්, ඒ හරහා ඇමැති ධුර ලබාගැනීමේ අවස්ථාව දිනෙන් දින ප්‍රමාද වීමත් නිසා මෙසේ වාසු ප්‍රකාශයක් කර ඇති බවත්ය. විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගයේ අස්සන් ටික ලබාගැනීම මෙම ප්‍රකාශයේ අරමුණ බවත් එහිදී අපට දැනගන්නට ලැබිණි. නමුත් වාසුගේ එම ප්‍රකාශය හරහා එම 40 කණ්ඩායම තුළ ඇති අරමුණ සහ ඔවුන්ගේ හෙළුව රටට දැකගන්නට හැකි වීමද විශේෂ සිදුවීමක් විය.
දෙමළ සන්ධානයත් විමල්ලාට එරෙහිව යයි!
අනෙක් අතට මේ වන විට දෙමළ ජාතික සන්ධානය සිටින්නේද විමල්ලා ගෙන එන කිසිදු යෝජනාවකට සහාය නොදක්වන ස්ථාවරයකය. විශේෂයෙන්ම එදා සිට විමල් ජාතිවාදී ස්ථාවරයක සිට කටයුතු කළ බැවින් මේ මොහොතේ විමල්ලා ගෙන එන කිසිදු යෝජනාවකට සහාය නොදැක්වීමට දෙමළ සන්ධානය තීන්දු කොට ඇත. ඔවුන් සිටින්නේ ඉදිරියේදී ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් පාර්ලිමේන්තුවට නැති බව රටටත්, ලෝකයටත් ඔප්පු කර පෙන්වන්නටය.










