බොහෝ දෙනෙක් මේ දිනවල නෙත් යොමා සිටින්නේ රටේ උද්ගතව ඇති ආර්ථික සමාජයීය වටපිටාව දෙසය. උද්ධමනය දැඩි ලෙස ඉහළ ගිය පසුබිමක හැම කෙනකුගේම සිතේ තියෙන එකම ප්‍රශ්නය වන්නේ හෙට දවසට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. අපි හැමෝටම පොදුවේ බලපාන ඒ ගැටලුව ඒ විදියටම තියෙද්දී තවත් කනගාටුදායක පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා. ලක්මවට කීර්තියක් අත්කර දුන් තරුණ කාන්තාවන් දෙදෙනකු පසුගිය 24 වැනිදා දිවියට සමුදුන් බවයි එම පුවතින් කියැවුණේ.
මෙලෙස දිවි ගමනට සමුදී තිබුණේ කඩුලු මතින් දිවීමේ කාන්තා තරග නියෝජනය කළ දෙස් විදෙස් ශූරතා රැසක් දිනාගත් කෞෂල්‍යා මුධුෂානි සහ 2015 වසරේ ශ්‍රී ලංකා රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින වූ කසුනිකා වික්‍රමාරච්චියි.
බොහෝ දෙනකුට තමන්ගෙ ජීවිතේ දරාගන්න අපහසු වේදනාකාරී සිදුවීම් තිබෙනවා. ඒ වේදනාකාරී සිදුවීමෙන් මිදෙන්න නොහැකි වෙද්දී ජීවිතයෙන් පලායන්නත් ඇතැම් අය උත්සාහ ගන්නවා. ඒ, තමන්ට දුක් ගෙනදෙන සිදුවීමෙන් මිදෙන්නට කළ හැකි එකම දේ ජීවිතයෙන් පලායෑම බව ඒ අයට සිතෙන නිසයි. හැම මතකයක්ම, හැම නැවතුමක්ම අත්හැරලා ඈතකට යන එක ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ඒ අයට සිතෙනවා වන්නට හැකියි.
මෙවන් ප්‍රශ්න අපි හැමෝටම ඇතිවන එක ස්වභාවික තත්ත්වයක්. මානසික ආතතිය, අධික තෙහෙට්ටුව, අධිකව වෙහෙසීම වගේම ආර්ථික ගැටලු සහ විවාහ ජීවිතයේ ඇතිවන යම් යම් මානසික වියවුල් හේතුවෙනුත් වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් සේම වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද පීඩාවට පත්ව සිටිනවා. විශාදය කියන්නේ ඒ වගේ මානසික ගැටලු තරමක් උග්‍ර අතට හැරුණාම ඇතිවන මානසික තත්ත්වයක්.
කෞෂල්‍යා මධුෂානි මෙලොව එළිය දුටුවේ 1995 දෙසැම්බර් 13 වැනිදා කුලියාපිටියේදීය. 26 වැනි වියේ පසුවූ ඇය අධ්‍යාපනය ලැබුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරියක් ලෙස පනාගොඩ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටි ඇය කුලියාපිටිය දුම්මලසූරිය තෝරබිත්තිය ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේදී ගෙල වැලලාගෙන තිබුණා. ක්‍රීඩා අංශයෙන් ඉහළ දක්ෂතා දක්වමින් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම ඇගේ සිහිනයක් තිබූ බවයි මධුෂානිගේ මව සඳහන් කර සිටියේ.
ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ වත්මන් ජාතික ශූරිය වූ අතර අන්තර්ජාතික තරග රැසකට සහභාගි වී ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබුණා. කුඩා කල සිටම මලල ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ ඇය අවස්ථා පහකදී ජාතික ශූරතා පදක්කම් දිනාගෙන ඇති අතර, මිටර් 400 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක්ද දිනාගන්නට සමත් වුණා. මීටර් 400 කඩුලු මතින් දිවීමේ 2014 ආසියානු මලල ක්‍රීඩා උළේලේදී ආසියානු කනිෂ්ඨ ශූරතාවයේ රිදී පදක්කමද, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා උළේලේදී ලෝකඩ පදක්කමද, 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම සහ 2019 වසරේ නේපාලයේ පැවැත්වුණු 13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමද ඇය විසින් දිනාගන්නට සමත් වුණා. මුධුෂානි අවසන් වශයෙන් සහභාගි වුණේ 2022 සියවැනි ජාතික මලල ක්‍රීඩා උළේලේ මීටර් 400 කඩුලු පැනීමේ තරගයටයි. පසුගිය අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී ඇය රන් පදක්කමක් ජයග්‍රහණය කළේ තත්පර 58.73 කාලයක් වාර්තා කරමින්. එහිදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ඇයට හොඳම කඩුලු පැනීමේ ක්‍රීඩිකාවට හිමි ග්ලූකොලින් කුසලානයද හිමිවුණා.
ක්‍රීඩා පිටියේදී බාධක මතින් දිවීමට ඇය ඉගෙන ගත්තද ජීවිත හමුවට එන අනන්ත වූ බාධක හමුවේ ඒවාට මුහුණදෙන අයුරු ඇයට ඉගෙනගන්නට නොහැකි වීම කනගාටුවට කරුණක්. ඇගේ ජීවිත මාවතේ කටු පඳුරු තිබෙන්නට ඇති. නමුත් ඇය ජාත්‍යන්තර තලයේ තරගවලට ඉදිරිපත්ව පදක්කම් රාශියක් ලක්මවට හිමිකර දීමට කටයුතු කළා.
කෙසේ වෙතත් ඇගේ ක්‍රීඩා දිවියේදී ලබාගන්නට සමත්වූ පදක්කම්, ශූරතා සියල්ල ඇගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානය අසල පිළිවෙළට තබා තිබෙනු දැකගන්නට ලැබුණා. ඒවා දකින ඕනෑම කෙනකුට හැඟෙන්නේ මේ තරම් දක්ෂතා ඇති තරුණියක් රටට අහිමි වීම කොතරම් පාඩුවක්ද යන්නයි.
කෞෂාල්‍යා මධුෂානි පසුගිය 24 වැනිදා පෙරවරු 11ට පමණ ගෙල වැලලාගෙන මියගිය අතර ඊට මොහොතකට පෙර ලිපියක් ලියා තබා ඇති බව පසුව සොයාගනු ලැබුණා.
‘මේක මගේ කැමැත්ත. මේ වෙන දෙයට කිසිම කෙනෙක් වගකිවයුතු නැහැ. මගේ ජීවිතය ගැන මා ගත් තීරණය ගැන වගකිව යුත්තන් සෙවීමටවත්, පරීක්ෂණ කිරීමටවත් අවශ්‍ය නැහැ. මගේ වගකීම මම භාරගන්නම්….’ ඇය සිය අවසන් වචන පෙළ එලෙස සටහන් කර තිබුණේ තම මරණයේ වගකීම කිසිවකු විසින් භාරගත යුතු නැති බව දන්වමින්.
එසේම මධුෂානි තම හොඳම යෙහෙළියට යැවූ කෙටි පණිවුඩයක්ද මේ වන විට මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
‘මට සමාවෙයන් මචෝ. පරිස්සමට ඉන්න. බුදුසරණයි…’ එහි සටහන්ව තිබුණා.
සිය දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව මධුෂානිගේ මව තවමත් පසුවන්නේ හැඬූ කඳුළින්. ‘පණ වගේ ඔක්කොම රැකගත්තේ එයා. මොකද්ද මේ වුණේ කියලා අපට හිතාගන්න බැහැ. දුවගේ අනාගත සිහිනය තිබුණේ ඔලිම්පික් පදක්කමක් දිනාගන්න එක…’ ඇය එහෙම කිව්වේ දියණිය අහිමිවීමෙන් ඇතිවූ කම්පනයෙන්.
මධුෂානිගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රියංගිකා සුසීමා මහත්මියද මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී තිබුණා. එහි සඳහන් වුණේ මෙවැන්නක්.
‘ මියගිහින් තියෙන්නේ මගේ බාලම නංගි. පසුගිය 23 වැනිදා සියවස් සැමරුම් ජාතික ක්‍රීඩා උළෙලට සහභාගි වෙන්න නංගි ගෙදරින් ගියා. ඇය ජීවත් වුණේ අම්මාත් එක්ක වෙනම නිවෙසක. ඇය ශ්‍රී ලංකා යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරියක් ලෙස පනාගොඩ කඳවුරේ සේවය කළා. මෙම සිද්ධිය වීමට පෙර දින ජාතික ක්‍රීඩා උළෙලට සහභාගි වෙන්න නංගිගේ මිතුරියක් සමග ක්‍රිඩාංගණයට ගියා. යෙහෙළිය නැවතිලා ඉඳලා පසුදින නංගිගේ ගෙදරින් පිටවෙලා ගියා. මම නංගිට කන්න කියන්න 24 වැනිදා උදේ 9ට විතර නංගිගේ ගෙදරට ගියා. ඒත් ඇය දැන්ම කන්න බැහැ කිව්වා. මම ආපහු ගෙදර ගියා. නංගිගේ තවත් යෙහෙළියක් ඇගේ මංගල උත්සවයට නංගිට ආරාධනා කරන්න අපේ ගෙදරට ආවා. මම ඒ මිතුරියවත් එක්කගෙන නංගිගේ ගෙදරට ආපසු උදේ 10ට විතර ගියා. ඒ වන විටත් නංගිගේ කාමරයේ දොර ජනේල් වහලා තිබ්බේ. මම කතා කළත් කිසිම ශබ්දයක් නැහැ. මම හිතුවා තරග කළ මහන්සියට නින්ද ගිහින් කියලා. එක ජනේලයක් මම විවෘත කළා. නංගි දණගහගෙන ඇඳ ළඟ වැටිලා ඉන්නවා දැක්කා. නංගි සුරතලේට ඇතිකළ බලු පැටවා නංගිගේ මුහුණ ලෙව කකා හිටියා. ඒ වෙලාවේ මම දැක්කා නංගිගේ බෙල්ල ප්‍රදේශයේ ලණුවක් වගේ දෙයක් තියෙනවා. මට කෑගැහුණා. මගේ මහත්තයා ඒ වෙලාවේ දුවගෙන ආවා. දොර කඩලා ලණුව කපලා නංගිව කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. එහිදී ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් කිව්වා…’
මධුෂානිගේ මරණය සම්බන්ධ විමර්ශන සිදුකළ දුම්මලසූරිය පොලිසිය පොලිසියේ සැරයන් චමින්ද මහතා කියා සිටියේ ඇය දිවි නසාගැනීමට හේතුව ආදර සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් බවට අනාවරණ වී ඇති බවයි.
මධුෂානිගේ දිවි නසාගැනීම සිදුවූ 24 වැනිදාම තවත් සියදිවි හානි කරගැනීමේ සිදුවීමක් වාර්තා වූ අතර එලෙස මියගියේ කඩවත පදිංචිව සිටි කසුනිකා වික්‍රමාරච්චි නම් තරුණියක්. 2015 වර්ෂයේ ආසියානු විවාහක රූ රැජින කිරුළ සහ 2015 ශ්‍රී ලංකා රූ රැජින වශයෙන්ද කිරුළු පැලඳි කසුනිකා වික්‍රමාරච්චි කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබුණා. 1983 උපන් ඇයට විවාහයෙන් අවුරුදු 09ක පුතෙකුද සිටින අතර, කසුනිකා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරමින් සිටියා.
ඇගේ මරණය විදෙස් මාධ්‍යවලද සටහන් වුණා. ‘ඇය රූ රැජිනක් වීමේ සිහිනය සැබැකර ගැනීමට කටයුතු කළා. 2009 වර්ෂයේදී ඇය කළ සේවය වෙනුවෙන් HIV Reverse Transcription කායික විද්‍යාව සහ ඖෂධ පිළිබඳ සම්මානයට හිමිකම් කියන්නට ඇය සමත් වුණා. රූ රැජින තරගයෙන් පසු වරප්‍රසාද සහිතව වැඩකරන්නටත් ඇය කටයුතු කළා. එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කමිටුවේ සභාපතිත්වයද දැරූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ උපාධි ශිෂ්‍යාවක් වගේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යර්ථවරියකි. 2009 වර්ෂයේදී ඇයට සම්මානය හිමිවුණේ වෛද්‍ය විද්‍යාවට සහ කායික විද්‍යාවටයි….’ එලෙස විදෙස් මාධ්‍ය වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා.
කසුනිකා විදේශීය රටවල ප්‍රසිද්ධ කාන්තාවක් වුවත්, අධ්‍යාපන අංශයෙන් බොහෝ දක්ෂතා දැක්වූවත් අපේ රටේ මාධ්‍යවල ඇය පිළිබඳ කිසිදු තොරතුරක් පළ නොවීම කැපී පෙනෙන සිදුවීමක්. කසුනිකාගේ හදිසි වියෝව පිළිබඳ ඇගේ මිතුරියක් සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.
‘අනේ කසූ, ඔයා මොකද මේ කරගත්තේ…? ඉයන්ට කියලා ඔයාව ලස්සන කළේ, ඔයා ලෝක වටේ ගියේ මේකටද? ඔච්චර කතාකරන එකේ මෙච්චර ප්‍රශ්නයක් තිබ්බා නම් ඇයි අපිට නොකිව්වේ….? මං flying මං ආව ගමන් අරගලයට එනවා කිව්වේ අන්තිමට… අනේ ඇයි කසූ මෙහෙම කරගත්තේ? ආයෙ කිසිම ආත්මෙක මේ වාගේ දෙයක් කරගන්න එපා…’
නිරූපණ ශිල්පී විශ්ව පෙරේරා, සිය මිතුරිය වූ කෞෂල්‍යාගේ හැරයෑම පිළිබඳ ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මේ විදියට.
‘උදෙන්ම නැඟිටිනකොට අහන්න ලැබුණේ කසුනිකා ඔයා අපි හැමෝම දාලා යන්න ගිහින් කියලා. ඔයාට තව ටිකක් ඉවසන්න තිබුණා. ඒත් හැම දේම දැන් පරක්කුයි. ඔයා යන්නම ගිහින්. එකිනෙකාට ගෞරව කරන සැබෑ මිනිසුන් ලෙස කටයුතු කරන්න. එතකොට මීට වඩා සමාජය ලස්සන වෙයි…’
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ 2002 උසස් පෙළ මිතුරියන් කෞෂල්‍යාගේ මරණය වෙනුවෙන් තබා තිබුණේ මෙවැනි සටහනක්.
‘ළග ඉඳන් කළ අකුරු…
සිතා පිරි හිත සොඳුරු…
සසර සැණෙකින් රුදුරු…
නුඹ රැගෙන ගිය අයුරු…
දැරූ අබිමන් කිරුළු…
තබා යන මඟ කඳුළු…
කියා දී ඇත මිතුරු…
නිවෙන වග දිලෙන තරු…
නිමාකෙරු ජීවිතේ…
සෙනෙහෙබර මිතුරියේ…
මතු භවෙත් හමු වෙමු…
අපි එකම පන්තියේ…
කසුන් මතකය බැඳී…
නිසල දෙණ ළඟ රැඳී…
නිවන් සුව පතනෙමු…
යෙහෙළියන් වන අපි….’
ඇගේ මරණය සැලවීමෙන් මිතුරු මිතුරියන් විශාල පිරිසක් දුක්වෙද්දිදී කසුනිකාගේ සියදිවි නසාගැනීම පිළිබඳ කඩවත පොලිසියේ පොලිස් පරීක්ෂක සමන් ප්‍රියන්ත මහතා පවසා සිටියේ පවුල් ආරවුලක් මත ඇතිවූ මානසික පීඩාවක් හේතුවෙන් ඇය ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.
ජීවිතයේ අපට කොතරම් කරදර බාධක ආවත් මෙලෙස මොවුන් ජීවිතයෙන් වන්දි ගෙවීම කනගාටුවට කරුණක් වගේම අනුවණකමක්. දිවි නසාගැනීමක් යනු ප්‍රාණඝාතය හා සමාන පාපකර්මයක් බව අප දන්නවා. මේ මුරණ්ඩු ක්‍රියා නිසා සිදුවූයේ තම පවුලට ආදරණීය දියණියක් අහිමි වීමයි. මවකට දියණියක් අහිමි වීමයි. සහෝදරියට සහෝදරියක් අහිමි වීමයි. දරුවකුට අම්මෙක් අහිමි වීමයි. ඒ සියල්ල අහිමි කරමින් ඇය සමුගෙන ගිහින්.
මධුෂානිත්, කසුනිකාත් ඔවුන්ගේ ජීවිත තුළින් සමාජයට දෙන පණිවුඩය නිවැරැදි ලෙස වටහාගැනීම අප හැමෝගෙම වගකීමක්. මරණය හමුවේ දුක්වී කඳුළු සලමින් වේදනාව යටපත් කරගන්නවා සේව, එවන් මරණයකට ඔවුන් ඇදදැමුණු හේතුව සොයා ඊට පිළියම් කළ යුතු බව ඔවුන් අපට ලබාදෙන පණිවුඩයයි. මානසික පීඩාවන්ගෙන් පෙළෙන කෙනකු හමුවුණොත්, විශාදය වැනි තත්ත්වයට මුහුණදුන් කෙනකු හමුවුවහොත් ඔවුන් ගැන විශේෂ සැලකිල්ලක්, ආදරයක් දැක්වීම මනුෂ්‍යත්වයේ නාමයෙන් අප සිදුකළ යුතු යුතුකමක් බව සිහිපත් කළ යුතුයි. එවැනි මානසික තත්ත්වයන්ට මේ වන විට ඕනෑ තරම් වෛද්‍ය සායන, ප්‍රතිකාර ක්‍රම සිදුකෙරෙන පසුබිමක එවන් ක්‍රම මඟහැර සිටීම නිසා වටිනා ජීවිත දෙකක් එකම දවසක අපට අහිමි වුණා. ඉදිරියටත් එවැනි අවාසනාවන්ත සිදුවීම් නොවන්නට නම් ඔබත් මමත් අපි හැමෝමත් ජීවිතයේ අනපේක්ෂිත කඩාවැටීම්, පීඩාවන් හේතුවෙන් විඳවන්නේ නැතිව සිටීමේ හැකියාව ගොඩනගාගත යුතුයි. ජීවිතයක ඇති දුර්ලභ බව, වටිනාකම කොයි තරම්ද? එය පමණක්ම තේරුම් ගත්තා නම් මේ කිසිම කෙනෙක් මෙලෙස සියදිවි නසා නොගන්නා බව අපේ අදහසයි. ඒත් දැන් ඒ සියල්ලටම ප්‍රමාද වැඩියි. ඔවුන් නික්ම ගිහින් අවසානයි.
ආදරණීය මධු…. ආදරණිය කසූ…. ආදරණීය මතක ගොඩාක් ඉතිරිකරමින් ඔයාලා සදහට මෙලොවින් නික්ම ගිහින්…. අපි ලක්වාසීන් ලෝකවාසීන් හැමෝම ඔයාලට හැමදාමත් ආදරෙයි… ලක් මවට ගෙනදුන් කීර්තියට අපි ඔයාලට ගෞරව කරමු…
පරිස්සමට ගිහින් එන්න….
නිලන්ති රේණුකා










