ඩී.බී. විජේතුංගගේ ඩී.බී. මුලකුරුවලට යාං හෑලි ගොඩක් තිබිණි. ඔහු ජනාධිපති වූ විගස ඩී.බී. අකුරු දෙක හැඳින්වූයේ දුන්නොත් බාරගන්නම් කියාය. ජනාධිපති වී ටික දිනකින් ඩී.බී. යන අකුරු දෙක හැඳින්වූයේ ‘ඩුයින්ග් බ්ලඩි වෙල්’ කියාය. සිංහලෙන් කියනවා නම් අතිවිශිෂ්ට ලෙස කරන්නා කියාය. ඒ වචන ටික ඔහු ජනාධිපති වූ පසු හැමෝම කියන්න පටන්ගත් විට විපක්ෂයට යකා නැග්ගේය. ප්‍රේමදාස ඝාතනය වූ විට විපක්ෂය හිටියේ ජනාධිපතිකම පේන නොපෙනෙන මානයකය. ඒත් පළාත් සභා ඡන්ද ප්‍රතිඵලවලින් යූ.ඇන්.පී.ය දින්න විට විපක්ෂය වැටුණි.Sri Lanka Latest News
‘ඩී.බී., බණ්ඩාරනායක මැතිනිය එක්ක ඉල්ලුවොත් ඩී.බී.ට චාන්ස් තියෙයි…’
මේ, ඒ කාලයේ කොළඹ දේශපාලන ඕපාදූපකාරයන් කී ජනප්‍රිය කතාවය.
මේ කතාව හැදුණේ ශ්රීලනිපය තුළ පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ අතීත පෝලිම් යුගය, භීෂණ යුගය නියෝජනය කරන නිසා ඇයට ඡන්දය දෙන්න මිනිස්සු බය වෙයි කියන පදනම මතය. පළාත් සභා ඡන්දයෙන් මහ ඇමැති වූ චන්ද්‍රිකා පක්ෂයට නව පෙනුමක් ලබාදී තිබූ අතර, ඇයව ජනාධිපතිවරණයට දැම්මොත් වයස්ගත විජේතුංග සමග සටන් කොට තරුණ චන්ද්‍රිකාට දිනන්න පුළුවන් යැයි මතයක් විය.
‘අම්මාද? දුවද?’
මේ එකල ශ්‍රීලනිප පාක්ෂිකයන් මුහුණ දුන් උභතෝකෝටිකයය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීවේ චන්ද්‍රිකාට මන්ත්‍රීවරියක් වශයෙන්වත් කටයුතු කොට අත්දැකීම් නැති නිසා මැතිනිය අපේක්ෂිකාව කළ යුතු බවය. ඒත් එස්.බී., මංගල, නන්දිමිත්ර ඒකනායක, ජෙයරාජ් වැනි තරුණ මන්ත්‍රීවරුන් කීවේ මැතිනිය දැම්මොත් පරදින රිස්ක් එකක් තිබෙන බවය. නව නායිකාවක ලෙස චන්ද්‍රිකාට අපේක්ෂකත්වය දිය යුතු යැයි ඔවුහු කීහ.
විජේතුංග ආණ්ඩුව මේ ගැටුම ගැන හොඳින් දැන සිටියේය. විජේතුංගට යූ.ඇන්.පී. නායකයන් උපදෙස් දුන්නේ ජනාධිපතිවරණයකට යන්න කියාය.
‘අම්මයි දුවයි අපේක්ෂකත්වයට ගහගනියි. අපි ඒකෙන් ප්‍රයෝජන අරන් ජනාධිපතිවරණයකට යමු…’
යූ.ඇන්.පී. නායකයන් පමණක් නොව පක්ෂයම එක හඬින් කීය. පක්ෂයේ කන්කරච්චලය ඉවසගන්න බැරි තැන විජේතුංග ඔහුගේ සමීපතම උපදේශකයන් වූ නීතිඥ තිලක් මාරපන සහ මාධ්‍ය ලේකම් හැරල්ඩ් පීරිස්ගෙන් පළමුව යායුත්තේ ජනාධිපතිවරණයටද, මහ මැතිවරණයටද කියා ඇසීය.
‘සර් මේගොල්ලෝ හදන්නේ සර්ව බිල්ලට දෙන්න. සර් ඊට කලින් මේගොල්ලන්ව බිල්ලට දීලා බලන්න. මහ ඡන්දෙට ගිහින් මුට්ටිය දමලා බලන්න. දින්නොත් ජනාධිපතිවරණයකට යන්න…’
ඔවුහු උපදෙස් දුන්හ. විජේතුංග ගත්තේ ඔවුන්ගෙන් උපදෙස්ය. ඔහු කාටත් නොකියා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මහ ඡන්දයෙන් ශ්රීලනිපය ප්රමුඛ පොදු පෙරමුණ දින්නේය. හැබැයි හිමිවූයේ ආසන 105කි.
‘දැන් සර් පක්ෂය ඇතුළේ අර්බුදයක් හදන්න. චන්ද්‍රිකාට අගමැතිකම භාරගන්න එන්න නොකියා මැතිනියට එන්න කියන්න…’
ඒ වෙනකොට විජේතුංගගේ සමීපතම ගෝලයකු වූ ගාමිණී දිසානායක විජේතුංගට උපදෙස් දුන්නේය.
‘චන්ද්‍රිකාට අගමැතිකම නොදුන්නොත් රටේ කැරැලි කෝලාහල ඇතිවේවි. යූ.ඇන්.පී.ය නැත්තටම නැතිවේවි. චන්ද්‍රිකාට අගමැතිකම දෙන්න…’
ජේ.ආර්. වෝඩ් පෙදෙසේ සිට විජේතුංගට උපදෙස් දුන්නේය. විජේතුංගත් හිටියේ හොඳටම බය වෙලාය. ඔහුට ජේ.ආර්.ගේ උපදෙස අස්වැසිල්ලක් විය.
‘විජේතුංග කලින් ජනාධිපතිවරණයකට ගියා නම් දිනන්න තිබුණාද…?’
ඒක තීරණය වන්නේ ජනාධිපති අපේක්ෂකත්වයට අම්මා සහ දුව අතර පැවැති සටන කොයි තරම් විජේතුංගගේ වාසියට වැඩ කරයිද නැද්ද යන්න මතය. හැබැයි කලින් මහ ඡන්දය පැවැත්වීමෙන් විජේතුංග ඉවර වුණත් යූ.ඇන්.පී.යට ප්‍රබල විපක්ෂයක් හිමිවිය. විජේතුංග කලින් ජනාධිපතිවරණය පවත්වා මැතිනිය හෝ චන්ද්‍රිකා ඉදිරිපත් වී දින්නා නම් මහ ඡන්දයෙන් යූ.ඇන්.පී.ය හෝදාගෙන යන්න ඉඩ තිබිණි.
‘අද බැසිල් ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දය ඉල්ලන්නේ ඒකද…?’
බැසිල්ගේ තර්කය ඒකය. කලින් ජනාධිපතිවරණය පවත්වා දිනන අපේක්ෂකයා මහ ඡන්දයට ගියොත් පොහොට්ටුව හාන්සි බව බැසිල් දනී. කලින් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් සජිත් දින්නොත් අනුර දෙක වී මහ ඡන්දයෙන් විපක්ෂ නායක බලය ගන්නා බව බැසිල් සිතයි. කලින් මහ ඡන්දයට ගියොත් ජවිපෙ ටීම් එක දුර්වල නිසා පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයකට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ඇතැයි බැසිල් සිතයි. එවිට විපක්ෂය අල්ලන්න පුළුවන් වෙතැයි බැසිල් සිතයි.
‘එතකොට රනිල් හිතන්නේ කොහොමද…?’
රනිල්ට පොහොට්ටුවට විපක්ෂය අල්ලා දෙන්න කිසිම මොළේ අමාරුවක් නැත. මහ ඡන්දය කලින් පැවැත්වුවහොත් යූ.ඇන්.පී.ය ඉවර වෙන බව රනිල් දනී. එවිට තමාට ජනාධිපතිවරණයට තරග කරන්න තියෙන අන්තිම අවස්ථාවත් නැතිවෙන බව රනිල් දනී. මහ ඡන්දයෙන් දිනන්නේ සජිත් බවද රනිල් හොඳටම දනී. ආසන 113ක් හිමි නොවුණාට මහ ඡන්දයකින් පක්ෂයක් ජයගතහොත් ඊළඟට ජනාධිපති වෙන්නේ ඒ පක්ෂයේ නායකයා බවත්, ඔහු 1974 ප්‍රතිඵලයෙන් දනී. ඔහු තමාගේ ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා යටතේ අගමැතිකම් කළ නායකයෙකි. අති විශාල ජනවරමකින් ජනාධිපතිවරණය දිනාගත් ඇය, 2001 මහ ඡන්දය රනිල් දින්න විට රනිල්ට ආරක්ෂක ඇමැති ධුරයත් දුන්නේ හොඳටම බයවෙලා බව රනිල් දනී. අනෙක චන්ද්‍රිකා මෙලෙස බය වුණේ ඇයගේ ජනාධිපති නිල කාලයට වසර 4ක් ඉතිරිව තිබියදීය. රනිල්ට අද ඉතිරිව ඇත්තේ මාස කිහිපයකි. අනෙක ඔහු ජාතික ලැයිස්තුවෙන් ඇවිත් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වූ මන්ත්‍රීවරයෙකි. සජිත් හෝ අනුර දින්නත් ප්‍රතිඵල නිකුත් වෙන රෑම ඔහුට බඩු පැක්කරගන්න සිදුවේ. ඡන්දෙන් යූ.ඇන්.පී.ය යළි නන්නත්තාර වුණොත් ඔහුගේ යූ.ඇන්.පී. නායකත්වයත් හබක්ය.
ඒත් ජනාධිපතිවරණයට ඉඩ දී තව මාස කිහිපයක් ජනාධිපති ධුරයේ සිටියහොත් මොකක් හෝ විපර්යාසයක් වී සමගි ජන බලවේගය එක්කෝ විනාශ වනු ඇතැයි, නැතිනම් තමාට එක්වනු ඇතැයි ඔහුට හීන දකිමින් සිටිය හැකිය. ඒ හීනය හැබෑ වුණේ නැතිනම් ඔහුට ජනාධිපතිවරණයට තරග නොකොට ගෙදර යා හැකිය. ඔහු විශ්‍රාම නොගොස් දිගටම දේශපාලනය කරන්න හිතනවා නම් ඊළඟ මහ ඡන්දයට ඉල්ලන්න වුවද ඔහුට පුළුවන. අඩුම තරමේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට හැකිය. කලින් මහ ඡන්දය තිබ්බොත් ඔහුට ඒ අවස්ථාව අහිමි වේ. අනෙක මහ ඡන්දයකදී ඔහුට ගෙදරට වී සිටිය නොහැකිය. පක්ෂ නායකයා ලෙස යූ.ඇන්.පී.ය දිනවන්න ඔහුට කැම්පේන් කරන්න සිදුවේ. යූ.ඇන්.පී.ය තනිවම තරග කොට 2020 මහ ඡන්දයෙන් අත්වූ ඉරණම අත්වුවහොත් ඔහු හාන්සිය. යූ.ඇන්.පී.ය පොහොට්ටුව සමග තරග කොට පොහොට්ටුව යූ.ඇන්.පී. අපේක්ෂකයන්ට දිනන්න ඉඩ නොදුනහොත් ඒත් යූ.ඇන්.පී.ය හාන්සිය. පොහොට්ටුව ඒ වැඩේට නම් හොඳටම දක්ෂය. 2015 මහ ඡන්දයේදී මහින්දවාදීන් මෛත්‍රීගේ අපේක්ෂකයන් පරාජය කළේ එසේය.
අනෙක රනිල්ගේ කැබිනට්ටුව තරම් ඡන්දයට බය කැබිනට්ටුවක් ලෝක ඉතිහාසයේවත් නැත. ඒ කැබිනට්ටුවේ ඉන්න බහුතරයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. බහුතරයකට පක්ෂයක් නැත. ඊළඟට ඉල්ලන්නේ මොන පක්ෂයෙන්ද කියා හිතන්නවත් ඔවුන් බයය. ඉතින් ඔවුන් බලන්නේ තව මාස කිහිපයක් මේ විදියටම ඇමැතිකම් කරගෙන කීයක් හරි හම්බ කරගන්නටය.
මේ ජනාධිපතිත් මේ ආණ්ඩුවත් බබල් එකකි. මොනම ඡන්දයක් තිබ්බත් මේ බබල් එක පුපුරන බව ඔවුන් දනී. ඒ වනතෙක් හීන දකින්න ඔවුන් කැමැතිය. මාධ්‍ය කරන්නේ ඒ හීන පැළ කරන එකය.