පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.Sri Lanka Latest News
මෙම නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා විසින් ලබාදුන්නේ මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමිනි.
මොට ආයුධයකින් හෝ ඒ හා සමාන බලයකින් පහරදීම හේතුවෙන් මරණකාරියගේ මාංශපේෂිවලට ඇතිවූ හානිය මත ශරීරය තුළට රුධිරය වහනයවීමෙන් සහ කම්පනයකින් මෙම තැනැත්තියගේ මරණය සිදුවී ඇති බව අධිකරණය නිගමනය කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.










