විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සිංගප්පූරු සංචාරයේ තෙවැනි දින වන අද දින සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා හමුවීමට හැකි විය.Sri Lanka Latest News
මෙම හමුවට ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් එස්. චන්ද්‍රා දාස් මහතා සහ පැට්‍රික් ඩැනියෙල් මහතා ද සහභාගී වූහ.
මෙහි දී දෙපාර්ශ්වය අතර සිංගප්පූරුවේ සංවර්ධන ගමන් මාර්ගය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර එහි දී සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1950 සහ 1960 දශකවල දී සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන දිශානතිය අනුකරණය කරමින් සංවර්ධන සැලසුම් සකස් කරමින් වර්තමානයේ පවතින ශීඝ්‍ර සංවර්ධනය අත්පත් කර ගත්තේය. නමුත් අද වන විට ශ්‍රී ලංකාව සාර්ථකත්වයේ ආදර්ශයක් ලෙස සිංගප්පූරුව දෙස බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කළේය. මෙහි දී රටක් ලෙස ගෝලීය පිළිගැනීමක් ලබා ගෙන සමාජ-ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි සිංගප්පූරුව අත්කර ගත් දියුණුවෙන් පාඩම් රැසක් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි බව ද විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
සිංගප්පූරුවේ සංවර්ධන ගමන ගැන අවධානය යොමු කරමින් අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා අවධාරණය කර සිටියේ තම ජාතියේ වේගවත් ප්‍රගතිය අත්පත් කර ගැනීම සඳහා දිගු කාලීන දැක්මකින් යුතුව කටයුතු කළ බවයි. එහි දී සිංගප්පූරුව ද සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන් නමුත්, දුරදක්නා වැඩපිළිවෙළ සහ පාලනය පිළිබඳ උරුමය තම රට නව මාවතක් කරා යොමු කළේ අගමැති ලී ක්වාන් යූ මහතාගේ අධිෂ්ඨානශීලී නායකත්වය සහ නිර්භීත තීරණ ගැනීම තුළින් බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ ජාතික සමගිය, ආයතනික අඛණ්ඩතාව සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන විනයගරුක, දිගුකාලීන දැක්මක් අනුගමනය කිරීම මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් මෙහි දී තහවුරු කළේය. සිංගප්පූරුවේ ආදර්ශයෙන් ආශ්වාදයක් ලබා ගැනීමෙන්, ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සමාජ ප්‍රගතිය කරා තිරසාර මාවතක් සකස් කළ හැකි බව ඔහු අවධාරණය කළේය












