ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක නැවත වතාවක් දේශීය වෙළෙඳපළේ ඉන්ධන මිල ගණන් නියත වශයෙන්ම යළිත් වතාවක් ඉහළ නැංවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ වනවිට ලෝක වෙළෙඳපළේ WTI Crude බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 11.41ක වැඩිවීමක් ලෙස සටහන් වේ.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, එයද ඉහළ යාමක් ලෙස වාර්තා වේ.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
මෙම මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ, පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන්ය.
මේ අතර, ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යෑම හේතුකොට ගෙන ඉදිරියේදී රටම ආවරණය වන පරිදි ජල කප්පාදුවකට යෑම කෙරෙහිද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.
දැනටමත් කොළඹට ජලය බෙදාහරින ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුකොට ගෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැය කීපයක ජල කප්පාදුවක් සිදුකිරීමට එම මණ්ඩලය කටයුතු කොට තිබේ.
ඇතැම් ප්‍රදේශවල උස් ස්ථානවලට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරීම සිදුවන අතර, ඒ හේතුවෙන් තට්ටු ගොඩනැගිලිවල දෙවැනි මහලට හෝ ජලය නොලැබීමේ යෑමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ.
මීට අමතරව විදුලි බලාගාරවලට ජලය සපයන ජලාශවල ජල මට්ටම් පහළ යෑමත්, ඉන්ධන සීමාසහිත වීමත්, බාල ගල්අඟුරු භාවිතයත් හේතුකොට ගෙන අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු නියත වශයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇති බව විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සඳහන් කර සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් විට මෙය දෛනිකව පැය 10ක කාලසීමාවක් දක්වා ඉහළ යාහැකි මට්ටමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවකි.
මීට වඩා අඩු පැය ප්‍රමාණයක විදුලි කප්පාදුවකට යෑමේ අවස්ථාවක් තිබුණද ඒ සඳහා තිබූ සියලු අවස්ථාවන් ආණ්ඩුව විසින් අතපසු කොට තිබීම හේතුකොට ගෙන මෙසේ පැය 10කට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයේ පළවේ.










