අස්වෙන්න කියලා ආණ්ඩුකාරවරුන්ට කිව්වේ කාන්තාවක්!
හිටපු අගවිනිසුරු හමුවන්න ආණ්ඩුකාරවරයකු එක්කන් ගිය ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයා!
පොහොට්ටු වේදිකාව උඩම සාගරට දැඩි විරෝධයක්!
රාජපක්ෂවරු එකමුතුව අගමැති සටන යළි අරඹයි!
රටම රවට්ටන ආණ්ඩුවේ නිව්ස් ප්ලාන්ට්!
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ දින සිට ආණ්ඩුව තමන්ට ඇති ප්‍රශ්න, ඒවාට විසඳුම්, ගැනීමට නියමිත තීන්දු, විවිධ පාර්ශ්වවලට ප්‍රහාර එල්ල කිරීම්, තමන්ට කරගැනීමට අවශ්‍ය කටයුතු, නොකළ යුතු දෑ ආදිය සියල්ල කළේ පුවත් ‘පැලකිරීම’ හෙවත් නිවුස් ප්ලාන්ට් කිරීම හරහාය. ආණ්ඩුවට හිතවත් පුවත්පත්, රූපවාහිනී නාලිකා, වෙබ් අඩවි කිහිපයක් යොදාගෙන පසුගිය කාලය පුරාම ආණ්ඩුව ජයටම මේ පුවත් පැලකිරීම හෙවත් නිවුස් ප්ලාන්ට් කිරීම කරගෙන ගියේය. ආණ්ඩුව සිතා සිටියේ එසේ තමන්ට හිතවත් මාධ්‍ය හරහා තමන්ට අවශ්‍ය දේ පළකරගත් විට රටේ මුළු ජනතාවම එම පුවත විශ්වාස කරනු ඇතැයි කියාය. ඇත්තටම ‘මව්රට’ පුවත්පත සහ මව්රට නිවුස් වෙබ් අඩවිය ආණ්ඩුවේ එම පුවත් පැලකිරීම හෙවත් නිවුස් ප්ලාන්ට් කිරීම රටට අනාවරණ කරන තෙක් රටේ ජනතාව ආණ්ඩුව මේ පැලකරන පුවත් සත්‍ය ඒවා බව සිතූහ. ඒවා හිස් මුදුණින් පිළිගත්හ.
අපි මේ බොරුව මුල සිට හෙළිකළා!
නමුත් ‘මව්රට’ පුවත්පත සහ මව්රට නිවුස් අප වෙබ් අඩවිය ආරම්භයේ සිටම ආණ්ඩුවේ මෙම නිවුස් ප්ලාන්ට් කිරීමේ සංස්කෘතිය, ඒවාට සම්බන්ධව සිටින පුවත්පත්, ඒ පසුපස සිටින පිරිස්, කණ්ඩායම් සහ එම පුවත්වල සත්‍ය අසත්‍යතාව දිගින් දිගටම සාක්ෂි සහිතව රටේ ජනතාවට ඔප්පු කර පෙන්වීමට කටයුතු කළේය. පසුගිය කාලයේදී අප කළ මෙම අනාවරණයන් හේතුවෙන් රටේ ජනතාවද මේ වන විට පත්තරවල, වෙබ් අඩවිවල පළවන ඇතැම් පුවත් දුටු පමණින්ම පිළි නොගෙන ‘මේක නම් ෂුවර් එකටම ආණ්ඩුවේ ප්ලාන්ට් එකක්’ කියන තරමට මාධ්‍ය සාක්ෂරතාව අතින් දියුණු වී ඇති ආකාරයක් දැකගත හැකි විය. මේ සියල්ල ආණ්ඩුවේ එක තැනකින් පළකරන පුවත් බව වටහාගෙන ඇති ආකාරයක් දැකගත හැකි විය.
රනිල් එංගලන්තෙ යන්න කලින් ප්ලාන්ට් වුණු පුවත!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට එංගලන්තය බලා පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා මෙරට පුවත්පත්වල සහ වෙබ් අඩවිවල මේ කියන ආකාරයේ තවත් එකම පුවතක් හදිසියේම පළවී තිබිණි. ඒ, ආණ්ඩුකාරවරුන් සිවුදෙනකු ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවටත්, ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු එම තනතුරුවලට පත්කිරීමට තීරණය කොට ඇති බවටත්ය. බැලූ බැල්මට එකම විදියට පුවත්පත් කිහිපයකම සහ වෙබ් අඩවිවල මේ පුවත පළවීම නිසා මෙම පුවතද ආණ්ඩුවේ තවත් ප්ලාන්ට් එකක් බව වටහා ගැනීමට අපට නම් එතරම් අසීරුවක් වූයේ නැත. ඒ අනුව අපද මෙම පුවත ප්ලාන්ට් කිරීම පසුපස තිබූ කතාව සොයා බලන්නට පියවර ගත්තෙමු. ඒ අනුව ආණ්ඩුවේ එක්තරා මාධ්‍ය ඒකකයකින් මෙම පුවත හතර වටේටම බෙදාහැර ඇති බවත්, ජනාධිපතිවරයා රටින් පිටවීමෙන් පසු මේ පුවත පළකිරීම හරහා ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක යම් දේශපාලන කැලඹීමක් නිර්මාණය කොට ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගැනීම මෙම උපක්‍රමය බවත් අප හට දැනගන්නට ලැබිණ.
කාන්තාවක් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි!
ඒ අනුව තවදුරටත් මේ පිළිබඳ කළ සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන එක්තරා කාන්තා අතිරේක ලේකම්වරියක් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකුට දුරකතනයෙන් කතාකොට ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකරන ලෙසත් දැනුම් දීමට පියවර ගෙන ඇති බවත්ය. එම දැනුම් දීමෙන් දින දෙකකට පසු ආණ්ඩුවේ එක්තරා කණ්ඩායමක් විසින් ඉහත පුවත තෝරාගත් මාධ්‍ය කිහිපයකට ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ හරහා ජනාධිපතිවරයා යළි ලංකාවට පැමිණීමට පෙර ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන ජනාධිපතිවරයා පැමිණි පසු ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනකු මෙම තනතුරුවලට පත්කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබිණි.
යහම්පත් අයින් වෙන්න ලෑස්ති වෙයි!
කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම සැලසුමට මුල් අදියරේදී නැගෙනහිර ආණ්ඩුකාරවරිය වූ අනුරාධා යහම්පත් මහත්මිය හසුවූ බවක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ඇය නැගෙනහිර පළාතේ පැවැති උත්සවයක් අවසානයේදී තමන්ට මෙම තනතුරෙන් ඉවත් වන ලෙසට ආණ්ඩුවෙන් දැනුම් දීමක් කර ඇති බවත්, බොහෝ දුරට තමන් කරන මෙම කතාව අවසන් කතාව විය හැකි බවත් සඳහන් කර සිටියාය.
ගේම ඉල්ලපු ආණ්ඩුකාරවරයා! බැසිල්ගෙනුත් කෝල් 3ක්!
නැගෙනහිර ආණ්ඩුකාරවරිය මෙම දැනුම්දීමට අනුව ඉල්ලා අස්වීමට තීන්දු කළද දැනට ආණ්ඩුකාර ධුරයක් දරන ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානියකු එසේ ඉල්ලා අස්වීමට සූදානම් නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතු දෙකක් විය. ඉන් එකක් වූයේ මෙවැන්නක් සිදුවීමට නියමිත බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ආණ්ඩුකාරවරයා හට දුරකතන ඇමතුම් තුනක් ලබාදීමට පියවර ගෙන තිබීමය.‘මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයා කලබල වෙන්න එපා’ යනුවෙන් බැසිල් මෙම ආණ්ඩුකාරවරයාට එහිදී දැනුම් දී සිටියේය.
නීති උපදෙස් ගන්න කියයි!
දෙවැනි කරුණ වූයේ මේ ආකාරයට ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ගන්නා ලෙසත් මෙම ආණ්ඩුකාරවරයාට ලැබුණු දුරකතන ඇමතුමකි. ඒ අනුව මෙම ආණ්ඩුකාරවරයා කළේ තමන්ට හිතවත් තවත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකුට මේ පිළිබඳ දැනුම් දී තමන් මේ පිළිබඳ නීති උපදෙස් ගන්නා බව ඔවුන්ටද දැනුම් දී සිටීමය.
ගෝඨාට හිතවත් ව්‍යාපාරිකයා නීති උපදෙස් ගන්න පෙරට එයි!
මෙහිදී මේ ආණ්ඩුකාරවරයාගේ පිහිටට ආවේ රටම දන්නා කියන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීපව කටයුතු කළ මේ ව්‍යාපාරිකයා ගෝඨා බලයට ගෙන ඒම සඳහා එළිපිටම විශාල මෙහෙයුමක් සිදුකළ අයෙකි. එමෙන්ම මේ ව්‍යාපාරිකයා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමටද අදහස් කරගෙන සිටින්නෙකි. මේ ව්‍යාපාරිකයාට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සමගද ඇත්තේ ඉතා කිට්ටු මිත්‍රත්වයකි. ඒ අනුව පසුගිය දිනෙක මෙම ව්‍යාපාරිකයා ඉහත කී ආණ්ඩුකාරවරයාද සමග හිටපු අගවිනිසුරුවරයා මුණගැසීමට ගොස් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීමට පියවර ගෙන තිබිණි.
හිටපු අගවිනිසුරුවරයා දීපු නීති උපදෙස!
මෙහිදී හිටපු අගවිනිසුරුවරයා පැහැදිලිවම මොවුන්ට දැනුම් දී සිටියේ ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව පැවැතියද ඔවුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව නොමැති බවකි. එසේ ඉවත් කිරීමට නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත විය යුතු බවද එහිදී හිටපු අගවිනිසුරුවරයා මෙම ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන්නේය. අනෙක් අතට වත්මන් ආණ්ඩුකාරවරුන් පත් කළේ ජනවරමකින් බලයට පැමිණි ජනාධිපතිවරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බවත්, ඊට නිල පිළිගැනීමක් ඇති බවත් පෙන්වා දුන් හිටපු අගවිනිසුරුවරයා, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එසේ නිල බලයෙන් කළ පත්වීම් අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය. මීට අමතරව ඉවත් කරනවා නම් සියලු ආණ්ඩුකාරවරු ඉවත් කළයුතු බවත්, එසේ නොමැතිව ආණ්ඩුකාරවරු සිවු දෙනකු පමණක් ඉවත් වන ලෙසට දැනුම් දී තිබීමද නීතිය ඉදිරියේ සමානාත්මතා මුලධර්මය අභියෝගයට ලක්කරන්නක් බවද හිටපු අගවිනිසුරුවරයා මෙම ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා එසේ කරන්නේ නම් එය නීතිය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවද මෙහිදී හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර සිටියේය.
අස්නොවෙන්න තීන්දු කරයි!
මේ ආකාරයට ලද පැහැදිලි නීති උපදෙස් අනුව මේ ආණ්ඩුකාරවරයා ඒ මොහොතේම තීන්දු කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට නොදීමටය. එමෙන්ම මෙම නීති උපදෙස පිළිබඳ තොරතුරු අනෙක් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දීමටද මෙම ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.
අපිටත් ආරංචිය ආවා! අපි කතාව ගැහුවා!
කෙසේවෙතත් මොහොතක් යෑමට මත්තෙන් මෙම ආණ්ඩුකාරවරයා ප්‍රකට ව්‍යාපාරිකයකු සමග හිටපු අගවිනිසුරුවරයා මුණගැසීමට ගොස් නීති උපදෙස් ලබාගෙන ඇති බවක් අප වෙතද වාර්තා විය. ඒ අනුව අප එම පුවත ඒ මොහොතේම අතිවිශේෂ පුවතක් ලෙස www.mawratanews.lk අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. එපමණක් නොව මෙහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට දුරකතන ඇමතුමක් ලබාදීමටද අපි පියවර ගත්තෙමු. එහිදී හිටපු අගවිනිසුරුවරයා මෙහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිලි විස්තරයක් අප වෙත ලබාදීමට පියවර ගත්තේය. අප එම පුවතද විශේෂ පුවතක් ලෙස ‘මව්රට’ නිවුස් වෙබ් අඩවියේ පළකළේ මෙසේය.
මෙන්න අපි දාපු නිව්ස් එක!
ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවැසීය.
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ‘මව්රට’ කළ විමසීමකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
එහිදී හිටපු අගවිනිසුරුවරයා මෙසේද කියා සිටියේය.
‘පළාත් සභා පිහිටෙව්වේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. එදා ඉඳන් ලංකාවේ පළාත් සභා ඡන්ද දිගටම පැවැත්වුණා. නීතියට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය එදා පාර්ලිමේන්තුවට පිටු 2ක පනතක් ගෙනාවා කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි කියලා. ඒක දෙවැනි වර කියවීමේදී සම්මත වුණත් කාරක සභා අවස්ථාවේදී ඒ පනතටම තවත් පිටු 20ක් වැඩි කරලා පළාත් සභා මැතිවරණයත් ඇතුළත් කරලා සංශෝධනයක් ගෙනාවා. ඒකට විරුද්ධව මම 2017 ඔක්තෝබර් මාසයේදි නඩුවකුත් දැම්මා. එදා සුමන්තිරන් මහතා මට විරුද්ධව උසාවිත් ගියා. කොහොමහරි මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.
හැබැයි අද වනතුරු පළාත් සභා නෑ. මහඇමැතිවරු නෑ. පළාත් සභා මන්ත්‍රීවරු නෑ. ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. 154/ආ වගන්තිය අනුව ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ තත්ත්වය ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. 154/ආ/5 වගන්තියට අනුව ආණ්ඩුකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 5ක්. ඒ වගන්තියේ තියෙන්නේ ‘ස්වකීය ධුරය බාරගත් දින සිට අවුරුදු 5ක කාලසීමාවක් ධූරය දැරිය යුත්තේය’ කියලයි. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කරලා ජනාධිපතිවරයාට උපදෙසක් දෙන්න පුළුවන් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න කියලා. ඒ දුන්නත් ජනාධිපතිවරයාට ප්‍රසාදයක් තියෙනවා නම් විතරයි ආණ්ඩුකාරවරයාව ඉවත් කරන්න පුලූවන්. ඒ විදිහට ආණ්ඩුකාර ධූරය ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරලයි තියෙන්නේ.
දැන් පළාත් සභා නොමැති නිසා ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. ඉතින් පළාත් සභාවේ යෝජනාවක් නැතිව ඔවුන් ඉවත් කරන්න බෑ. ඉල්ලා අස්වුණොත් විතරයි ධූරය හිස්වෙන්නේ. අනෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුකාරවරු පත්කළේ. එතුමා ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් ජනතා ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුකාරවරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ඉවත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් එනවා.
ඊළඟ කාරණය තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු 4 දෙනෙක් ඉවත් කරනවා කියලයි. එතකොට අනෙක් පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන මොකද කියන්නේ. ඒ අයත් ඉවත් කරනවාද? නීතියේ සමානාත්මතාවය පිළිබද ප්‍රශ්නයකුත් මෙතන මතුවෙනවා’ යැයිද හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේය.
නිව්ස් ගහපු අය හොල්මන්!
අප කළ මෙම හෙළිදරව්වත් සමග බොහෝ පාර්ශ්ව ඒ පිළිබඳ කතාකරන්නට පටන්ගත් අතර ඇතැම් මාධ්‍ය ඒ පිළිබඳ හිටපු අගවිනිසුරුවරයාගෙන් විමසීමට පවා පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලවෙන් පසු කිසිදු ආණ්ඩුකාරවරයෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබුණේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන විට ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාගේ මේසය උඩ තබා තිබීමට සැලසුම් කරමින් ‘නිවුස් ප්ලාන්ට්’ කළ කණ්ඩායම් නම් මේ ප්‍රතිඵලයත් සමග ‘හොල්මන්’ වී සිටි බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කාන්තාව යළි කතා කරයි! අපිට පාරේ බැහැලා යන්න බෑ! ලියුමක් එවන්න!
කෙසේ වෙතත් චාල්ස්ගේ රාජාභිෂේකයට සහභාගි වී ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙද්දී මෙම කතාව තරමක් යට ගොස් තිබිණි. නමුත් පසුගිය බදාදා දින පෙරවරුවේ නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි මුලින් සඳහන් කළ අතිරේක ලේකම්වරිය ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකුට කතාකොට ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවමත් ලැබී නොමැති බවත්, වහාම ඒවා ලැබෙන්නට සැලැස්විය හැකිද යන්නත් විමසීමට පියවර ගෙන තිබිණි. ඇගේ මෙම ඇමතුමට පිළිතුරු දුන් අනෙකුත් ආණ්ඩුකාරවරුන් ලිස්සා යන ආකාරයේ පිළිතුරු ලබාදී තිබුණත් හිටපු අගවිනිසුරුවරයා හමුවූ ආණ්ඩුකාරවරයා කෙළින්ම ඇයට දැනුම් දී තිබුණේ, ‘අපිව මෙහෙම අයින් කළොත් අපට පාරේ බැහැලා යන්න බැරිවෙනවා. අපිව දැම්මේ හිටපු ජනාධිපතිතුමා. ඒ නිසා ඕගොල්ලන්ට අපිව අයින් කරන්න ඕනෙ නම් අපිව අයින් කරන හේතු දක්වලා ලිඛිතව අපිට එවන්න’ යැයි කියාය. ඒ හරහා එම ආණ්ඩුකාරවරයා දුන් සංඥාව වූයේ තමන් එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැතැයි කියන එකය. එමෙන්ම අත්තනෝමතිකව තමන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බවට වූ සංඥාවද එම පිළිතුරේ ගැබ්ව තිබිණි.
ඇයි මේ හදිස්සියේ!
කෙසේ වෙතත් මෙහිදී මතුවුණු තවත් ප්‍රශ්නයක් තිබේ. ඒ, ජනාධිපතිවරයා හදිසියේම මෙම ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට සූදානම් වූයේ මන්දැයි කියාය. මේ පිළිබඳ සාකච්ඡාව පැවැති අවස්ථාවේදී එම ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බවට මතුවූ තර්කය හේතුකොට ගෙන මෙසේ ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගත යුතු බවට වූ යෝජනාව ඉදිරිපත්ව තිබිණි.
බැසිල් ගේමක් ගැහුවාද?
මේ අතර ආණ්ඩුකාරවරුද පසුගිය දිනෙක මතුව ඇති මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. එහිදී ඔවුන් අවධානය යොමුකර තිබුණේ ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව ජනාධිපතිවරයාගේ ඔළුවට දැම්මේ කවුරුන්ද යන්න පිළිබඳවය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබී තිබූ තොරතුරකින් කියැවුණේ පසුගිය 22 වැනිදා බැසිල් ගොස් ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවය. එහිදී බැසිල් එම යෝජනාව ඉදිරිපත් කොට ඇති බවත්, රනිල්ට සහ බැසිල්ට අවශ්‍ය ආණ්ඩුකාරවරුන් අලුතෙන් එම තනතුරුවලට පත්කර ගත යුතු බවත්, ඉකුත් 08 සහ 09 යන දෙදින තුළ එම පත්කිරීම් සිදුකර අවසන් කළ යුතු බවත් මෙහිදී යෝජනා වී ඇති බවක් ඔවුන්ට දැනගන්නට ලැබී තිබිණි. එම තත්ත්වය අවුල් වීමත් සමග බැසිල් හදිසියේම ඩුබායි බලා ගිය බවද එහිදී කියැවිණි. ඇතැම් මාධ්‍ය බැසිල් ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යන බව වාර්තා කළද, අපට ඇති තොරතුරුවලින් කියැවුණේ බැසිල් ඇමෙරිකාවේ නොයන බවය. සතියක් එකහමාරක් පමණ බැසිල් ඩුබායිහි රැඳී සිටීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබී තිබේ.
වැඩේ සැප්තැම්බරයට ඇදෙයි!
ඒ අනුව මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි නොලැබෙන පසුබිමක් යටතේ අලුත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කොට අවසන්ය. ඉල්ලා අස්වීමේ ලිපි පිළිබඳ විමසූ විට ඊට හේතු ඉල්ලා ආණ්ඩුකාරවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියගෙන් ලිපි ඉල්ලා තිබූ පසුබිමක් යටතේ එවැන්නක් නොතකා ඔවුන් ඉවත් කළහොත් ඒ සියලු දෙනා නඩු මඟට පිවිසීමේ ඇති සූදානම මීට හේතු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන සැප්තැම්බරය දක්වා මෙම පත්කිරීම කල්තැබීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත.
ජනාධිපතිවරණය තියන්න පුලුවන්ද?
මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව වරින් වර තමන්ට හිතවත් මාධ්‍යවල ප්ලාන්ට් කරන නිවුස්වල තවත් එකක් වූයේ මුලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි කියාය. ආණ්ඩුව එසේ කිරීමට හේතු කිහිපයක් බලපා තිබිණි. ඉන් පළමුවැන්න එවැන්නක් හරහා විපක්ෂය අතර මතුවෙමින් පවතින එකඟතා දේශපාලනය බිඳහෙළීමය. ඊළඟ කරුණ සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න මතුකිරීමය. අනෙක විපක්ෂය භේදභින්න කොට සීසීකඩ කිරීමය. අවසන් කාරණය විපක්ෂය ජනාධිපතිවරණය පෙන්වා බයකිරීමය. නමුත් ආණ්ඩුව වරින් වර මෙම පුවත පළකළත් මේ වන විට විපක්ෂය කර ඇති අධ්‍යයනයන්වලින් පැහැදිලිව අනාවරණ වී ඇත්තේ ඒ කියන පරිදි ජනාධිපතිවරයාට මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ව්‍යවස්ථාවෙන් නොමැති බවකි. ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවය. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බැවින්, හිටපු ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පූර්ණ කරන තෙක් ඔහුට ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව නොමැති වීමය. මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් ඔහුට මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව තිබිණි.
විපක්ෂය බය කරන්නයි හදන්නේ!
මේ තත්ත්වය යටතේ ආණ්ඩුව පැත්තෙන් දැන් කියැවෙන අලුත්ම කාරණය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ලබන මාර්තු මාසයේ මැතිවරණය තැබීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් එයද පවතින්නේ කළ හැකි තත්ත්වයක නොවේ. එසේ වුවත් ඇතැම් මාධ්‍ය ඒකක විසින් මෙවැනි පුවත් මෙතරම් පළකරනු ලබන්නේ සජබය, පොහොට්ටුව සහ විපක්ෂය බයකොට තබාගන්නා ලෙස ඉහළින් ලැබී ඇති උපදෙස් අනුවය.
සජිත්ට ආණ්ඩුවෙන් අටවපු උගුල!
මේ අතර පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත දේශපාලන උගුලකට හසුකිරීමට ආණ්ඩුව ගත් උත්සාහයක් අවසන් මොහොතේ ව්‍යර්ථ කිරීමට සජිත්ට හැකියාව ලැබිණි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම මෙහෙයුම දියත් වී තිබුණේ ලන්ඩනය බලා යෑමට දින කිහිපයකට පෙරාතුවය. ඒ, ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡාවක් මුල් කරගෙනය.
ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නිල බලයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරයි. ජනාධිපතිවරයාගේ පැත්තෙන් ක්‍රියාත්මක වූ සැලසුම වූයේ විපක්ෂය ඒකාබද්ධ වන බවට තොරතුරු පැතිර යන මේ අවස්ථාවේදී සජිත්ව කෙසේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා ආණ්ඩුව සහ සජිත් අතර යම් එකඟතාවක් පවතින බව රටට පෙන්වීමටය. ඒ හරහා විපක්ෂය ඇතුළේ මතුවෙමින් පවතින එකඟතාවට විෂබීජ දැමීමටය.
ජනාධිපති අරමුදලේ හදිසි සාකච්ඡාවක්!
ඒ අනුව ජනාධිපතිවරයා ලන්ඩනය බලා පිටත්ව යෑමට පෙර සජිත්ට ලැබුණු ලිපියකින් කියැවුණේ ජනාධිපති අරමුදලේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බවය. එහිදී ජනාධිපති අරමුදලෙන් විශාල ප්‍රමාණයකට අරමුදල් සැපයීමට නියමිතව ඇති බවත්, එය සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් පැවැත්වෙන බවත් එම ලිපියේ සඳහන්ව තිබිණි. මෙවැනි ලිපි සජිත්ට ලැබීම සාමාන්‍ය දෙයක් වුවත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ හිටිහැටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියකු සජිත්ට ඇමතුමක් ලබාදී අදාළ රැස්වීම කල්දැමීමට සිදුවූ බව දැනුම් දීමය. එමෙන්ම එම රැස්වීම නැවත පැවැත්වෙන දිනයද සජිත්ට දැනුම් දීමට අදාළ නිලධාරියා මෙහිදී පියවර ගත්තේය. එසේම එම නිලධාරියා ලබාදී තිබුණේ ජනාධිපතිවරයා ලන්ඩන් බලා පිටත්ව යෑමට ආසන්න දිනයකි. එවැන්නක් ලිඛිතව දැනුම් දිය යුතුව තිබුණත් ඇමතුමක් මාර්ගයෙන් පමණක් ඒ බව දැනුම් දීම නිසා සජිත්ට යම් කුකුසක් ඇතිවුවත් සජිත් ඒ වෙලාවේ එය එතරම් ඔළුවට ගත්තේ නැත. නමුත් අදාළ දිනය කිට්ටු කොට නැවත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැමිණි ඇමතුමකින් කියැවුණේ ජනාධිපති අරමුදලේ විශේෂ උත්සවයක් පැවැත්වෙන බවත්, 200කට අධික පිරිසකට අරමුදල් ලබාදීමට නියමිත බවත්, ඊට ජනාධිපතිවරයා හා ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සාමාජිකයන් සහභාගි වීමට නියමිතව ඇති බැවින් විපක්ෂ නායකවරයාද ඊට සහභාගී විය යුතු බවත්ය.
සජිත්ට සැකයක් මතුවෙයි!
ඒ අනුව මේ ඇමතුම ලැබුණු වහා එහි යම් උගුලක් ඇති බව සජිත්ට වැටහී ගියේය. මේ හදන්නේ තමාව ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සමග එකට සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කර විපක්ෂය තුළ මතුවෙමින් පවතින සමගි කඩා බිඳදැමීමට බව සජිත්ට එක්වරම වැටහිණි. ඒ අනුව සජිත් තීන්දු කළේ එම රැස්වීමට සහභාගී නොවීමටය. ඒ හරහා ‘රනිල් හා සජිත් හමුවක්’, ‘සජිත් ආණ්ඩුවට සෙට් වෙන්නයි යන්නේ’, ‘අගමැතිකම සජිත්ට දෙන්න කතා කරලා’, ‘රනිල් රට ගියේ ඔක්කොම කතා කරගෙන’, ‘විපක්ෂයේ සන්ධාන ඔක්කොම ඉවරයි’, ‘විපක්ෂයේ සන්ධානය බිඳවැටෙයි’, ‘පොහොට්ටුවේ අගමැති අයින් කරයි’ යනාදී වශයෙන් පත්තරවල සහ වෙබ් අඩවිවල පළ කිරීමට ආණ්ඩුව සැලසුම් කළ පුවත් සියල්ල වතුරේ ගසාගෙන ගිය ආකාරයක් දැකගත හැකිවිය. එමෙන්ම සජිත්ගේ නොපැමිණීමත් සමග එවැනි උත්සවයක් පැවැති පුවතක් හෝ වාර්තා වූයේ නැත.
විපක්ෂය එකමුතු වෙයි! පිට පිට දිනයි!
මෙවැනි ගේම් ගසමින් ආණ්ඩුව විපක්ෂ සන්ධානය කඩාබිඳ දැමීමට සැලසුම් කරද්දී කාටත් හොර රහසේ තිරය පිටුපස දැවැන්ත විපක්ෂයක් නිර්මාණය වෙමින් පැවැතිණි. සජිත්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොදු විපක්ෂය පාර්ලිමේන්තුවේ දෙවතාවක්ම රැස්වූ අතර, කවදාවත් එකතු නොවනු ඇතැයි මත පළකෙරුණු බොහෝ පිරිස් එහිදී එකට අසුන්ගෙන සමගියෙන් සාකච්ඡා කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජාතිකවාදී දේශපාලනය නියෝජනය කරන උදය ගම්මන්පිල, රතන හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි පිරිස්ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ. මෙම සාකච්ඡාවලදී ඒකාබද්ධව විශේෂ ජයග්‍රහණ තුනක් විපක්ෂය වෙත ලබාදීමට පිරිසට හැකියාව ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රති ත්‍රස්ත පනත අකුලා ගන්නා තැනට වැඩකටයුතු සිදුවීමය. දෙවැන්න වූයේ මහබැංකු පනත දින නියමයක් නැතිව කල්දැමීමට ආණ්ඩුවට සිදුවීමය. තුන්වැන්න වූයේ සිංගප්පූරුවේ ඇති නඩුවට බලපානු ඇති බව කියමින් කල්දැමීමට සූදානම් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දෙදින විවාදය නැවත දිනාගැනීමට විපක්ෂය සමත් වීමය. මේ පසුපසද රසවත් කතාවක් තිබේ.
ආණ්ඩුව එක්ස්ප්‍රස් පර්ල් විවාදය බෑ කියයි!
එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා සහ බදාදා පාර්ලිමේන්තු විවාදය යොදාගෙන තිබුණද ආරම්භයේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් සභාව ආරම්භයේදීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සිංගප්පූරුවේ මේ සම්බන්ධ නඩු කටයුත්තක් ආරම්භ වී ඇති බැවින් නඩුවට හානියක් වීම හේතුකොටගෙන මෙම විවාදය පැවැත්විය නොහැකි බවත්, එසේ කරන්නේ දේශද්‍රෝහීන් බවත්, තමන්ට ඊට සම්බන්ධ විය නොහැකි බවත්ය. විජයදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයත් සමග විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කළ අතර ගයන්ත කරුණාතිලක මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ කතානායකවරයාගේ අභිමතය අනුව මෙම විවාදය පැවැත්විය හැකි බවකි.
හදිසි පක්ෂ නායක රැස්වීමක්! සජිත් ගමන නවත්වලා එයි!
ඒ අනුව අවසානයේදී කතානායක මහිනිද් යාපා අබේවර්ධන මහතා සභාව කල්තබමින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය. මේ අවස්ථාව වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුවේ වෙනත් කමිටු කාමරයකට ගමන් කරමිනි. එහිදී මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට මෙම අර්බූදය දැනුම් දීමත් සමග යාමට පැමිණි ගමන අතරමග නතර කළ විපක්ෂනායකවරයා හදිසි පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට කතානායකවරයාගේ නිල මැදිරිය වෙත පැමිණියේය.
ඒ අනුව සාකච්ඡාව ආරම්භ වීමත් සමග විජයදාස නැවත වතාවක් කියා සිටියේ මෙම විවාදය පැවැත්වීමෙන් නඩුවට හානියක් විය හැකි බවත්, එම නිසා විවාදය සිදු කළ නොහැකි බවත්ය.
ඒ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඒ මොහොතේම නීතිපති සංජය රාජරත්නම් මහතාද පක්ෂ නායක රැස්වීමට ගෙන්වීමට පියවර ගෙන තිබූ අතර නීතිපතිවරයාද නඩුව පැවරීම පිළිබදව යම් කරුණු පැහැදිලි කිරීමක් කොට තිබිණ.
ආණ්ඩුවේ තර්ක එකින් එක කඩයි!
කෙසේ වෙතත් අනතුරුව කතා කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සියලූ තර්ක බිදහෙළමින් දීර්ඝ පැහැදිලි කිරීමක් පක්ෂ නායකවරුන්ට සිදු කළ ආකාරයක් දැකගන්නට ලැබි.
මෙහිදී විපක්ෂනායකවරයා නීතිමය තත්ත්වය සහ ස්ථාවර නියෝග පැහැදිලි කරමින් උදාහරණද සහිතව සිය කතාව සිදුකිරීමට පියවර ගත්තේය. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියෙන් පරිසරයට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබදවත්, ලංකාව පාර්ශ්වයෙන් සිදුව ඇති යම් යම් අඩුපාඩු පිළිබදවත්, අවම වශයෙන් ආණ්ඩුව නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ හානිය හෝ පාඩමකට ගෙන නොමැතිව පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කොට ඇති ආකාරය පිළිබදවත් විපක්ෂනායකවරයා මෙහිදී පිරිසට පෙන්වා දුන්නේය.
විවාදයි තීන්දුයි
විපක්ෂ නායකවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් අනතුරුව කතානායකවරයාද පෙන්වා දුන්නේ නඩුවට හානි නොවන පරිදි පරිසරයට සිදුව ඇති හානිය පෙන්වමින් මෙම විවාදය සිදුකළ යුතු බවය.
ඒ අනුව අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නොතකා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දෙදින විවාදය සිදු කිරීමට කාතානායකවරයා එකගතාව පළකොට තිබිණ.
සජබය ගත් තීන්දු!
මේ අතර පසුගිය සඳුදා රැස්වූ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයද විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට කටයුතු කළේය. පසුගිය කාලසීමාව පුරාම සජබයේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමගත්, ආණ්ඩුව සමගත් රහස් ගනුදෙනු පවත්වමින් පක්ෂ මතයට පිටින් ගොස් ප්‍රකාශ නිකුත් කිරීම නිසා මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ කිසිවකුටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ නොහැකි බවට තීන්දුවක් ගනු ලැබීය. එමෙන්ම යම් සාකච්ඡාවක් කරන්නේ නම් එය පක්ෂ නායකයා විසින් සිදුකළ යුතු බවටද එහිදී තීන්දු කෙරිණි. එහිදී ගනු ලැබූ තීරණ පහත දැක්වේ.
මෙන්න කතාව!
‘සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පහත සඳහන් විශේෂ යෝජනා ඒකමතිකව අනුමත විය.
ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදී.
️යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළ යුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරනු ලැබීය.
️කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිළිබඳ සාහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගනු ලැබේ.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදී.
ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්, එම සන්ධානය ගොඩනැගීම සඳහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.
‘️පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පවරන ලදී.’ යනුවෙන් සජබය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබිණ.
රාජපක්ෂ පවුලේ අවුල!
මීට සති කිහිපයකට ඉහතදී රාජපක්ෂ පවුල ඇතුළේ බරපතළ දේශපාලන ප්‍රශ්නයක් මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ ඉකුත් අප්‍රේල් 18 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මුණගැසීමට ගොස් අගමැති ධුරය යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, අප්‍රේල් 22 වනි දින බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවීමට ගොස් මහින්දගේ ඉල්ලීම කඩාකප්පල් වන ආකාරයෙන් අදහස් දක්වා තිබූ බවකි. එමෙන්ම මහින්දට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් මහින්දගේ පුතුන් අතර යම් මත ගැටුමක් මතුව ඇති බවද අපි එහිදී සඳහන් කළෙමු. මහින්ද අගමැති ධුරය නොගෙන විපක්ෂයේ අසුන්ගත යුතු බවට වූ මතය නාමල් විසින් දැරූ බවත්, යෝෂිත සහ රෝහිත යන දෙදෙනා මහින්ද අගමැති ධුරය ලබාගත යුතු බවට වූ මතයේ සිටින බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව මෙම රාජපක්ෂ පවුලේ ඇති මතගැටුම ජනාධිපතිවරයාද තේරුම් ගෙන ඒ අනුව දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක කළ බවක් අපි එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියෙමු.
සාම සාකච්ඡා සාර්ථකයි!
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මේ බෙදී තිබුණු රාජපක්ෂ පවුල යළි එකමුතු කිරීම සඳහා තිරය පිටුපස විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම ආරම්භ කර තිබිණි. ඒ සඳහා පාර්ශ්ව කිහිපයක්ම මැදිහත් වී සාකච්ඡා සඳහා අවශ්‍ය පසුබිම සැකසූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. පණිවුඩ රැසක්ම පාර්ශ්ව අතරේ රැගෙන යෑමෙන් පසු මේ සියලු දෙනාම එක මතයකට ගෙන ඒමට එම පාර්ශ්වයන්ට හැකියාව ලැබිණි.
නාමල් අඩියක් පස්සට ගනී!
ඒ අනුව අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මහින්ද අගමැති ධුරය ලබාගත යුතු නැති බවට නාමල් කලින් දැරූ ස්ථාවරය මෙම සාකච්ඡාවලදී වෙනස් කරගෙන ඇති බවය. ඒ වෙනුවට මහින්ද යළිත් අගමැති බවට පත්කිරීමටත්, යළිත් පොහොට්ටු ආණ්ඩුවක් බිහිකිරීමටත්, එම පොහොට්ටු ආණ්ඩුව යටතේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීමටත් මෙම සාකච්ඡාවලදී නාමල් එකඟතාව පළකොට ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව පවුල අතරේ තිබූ දේශපාලන මතගැටුම ඉතා සාමකාමීව විසඳී ගොස් ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම පසුබිම යටතේ නැවත වතාවක් ඉදිරි දින කිහිපය ඇතුළත මහින්දට අගමැතිකම ඉල්ලා තදබල පණිවුඩයක් ආණ්ඩුව වෙත යැවීමටද රාජපක්ෂ පවුල තීන්දු කර ඇති බවක් දැනගන්නට ඇත.
අගමැති සටන යළි අරඹයි!
ජනාධිපතිවරයාද පසුගිය කාලය පුරා අගමැතිකම මහින්දට ලබා නොදීමට උපයෝගී කරගත්තේ රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති මෙම දේශපාලන මතගැටුමය. අගමැතිකම ලබාදෙන ලෙස මහින්දගේ පාර්ශ්වයෙන් යම් යම් පණිවුඩ එද්දී නාමල්ගේ ස්ථාවරය පෙන්වමින් ජනාධිපතිවරයා එය කල් දමමින් සිටි බවක් දැකගත හැකි විය. නමුත් මේ වන විට මතුව ඇති තත්ත්වය යටතේ රාජපක්ෂ පවුල ඒකාබද්ධව අගමැති සටන දියත් කිරීමට තීන්දු කර ඇති බැවින් ඉදිරියේදී ජනාධිපතිවරයාටද ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමේ වාතාවරණයක් උදාවනු ඇති බවක් දැකගන්නට ඇත.
කැම්බල් පිටියේ එළියට නොආ කතාව!
මේ සමගම කැම්බල් පිටියේ පැවැති පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට මේ වනවිට ආරංචි වී තිබේ. ඒ, බැසිල් සම්බන්ධයෙන් මතු වූ අර්බුදයකි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිටවීමට පවා මෙය එක් හේතුවක් වූ බවක් දැනගන්නට තිබේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක්ම මැයි 01 වැනිදා කැම්බල් පිටියට පැමිණ සිටියේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික නායකයා වශයෙන් අභිෂේක ගන්වා අගමැති සටන ආරම්භ කිරීමටය. නමුත් වේදිකාවේ පසුතලයේ මහින්දගේ මුහුණට සමානව බැසිල්ගේ මුහුණද ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමත් සමග පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණු රතු වී ගිය බවක් දැකගන්නට ලැබිණි. එමෙන්ම බැසිල් වේදිකාවට පැමිණෙද්දී ඔහු පක්ෂයේ ඊළඟ නායකයා මෙන්ම, පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බව හැඟවෙන ආකාරයේ විශාල පිළිගැනීමක් සංවිධාන කර තිබීමද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අප්‍රසාදයට හේතු වී තිබිණි.
සාගරට දැඩි විරෝධයක්!
අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රැලිය අවස්ථාවේදීම බැසිල් හිතවාදී සාගර කාරියවසම් සහ මහින්ද හිතවාදීන් අතර වේදිකාව පිටුපස මේ සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් සිදුව ඇති බවය. එහිදී මහින්ද හිතවාදීන් මැයි රැලියේදී බැසිල්ව උළුප්පා දැක්වීමට විරෝධය පළකරමින් සඳහන් කර තිබුණේ මෙම රැලියේදී බැසිල් හෝ ගෝඨා හෝ නොව, මහින්ද රාජපක්ෂ පමණක් කැපීපෙනෙන ලෙස රැලිය සංවිධාන කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවකි. රැලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රසිද්ධියේම බැසිල් පක්ෂයේ ඊළඟ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස හැඟවෙන පරිදි අදහස් දැක්වීම හේතුකොට ගෙන මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බැසිල්-යෝෂිත බැනගෙන!
මේ අතර බැසිල් සහ යෝෂිත අතරද පසුගිය සතිය පුරාම විශාල මතගැටුමක් මතුව තිබිණි. ඊට හේතු වූයේ මහින්ද, ජනාධිපතිවරයාගෙන් අගමැති ධුරය ඉල්ලා සිටීමෙන් පසු, බැසිල් ජනාධිපතිවරයා හමුවී එය කඩාකප්පල් වන ආකාරයේ අදහස් දක්වා තිබීම හේතුකොට ගෙනය. මේ හේතුවෙන් යෝෂිත හා බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිට වීමට මෙයද හේතුවක් වී තිබූ බව අපට ආරංචිය. බැසිල් ඩුබායි බලා පිටව යෑම කෙතරම් රහසක් ලෙස තබාගැනීමට කටයුතු කළාද කියනවා නම් අඩුම තරමින් මහින්දට හෝ එම ගමන දැනුම් නොදී සිටීමට බැසිල් කටයුතු කර තිබිණි.
ඒ ගැටුමත් ඉවරයි!
කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ තුන්වැනි පාර්ශ්වයන් මේ වන විට බැසිල් හා යෝෂිත අතරද සමගි පාලමක් ගොඩනගා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ඩුබායි සිටින බැසිල් හා යෝෂිත අතර දුරකතන පණිවුඩ කිහිපයක්ම හුවමාරු වී ඇති බවක්ද අප හට දැනගන්නට ඇත.
විපක්ෂය දුර්වලද?
පසුගිය කාලය පුරාම ආණ්ඩුව විසින් විපක්ෂය හඳුන්වා දෙනු ලැබුවේ දුර්වල විපක්ෂයක් ලෙසටය. පණ නැති විපක්ෂයක් ලෙසටය. විපක්ෂයේ සියලු දෙනා එකමුතු කරගෙන එක හඬක් නැගිය නොහැකි විපක්ෂයක් ලෙසටය. ආරම්භක කාලයේදී ආණ්ඩුවේ මෙම චෝදනාවල යම් සත්‍යතාවක් තිබුණත් පසුගිය මාස කිහිපය ඇතුළත ඒ සියල්ල පුස්සක් බවට පත්කරමින් සිය විපක්ෂ නායකත්වය යටතේ මුළු විපක්ෂයම ඒකාබද්ධ කිරීමට සජිත්ට හැකියාව ලැබී තිබිණි. ඒ හරහා විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණ කිහිපයක්ම ලබාදීමට සජිත්ට හැකිව තිබිණි. ඉන් ප්‍රධානම සහ ලොකුම ජයග්‍රහණය වී තිබුණේ ආණ්ඩුව ගෙන ඒමට නියමිතව තිබූ ප්‍රති ත්‍රස්ත පනත හකුලා ගන්නා තැනට වැඩ සැලැස්වීමට සජිත් ඇතුළු විපක්ෂයට හැකියැව ලැබී තිබීමය.
එකමුතුව සටන අරඹයි!
ආණ්ඩුව මේ ප්‍රති ත්‍රස්ත පනත හරහා සූදානම් වී තිබුණේ අඩුම තරමින් ආණ්ඩුවට එරෙහිව කතාකරන දේශපාලනඥයන් සහ පුද්ගලයන් පමණක් නොව, ලියන කියන මාධ්‍යවේදීන් පවා අත්අඩංගුවට ගත හැකි ආකාරයට නීති සංශෝධනය සකස් කිරීමටය. නමුත් සජිත් මුළු විපක්ෂයම එකමුතු කොටගෙන මීට එරෙහිව පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් දැවැන්ත විරෝධයක් ගෙන ගියේය. පාර්ලිමේන්තුව ඇතුළේ සියලු විපක්ෂ කණ්ඩායම් ඊට එරෙහිව බලගැන්වූ සජිත්, පාර්ලිමේන්තුවෙන් පිටත සියලු තානාපති කාර්යාල දැනුවත් කරමින් දැවැන්ත ජාත්‍යන්තර බලපෑමක්ද ආණ්ඩුව වෙත ගෙන ඒමට පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, යුරෝපා කොමිසම, බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු තානාපති ප්‍රජාව ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව නිවේදන පවා නිකුත් කළේ විපක්ෂය ගෙනගිය මෙම අරගලය හේතුකොට ගෙනය.
ප්‍රතිත්‍රස්ත පනතත් නෑ!
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව දින වකවානු යොදාගෙන පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගැනීමට සිටි ප්‍රති ත්‍රස්ත පනත අවසන් මොහොතේ දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩුවට සිදුවීමය.
විපක්ෂයේ එකමුතුවෙන් ලබාගත් දෙවැනි ජයග්‍රහණය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටි මහබැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම්පත කල් දමාගැනීමට විපක්ෂයට හැකි වීමය. ආණ්ඩුවේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණේ එහි වගන්ති 39ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවකි. ඒ අනුව සංශෝධන 82ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පනතට යෝජනා කර තිබිණි. නමුත් කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් නොදී, එහි එතරම් බරපතළ තත්ත්වයක් නොමැති බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමෙන් පසු මහත් ආන්දෝලනයක් හටගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම උදය ගම්මන්පිල මහතා ඊට දැඩි විරෝධය පළකරමින් කතානායකවරයා කළ ක්‍රියාව මුල් කරගනිමින් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවූ බවක්ද ප්‍රකාශ කර සිටියේය.
මීට පස්සේ ඡන්දෙන් වැළකිලි නෑ!
මේ ආකාරයට මහබැංකු පනත් කෙටුම්පතට විරෝධය පළවීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා ඉදිරිපත් වීමත් සමග සජිත් කළේ ආර්ථික විශේෂඥයන් සහ නීතිඥවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන්ට දිනක වැඩමුළුවක් පැවැත්වීමය. මෙම වැඩමුළුවේදී ආර්ථික විශේෂඥයන් සහ නීතිඥවරුන් විසින් මෙම පනතේ ඇති රටට හිතකර වගන්ති සහ රටට අහිතකර වගන්ති පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් මන්ත්‍රී කණ්ඩායමට සිදුකළේය. මෙම වැඩමුළුව අවසානයේදී සජිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ මෙම පනතේ ඇති හිතකර යෝජනාවලට එකඟ වීමටත්, අහිතකර වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කිරීමටත්ය. එම සංශෝධනවලට කාරකසභා අවස්ථාවේදී ආණ්ඩුව එකඟ වන්නේ නම් පමණක් ඊට ඡන්දය ලබාදීමටත්, ආණ්ඩුවේ එම සංශෝධනයන්ට එකඟ නොවන්නේ නම් ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමටත් මෙහිදී සජබ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළහ. ඒ අනුව මින් ඉදිරියට කිසිම අවස්ථාවකදී ඡන්දය දීමෙන් වැළකී නොසිටීමටද සජබය තීන්දු කළේය.
මහින්දටත් වාර්තාවක්!
මීට අමතරව ගෝඨාභය ආණ්ඩුවේ හිටපු ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුද මීට සති කිහිපයකට ඉහතදී අයි.එම්.එෆ්. ගිවිසුමට හා ඊට සම්බන්ධ බරපතළ වගන්ති සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස් කොට හිටපු ජනාධිපති මහින්දටත්, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ටත් ලබාදීමට පියවර ගෙන තිබිණි. (මෙම ආර්ථික විශේෂඥයන් සියලු දෙනාගේ නම් අප සතුව ඇතත්, මේ අවස්ථාවේ අප එය හෙළිකිරීමට කටයුතු නොකරමු.) ඔවුන් මෙම වාර්තාව මහින්දට ලබාදෙමින් කියා සිටියේ මෙම ගිවිසුමේ රටට අහිතකර බරපතළ වගන්ති රාශියක් අන්තර්ගත බවත්, යම් හෙයකින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකොට බැංකු පද්ධතිය කඩාවැටුණහොත් එහි වගකීම ඊට අත ඔසවන මහින්ද ඇතුළු සියලු දෙනාටමත් ගැනීමට සිදුවනු ඇති බවත්ය. ඒ අනුව මහින්ද ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම තීන්දු කොට තිබුණේ මහබැංකු පනත් කෙටුම්පතට ඡන්දය ලබා නොදීමටය.
සජිත්ගෙන් රනිල්ට ගිය ඇමැතුම!
ඒ අතරවාරයේ පසුගිය සතියේ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ රැස්වී පවතින තත්ත්වය සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී මහබැංකු පනත සාකච්ඡාවට ඇදී ආ අවස්ථාවේදී සජිත් සිය පක්ෂය ගනු ලැබූ තීන්දුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එම දැනුම්දීමෙන් පසුව විපක්ෂයේ අනකුත් පක්ෂ නායකයෝද එම ස්ථාවරයේ සිටිමින් විවිධ අදහස් දක්වීමට කටයුතු කළහ. ඒ අනුව සියලු දෙනාම අවසානයේ තීන්දු කළේ ආණ්ඩුව ගෙන එනු ලබන මෙම මහබැංකු පනත අධ්‍යයනය කිරීමට තවත් කාලයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවකි. එම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් ඍජුව සිදුකිරීමටද මෙහිදී යෝජනා විය. ඒ වන විටත් සජබය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකත්වය හැරුණු විට කිසිදු මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්විය නොහැකි බවට යෝජනාවක් සම්මත කොට තිබූ බැවින් ජනාධිපතිවරයා සමග මහ බැංකු පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විපක්ෂ නායක සජිත්ටම පැවරිණි. ඒ අනුව විපක්ෂයේ නියෝජිතයෝ මේ බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස සජිත්ට දැනුම් දීමට පියවර ගත්හ.
විපක්ෂයට තවත් ජයග්‍රහණයක්!
ඒ අනුව පසුගිය අඟහරුවාදා දින පෙරවරුවේම සජිත් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. එසේ ඇමතුමක් දුන් සජිත් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මහබැංකු පනතට සංශෝධන රාශියක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කොට ඇති බවත්, එය තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලසීමාව අවශ්‍ය බවට විපක්ෂයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත්ය. එම නිසා ඊට අවශ්‍ය කාලය ලබාදෙන ලෙසට වූ විපක්ෂයේ නිල ඉල්ලීම සජිත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරද්දී කිසිදු පැකිලීමකින් තොරව ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය. තමන් එය වහාම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දීමට කටයුතු කරන බවද රනිල් එහිදී සජිත්ට දැනුම් දී සිටියේය. ඒ අනුව නැවත සජිත් පෙරළා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ එසේ නම් තමන් එය පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සභාවට දැනුම් දීමට පියවර ගන්නම් යැයි කියාය. ඊටද ජනාධිපතිවරයාගේ එකඟතාව පළවිය. ඒ අනුව සභා වාරය ආරම්භ වූ වහා සජිත් මෙම තත්ත්වය දැනුම් දීමෙන් පසු දිනේෂ් ද කියා සිටියේ ආණ්ඩුව මහබැංකු පනත ගෙන ඒම කල්දැමීමට තීන්දු කළා යැයි කියාය. ඒ, පොදු විපක්ෂය ලැබූ දෙවැනි ජයග්‍රහණයය.
තුන්වැනි ජයග්‍රහණය වූයේ ආණ්ඩුව අවසන් මොහොතේ නැවැත්වීමට සූදානම් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ විවාදයය.