-පාස්කු ප්‍රහාරය වතිකානුවෙන් අමෙරිකාවට! -කලකිරුණු පවිත්‍රාට අටුවා කතාව කී හිමිනම කව්ද? -පවිත්‍රාගේ කතාවට මහින්ද කේන්තියෙන්! -තේවත්ත පල්ලියේ දිනක රහස් මෙහෙයුමක්! -මංගලගේ ජීවිතය බේරගන්න සජිත් ගහපු ගේම…
ඔළුගෙඩි මාරුව අහම්බයක්ද?
ආණ්ඩුවට වසරක් පිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය පසුගිය සතියේ සිදුකිරීමට පියවර ගත්තේය. බොහෝ දෙනා මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවූ ආකාරය අනුව අහම්බෙන් කළ එකක් බව කියා සිටියත් එය අහම්බෙන් සිදුකළ එකක් නොවීය. එය සති කිහිපයක් පුරා පැවැති සාකච්ඡා රැසකින් පසු ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුවකි. නමුත් එවැන්නක් සිදුකරන තෙක්ම ඇමැති මණ්ඩලයේ සිටි ඇතැමුන් පවා සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටීමද මෙහිදී දැකගන්නට තිබු විශේෂ සිදුවීමකි. එය යම් තරමකින් හෝ එළියට පැමිණියේ මාධ්‍ය මගින් එවැනි සංශෝධනයක් පිළිබඳ සිදුකෙරුණු අනාවරණයන්ගෙන් පසුවය. එහිදී මාධ්‍ය අනාවරණ කොට තිබුණේ නුදුරේදීම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවත්, මේ වන විට දැඩි ප්‍රශ්නගත තත්ත්වයකට මුහුණදී ඇති සෞඛ්‍ය, අධ්‍යාපන, විදේශ කටයුතු අමාත්‍ය ධුරයන්හි වෙනසක් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවත්ය.
වැඩියෙන්ම කලබල වුණේ පවිත්‍රා! සෞඛ්‍ය වෙනස් වෙන්නෙත් නෑකියලා!
කෙසේ වෙතත් මාධ්‍ය මගින් සිදුකළ මේ අනාවරණයෙන් පසු වැඩියෙන්ම කලබලයට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්ය. මන්ද යත් දෙදෙනාම අර්බුදයන් සහිත අමාත්‍යාංශ දෙකක් භාරව කටයුතු කළත්, දෙදෙනාම ආණ්ඩුව පිහිටුවීම සඳහාත්, ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහාත් විශාල දායකත්වයක් දක්වා තිබීම ඊට හේතුව විය. විශේෂයෙන්ම පවිත්‍රා 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද සමග දිගටම විපක්ෂයේ රැඳී සිටිමින් මහින්ද යළි දේශපාලනයට ගෙන ඒමට විශාල වැඩ කොටසක් සිදුකළ චරිතයක් විය. එමෙන්ම පොහොට්ටුව නිර්මාණය කිරීමේදී පවා පවිත්‍රා විශාල වැඩ කොටසක් සිදුකර තිබිණි. ඒ නිසාම පවිත්‍රා තමන්ගේ අමාත්‍ය ධුරය වෙනස් කරනු ඇතැයි කිසි සේත්ම බලාපොරොත්තු වූයේ නැත. ඒ නිසාම ඒ පිළිබඳ තමන්ගෙන් විමසීම් කළ මාධ්‍යවේදීන්ට මෙන්ම හිතවතුන්ටත්, අමාත්‍යාංශ නිලධාරීන්ටත් පවිත්‍රා කියා තිබුණේ එවැන්නක් සිදු නොවන බවකි. තමන් ඒ පිළිබඳ අගමැතිවරයාගෙන් පවා විමසීමක් කළ බවත්, එවැන්නක් සිදු නොවන බවට සහතිකයක් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් තමන්ට ලැබුණු බවත් පවිත්‍රා සිය හිතවතුන්ට සඳහන් කර සිටියේ ඒ නිසාමය. ඒ අනුව ඇතැම් මාධ්‍යවල නිල නොවන ආකාරයට පළවූ පුවත්වලින් කියැවුණේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බවකි.
දිනේෂුත් මොනවත් දන්නේ නෑ!
දිනේෂ්ගේ තත්ත්වයත් එසේමය. තම අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවක් අවසන් මොහොත වන තෙක්ම දිනේෂ්ද දැන සිටියේ නැත. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවට මාධ්‍යවේදීන් දිනේෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දිනේෂ් ලබාදුන් පිළිතුරු හේතුවෙනි. එහිදී දිනේෂ් කියා සිටියේ එවැනි කිසිවක් නොමැති බවත්, කිසිවකුත් ඒ පිළිබඳ තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ සිදු කොට නොමැති බවත්ය.
කැබිනට් එකේදී පවිත්‍රාට පළමු සංඥාව එයි!
ඒ කෙසේ වෙතත් පවිත්‍රා නොදැන සිටියත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය නිශ්චිත වශයෙන්ම වෙනස් වනු ඇති බවට වූ සිදුවීම් දෙකක් අනෙකුත් අමාත්‍යවරුන්ට මීට සති දෙකකට පමණ ඉහතදී දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැනි සිදුවීම වූයේ ඉකුත් 09 වැනි සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා තිබූ ප්‍රතිචාරයය. කොරෝනා තත්ත්වය මුල් කරගෙන මෙම කැබිනට් මණ්ඩල රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැති අතර කොරෝනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමෙන් පසු පවිත්‍රා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ දක්වා සිදුකර ඇති වැඩකටයුතු එකින් එක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට පියවර ගත්තාය. නමුත් වැඩි වේලාවක් එසේ පවිත්‍රාට අදහස් දැක්වීටම නොහැකි විය. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා පවිත්‍රාගේ අදහස් දැක්වීමට එරෙහිව අදහස් දැක්වීම ආරම්භ කිරීම නිසාය. ජනාධිපතිවරයා කියා සිටියේ ඔය කියන කිසිවක් සිදුව නැතැයි කියාය.
ඇමැතිතුමිය ඔය කියන කිසි දෙයක් වෙලා නෑ…
“ඇමැතිතුමිය ඔය කියන කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ, ඔය කියන කිසිම දෙයක් වෙලා නැති හින්දා තමයි මේක හරියට වෙලා නෑ කියලා මම කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙදි රටේ ජනතාව බණින්නෙ මටයි” යනුවෙන් ජනාධිපතිවරයා අදහස් දක්වද්දී පවිත්‍රා පමණක් නොව අනෙකුත් ඇමැතිවරුන්ද වික්ෂිප්ත වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව පවිත්‍රාට ඉන් එහාට කැබිනට් මණ්ඩලයට අදහස් දැක්වීමට පවා ඉඩක් නොලැබිණි. ඒ හේතුවෙන් අනෙක් ඇමැතිවරුන්ද නිහඬ වූ අතර පවිත්‍රාගේ ඇමැති ධුරය වෙනස් වන බවට නිකුත් වූ පළමු පණිවුඩය ලෙස ඇමැතිවරුන්ට මෙය වැටහිණි. එමෙන්ම කැබිනට් මණ්ඩල රැස්වීම නිමා වීමෙන් අනතුරුව ඇමැතිවරුන් පෞද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමේදී පවිත්‍රාගේ ඇමැතිකම නිශ්චිතවම ගැළවෙනු ඇති බවට කතාබහක්ද එහිදී සිදුවන ආකාරයක් දැකගත හැකි විය.
රමේෂ්ට සෞඛ්‍ය ඇමැතිකම බාරගන්න කියලා
දෙවැනි සිදුවීම වූයේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිකම භාරගැනීම සම්බන්ධයෙන් විමසීමක් කර තිබීමය. රමේෂ් වෛද්‍යවරයකු වීම හේතු කොටගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබීම ඊට හේතුවී තිබිණි. නමුත් රමේෂ් ඊට එකඟතාව පළ කළේ නැත. ඊට හේතු වශයෙන් රමේෂ් ජනාධිතිවරයාට පෙන්වා දී තිබුණේ තමන් වෛද්‍යවරයකු වීම නිසා වෛද්‍යවරුන්ට උපදෙස් හා නියෝග ලබාදීමේදී යම් වෘත්තීයමය ගැටුමක් නිර්මාණය විය හැකි බවකි. ඒ හේතුව මත තමන්ට සෞඛ්‍ය ඇමැතිකම භාරගත නොහැකි බව රමේෂ් ජනාධිපතිවරයාට දැනුම්දීමට පියවර ගෙන තිබිණි.
අවුරුද්දක් ඇතුළත ඩලස්ගේ තුන්වන මාරුව
කෙසේ වෙතත් පවිත්‍රාගේ සහ දිනේෂ්ගේ තනතුරු මාරුවට අමතරව ඩලස් අලහප්පෙරුම මහතාගෙන් විදුලිබල අමාත්‍යාංශය ඉවත් කොට ඒ වෙනුවට ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාදීමද ආණ්ඩුව ඇතුළේ පමණක් නොව විපක්ෂය ඇතුළේද මහත් සේ කතාබහට ලක්වූ මාතෘකාවක් වී තිබිණ. ඊට හේතුවී තිබුණේ වසරක් ඇතුළත ඩලස්ට තුන්වැනි මාරුවත් ලැබී තිබීම නිසාය. ආණ්ඩුව පිහිටුවීමත් සමග මුලින්ම ඩලස්ට හිමි වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයය. නමුත් කෙටි කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කිරීමෙන් අනතුරුව ඩලස්ට විදුලිබල අමාත්‍යාංශය භාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙවර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඩලස්ගෙන් විදුලිබල අමාත්‍යාංශය ඉවත් කොට ඒ වෙනුවට ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.
ඩලස්ගේ සිද්ධිය විපක්ෂය දකින හැටි
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කියැවෙන්නේ තරමක් වෙනස් කතාවකි. ඩලස් විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සැලකිය යුතු වැඩ කොටසක් සිදුකර තිබූ නමුත්, මේ වන විට විදුලිබලාගාර කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට සහ විදෙස් රටවල් කිහිපයකට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කිරීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බව විපක්ෂය ඇතුළේ යන කසුකුසුවලින් කියැවෙන කතාවය. ඊට ඩලස් බාධාවක් විය හැකි බවට අනුමාන කර තිබීම මේ ඇමැති මාරුවට හේතුවී ඇති බව එම කසුකුසුවලින් වැඩිදුරටත් කියැවිණ.
ආණ්ඩුව ඇතුළේ යන කතාව
නමුත් ආණ්ඩුව ඇතුළේ යන කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද යත් ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල සංශෝධනය කිරීමේදී කිසිදු ඇමැතිවරයකු සමග පෞද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමට පියවර නොගත්තත් ඩලස් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබීම ඊට හේතුවය. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන පෙළේ මාධ්‍ය ගණනාවක්ම වැඩි කාලවේලාවක් වෙන් කිරීම තුළ රට ඇතුළේ ආණ්ඩු විරෝධී මතයක් ගොඩනැගිය හැකි බවකි. විශේෂයෙන් සමාජ මාධ්‍යත් මේ වන විට ඇත්තේ ආණ්ඩුට එරෙහිව යන තත්ත්වයක වීම තුළ ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ එම තත්ත්වය කළමනාකරණය කළ හැකි මධ්‍යස්ථ ඇමැතිවරයකු ජනමාධ්‍ය විෂය හැසිරවිය යුතු බවකි. ඒ අනුව ජනාධිපතිවරයාගේ තේරීම වී තිබුණේ ඊට නියම සුදුස්සා ඩලස් යැයි කියාය. පසුගිය සතියේ ඩලස් කැඳවා ඒ පිළිබඳ ඔහුගේ අදහස් විමසීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ඒ අනුවය. ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම අනුව ඩලස්ද විදුලිබල අමාත්‍යාංශය අතහැර ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරගැනීමට එකඟතාව පළ කළේය.
කැබිනට් එක හොල්ලද්දී මහින්ද තංගල්ලේ මහගෙදර ගිහින්
ඒ අනුව පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තෝරාගත් ඇමැතිවරුන් කිහිප දෙනකුට ලැබුණු ඇමතුම්වලින් කියැවුණේ සඳුදා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙසටය. මෙම පණිවුඩයත් සමග ඇමැතිවරු කිහිප දෙනකුම අගමැති මහින්ද හා සම්බන්ධ වෙමින් මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබුණද, අගමැතිවරයා ඒ වන විට සිටියේ තංගල්ලේ පිහිටි සිය මහ ගෙදරට ගොස්ය. ඇමැතිවරුන් සඳුදා දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ එවැනි පසුබිමක් යටතේය. නමුත් නාමල් සහ තවත් අමාත්‍යවරයෙක් එම අවස්ථාවට සජීවීව සම්බන්ධ නොවූ අතර, සෞඛ්‍යමය තත්ත්වයන් මත නාමල් හා එම අමාත්‍යවරයා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට එක්ව සිටියහ. එසේ ඇමැතිවරුන් පැමිණ සුළු මොහොතකට පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට පියවර ගත් අතර පවිත්‍රාගේත්, දිනේෂ්ගේත් තනතුරු වෙනස්වී තිබීම විශේෂ සිදුවීමක් විය.
පවිත්‍රාට අටුවා කතාව කී හිමිනම කව්ද?
කෙසේ වෙතත් අනෙකුත් අමාත්‍යවරුන් නිහඬව සිටියත්, පවිත්‍රා නම් මෙහිදී නිහඬව සිටි ආකාරයක් දැකගන්නට නොලැබිණි. ඒ වෙනුවට පවිත්‍රා සිය තනතුරු වෙනස සිදුවූ සැණින් ගියේ කොළඹ පිහිටි එක්තරා ප්‍රසිද්ධ පන්සලකටය. එසේ ගොස් එහි නායක ස්වාමින්වහන්සේ සමග බොහෝ කාලවේලාවක් සාකච්ඡා කිරීමට පවිත්‍රා කටයුතු කළාය. එහිදී මෙම නායක ස්වාමින්වහන්සේ පවිත්‍රාට අපූරු ජාතක කතාවක් සිහිපත් කර දුන්හ. ඒ, රජතුමා හා පුරෝහිත කැලෑවේ යන අතරතුර සිදුවූ සිදුවීමක් පිළිබඳ මතක් කර දෙමිනි. එහිදී හැම දෙයක්ම වෙන්නේ හොඳට යනුවෙන්ද, එසේ නොවුණා නම් පවිත්‍රාටද බරපතළ චෝදනා එල්ල වීමට ඉඩ තිබූ බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. පන්සලෙන් නික්ම අවසන් වතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ සියල්ලන්ගෙන් සමුගනිමින් පවිත්‍රා කියා සිටියේ යටකී ස්වාමින්වහන්සේ පවිත්‍රාට සිහිපත් කළ ජාතක කතාවය. එම කතාවේදී කිසිවකුගේ නම්ගම් සඳහන් නොකිරීමට පවිත්‍රා පියවර ගත්තත්, එය ඉලක්ක කර තිබුණේ ජනාධිපතිවරයාට බව එහි සිටි සියල්ලන්ටම වටහා ගැනීමට අපහසු වූයේ නැත. එහිදී පවිත්‍රා කළ ඒ කතාවේ තිබුණේ මෙවැන්නකි.
ඔක්කොම වෙන්නේ හොඳට…
“මම හිතුවේ නෑ එකපාරට මේ වෙනස වෙයි කියලා. මම ඒත් යන්න ඉස්සෙල්ලා ඩොක්ටට කිව්වා.. මිනිස්ට්‍රි රිෂෆල් එකකටද දන්නෑ කියලා. ඒ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා. මම එනකොට අමාත්‍යාංශයට ඔබතුමන්ලා අනේ මේ ගෑනි චුතවෙලා ගියා නම් කියලා කවුරුවත් හිතුව කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒත් අන්එක්ස්පෙක්ටඩ් මොහොතක. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබුණා. මං එතෙන්ට යනකම්ම මම ඇත්තටම දැනන් හිටියෙත් නෑ මේ මාරුවීම සිද්ධවෙනවා කියලා. කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.
අටුවා කතාවක තියෙනවා, රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට රජ්ජුරුවො දුන්නෙන් විද්දලු මුවෙකුට. කවදාවත් එහෙම ඉලක්කෙ වරදින් නෑ. වැරදුණාම පුරෝහිතයගෙන් ඇහුව ලු ඇයි මට මෙහෙම වුණේ කියලා. ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු. තව ටිකක් කල් යනකොට රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන්වුණා ලු. ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම, ස්වාමීනි, ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වා ලු.
ඉතින් ඒ ගමන රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයව වළට දාලා රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු. ගියාම අහුවුණාලු ගෝත්‍රික කණ්ඩායමකට. ඒ කට්ටිය බිලි පූජාවකට හොයාගෙන හිටිය ලු මනුස්සයෙක්ව. අරගෙන ගිහිල්ලා රජ්ජුරුවො හොඳට නාවලා බිලි පූජාවට ගෙනිච්චා ලු. බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ. මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ… මෙයාව අතහැරිය ලු. ඒ ගමන රජ්ජුරුවෝ කල්පනා කළාලු, මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ, මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ… මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ. මගේ ජීවිතේ බේරුණේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා… රජ්ජුරුවෝ ආපහු බොහොම අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන කිව්වලු, සමාවෙන්න මට කියලා. පුරෝහිතයා කිව්වා ලු, රජතුමනි මාව වළට දාපු එකට ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියා නම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා.
ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු. වෙන කරන්න දෙයක් නෑ.
දුකක් තියෙනවා ඇමතිතුමා. අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න….”
පවිත්‍රා ඇමැතිවරුන්ට දුන් උත්තරේ
කෙසේ වෙතත් මෙම කතාව සිදුකිරීමත් සමග පවිත්‍රාට හිතවත් මැති ඇමැතිවරුන් රැසක්ම පවිත්‍රාට කතා කොට එවැනි සැර කතාවක් කළේ ඇයිද යන්න විමසා සිටියහ. පවිත්‍රා ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
“ඒක එච්චර සැරයි කියලා මට හිතුණෙ නෑ. මට ඔය කතවා කිව්වෙ ආණ්ඩුවටයි, අපිටයි හිතවත් ස්වාමින්වහන්සේ නමක්. ඇමතිකමෙන් අයින් කළාට පස්සේ මම ගිහින් උන්වහන්සේ හම්බ වුණා. හැම දේම වෙන්නේ හොඳටයි කියලා උන්වහන්සේ මට ඔය කතාව කිව්වා. ඉතින් මම ඒක තමයි අතනදිත් කිව්වේ…” යන්න පවිත්‍රා එහිදී කියා සිටි කතාව විය.
ආණ්ඩුව ඇතුළේ කලකිරීම්
කෙසේ වෙතත් සඳුදා සිදුවූ මෙම කැබිනට් ඇමැති මාරුවෙන් පසු අඟහරුවාදා දින පැවැති පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදීද ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇමැති මාරුවය. විශේෂයෙන් ඇමැති මුහුණු කිහිපයක් පමණක් එහා මෙහා කෙරුණද ආණ්ඩුව ඇතුළේ ඊට එතරම් යහපත් ප්‍රතිචාර හිමිව නැති බවක් දැකගන්නට ලැබුණේ ආණ්ඩු පක්ෂයේ ලොබිය තුළ මැති ඇමැතිවරුන් අතර සිදුවූ කතාබහ මුල් කරගෙනය. බොහෝ ඇමැතිවරුන් ඒ පිළිබඳ යම් අප්‍රසාදයකින් යුතුව අදහස් දක්වා තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. ඇමැති ධුර මාරුවූ ඇමැතිවරුන් පමණක් නොව අලුත් ඇමැති ධුර බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනකු යම් කලකිරීමකින් යුතුව ප්‍රසිද්ධියේම අදහස් දක්වා තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
මැති ඇමැතිවරුන් මේ කලකිරීම ආණ්ඩුවේ ඉහළටද නොදැණුනා නොවේ. ඒ අනුව බොහෝ දෙනෙක් මහින්දට කතාකොට මේ පිළිබඳ දැනුම් දුන් අතර විශේෂයෙන්ම පවිත්‍රා කළ කතාව පිළිබඳ මතක් කිරීමක්ද කළහ.
මහින්දටත් පවිත්‍රා එක්ක කේන්ති ගිහින්…
එහිදී මහින්ද මේ සියලු දෙනාටම කියා සිටියේ ඕනෑම අවස්ථාවක ඇමැතිකම් අතහැරීමට සියලු දෙනාම සූදානමින් සිටිය යුතු බවය.
“ඕවට කවුරුවත් කලබල වෙන්න ඕනෙ නෑ. හැම දෙනෙක්ම තේරුම් ගන්න ඕනෙ මේ ඇමැතිකම් තාවකාලිකයි කියලා. අපි හැමදාම මේ ඇමැතිකම් කරන්න ආවෙ නෑනේ. ඕනෙ වෙලාවක මේවා අතහරින්න පුළුවන්කම තියෙන්න ඕනෙ. මොකද මම මීට වඩා දේවල්වලට මුහුණ දීලා තියෙනවා. මතකනෙ චන්ද්‍රිකාගෙ කාලෙ මට කරපුවා. දේශපාලනයේ හැටි එහෙම තමයි…” යන්න එහිදී මහින්ද කියා සිටි කතාව විය.
ශෂින්ද්‍රගේ කතාව කලකිරීම නැති කරන්නද?
එමෙන්ම ඉහළට දැනුණු මේ ඇමැතිවරුන්ගේ කලකිරීම යම්කිසි ආකාරයකට සමනය කිරීම සඳහා තවත් විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක විය. ඒ, රාජපක්ෂ පවුල ඇතුළෙන්මය. පසුගිය බදාදා දින අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් නිකුත් වූ ප්‍රකාශයකින් එම කලකිරීම සමනය කිරීමට පියවර ගෙන තිබුණු අතර, ඉන් කියැවුණේ නුදුරේදීම තවත් ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට සැලසුම් කොට ඇතැයි කියාය.
ඊළග කැබිනට් වෙනස අප්‍රේල්වල…
ශෂීන්ද්‍ර එසේ කීවද අපට ලැබී ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ එවැනි ඇමැති මණ්ඩල සශෝධනයක් සිදුකිරීමට සැලසුම් කර ඇතත් හෙට අනිද්දා නම් එවැන්නක් සිදු නොවන බවකි. එය සිදුකිරීමට ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල සැලසුම් කර ඇත්තේ ලබන සිංහල අලුත් අවුරුද්දෙන් පසුවය. ඊට හේතුවී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති සහතිකයකි. එහිදී බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ දැනට රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ලබන පෙබරවාරි වන විට යම් ප්‍රගතියක් ලබාගත හැකි බවත්, එතෙක් සියලු දෙනාම පටි තද කරගනිමින් වැඩ කළ යුතු බවත්ය. ඉන් අනතුරුව ලබන අප්‍රේල් මාසය පමණ වන විට ආර්ථිකය නිසි මාර්ගයට ගන්නට හැකි වනු ඇති බව පෙන්වා දී ඇති බැසිල් ඉන් අනතුරුව පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකොට අලුත් ආණ්ඩුවක් වශයෙන් ජනතාව ඉදිරියට යා හැකි බව දැනුම්දී ඇති බවත් ආරංචිය.
පාස්කු ප්‍රහාරයේ ඊළග මෙහෙයුම
පාස්කු ප්‍රහාරය සිදුවී සෙනසුරාදා (21) දිනට වසර දෙකකුත් මාස 4ක් සම්පූර්ණ වේ. ආණ්ඩුව පවසන්නේ මේ වන විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ නවුෆර් මව්ලවි ඇතුළු තවත් 25 දෙනකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇතැයි කියාය. ආණ්ඩුව එසේ කීවත් කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පියතුමන්ලා සඳහන් කර සිටින්නේ තවමත් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට වී නැතැයි කියාය. පාස්කු ප්‍රහාරයේ නිසි වගකිවයුත්තන්ට දඬුවම් හිමිවී නැතැයි කියාය. ඒ සඳහා ආණ්ඩුවට බලකරමින් කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පියතුමන්ලා විවිධ උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, කළු කොඩි එසවීම් සිදුකළත් එම පාර්ශ්වයේ ස්ථාවරය වී ඇත්තේ යම් යම් පුද්ගලයන් නිදහස් කිරීමට කිසියම් පාර්ශ්වයකින් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවයි.
කාදිනල් හිමි යවපු ලිපිය හැදුණු හැටි
ඒ සියල්ල තිබියදී මීට මාස දෙකකට පමණ ඉහතදී කාදිනල් හිමිපාණන් විසින් කළ ප්‍රකාශයකින් කියැවුණේ ආණ්ඩුව පාර්ශ්වයෙන් සාධාරණය ඉෂ්ට නොවන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගොස් හෝ සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට තමන් වහන්සේ පසුබට නොවන බවය. ඒ කීවා වාගේම මීට සති කිහිපයකට ඉහතදී කාදිනල් හිමිපාණන් විසින් වතිකානයේ සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙත ලිපියක් යොමුකිරීමට කටයුතු කළේය. එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු දැනුම් දීමටද කාදිනල් හිමිපාණෝ පියවර ගත්හ. ඒ බව උන්වහන්සේ මාධ්‍ය හමුවේද නොබියව සඳහන් කළහ.
තේවත්ත පල්ලියේ දවසක මෙහෙයුමක්
මෙහි පිටුපස මෙතෙක් එළියට නොආ තොරතුරු රැසක්ද තිබේ. ඒ, කාදිනල් හිමියන් නිහඬව සිටි ඉකුත් කාලය පුරා තිරය පිටුපස මෙම මෙහෙයුම සිදුවෙමින් පැවැතීමය. ඒ අනුව මෙරට සිටින ප්‍රකට නීතිඥවරු කණ්ඩායමක් සහ කතෝලික පල්ලිය නියෝජනය කරමින් පියතුමන්ලා කණ්ඩායමක් මීට සති කිහිපයකට ඉහතදී රාගම තේවත්ත පල්ලියට රැස්වී විශේෂ කටයුත්තක් ආරම්භ කළහ. එහිදී දිනක් පුරා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව මගින් නිර්දේශ කර ඇති කරුණු, තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය සැකයට තුඩුදී ඇති කරුණු යනාදිය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් මෙම පිරිස අතර පැවැත්විණි. පාප් වහන්සේ වෙත යැවිය යුතු ලිපිය නිසි අයුරින් සකස් වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඒ අනුව දැන් මෙම ලිපිය වතිකානය වෙත ලැබී ඇති අතර, එහි වෙබ් අඩවියේ සටහන් වී ඇත්තේ නුදුරු දිනෙකදී ඒ පිළිබඳ වතිකානයේ මතය ප්‍රකාශ කිරීමට සූදානම් බවකි.
පාස්කු ප්‍රහාරය වතිකානුවෙන් අමෙරිකාවට
නමුත් මේ කතාවේ ඊළඟ කොටස තරමක් භයානක එකකි. එනම් මෙම ලිපිය පිළිබඳ වතිකානය විමර්ශනය කිරීමෙන් අනතුරුව එය නීති උපදෙස් ලබාගැනීම සඳහා වෙනම විශේෂඥ මණ්ඩලයක් වෙත යොමුකිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔවුන් විසින් සකස් කරන නිර්දේශ ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකිරීම ඊළඟ පියවරය. සාමාන්‍යයෙන් ඕනෑම රටක සිද්ධියක් සම්බන්ධයෙන් වතිකානය මේ ආකාරයේ ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුකිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන්නේ අදාළ රට සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කිරීමය. එම විශේෂඥ කණ්ඩායමට අදාළ රටට ගොස් එම සිදුවීමට අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගැනීමේ හැකියාවක් පැවැතීමද විශේෂ සිදුවීමකි.
ඒ අනුව දැන් කාදිනල් හිමියන් විසින් පාප් වහන්සේ වෙත යවන ලද ලිපියට ඉදිරි දින කිහිපය ඇතුළත වතිකානයේ ප්‍රතිචාර ලැබීමට නියමිතය. ඒ අනුව ආණ්ඩුවට ඊළඟ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේ වතිකානයෙන් ලැබෙන ප්‍රතිචාරයන්ට අනුරූපවය.
යුරෝපා කොමිසමට බාල බඩු යැව්වේ කව්ද?
මේ ආකාරයට තවත් එක් ජාත්‍යන්තර අර්බුදයක් සම්බන්ධ සලකුණු එක් පසෙකින් නැග එද්දී යුරෝපා කොමිසම පැත්තෙන්ද ලංකාවට එරෙහිව තවත් බාල්දියක් පෙරළෙන ලකුණු මේ වන විට පහළ කරමින් තිබේ. ඉකුත් සතියේ අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එහි එක් අනාවරණයක් සිදුකරමින් යුරෝපා කොමිසමේ නියෝජිතයන් පිරිසක් ජී.එස්.පී. ප්ලස් සහනය දිගටම ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ලංකාවට පැමිණීමට නියමිත බව කියා සිටියේය. ඒ අතරවාරයේ පසුගිය සතියේ කියැවුණේ ලංකාවෙන් යුරෝපා කොමිසමේ රටවල් වෙත අපනයනය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් තත්ත්වයෙන් අඩු ඒවා බවටත්, ආහාර ද්‍රව්‍යවලට විවිධ අපද්‍රව්‍ය මුසුකොට ඇති බවටත් අනාවරණ වී ඇති බවය. මේ තත්ත්වය හමුවේ යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ භාණ්ඩ වර්ජනය කිරීමේ අනතුරක් මතුව ඇති බව යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් ආශිර්වාදන් මහත්මිය සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ අපනයනවලින් අති බහුතරයක් යුරෝපා කොමිසමේ රටවලින් මිලදී ගන්නා බැවින් ඊට වහා පිළියම් යෙදීමට කටයුතු නොකළහොත් ලංකාවට හිමි ලොව ලොකුම වෙළෙඳපොළ කඩාවැටෙනවා නොඅනුමානය.
මුරුත්තෙට්ටුවේ හිමි කාලෙකින් ආණ්ඩුවේ වැඩකට ඇවිත්…
නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය බ්‍රහස්පතින්දා (19) අධ්‍යාපන අමාත්‍යංශයේදී හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් තුන්දෙනකු ඉදිරිපිට සිය ධුරයේ වැඩ භාරගැනීම, ඓතිහාසික අවස්ථාවක් විය. හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම මීට පෙර අවස්ථාවල අධ්‍යාපන අමාත්‍ය ධුර දැරූ බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුද ඊට එක්ව සිටියහ. එමෙන්ම නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එම අවස්ථාවට වැඩම කර දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ අතේ පිරිත් නූල ගැටගැසීමද දක්නට ලැබුණි. උන්වහන්සේ පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා විවේචනය කළ අතර බොහෝ කලකින් රාජ්‍ය උත්සවයක දක්නට ලැබුණේද නැත.
ජී.එල්. දිනේෂ් ගැන කියපු කතාව
මෙහිදී තවත් විශේෂ සිදුවීමක් වූයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අධ්‍යාපන අමාත්‍ය, වර්තමාන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, විශේෂ දේශපාලන කතාවක් කිරීමය.
“මම කාවවත් ප්‍රශංසා කරන්නේ නෑ, මගේ හෘදය සාක්ෂියට විරුද්ධව. හැබැයි දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ගැන මගේ අවංක ගෞරවයක් තියෙනවා…” යනුවෙන් කියමින් කතාව ආරම්භ කළ ඔහු, “අපි අතීතය අමතක කරන්න හොඳ නෑ…” යනුවෙන් ප්‍රකාශ කර, “අපිට තියෙන්නේ කෙටි මතකයක්. හුඟක් දෙනකුට තියෙන්නේ, කෙටි මතකයක්…” යනුවෙන්ද පැවැසිය.
ආණ්ඩු බලය තියා, විරුද්ධ පක්ෂයේ නායක ධුරයවත් නොතිබුණු සමයක, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කළ ආකාරයත්, රට පුරා දැවැන්ත රැල්ලක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළටද දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දුන් ආකාරයත් ඔහු සිහිපත් කළේය. දිනේෂ් ගුණවර්ධන මහතා වචනයක් ලබාදුන්නොත්, එය ලිඛිත ගිවිසුම් අභිබවා යන බවත්, පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ඔහු ආණ්ඩුව අඛණ්ඩව රකින ආකාරයත් විස්තර කළේය.
කොරෝනා හැදුණු මංගල කිංග්ස් රෝහලෙන් ලංකා රෝහලට…
මේ වන විට රට පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයට භේදයකින් තොරව සියලු තරාතිරමකම පුද්ගලයන් ගොදුරුවෙමින් පවතින ආකාරයක් තිබේ. ප්‍රධාන පෙළේ ස්වාමින්වහන්සේලා, වෛද්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසාදිතව ඇති බවට මේ වන විට දිනපතා පුවත් පළවෙමින් තිබේ. ඒ සියල්ල අතරවාරයේ විපක්ෂයේ ප්‍රබලයකුට සිදුවූ සිදුවීමක් හේතුවෙන් පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් මතුවිය. මේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව මංගල සමරවීරය.
මුලින්ම එන්නතත් ගැහුවා…
මංගල කොරෝනා එන්නත ලබාගත්තේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලෙනි. ඒ, එන්නත රටට පැමිණි මුල් අවස්ථාවේදීමය. නමුත් පසුගිය සතියේ මංගල කොරෝනා ආසාදනය වීම හේතුකොටගෙන නාරාහේන්පිට කිංග්ස් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් දින කිහිපයක් ගතවෙද්දී මංගලගේ තත්ත්වය තරමක් අසාධ්‍ය අතට පත්වීම හේතුවෙන් පවුලේ ඥාතීන් කළේ මංගල වහාම කිංග්ස් රෝහලෙන් නාරාහේන්පිට ලංකා රෝහල වෙත රැගෙන ඒමය. එසේ රැගෙන ඒමෙන් පසු වහාම මංගල දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ ඒ වන විට නියුමෝනියා තත්ත්වයට මංගල ආසන්න වෙමින් සිටීම නිසාය. මේ තත්ත්වය රටට අනාවරණ කරමින් මංගල දැඩි සත්කාර ඒකකයේ සිටින බවට මාධ්‍යද පුවත් පළකිරීමට පියවර ගෙන තිබිණි.
සජිත් මෙහෙයුම අතට ගනී
මේ තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මංගලගේ තත්ත්වය විමසා බලන්නට පියවර ගත්තේය. ඒ අනුව මංගලගේ හිතවතුන් කිහිප දෙනකුටම කතා කළ විට ඔවුන් සජිත්ට කියා සිටියේ මංගලගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු නිව්මෝනියා තත්ත්වයට පත්ව ඇති බැවින් වෛද්‍යවරුන් ‘ටොසිලිසුමාබ්’ නම් ඖෂධයක් නිර්දේශ කර ඇති බවත්, එය කිසිදු තැනකින් සොයාගැනීමට නොහැකි වී ඇති බවත්ය.
වෛද්‍ය කණ්ඩායමේ රවිගේ සහෝදරයාත්
මේ තත්ත්වය වාර්තා වීමත් සමග සජිත් වහාම මංගලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට කතා කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත්ට විශාල පහසුවක් වූයේ සිය පෞද්ගලික ලේකම්වරයා වන නීතිඥ රවි ජයවර්ධන මහතාගේ සහෝදරයා මංගලට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වීමය. ඔහු නමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනය. ඒ අනුව වහාම ප්‍රියංකරට කතා කළ සජිත්, මංගලගේ තත්ත්වය විමසා ඔහුට අවශ්‍ය ඖෂධ මොනවාද යන්න සොයා බැලුවේය.
එවිට ප්‍රියංකරද කියා සිටියේ මංගලට ටොසිලිසුමාබ් ඖෂධය නිර්දේශ කර ඇති නමුත් එම ඖෂධය සොයාගැනීමේ බරපතළ ගැටලුවක් පැනනැගී ඇති බවය.
සජිත් ටොසිලිසුමාබ් සොයයි
ඒ අනුව සජිත් ඊළඟට අත තිබ්බේ මෙම ඖෂධය සොයාගෙන මංගලගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමටය. වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරන සිය හිතවතුන්ටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් භාර නිලධාරීන්ටත් දිගින් දිගටම ඇමතුම් ලබාදෙමින් සජිත් දියත් කළ මෙහෙයුම පැය කිහිපයක් ඇතුළත සාර්ථක කරගැනීමට සජිත්ට හැකියාව ලැබී තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඉතා ඉක්මනින් ටොසිලිසුමාබ් ඖෂධය සොයාගත් සජිත් වහාම එය මංගලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් අතට පත්කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් ඊට වැඩි ප්‍රසිද්ධියක් ලබාදීමට සජිත් කටයුතු කළේ නැත.
කතාව එළියට දැම්මේ ෂාමිනී…
නමුත් මෙම සිදුවීම එළියට පැමිණියේ මංගලගේ සමීප හිතවතියක වන මාධ්‍යවේදිනී ෂාමිනී සේරසිංහ, සජිත්ට ස්තුති කරමින් සිය සමාජ මාධ්‍ය පිටුවක තැබූ කෙටි සටහනත් සමගය. එහිදී ඇය මංගලගේ තත්ත්වය අනාවරණ කරමින් අදාළ ඖෂධය සොයාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සජිත්ට විශේෂ ස්තුතිය පළකිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් කතාව එළියට ආවේ ඒ සමගය. ඒ, කොරෝනා රෝගය උග්‍රවී නිව්මෝනියා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රෝගීන්ට අවසන් මොහොතේ ලබාදෙන ටොසිලිසුමාබ් ඖෂධය ලංකාවේ කොතැනකදීවත් සොයාගැනීමට නොහැකි බවත්, උග්‍ර බෙහෙත් හිඟයක් රට ඇතුළේ මතුව ඇති බවත්ය. එසේ ටොසිලිසුමාබ් ඖෂධය තිබුණේ නම් රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත බේරාගන්නට හැකි බවද මේ සිදුවීම හරහා සජිත්ට වැටහී ගොස් තිබිණි.
ජ්‍යෙෂ්ඨයන් සජිත්ට දුන් උපදෙස
ඒ අනුව සජිත් තීන්දු කළේ අඟහරුවාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මේ ඖෂධ හිඟය පිළිබඳ රටට කරුණු කීමටය. විශේෂයෙන්ම ටොසිලිසුමාබ් ඖෂධ හිඟය පිළිබඳ රටට කරුණු කීමට සජිත් සූදානම් වද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම සජිත්ට පෙන්වා දුන්නේ ඉකුත් වතාවේ ඖෂධවල නම් කියමින් කළ ප්‍රකාශය පිළිබඳ ආණ්ඩුවෙන් චෝදනා එල්ලවීම හේතුකොටගෙන ඖෂධවල නම් නොකියන ලෙසටය. නමුත් සජිත් කියා සිටියේ කවුරු කුමන අපහාස කළත් ඇත්ත කතා කිරීමට තමන් බිය නොවනා බවත්, මෙම ඖෂධ හිඟය පිළිබඳ තමන් රටට කරුණු අනාවරණ කරන බවත්ය.
ප්‍රහාරය ඇරඹේ
කිව්වා වාගේම සජිත් මේ ඖෂධ හිඟය පිළිබඳ කතා කොට මොහොතක් යෑමට මත්තෙන් ඖෂධ භාර අමාත්‍ය චන්න ජයසුමන මහතා ටොසිලිසුමාබ් පිළිබඳ සඳහන් කරමින් සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එමෙන්ම එම ඖෂධය රටේ ඇති බවත්, ඉල්ලුම වැඩිවීම පමණක් සිදුව අති බවත් චන්න වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව සමාජ මාධ්‍යවලින්ද සජිත් ඉලක්ක කොට මොහොතක් යෑමට මත්තෙන් විශාල ප්‍රහාරයක් දියත් වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බලන් යද්දි කතාව ඇත්ත… ටොසිලිසුමාබ් ලංකාවේ නෑ…
කෙසේ වෙතත් සජිත්ගේ මෙම ප්‍රකාශය හරහා ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ පවා ඇස් ඇරුණු බවක් දැකගත හැකි විය. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රබලයන්ද සෞඛ්‍ය බලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔවුන් කියා සිටියේ නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීමෙන් පසු මෙම ටොසිලිසුමාබ් ඖෂධය ලබාදෙන බවත්, ලංකාවට ගෙන්වන්නේ ඉන් 400ක් පමණක් බවත්ය. ඒ අනුව පැය කිහිපයක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන්ගෙන් අදාළ ආයතන වෙත උපදෙස් ලැබුණේ වහාම මෙම ඖෂධය ගෙන්වීමට පියවර ගන්නා ලෙසටය.
මෙම සිද්ධිය එතැනින්ද නැවතුණේ නැත. කොරෝනා රෝගය උත්සන්න වීමෙන් පසු ලබාදෙන ටොසිලිසුමාබ් ඖෂධය සජිත් විසින් මංගලට ලබා දුන් බවට වාර්තා වීමෙන් පසු රොහාන් ජයසිංහ නැමැත්තකු සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. සිය පියා වෛද්‍යවරයකු බවත්, ඔහුට ටොසිලිසුමාබ් ඖෂධය නිර්දේශ කර ඇති බවත් සජිත්ට කියා සිටි රොහාන්, එම ඖෂධය තමන්ට සොයාදෙන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක් කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ තමන් මංගලට සොයාගත්තේ අන්තිම එන්නත බවත්, එසේ වුවත් තමන් ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දරන බවත්ය. ඒ අනුව අංක කිහිපයක්ම රොහාන්ට ලබාදුන් සජිත්, තමන් ඔවුන්ට කතා කළ බවත්, ඔවුන් රොහාන්ට උදව් කරනු ඇති බවත් කියා සිටියේය. නමුත් කෙතරම් උත්සාහ කළත් ටොසිලිසුමාබ් ඖෂධය සොයාගත නොහැකි වීමෙන් රොහාන්ගේ පියා අභාවප්‍රාප්ත විය. පසුව වීඩියෝවක් නිකුත් කරමින් රොහාන් කියා සිටියේ චන්න ජයසුමන ඖෂධ ඇති බවට පාර්ලිමේන්තුවේ කෙතෙක් කියා සිටියත්, ටොසිලිසුමාබ් ඖෂධය නොමැති වීම හේතුවෙන් සිය පියා මියගිය බවය.
බැසිල් විමල්ට එන්න කියයි
මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූයේ අඟහරුවාදා දිනයේ පමණි. අය වැය සඳහා සහෝදර පක්ෂවල අදහස් ලබාගැනීමේ විශේෂ සාකච්ඡා වටයක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කැඳවා තිබූ නිසා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වේලාසනින්ම පාර්ලිමේන්තු ආවේය. අය වැය සාකච්ඡාවේ පළමු අවස්ථාව දී තිබුණේ විමල් ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණටය.
“අපිට එන්න කියල තිබුණෙ 10.30ට. ඔන්න ඇමතිතුමා අපි කලින්ම ආව. දැන් වෙලාව 10.28යි…” විමල් එසේ කියමින් සිය කණ්ඩායමද සමගින් සාකච්ඡාවට වාඩි වූයේය.පැමිණි සියලු දෙනාව බොහෝ සුහදව පිළිගනිමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සාකච්ඡාවට මුලපිරුවේය.
“අය වැය සකස් කරද්දී විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම අපේ අය වැය සංස්කෘතියට එකතු කළේ මහින්ද ජනාධිපතිතුමා. එතුමාගේ ඒ ආරම්භය තවත් ඉදිරියට ගෙනයමින් අදාළ සියලු කණ්ඩායම් එක්ක මම අය වැය ගැන කතාකරනව. දැන් ඔබතුමාලට පුළුවන් ඔබේ අදහස් කියන්න…” මුදල් ඇමැති බැසිල් සාකච්ඡාව ආරම්භ කළේ එලෙස කීයමිනි.
දිනේෂ්-වාසු-උදයලාටත් එන්න කියලා
ඇමැති විමල් ඇතුළු ජානිපෙ නියෝජිතයන් මෙවර අය වැය වෙනුවෙන් තම කණ්ඩායමේ යෝජනා ඉදිරිපත් කළේය. එදිනම ශ්‍රීලංකා නිදහස් පක්ෂය, දිනේෂ්, වාසු, උදය, තිස්ස විතාරණ, අසංක නවරත්න, ජීවන් තොණ්ඩමාන්, ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා, වීරසුමන, චන්ද්‍රකාන්තන් අතුළු ආණ්ඩුවේ සියලු පක්ෂ නායකයන් සිය නියෝජිතයන් සමග අය වැය ගැන මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කළහ. ඊට රතන හාමුදුරුවොත් වැඩම කළහ. ඒ වගේම ඩයනා ගමගේ ඇතුළු ආණ්ඩුවට අලුතින් සහාය දුන් මන්ත්‍රී කණ්ඩායමටත් මුදල් ඇමැතිවරයා වෙනම සාකච්ඡාවක් දී තිබිණි. සාකච්ඡා අවසානයේදී, අය වැය වෙනුවෙන් මේ විදිහේ සංවාදයක් ඇතිවීමම හොඳ වැඩක් බව සියලු දෙනා පවසා තිබිණි. මේ අතර පසුගිය බදාදා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සියලු ඇමැතිවරුන් සමග එක් එක් අමාත්‍යාංශයට අදාළව අය වැය යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවක් මුදල් අමාත්‍යංශයේදී කැඳවා තිබුණි.
පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් ලියුමක්…
මෙවර අය වැයට තමන්ගේ යෝජනා එවන්න කියල සිය අස්සනින් සියලු පළාත් පාලන නියෝජිතයන්ටත් ගිය සතියේ මුදල් ඇමැති බැසිල් ලිපියක් යොමුකර තිබිණි. අය වැයට යෝජනා ලබාගැනීමේ තවත් සාකච්ඡා වට කීපයක් මේ සතියෙත් පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.
කපිල පුංචිමාන්නගේ










