අද පැවැති මුදල් කමිටුවේ රැස්වීමේදී වැඩබලන සභාපතිවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එකගවීම සම්බන්ධයෙන් අද සවස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
විපක්ෂය මුදල් කමිටුවේ සභාපති ධූරය සදහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කොට තිබියදී කතානායකවරයා එම පත්කිරීම සිදු නොකිරීම පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා වනු ඇති බව වාර්තා වේ.
අද පැවැති රැස්වීමේදී කතානායකවරයා ඊට එකගවීම පිළිබදව චන්දිම වීරක්කොඩි මහතා සිය විරෝධය පළ කළ අතර එය සටහන් කරගන්නා ලෙසද දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ඊට එරෙහිව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට දැනුම් දීමටත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට දැනුම් දීමටත් දැනටමත් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මීට පෙර බැංකු පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැනුම් දීමේදී කතානායකවරයා හැසිරුණු ආකාරය පිළිබදව උදය ගම්මන්පිල මහතා බරපතළ විවේචනයක්ද සිදු කොට තිබිණ.










