වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු වල වර්ථමාන තත්ත්වය සොයා බැලීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොල්පිතිගම ඉරුදෙණියාය මහකිතුල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ආකාරය සහ සහ වර්ථමානයේ ලබා ඇති ප්‍රගතිය පිළිබද ව්‍යාපෘතිය භාර නිලධාරීන් හා අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම ජලාශයේ ඉදිකිරිම් කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සදහා මේ වන විට අනෙකුත් රාජ්‍ය ආයතන වලින් පැනනැගී ඇති ගැටළු අමාත්‍යවරයා මැදිහත්වී විසදීමට කටයුතු කරන ලදී.
මේ වන විට ලබාගතයුතුව තිබූ ඉදිකිරිම් වල ප්‍රගතිය අවම මට්ටමක පැවතීම සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන කරුණු විමසූ අමාත්‍යවරයා කඩිනමින් එය වර්ධන කර ඉදිකිරිම් වල ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන එන ලෙසත් ව්‍යාපෘතිභාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා.
විදුලිබලාගාර ඇමරිකාවට පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමට යන බවට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා
‘ගිවිසුම් තියනවා නම් ගිවිසුම් අත්සන් කරන්න ඕනි. ආයෝජකයෝ ආපුවහම ගිවිසුම් අත්සන් නොකර ඉන්න බැහැනේ. ඒක අදද හෙටද කියන එක නෙවෙයි. ආයෝජකයෙක් ආපුවහම රටක පරිපාලනය දක්ෂ වෙන්න ඕනි ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා අවසන් කරන්න. ඒ ඇමරිකානු ආයෝජකයෙක්ද, චීන ආයෝජකයෙක්ද ඉන්දියානු ආයෝජකයෙක්ද ජර්මන් ආයෝජකයෙක්ද බ්‍රිතාන්‍ය එක්කෙනෙක්ද කියන එක නෙවෙයි. විපක්ෂය කියන්නේ ආයෝජකයෝ ගේන්න බැහැ කියලා නේ. දැන් ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදි තමයි ආයෝජකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි රටක් විදිහට.’
ගැස් මිල ඉහල ගිහින් තියනවා, ඉන්ධන මිල ඉහල යනවා කියලා ඉගි පලවෙනවා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා
මේවා ඔක්කොම තාවකාලික දේවල් මේ තාවකාලිකව ඇතිවෙලා තියෙන අර්බුදයක් කොවිඩ් වසංගතය නිසා තමයි මේ අර්බුද ඔක්කොම වෙලා මේ ඔක්කොම තාවකාලික දේවල් මේ ඔක්කොම තව සති කීපයක් යනකොට පහව යනවා. මේ ගැන ජනතාවට අපි කියනවා අපිත් එක්ක ඉවසගෙන ඉන්න කියලා. තව සති කීපයක් යනවිට මේ ප්‍රශ්ණ ඔක්කොටම විසඳුම් දෙනවා.
වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ.
මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යල මහ යන දෙකන්නයේම හෙක්ටයාර 12000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ. වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ.
මෙම අවස්ථාවට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා අනුරාධ ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.