ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ තුම්මුල්ල හන්දියේ වර්තමානයේ නොව එකල 1980 දශකයේ තිබූ බුදු පිළිමය සහ ඒ අවට පරිසරයයි. මෙය යළි ආවර්ජනය වූයේ උදෑසන එම ස්ථානය ඉදිරිපිටින් යනවිටය. ඒ 1986 මාර්තු 18 සිට අප්‍රේල් 17 දක්වා දින 29ක් පැවැති ඓතිහාසික හෙද වැඩවර්ජනයේදී සිදුවූ සිදුවීමක් මුල් කරගෙනය.Sri Lanka Latest News
වසර 1986 වනවිට රජයේ රෝහල්වල හෙදියන් සිටියේ 6,909ක් පමණි. ඉන් 6,683ක් රාජ්‍ය සේව එක්සත් හෙද සංගමයේ සාමාජිකයෝ වූහ. එම සාමාජිකත්වය මුළුමනින්ම වාගේ දින 29 වර්ජනයට එක්ව සිටි අතර ඔවුන් නේවාසිකාගාරවලින් එළියට දමා රැකියාවෙන් ඉවත් කරන බවට තර්ජනය කරමින් එවක සිටි එජාප රජය දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. අසූවේ ජූලි වර්ජනයෙන් ඇද වැටුණු කම්කරු පන්තියට දින 29 හෙද වැඩවර්ජනය ගෙනාවේ දැඩි පන්නරයකි. එම 1984 සිට 1989 දක්වා හෙදියන්ගේ සියලු අරගල මුළුමනින්ම වාගේ ‘දිවයින’ පුවත්පතට අනාවරණ කළේ මෙම ලේඛකයාය.
හෙද සටනේදී දිනපතා වාගේ සටන් උපක්‍රම අනුගමනය කළ අතර, මාධ්‍ය අවධානය දිනාගැනීමට එය සමත් විය. හෙද සටන විසඳන ලෙස ඉල්ලමින් භික්ෂුන් වහන්සේලා හත් නමක් ඔබ මෙහි දකින තුන්මුල්ල බුදුපිළිමය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ එහි තවත් එක් පියවරක් වශයෙනි. දෙවැනි දිනය වනවිට එහි රැස්වූ දහස් ගණන් පිරිස් මාර්ග අසල රොක්වී උද්ඝෝෂණය කරමින් උපවාසයට සහාය දැක්වූහ. දෙවැනි දින රාත්‍රී 11.20ට එහි ට්‍රක් රථ කිහිපයකින් පැමිණි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගෆූර්ගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් උපවාස කළ භික්ෂුන් හත්නම උස්සා ට්‍රක් රථයට දමාගෙන බොරැල්ල, මොරටුව සහ දෙහිවල සුසාන භූමියට ගෙනගොස් දැමූහ. එසේ ගලගම ධම්මරංසි හිමිගේ නායකත්වයෙන් උපවාස කළ භික්ෂුන් වූයේ බොරැල්ලේ සරණතිස්ස හිමි, රාජගිරියේ වජිරවංශ හිමි, කිතලගම ප්‍රඥාසාර හිමි, අඟුණකොලපැලැස්සේ නාභිත හිමි, නාරන්දෙණියේ නාලක හිමි සහ නාවිමන ධර්මපාල හිමිය.
පැහැරගෙන බොරැල්ල කනත්තට ගෙන ගොස් දැමූ භික්ෂුන් හතරදෙනා බොරැල්ල කනත්තේ ගේට්ටු විවෘත කර උපවාසය කළ හිමිවරුන් කනත්තට ගෙනගොස් ඒවායේ සොහොන් මත තබා බැඳ යෑමටද පොලිසිය කටයුතු කරන ලදී. උදෑසන 10 පමණ වන තෙක් පැහැරගත් හිමිවරුන් කනත්තේම සොහොන් මත අත් පා බැඳදමා සිටි අතර දිවයින, ඇත්ත සහ දිනකර පුවත්පත්වල ඡායාරූප ශිල්පීන් එය සිය කැමරාවට හසුකරගත් අතර එයට ඉහළම මාධ්‍ය ආවරණයක් දෙනු ලැබීය. රජයේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව ඉහළ ප්‍රතිචාරයක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ද ලැබිණි.
හෙද වර්ජනයට නව පණක් ලැබී භික්ෂුන් 500කට අධික පිරිසක් පසු දින ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙසේ නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. හෙද සටන 1986 අප්‍රේල් 17 වැනිදා දින 29කට පසු ජයග්‍රාහීව නිමාවට පත්වීමට ඉන් කළ බලපෑමද සුළුපටු නොවේ. මෙහි එක් ඡායාරූපයක් ඇත්තේ එවකට උපවාසය කළ බුදු පිළිමය සහිත ස්ථානයයි. අනෙක් ඡායාරූපයේ දැක්වෙන්නේ පසුදින උදෑසන හෙදියන් සිය ගණනක් පැහැරගත් හිමිවරුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තුන්මුල්ල මංසන්ධියේ බුදු පිළිමය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේ අවස්ථාවකි.
පුංචි බොරැල්ලේ සරණතිස්ස හිමි පසු කලෙක අපවත් වූයේ ජනාධිපති චන්ද්‍රිකාගේ පුරහලේ පැවැති මැතිවරණ රැස්වීමට දෙමළ කොටි බෙදුම්වාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. රාජගිරියේ වජිරවංශ හිමිද හදිසි හෘදයාබාධයකින් අපවත් වූහ. එම දෙදෙනාගේම අවමඟුලට එක්වී මමද අවසන් ගෞරව දැක්වූයෙමි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ධර්මන් වික්‍රමරත්න










