.
බදාදාව නිවාඩු. අපේ ගමේ නම් බදාදාට පොළ තියෙනවා. ඒ නිසා අපේ ගම බදාදාට හරි වෙනස්. අපේ ගමේ ඈත පිටිසර ඉන්න මිනිස්සු පවා බදාදාට නගරයට එනවා. මගේ ගම දූනගහ. දූනගහ පොළ දවසට හරිම ජනාකීර්ණයි. වෙනස්ම සංස්කෘතියක් නිර්මාණය වෙනවා. අකරගම, මඩම්පැල්ල, ඉඳුරාගාරය වගේ පැතිවලින් සමහර උදවිය නගරයට එන්නේ බදාදාට විතරයි. Sri Lanka Latest News
සාමාන්‍යයෙන් බදාදා කියන්නේ කෙම්මුර දවසක්. බදාදා දෙවියන් උදෙසා පුද පූජා තබන දවසක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. බදාදා දවස දේවාල අරින දවස. සාමාන්‍යයෙන් බදාදා කියලා කියන්නේ ඒ නිසාම යම් පූජනීය දවසක් විදිහට සලකන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බෝධි පූජා එහෙම තියෙනකොට සෙනසුරාදයි බදාදයි තමයි මේ පුද පූජා, බෝධි පූජා වගේ දේවල් සිද්ධ කරන්නේ.
එතකොට ජ්‍යොතිෂමය වශයෙන් ගත්තාම බදාදා දිනය අයිති වෙන්නේ බුධ ග්‍රහයාට. දැනුම, සන්නිවේදනය, බුද්ධිය, මූල්‍ය ස්ථාවරත්වය වගේ දේවල් බදාදාට අදාළ වෙනවා. හින්දු භක්තිකයෝ බදාදා දවස ගනේෂ් දෙවියන්ට වතාවත් කරන්න පාවිච්චි කරනවා. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව ගත්තම චතාරික සමයේ ආරම්භය පටන් අරගන්නේ අළු බදාදා.
දැන් බදාදා දිනය මේ විදිහට සුවිශේෂ වෙද්දී බදාදා දවස නිවාඩු දවසක් බවට පත්කරන්න අපේ රජය තීන්දු කළා. දැන් බදාදාට නිවාඩු. බදාදා කියන්නේ ග්‍රෙගරි දින දර්ශනයට අනුව සතියේ මැද දවස. බදාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා ගතවෙලා බදාදා එනවා. ඒ කියන්නේ සතිය පටන් අරගෙන දවස් තුනකට පස්සේ බදාදා එනවා. බදාදායින් පස්සේ සතියේ තව දවස් තුනක් ඉදිරියට තියෙනවා. ඒ නිසා සතියේ හතරවැනි දවස, දවස් හතක් වෙච්ච සතියේ මැද දවස විදිහට බදාදාව හඳුන්වන්න පුළුවන්.
බදාදාට ටියුෂන් පන්ති කරන්න පුළුවන්ද? මේක ලොකු කතාබහක් සමාජයේ ඇතිවෙච්ච එකක්. ඇත්තටම ටියුෂන් පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික පාසල්, පුද්ගලිකව පවත්වාගෙන යන බොහෝ දේවල් පුළුවන් නම් නතර කරන්න කියලා රජයෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා. එතකොට සමහර අය මේ ඉල්ලීමට කන්දෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. ටියුෂන් නතරවීම ගැනත් ලොකුවට කතාබහක් තියෙනවා.
ඇත්තටම ළමයෙක් ටියුෂන් එන්නේ ආසන්න වශයෙන් ගත්තාම සති සියයක් වගේ කාලයක්. වසර දෙකක් ගත්තාම අවුරුද්දකට සති හතළිස්අටයි කියලා අනුමාන කළොත් සති අනූහයයි, ඒකට තව අඩුවැඩි වශයෙන් හතරක් එකතු වුණාම තමයි මේ සති සියය හැදෙන්නේ. සති සියයෙන් බදාදාවල් හතරක් පන්ති නතර කළොත් 4%ක් දරුවන්ට නිවාඩු ලැබෙනවා. විෂය නිර්දේශයෙන් 4%ක් කරගන්න බැරිවෙලා. සති හතරක් කියන්නේ මාසයයි. මාසෙට තමයි පන්ති ගාස්තු ගෙවන්නේ. පන්ති ගාස්තු නොගෙවා ඉන්න දරුවාට සිද්ධ වෙනවා සහ නොගෙන ඉන්න ගුරුවරයාට සිද්ධ වෙනවා.
එතකොට ඒ ගුරුවරයාට කාලා ඇඳලා ජීවත් වෙන්න විදියකුත් නැහැ. ඒ ගුරුවරයාට මේ විෂය නිර්දේශය කවර් කරගන්න විදිහකුත් නැහැ. දරුවාට උසස් පෙළ දක්වා මේ මහගිරිදඹ නගින්න විදිහකුත් නැහැ. ඒක එක ප්‍රශ්නයක්. ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ. ටියුෂන් නතර කරනවා කියන එක අමාරු වැඩක් සහ බදාදාවේ ටියුෂන් නතර කළොත් ඊළඟ බදාදාට ආයේ පන්ති නතර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදාදා පන්ති නතර කරලා ඒ පන්තිය ඉරිදාට, සඳුදාට, අඟහරුවාදාට අමතර පන්තියකට දැම්මොත් අර බදාදා නම් පන්තිය එන්න නිශ්චිත ක්‍රමයක් හදාගෙන ඉන්න ළමයා අඟහරුවාදාට, සඳුදාට, බ්‍රහස්පතින්දාට, සිකුරාදාට, ඉරිදාට අමතර දවසක් හින්දා, අමතර පන්තියක් හින්දා අමතර ක්‍රමයක් හදාගන්න ඕනේ.
එතකොට සමහර වෙලාවට පාරේ බස් එකේ පන්තියට එන එක්කෙනාට ගෙදර බයිසිකලේ පන්තියට එන්න සිද්ධ වෙනවා, ගෙදර කාර් එකේ පන්තියට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රායෝගික නොවන ප්‍රශ්නයක් විදිහටයි අපිට හිතෙන්නේ මේ අයගේ මේ උත්සාහය. ඒ වගේම ආයතන වැහීම ගැන කතා කළාට ඇත්තටම බදාදා දවසේ රජයේ ආයතන හැරුණාම පෞද්ගලික ආයතන කිසිවක් වහන්නේ නැහැ. වහන්නේ නැහැ සහ වහන්න බැහැ. ඒ නිසාම බදාදා නිවාඩුව ලංකාවේ ප්‍රායෝගික එකක් බවට පත්වෙලා නැහැ. බදාදා දවසේ ව්‍යාපාර සම්බන්ධව තියෙන්නේ ඉතාම බරපතළ සහ නරක පන්නයේ අර්බුදයක්.
ඒ නිසා මේ සියල්ලත් එක්ක අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ බදාදා විතරක් ඇතිද? බදාදා ප්‍රායෝගිකද? බදාදා නිවාඩු දීමෙන් ඔබ බලාපොරොත්තු වන ස්වර්ගය පහළ වෙලාද? ඇත්තටම අප්‍රේල් මාසයේ පටන් අරගෙන දවස් දහයක් ගතවුණාට පස්සේ තමයි පාසල් නිවාඩුව ලබාදෙන්න සූදානමින් තියෙන්නේ. ඒත් මේ පළමුවැනිදා සිට දහවැනිදා දක්වා දවස් දහය ඇතුළේ නිල වශයෙන් පාසල් පවත්වන්න නියමිතව තියෙන්නේ දවස් පහක විතරයි. ඒ දවස් පහ නිවාඩු දුන්නා නම් බොහෝ වෙලාවට පාසල් වාහනවලට, පාසල් යන ගුරුවරුන්ට තමන්ට තමන්ගේ තෙල් ලබාගැනීමේ අවශ්‍යතාව නැති කරලා දාන්න පුළුවන් වෙන්න ඇති.
මේවා ගැන ප්‍රායෝගිකව හිතන්නේ නැතුව බදාදා විතරක් නිවාඩු දුන්නම, බදාදා ටියුෂන් නතර කළාම, බදාදා සමහර ආයතන නිවාඩු දෙන්න කියලා යෝජනා කළාම අපේ රටේ තෙල් අර්බුදය විසඳෙනවා නම් ඒක හරි මරු වැඩක්. ඉතින් අපිට ඕනෙ නම් පුළුවන් බදාදාට ගිහිල්ලා පන්සල්වල බෝධි පූජා කරන්න, දේවාලවලට ගිහිල්ලා කන්නලව් කරන්න, පුද පූජා දෙන්න. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ලියුම්කරුට ප්‍රශ්නයක් නැහැ බදාදා නිවාඩු දුන්නම. ලියුම්කරුට පුළුවන් බදාදාට පොළේ යන්න.

ජීවන පහන් තිළිණ










