.
ABBA ප්‍රසංගය බලන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ඒ වගේම මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් ගිහිල්ලා තිබුණා. මෙහෙම ගියපු එක වැරැදියි කියලා සමාජ මාධ්‍යවල වඩාත් ප්‍රසිද්ධියේම කතාකරන තැනට පත්වෙලා තියෙනවා. ඇත්තටම මේ අය කරපු දේශපාලනයත් එක්ක මේ අය පිළිබඳ ජනතාව හදාගෙන තිබුණු චිත්‍රයත් එක්ක එහෙම ගියපු එකේ අමුත්තක් දැනෙනවා තමයි. කවුද දැන් මේ ගිහිල්ලා හිටපු අය? හරිනිලා, විජිත හේරත්ලා, ටිල්වින් සිල්වලා වගේ කට්ටිය. මේගොල්ලෝ කවුද? මේ මොහොතේ මේගොල්ලෝ කවුද? මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රබලව සම්බන්ධ ප්‍රධාන ධාරාවේ දේශපාලකයෝ. එක් අයෙක් අගමැතිනිය. තව අයෙක් ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙක්. එතකොට රටක ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඒ රටේ ඉන්න ඇමැතිවරුන්ට, ඒ රටේ තියෙන ප්‍රධාන ප්‍රසංගයකට සහභාගි වෙන්න බැරිනම්, ඒක බලන්න යන්න බැරිනම් ඒ රට කොච්චර ගොන් රටක්ද? ඒ රටේ ඉන්න ප්‍රධාන ධාරාවේ දේශපාලකයෝ පරණ පුරුදු සමාජවාදී දේශපාලනයම කරගෙන ගෙදරට වෙලා ඉන්න ඕනෙද? ඒගොල්ලන්ට මේ ප්‍රසංගවලට සහභාගි වෙලා, නටලා, ගයලා, විනෝද වෙන්න අයිතියක් නැද්ද? ඒගොල්ලන්ට තියෙන්නේ පරණ විදියට හම්බෙගමුවේ කැලේට වෙලා දේශපාලනය කරන්නද? ඒ අය එදා ඒ දේශපාලනය කරපු බව ඇත්ත. නමුත් දැන් ඔවුන් මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රධාන පුරවැසියෝ. හරිනි වගේ අය කොහොමත් රටේ ඉහළ පැලැන්තියේ සමාජය ඇසුරු කරපු, ඉහළ සංස්කෘතිය ඇසුරු කරපු, යුරෝපීය හෝ විදේශ සංස්කෘතිය ගැන අවබෝධය තියෙන අය. ඒ අයට ප්‍රසංගයක් බලන්න යන්න තහනමක් තියෙන්න විදියක් නෑ. ඒ වගේම ඒ අය ප්‍රසංගයක් බලන්න ගියා කියන එකට ගොන් පෝස්ට් හදලා ඒකේ වැරැද්දක් දැකලා ඒගොල්ලෝ නරකයි, මෙහෙම වුණු එක අසාධාරණයි වගේ ඒවා කියන එක අපි දන්නේ නෑ මේ රටේ මිනිස්සු කවදාද නතර කරන්නේ කියලා. (Sri Lanka Latest News)
අපි දැක්කා රටේ ජනාධිපතිවරු මීට කලින් ප්‍රසංගවලට සහභාගි වෙන හැටි. ඒගොල්ලෝ ෂෝවලට ගියා. ඒගොල්ලොත් නැටුවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඥාතියෙක් වෙච්ච අයිරාංගනී සේරසිංහ එක්ක නටන වීඩියෝ සමාජ මාධ්‍යවල පළවුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායකලා උත්සව අවස්ථාවලට ගිහිල්ලා ඒවායේ විනෝද වෙලා, සමහර නායකයෝ විස්කි බීලා, පාටි දාලා, නටලා ගයලා සින්දු කියලා එන හැටි අපි දැක්කා. සජිත් ප්‍රේමදාස ප්‍රසංග වේදිකාවට නැගලා ගිටාර් වයනවා. ඩ්‍රම්ස් වාදනය කරනවා, පියානෝ වාදනය කරනවා අපි දැකලා තිබෙනවා. එතකොට මේ රටේ රනිල් වික්‍රමසිංහට පාටි එකකට ගිහින් නටන්න ගයන්න විනෝද වෙන්න පුළුවන්. මේ රටේ සජිත් ප්‍රේමදාසට ක්‍රිකට් ගහන්නයි, ගිටාර් ගහන්නයි, ඩ්‍රම්ස් ගහන්නයි පුළුවන්. චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් පාටිවලට ගිහින් කාලා බීලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට නටන්න ගයන්න තහනම්, පාටිවලට, ප්‍රසංගවලට යන්න තහනම්. මෙහෙම එකක් නැහැ. මේ ඉන්නේ, රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා බවට පත්වුණු, රටේ බහුතර ඡන්දෙයන් අගමැතිවරිය බවට පත්වුණු, රටේ බහුතර ඡන්දයෙන් ඇමැතිවරු බවට පත්වුණු මිනිස්සු මිසක, මේ ඉන්නේ ඒ අයගේ ගුණයහපත්කමට තෑග්ගක් විදියට තනතුරු ගත්ත අය නෙවෙයි. ඒ නිසා හරිනිලා සිල් ගන්නතුරු බලාගෙන ඉන්නවා නම්, විජිත හේරත්ලා කඩෙන් තේ බොනතුරු බලාගෙන ඉන්නවා නම්, අනුර කුමාර දිසානායක බස් එකේ යනතුරු බලාගෙන ඉන්නවා නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බයිසිකලයෙන් යනතුරු බලාගෙන ඉන්නවා නම්, ඒ බලාගෙන ඉන්නකමේ ගොන්කමක් තියෙනවා මිසක, එහෙම එකක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන එකේ ගොන්කමක් තියෙනවා මිසක මේ දේශපාලන ක්‍රමවේදය ඇතුළේ මේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න අපට කිසිම අයිතියක් නෑ.
රටේ ප්‍රධාන පුරවැසියන් බවට පත්වෙච්ච අය, ලෝකය ඉදිරියේ අපේ රට වෙනුවෙන් පෙනීසිටින අය, ලෝකය අපේ රටේ ජනාධිපතිවරයා විදියට හෙට පිළිගන්නේ අනුර කුමාර දිසානායකව. ඔහු ලෝකයේ තියෙන කුමන හෝ රාජ්‍යයක ප්‍රසංගයකට සහභාගි වුණොත්, කුමන හෝ රාජ්‍යයක උත්සවයකට සහභාගි වුණොත්, කුමන හෝ රාජ්‍යයක යම් කටයුත්තකට සහභාගි වුණොත් ඔහුට සිදුවෙනවා ඒ රටේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න. ඔහුට සිදුවෙයි ටයිකෝට් දාගෙන යුරෝපෙට යන්න. ඔහුට සිදුවෙයි වෙනත් ඇඳුම් අඳින්න. ඔහුට සිදුවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන්න. ඔහුට සිදුවෙයි යුරෝපා නායකයන්ට අතට අත දෙන්න. ඔහුට සිදුවෙයි යුරෝපා නායකයන් එක්ක එකට ඉඳගෙන කතාබහ කරන්න. එහෙම දැක්කට පස්සේ අනුර කුමාර දිසානායක වාමාංශිකයෙක් නේද, ඉස්සර හිටියේ තඹුත්තේගම නේද, ඉස්සර ගියේ ඩබල් කැබ් එකේ නේද කියලා වාද කරන්න, තර්ක කරන්න අපට කිසිම අයිතියක් නෑ.
හරිනි අගමැතිවරිය බවට පත්වුණු වෙලාවේ හරිනිට එල්ල වුණු ප්‍රධාන චෝදනාවක් තමයි ඇය යුරෝපා සංස්කෘතිය අනුව ජීවත් වෙන, ඒ විදියට හිතන කෙනෙක් කියන එක. හරිනි, යුරෝපීය විදියට හිතන කෙනෙක් නම්, යුරෝපීය විදියට ජීවත් වෙන කෙනෙක් නම්, ඇයට මේ වගේ ප්‍රසංගයක් බලන්න යන්න අයිතියක්, වුවමනාවක්, කැමැත්තක් තියෙන්න ඕනේ. හැබැයි රටේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, රටේ ප්‍රධාන පුරවැසියෙක්ට ඒ රටේ ජීවත් වෙන ගමන් සංස්කෘතික අවබෝධයක් ඇතිවෙනවා නම්, ඒ රටේ ජීවත් වෙන ගමන් කලාකෘති නරඹන්න හිතෙනවා නම්, ඒ රටේ ජීවත් වෙන ගමන් සාහිත්‍ය පිළිබඳ ගනුදෙනුවක් කරගන්න හිතෙනවා නම් අන්න ඒක තමයි ඒ රටේ වාසනාව.
අපි දැක්කා එක තැනක අනුර කුමාර දිසානායක බුක් ෆෙයාර් එකට ඇවිත් කලබලෙන් ආපහු පිටවෙලා ගියා, මිනිස්සු එක්ක කතා කළේවත් නෑ කියලා. පොත්පත් ගන්නවටත් වඩා වේගයෙන් ඔහු දිව්වා කියලා. ඒ වෙලාවේ අපිට තරහා යන එක සාධාරණයි. මොකද ඒකට හේතුව ඔවුන් සංස්කෘතික පුරවැසියන් විය යුතුයි. නමුත් ABBA ප්‍රසංගය හෝ කාගේ හෝ ප්‍රසංගයක් නරඹන්න ජවිපෙ නායකයන්ට යන්න හිතෙනවා නම් ඒක මම හිතන්නේ රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. ඔවුන් සංස්කෘතික මිනිස්සු. අපි ජවිපෙ ඇතුළේ දැක්කේ සංස්කෘතික බවක්. ඔවුන් කලාවත් එක්ක හිටියා, සාහිත්‍යයත් එක්ක හිටියා, සෞන්දර්යයත් එක්ක හිටියා. ඔවුන් වේදිකාවක් නිර්මාණය කළත් ඒක හරිම ලස්සනට හැදුවා. ඔවුන්ගේ දේශපාලන බලය 2%ද, 3% කියන එක අදාළ නැතුව ඔවුන් ඉල්මහ සැමරුම කළේ ඉතා විචිත්‍රවත්ව. ඔවුන් පෝස්ටරයක් ගැහුවත්, කටවුට් එකක් ගැහුවත් ඒක ලස්සනට කළා. ස්ටේජ් එකක් හැදුවත් ඒක පුදුම හිතෙන විදියට කළා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය ජවිපෙත් එක්ක තිබුණු කාලේ ඒ අය හදන වේදිකාව, ඒ අය හදන තොරණ ඇස් අදහාගන්න බැරි තරම් සුන්දරයි. ඒ නිසා ජවිපෙ කියන්නේ සංස්කෘතික මිනිස්සු ඉන්න තැනක්. සංස්කෘතික මිනිස්සුන්ගේ සංස්කෘතිය ඇතුළේ කලාව, සාහිත්‍යය, ගීත, නර්තනය, චිත්‍රපට තියෙනවා. ඒ නිසා හෙටත් මේ මිනිස්සු ප්‍රසංග බලන්න යයි, නටයි, ගයයි, වයයි, සතුටු වෙයි.
රට විනාශ නොකර, බාල් නොනටා, රටේ මිනිස්සුන්ගෙන් ආතල් ගන්නේ නැතුව, රටේ මිනිස්සු විනාශ කරන්නේ නැතුව රට රකින ගමන් මේ මිනිස්සු මොනවා බැලුවත්, ABBA ප්‍රසංගය බැලුවත් අපි නම් විශ්වාස කරන්නේ මේ රටේ පාලකයන්ට, මේ රටේ දේශපාලකයන්ට ඒ අයිතිය තියෙනවා. එදා රනිල් කළා නම්, සජිත් කළා නම්, මහින්ද කළා නම්, චන්ද්‍රිකා කළා නම් අනුරට කරන්න බැරිවෙන්න හේතුවක් නෑ. ඒ නිසා පාලකයා පාලකයාමයි. නායකයා නායකයාමයි. ජනාධිපතිවරයා ජනාධිපතිවරයාමයි. ලෝකය ඉදිරියේත්, ලංකාව ඉදිරියේත් ඔවුන් තමන්ගේ අනන්‍යතාව රැකගනිමින් කරන ඕනෑම දේකට අපි විශ්වාස කරනවා, අපිට අයිතියක් නැහැ නරකයි කියන්න, වැරැදියි කියන්න, කැතයි කියන්න. මේ තියෙන්නේ අපි, ඔබ, ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි කියන්න අපිට අයිතියක් නෑ. ඔබට එහෙම කියන්න එක අවස්ථාවක් එනවා. ඒ තමයි ඔවුන් මේ රට හරියට හැදුවේ නැත්නම්, පොරොන්දු වෙච්ච දේ නොකළොත්, ඔවුන් මේ රට වෙනුවෙන් කරනවා කියලා කියපු දේවල් බොරුවක් බවට පත්වුණොත් එදාට අපිට පුළුවන් ඇඟිල්ල දික්කරන්න ඔබ වැරැදියි කියලා.
නමුත් මේ මොහොතේදී ඔවුන් තුළ එහෙම වැරැදිකාරී ස්වභාවයක් නැහැ. මේ වැඩේ වැරැදියි කියලා කියන්න අයිතියක් අපේ රටේ පුරවැසියන්ට අයිතියක් නෑ. හැම දේම දැක්ක ගමන් නරකයි කියන, වැරැදියි කියන, විවේචනය කරන ගොන් චාරිත්‍රය දැන්වත් අතහැරලා සුබවාදීව රට දිහා බලන්න පුරුදු වුණොත් මේ රට මීට වඩා ලස්සන තැනක් කරන්න එයාලට විතරක් නෙවෙයි, අපිටත් පුළුවන්.

ජීවන පහන් තිළිණ










