ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ලෝක බැංකු නියෝජිතයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද මුණගැසුණේ ආන්දෝලනාත්මක පසුබිමක් මධ්‍යයේය. එහිදී ප්‍රධාන තැනක් ගත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සමග පැවැති සාකච්ඡාවය. ඒ, ලංකාවට ණය ආධාර ලබාදීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට ලංකා ආණ්ඩුව සමත් වී නොමැති පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වීම හේතුකොටගෙනය. ඇත්තම කියනවා නම් තවමත් ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පවතින්නේ විශාල අවුලකය. ඊට හේතුවී ඇත්තේ ලංකාවේ ණය හිමි බටහිර රටවල් සහ චීනය විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දෙපැත්තක සිටීමය. ඇමෙරිකාව, පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය ප්රමුඛ රටවල් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය ඇතුළු සියලු රටවල් එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බව කියද්දී චීනය එම සාකච්ඡාවලට සහභාගි නොවී එය ප්‍රතික්ෂේප කිරීමත්, චීනය පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමත් මෙම අර්බුදයට මුල්වී තිබේ. ඒ අනුව මෙම අර්බුදය සමතයකට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබිණි.Sri Lanka Latest News
යහපත් ප්‍රතිචාර නෑ!
මුලින් පැරිස් සමාජය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට එකඟ වී තිබුණත් මේ වන විට මතුවෙමින් පවතින ජාත්‍යන්තර අර්බුදය නිසාදෝ පැරිස් සමාජය එම වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පැරිස් සමාජය තුළ සිරවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව ලංකාව පෞද්ගලික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පාර්ශ්ව කිහිපයක් හරහාම පැරිස් සමාජයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබාගැනීමට උත්සාහ කොට තිබුණද ඒ කිසිවක් සාර්ථක වී තිබුණේ නැත. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් චීනය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම එහි ඇති අනෙක් ලොකුම ප්‍රශ්නයය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය ලබන මාසයේදී යොදාගෙන ඇති බැවින් එම සාකච්ඡාවන්ට සහභාගි වීමට ප්‍රථම පැරිස් සමාජයේ වැඩපිළිවෙළ එළිදක්වා ගැනීම අත්‍යාවශ්‍ය නිසා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට කටයුතු කොට ඇති බව බොහෝ දෙනාගේ අදහසය.










