තවත් ගැටලුවක් මතුවනු ඇති බවට බොහෝ දෙනා සැක පහළ කරන සමුළුවක් ලබන ඔක්තෝබර් මාසයේ ලංකාවේ පැවැත්වීමට නියමිතය. එය හඳුන්වන්නේ ‘අයෝරා’ හෙවත් Indian Ocean Rim Association (IORA) ලෙසටය. ඉන්දීය සාගර කලාපයේ පිහිටි රටවල් 23ක විදේශ ඇමැතිවරන් මීට සහභාගි වීමට නියමිත අතර, 2023-2025 කාල පරිච්ඡේදය සඳහා සභාපති ධුරයද මෙවර ලංකාවට හිමිවීමට නියමිතව ඇත. පසුගිය වසරේ මෙම සමුළුව බංග්ලාදේශයේ ධකා අගනුවර පැවැති අතර, ඊට විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා සහභාගි වීමට පියවර ගෙන තිබිණි.Sri Lanka Latest News
ජයශංකර් එයිද?
කෙසේ වෙතත් මේ වන විට මතුව ඇති ගැටලුව වන්නේ කලාපයේ ප්‍රබලම රට වන ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා මේ සමුළුවට සහභාගි වනු ඇතිදැයි කියාය. දැනට ඒ මහතාගේ කාර්යාලය මගින් සමුළුවට සහභාගි වන බව තහවුරු කොට තිබුණද මතුව ඇති අර්බුද හමුවේ එවැන්නක් සිදුවනු ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
මතකනේ රාජ්නාත් කරපු වැඩේ!
අප මීට පෙරද මේ තීරය ඔස්සේ වාර්තා කළ කාරණාවක් වූයේ ආණ්ඩුවේ චීන හිතැති ප්‍රතිපත්තිය මුල්කරගෙන ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් යම් දේශපාලන ආරෝවකට මුලපුරා ඇති බවය. මීට සති තුනකට ඉහතදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණත් අන්තිම මොහොතේ නොවැළැක්විය හැකි හේතුවක් බව කියමින් එම සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ බව අපි වාර්තා කර සිටියෙමු. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ලංකාවේ පැවැත්වෙන අයෝරා සමුළුවට පැමිණේවිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.










