ලංකාවේ යුද්දේ වයස කීයද? අවුරුදු 33යි. යුද්ධේ පටන් ගත්තා කියලා නිල වශයෙන් සමරන දවසේ ඉපදුණු කෙනෙක්ගේ වයස අවුරුදු 33ක් වුණාමයි යුද්ධය ඉවර වෙන්නේ. ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා ඉපදුණු දවසේ ඉඳලා වැඩිමහලු වයසට පත්වෙන කල්ම යුද්දේ අස්සේ ජීවත් වෙච්ච. අවුරුදු 18ක් වෙනකොට, උසස් පෙළ ලියන වයසට එනකොටත් යුද්ධෙත් එක්ක ජීවත් වෙච්ච. අවුරුදු 20, 21, 22, 23, 24 වෙලා විශ්වවිද්‍යාලේ යන වයස වෙද්දිත් යුද්ධයක් එක්ක ජීවත් වෙච්ච. 27, 28, 30 වගේ කසාදයක් බඳින වයසට එනකොටත් යුද්ධයක් එක්ක ජීවත් වෙච්ච. පළමු දරුවා, දෙවැනි දරුවා ලැබෙනකොටත් යුද්ධයක් එක්ක ජීවත් වෙච්ච. ඒ නිසා යුද්ධය කියන්නේ අහිංසක දෙයක් නෙවෙයි. යුද්ධය කියන්නේ අතිශය නරක දෙයක්. යුද්ධයට වගකියන්න ඕනේ ත්‍රස්තවාදියෝ විතරක් නෙවෙයි. නරක මිනිස්සු එල්.ටී.ටී.ඊ.කාරයෝ විතරක් නෙවෙයි. යුද්ධය වවාගෙන කාපු දහස් ගණන් මිනිස්සු ලංකාවේ හිටියා. යුද්ධයෙන් හුඟක් අයට ප්‍රයෝජන තිබුණා. (Sri Lanka Latest News)
යුද්ධය කියන්නේ අපි හිතනවට වඩා විශාල බිස්නස් එකක්. යුද්ධයෙන් හරි ලාභයි. යුද්ධය එක පිරිසක් පුළුවන් තරම් වැඩිදියුණු කළා. ඉවර වෙයි කියලා හිතන තැන්වලදී නිවෙයි කියලා හිතන තැන්වලදී ටක් ගාලා ආයෙත් පත්තු කළා. ඒක වැඩියෙන් කළේ උතුරේ මිනිස්සු. දකුණේ මිනිස්සුත් අඩු වැඩි වශයෙන් ඒකට උදව් කළා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ. ඔය ලොකු නම් තියෙන දේශපාලකයෝ ගොඩ දෙනෙක් යුද්ධය අස්සේ එල්ලිලා හිටියා. යුද්ධය නැත්නම් පවතින්න බෑ කියලා ඔවුන් දැනගෙන හිටියා. යුද්ධයෙන් මූල්‍යමය ලාභ ලැබුණා. ආයුධ ගේන ගේන වාරයක් පාසා කොමිස් කුට්ටි කුට්ටි සාක්කුවේ දාගත්ත දකුණේ දේශපාලකයෝ හිටියා. ඒ නිසා යුද්ධය කියන්නේ ඔයයි මමයි දන්න දකින දේ නෙවෙයි. කවුරු හරි කියනවා නම් යුද්ධය කියලා කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් කරපු සටන කියලා, ඒකට ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි දෙකෙන්ම හිනාවෙන්න පුළුවන් දෙමළ මිනිස්සු උතුරේ ඉන්නවා.
යුද්ධය කියලා කියන්නේ දෙමළ අයිතීන් වෙනුවෙන් සටන් කරපු විමුක්ති සටන නෙවෙයි. යුද්ධය කියලා කියන්නේ වෙනම බිස්නස් එකක් එක්ක ගෑවිච්ච විශේෂ අවශ්‍යතාවන් මත ගොඩනංවපු දෙයක්. ඒකෙදී ප්‍රභාකරනුත් ගොනාට ඇන්දා. සුසෙයිලා, කරුණලා, විනයාගමූර්ති මුරලිදරන්ලා මේ හැමෝම එතැනදී ගොනාට ඇන්දා. ජාතිය කුලය ආගම කියන හරිම පටු දේවල් පදනම් කරගත්ත සංවිධානයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය. බැරි වෙලා හරි යුද්දේ දිනුවා නම් එල්.ටී.ටී.ඊ. එක යුද්ධයෙන් මාසයක් දෙකක් යද්දී උතුර ලේ විලක් වෙනවා. පළමු කාරණාව වෙන්නේ උතුරෙදි විසඳගන්න බැරි කුලවාදය. ඊළඟ ප්‍රශ්නය තමයි නායකත්වය අරගලය. ප්‍රභාකරන් යුද්ධය දිනූ පසු දෙමළ ඊළාම් රාජ්‍යයේ නායකයා නෙවෙයි. ඒ සඳහා කෙනෙක් පත්වෙන්නේ ඩයස්පෝරාවෙන්. ඒකට ඇන්ටන් බාලසිංහම්ලා, තමිල් සෙල්වම්ලා එකතු වෙලා අවශ්‍ය පියවර හදලයි තිබුණේ. ප්‍රභාකරන් තමයි එළියේ නටන්නේ. ප්‍රභාකරන් තමයි මැරෙන්නේ. ප්‍රභාකරන්ට තමයි වෙඩි වදින්නේ. හැබැයි වෙඩි නොවදින නායකයෙක් ඒගොල්ලෝ භෞතීස්ම කරන්න සූදානමින් හිටියා. ඒ නිසා යුද්ධය නොදන්නා තැන්වලින් අල්ලගන්නේ නැතිව, යුද්ධයේ හරි කතාව හොයන්න. මේක අවුරුදු ගානක් තිස්සේ උතුරේ ඇවිදලා හොයාගත්ත කතාවක් මිසක කවුරුවත් ඊයේ කියපු එකක් නෙවෙයි. පෙරේදා ඉන්ටර්නෙට් එකෙන් බලපු එකක් නෙවෙයි. ඩෙල්ෆ්ට්වල, කයිට්ස්වල, මඩු පාරේ, පලෙයිවල, මරදන්කේනිවල, පොන්නාලේ, කන්කසන්තුරේ, තන්තිරිමලේ, අනුරාධපුරේ, වවුනියාවේ, ඉරට්ටපෙරෙයිකුලමේ මේ හැම තැනම ඊට අදාළ කතා තියෙනවා. ඒවා එකින් එක එකතු කරලා පුරුද්ද ගත්තට පස්සේ ඒක දිග දම්වැලක් බවට පත්වෙනවා. අන්න ඒ දම්වැල හරියට පරිස්සමට කියවලා ගත්තම යුද්දේ කියලා කියන්නේ මොකක්ද කියලා අහුවෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි යුද්ධය ඉවර වෙලා අවුරුදු ගානක් ගියාට පස්සේ යුද්ධයේ සැමරුමක් ගැන අපි දැන් කතාකරනවා.
නෝනාවරුනි, මහත්වරුනි, තරහා වෙන්න එපා. යුද්ධය සමරන්න නෙවෙයි, මැරුණු මිනිස්සු සමරන්න උතුරටත්, දකුණටත්, අපි හැමෝටමත් අයිතිය තියෙනවා. මැරුණේ අම්මලගේ පුතාලා. ඒ අම්මලා දස මාසයක් කුසේ තියාගෙන හදලා, කිරි පොවලා ලොකු කරලා අතපය නොකඩ පරිස්සම් කරපු දරු පැටව් යුද්ධය විසින් ආයුධ අතට දීලා මැරෙන්න නියම කරලා දෙපැත්තකින් ඉරි ගහලා කණ්ඩායම් දෙකක් හදලා සටනට යැව්වා. සමහර එවුන් දකුණේ. සමහර එවුන් උතුරේ. කොයි අම්මගෙත් පපුවේ දිව්වේ එකම රතු පාට ලේ. කොයි අම්මත් උන්ට පෙව්වේ එකම සුදු පාට කිරි. උන් දෙමළෙන් ආදරේ කිව්වා. අපි සිංහලෙන් ආදරේ කිව්වා. දෙමළ අම්මත් ඌ සමුගෙන යන දවසේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියා. සිංහල අම්මත් අපේ එකා යන දවසේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියා. උන් දෙන්නගේ ඇස් දෙකේ කඳුළුවල වෙනසක් තිබුණේ නෑ. පාටේ වෙනසක් තිබුණේ නෑ. වේදනාවේ වෙනසක් තිබුණේ නෑ. දුකේ වෙනසක් තිබුණේ නෑ. සුසුමේ වෙනසක් තිබුණේ නෑ. මතක් වෙන එකේ වෙනසක් තිබුණේ නෑ. අයියා, අක්කා, නංගි, මල්ලි මේ හැම හැඟීමක්ම මේ විදියේ තමයි.
අපිට පුරුදු වුණා නම් ඒක හිතන්න. අපිට පුරුදු කළා නම් ඒක හිතන්න ආයෙත් යුද්ධයක් එන්නේ නෑ. අපි විශ්වාස කළ යුතුයි උන්ට අයිතියක් තියෙනවා උන්ගේ තාත්තා සමරන්න. උන්ට අයිතියක් තියෙනවා උන්ගේ අයියා සමරන්න. දෙමළ අම්මට අයිතියක් තියෙනවා තමන්ගේ පුතා සමරන්න.
වවුනියාවේ පාරේ මඩුවක් ගහගෙන ‘මගේ පුතා ගෙනත් දියව්’ කියලා අඬපු අම්මලා සීයක් දෙසීයක් මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. පාර්ලිමේන්තුව එහාපැත්තේ තියෙන හමුදා සැමරුමේ යුද්ධය සමරන දවසට අම්මලා මියගිය රණවිරුවන්ගේ නම් ලැයිස්තුවේ තමන්ගේ පුතාගේ නම හොයනවා. උතුරේ අම්මද දකුණේ අම්මද කියලා හිතන්නේ නැතුව, නළලේ පොට්ටුව බලන්නේ නැතුව, ඇඳලා ඉන්නේ සාරියද ඔසරියද බලන්නේ නැතුව, කතා කරන්නේ සිංහලද දෙමළද කියලා බලන්නේ නැතුව ඇස් දෙකෙන් බැලුවොත්, හිතින් කියෙව්වොත් එකම වේදනාවක හැඩය අපිට දැනෙනවා. මුන් දෙගොල්ලොම මියගියේ යුද්ධය නිසා. යුද්ධය හැදුවේ ලංකාවේ හමුදාවේ කොල්ලවත්, උතුරේ දෙමළ කොල්ලාවත් නෙවෙයි. යුද්ධය හැදුවේ වෙන කෙනෙක්. යුද්ධය හදලා, යුද්ධය නිර්මාණය කරලා යතුර දීලා වාහනය එළවගෙන යන්නයි අපේ එකාට භාරදුන්නේ. මේ කොල්ලෝ ගියේ ඒ වාහනේ නැගලා. උන්ගේ හැඟීම උන්ගේ වේදනාව, උන්ගේ දුක, උන්ගේ වුවමනාව සම්පූර්ණයෙන් වෙනස්.
උතුරේ බහුතරයක් යුද්ධයට අරගෙන ගියේ බලහත්කාරයෙන්. උන්ට යන්න වුණා. නොගියොත් මැරෙන්න වෙන නිසා යන්න වුණා. පවුල වෙනුවෙන් යන්න වුණා. අම්මා තාත්තා නංගි මල්ලි වෙනුවෙන් යන්න වුණා. දකුණේ එකාටත් එහෙමයි. සමහර එවුන් වෘත්තියක් විදියට, රැකියාවක් විදියට, ජීවිකාවක් විදියට යුද්ධයට ගියේ. අතරින් පතර කීප දෙනෙක්ට මරාගෙන මැරෙන්න ඕනේ කියන හැඟීම තියෙන්න ඇති. හැබැයි වැඩි පිරිසකට තිබුණේ වෙන වුවමනාවක්. ඒ නිසා යුද්ධය ඇතුළේ තියෙන වෛරය විතරක් එළියට අරගෙන අපි උන්ට ගැහුවා, උන් අපිට ගැහුවා, අපි උන්ව මරන්න ඕනේ, අපි උන් එක්ක තරහයි කියලා හිතන්න පටන්ගත්ත දවසට ආයෙත් අපේ කියලා යුද්ධයක් අපිට හදාගන්න පුළුවන්. ආයෙත් අපිට පුළුවන් අවුරුදු 30ක් විතර බෝම්බ ගහගෙන, යුද්ධයක හාංකවිසියක් දන්නේ නැති අහිංසකයෝ මරාගෙන, මේ යුද්ධයෙන් සත පහක වාසියක් නැති එවුන්ට රිදවාගෙන, ලංකාවේ ඉන්න 100කට 200කට වැඩි ලාභ සහිත පට්ට බිස්නස් එකක් හදලා දෙන්න. ඒ නිසා ආණ්ඩුවට චෝදනා කරන්න එපා. ආණ්ඩුව වැරැදි නෑ. මිනිස්සුයි මේ සැමරුම් කරන්නේ. පපුවේ ඉන්න ගෙදර එකා, අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්, නෑදෑයා වෙනුවෙන් පහනක් පත්තු කළාට ආයෙත් යුද්ධයක් එන්නේ නෑ. පහන්වලින් යුද්ධ කරන්න බෑ. මල් තෙල් හඳුන්කූරුවලින් යුද්ධ කරන්න බෑ. යුද්ධ කරන්න පුළුවන් ආයුධවලින්. ආයුධ අතට නොගන්නයි අපි ඔවුන්ට ආදරේ කරන්න සෙනෙහස වපුරන්න අනෙකාව සිහි කරන්න ගෞරව කරන්න ප්‍රේම කරන්න උගන්නන්නේ. එහෙම වුණොත් ආයෙත් යුද්ධයක් එන එකක් නෑ.

ජීවන පහන් තිළිණ











