ආයුධ පෙන්වීම සඳහා යැයි විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සමග ගොස් කඩුවෙල ගල් කොරියකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ සැකකරු පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් ආනාවරණ වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ කුලී ඝාතකයකු ලෙස සැකකෙරෙන තුවාන් සිරාන් නැමැත්තා එසේ මියගොස් ඇති අතර, ඔහු මියයන විට පාතාල කල්ලි සාමාජිකයකු බව පැවැසෙන ‘හරක් කටා’ගේ ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.
මීට පෙර ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්වූ බවට පැවසුණු සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
එකල අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ඉලක්ක වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම පුද්ගලයා බව සඳහන්ය.
වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේදී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔහුට එරෙහිව ඇති එක් අපරාධ චෝදනාවකි.
ඊට අමතරව 2016 වර්ෂයේ මෝදරදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම, 2017 සහ 2019 වර්ෂවලදී වැල්ලම්පිටියේදී පුද්ගලයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සහ 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති අනෙකුත් මනුෂ්‍ය ඝාතන චෝදනා අතර වෙයි.
එසේම මියගොස් ඇති ඇසැකකරු 2016 වර්ෂයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගංජා ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.
2018 වර්ෂයේ ජීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව ඇති සැකකරු, එම වර්ෂයේදීම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව ඇති බවද පොලීසිය පවසයි.
ඔහු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේද මරණයට පත්වී ඇති තුවාන් සිරාන් නැමැත්තාය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට පත්වී ඇති අතර, සඟවන ලද ආයුධ තොගයක් පෙන්වීමට යාමේදී ඔහු පළායාමට තැත්කර ඇති බව වාර්තා විය.
එහිදී සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ගල්කොරියකට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබිණි.