• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රනිල් අමෙරිකාවේදී කට වරද්දාගත්තාද? බැසිල් හදිසියේම පීල්ල මාරු කරයි! චීන නැවේ කුණාටුව මැද ලංකාවෙන් චීනෙට ගිය ඉල්ලීම! උද්දිකට වැදුණේ පුස් වෙඩිල්ලක්ද? Sri Lanka Latest News

September 24, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

සජබය ජනපතිට බෑ කියයි!

ඉන්දියාව මේ පාරත් නැතිවෙයිද?

එළියට විසිවෙන ඇමැතිවරු!

ජාත්‍යන්තර ගිනි ගොඩ!

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගි වූ පළමු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඉතා සාර්ථක එකක් බව මතුපිටින් පෙනෙන්නට තිබුණද දේශපාලන ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ සාකච්ඡා වද්දී බොහෝ දෙනා මෙම සමුලව හඳුන්වන්නේ ජාත්‍යන්තර අවුල් ජාලා රැසක් මැද පැවැති එකක් මෙන්ම අලුත් ජාත්‍යන්තර අවුල් රැසක් ඇතිකරගත් එකක් ලෙසටය. ආරම්භයේදීම එය ජාත්‍යන්තර ගිනි ගොඩක් බවට පත්ව තිබුණේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති ‘යුවාන් වැන්ග් 6’ චීන නෞකාව මුල්කරගෙනය. ඊට දැනටමත් ඉන්දියාව, ඇමෙරිකාව සහ ජපානය සිය විරෝධය පළකොට ඇති අතර, එම විරෝධය නොතකා චීන නෞකාව මේ වන විට ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී තිබීම එක් අර්බුදයකි. අනෙක් අර්බුදය වූයේ ඇමෙරිකානු විරෝධී ස්ථාවරයක සිටින ප්‍රබල රටක් වන කියුබාවේ සංචාරය කොට ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණීමය. ජනාධිපතිවරයා මෙසේ කියුබාවට ගියේ චීනය මුල්කොටගෙන පැවැති ‘ජී77 ප්ලස් චයිනා’ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහාය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර විරෝධී සමුළුවක් ලෙස සැලකෙන එයට සහභාගි වීමම ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු ගමනට යම් ඍණාත්මක ආරම්භයක් ලබාදී තිබූ බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු වුණේම මෙවැනි ආන්දෝලනාත්මක දේශපාලන හැලහැප්පීම් රැසක් මැදය.Sri Lanka Latest News

ජනපතිට කට වැරදුණාද?

එසේ තිබියදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැති එක්තරා රැස්වීමකට සහභාගි වී කළ ප්‍රකාශයක් හේතුවෙන් තවත් විශාල ජාත්‍යන්තර කැලඹීමක් හටගෙන තිබිණි. මෙරට කිසිදු මාධ්‍යයක් වාර්තා කොට නොතිබූ මෙම ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා කියා තිබුණේ ඔස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍යය සහ ඇමෙරිකාව එක්ව අස්සන් කළ ‘අවුකුස්’ ආරක්ෂක ගිවිසුම එක්තරා ආකාරයක ‘අත්වැරැදීමක්’ බවය. එය එක් රටක් වූ චීනයට විරුද්ධව ඇතිකරගත් යුදමය සන්ධානයක් බව කියා සිටි ජනාධිපතිවරයා එය උපායමාර්ගික වැරැදි පියවරක් බවත්, එම සන්ධානය අනවශ්‍ය එකක් බව තමන් සිතන බවත් සඳහන් කර සිටියේය. 2021 සැප්තැම්බර් මස අස්සන් කළ මෙම ‘අවුකුස්’ ආරක්ෂක ගිවිසුම හරහා ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ඔස්ටේ්‍රලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන, කෘත්‍රිම බුද්ධය, ක්වොන්ටම් තාක්ෂණය සහ මුහුදු පතුල සම්බන්ධ තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක බැඳීමක් ඇතිකොටගෙන තිබිණි.

දැඩි අප්‍රසාදය පළවෙයි!

ඒ අනුව ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටම චීන හිතැති ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මහත් ආන්දෝලනයක් හටගත් අතර, අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට රාජ්‍යතාන්ත්‍රිකව විශාල අප්‍රසාදයක් එල්ල වී ඇති බවකි. ඒ අනුව මෙම ප්‍රකාශයේ බලපෑම එතැනින් අවසන් වනු ඇතැයි අප සිතුවද චීන නැව මුල්කරගෙන ආරම්භ වූ සිද්ධි දාමයේ තවත් එක් කොටසක් ලෙස ජාත්‍යන්තරය ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තේරුම් ගෙන සිටීම නිසා එය එතැනින් අවසන් නොවී කාලයක් පුරා ඉදිරියට යනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

පැරිස් සමාජය පස්ස ගහයි!

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ලෝක බැංකු නියෝජිතයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද මුණගැසුණේ මෙවැනි ආන්දෝලනාත්මක පසුබිමක් මධ්‍යයේය. එහිදී ප්‍රධාන තැනක් ගත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සමග පැවැති සාකච්ඡාවය. ඒ, ලංකාවට ණය ආධාර ලබාදීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට ලංකා ආණ්ඩුව සමත් වී නොමැති පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වීම හේතුකොටගෙනය. ඇත්තම කියනවා නම් තවමත් ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පවතින්නේ විශාල අවුලකය. ඊට හේතුවී ඇත්තේ ලංකාවේ ණය හිමි බටහිර රටවල් සහ චීනය විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දෙපැත්තක සිටීමය. ඇමෙරිකාව, පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය ප්‍රමුඛ රටවල් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය ඇතුළු සියලු රටවල් එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බව කියද්දී චීනය එම සාකච්ඡාවලට සහභාගි නොවී එය ප්‍රතික්ෂේප කිරීමත්, චීනය පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමත් මෙම අර්බුදයට මුල්වී තිබේ. ඒ අනුව මෙම අර්බුදය සමතයකට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබිණි.

යහපත් ප්‍රතිචාර නෑ!

මුලින් පැරිස් සමාජය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට එකඟ වී තිබුණත් මේ වන විට මතුවෙමින් පවතින ජාත්‍යන්තර අර්බුදය නිසාදෝ පැරිස් සමාජය එම වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පැරිස් සමාජය තුළ සිරවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව ලංකාව පෞද්ගලික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පාර්ශ්ව කිහිපයක් හරහාම පැරිස් සමාජයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබාගැනීමට උත්සාහ කොට තිබුණද ඒ කිසිවක් සාර්ථක වී තිබුණේ නැත. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් චීනය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම එහි ඇති අනෙක් ලොකුම ප්‍රශ්නයය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය ලබන මාසයේදී යොදාගෙන ඇති බැවින් එම සාකච්ඡාවන්ට සහභාගි වීමට ප්‍රථම පැරිස් සමාජයේ වැඩපිළිවෙළ එළිදක්වා ගැනීම අත්‍යාවශ්‍ය නිසා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට කටයුතු කොට ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

IMF මත දෙක!

ඇමෙරිකාවේදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එසේ සාකච්ඡා පවත්වද්දී මේ දිනවල ලංකාවේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය පළමු සමාලෝචනයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටින ආකාරයක් දැකගන්නට තිබිණි. මෙම සාකච්ඡාවන්හිදී මතුව ඇති කරුණු මුල්කරගෙන ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ කරන අතර, එක් මතයකින් කියැවෙන්නේ තවමත් ලංකාව ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉටුකර නොමැති බැවින් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333ක මුදල ලබාදීම ප්‍රමාද කරනු ඇති බවකි. දෙවැනි මතය වී ඇත්තේ කොන්දේසි ඉටු නොකර තිබුණද මූල්‍ය අරමුදල විසින් මෙවර වාරිකය ලබාදී තුන්වැනි වාරිකය ලබාදීම අත්හිටුවනු ඇතැයි කියාය.

පොහොට්ටුවට සන්තෝෂම් දුන්නාද?

මේ සියලු සිදුවීම් මැද ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් තවත් විශාල ආන්දෝලනයක් ලංකාව ඇතුළේ හටගත්තේ ජනාධිපතිවරයා සිය සංචාරයට එක් කොටගෙන තිබූ දූත පිරිස මූලික කරගෙනය. සාමාන්‍යයෙන් රට බංකොලොත් වී ඇති මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වැනි ඉහළ පෙළේ සමුළුවකට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් සහ නිලධාරීන් රැගෙන යෑම ගැටලුවක් නොවුණද රට බංකොලොත් කළ ආණ්ඩුවක් නියෝජනය කළ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට එක්කර ගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබීම බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට හේතුවී තිබිණි. එය පළමු වතාවට එළියට දැම්මේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් තුෂාර ඉඳුනිල් කියා සිටියේ දූෂණ චෝදනා එල්ල වී ඇති මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත බෝගොල්ලාගම වැනි පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුන්ද, ප්‍රේමනාත් සී. දොලවත්ත වැනි පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන්ද, සජබයේ සිට ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය නියෝජනය කර පාර්ලිමේන්තුවට පැමිණ පසුව ආණ්ඩුවට එක්වූ එස්.එම්.එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයාද ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයට එක්කොට ගෙන ඇති බවකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම තත්ත්වය දැඩිව විවේචනයට ලක්කරමින් ව්‍යාපාර කඩා වැටී, ජන ජීවිතය අඩාළ වී, රට බංකොලොත් වී ඇති පසුබිමක රට බංකොලොත් කළ මන්ත්‍රීවරුන් ඇමෙරිකාවට ගෙන ගොස් ජනාධිපතිවරයා ජනතාවගේ බදු මුදල්වලින් පොහොට්ටු මන්ත්‍රීවරුන් සතුටු කිරීම වැරැදි බව සඳහන් කර සිටියේය.

ධර්මසේන බෑ කියයි!

මෙහිදී ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරු පමණක් නොව සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද මෙම ඇමෙරිකානු සංචාරයට එක්කර ගැනීම සඳහා සැලසුමක් දියත් කොට තිබිණි. ඒ අනුව මොනරාගල සජබ මන්ත්‍රී ඩබ්.එම්.එම්. ධර්මසේන මහතා හට ආරාධනා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කටයුතු කොට තිබිණි. නමුත් එම ආරාධනාව ප්‍රතික්ෂේප කොට තිබූ ධර්මසේන දැනුම් දී තිබුණේ පක්ෂයේ අනුමැතියකින් තොරව තමන්ට ඊට සම්බන්ධ විය නොහැකි යැයි කියාය. ඒ අනුව ධර්මසේන එය පක්ෂයට දැනුම් දීමෙන් පසු සජබය වහාම අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී සිටියේ ජනාධිපතිවරයා සමග කිසිදු සංචාරයකට සජබයේ මන්ත්‍රීවරුන් එක් නොවන බවකි.

නැව එනවා!

මේ සියල්ල අතරවාරයේ මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති චීනයේ ෂියැන් 6 නෞකාවද ලංකාව බලා ගමන් අරඹා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. මෙම නෞකාව ලංකාවට ඇතුළු වීමට නියමිතව ඇති බව කියන්නේ ලබන 28 වැනි දිනය. ඔක්තෝබර් 01 දින චීන ජනරජ දිනය යෙදී තිබීම හේතුවෙන් එය නිමිති කොටගෙන ෂියැන්ග් 6 නෞකාව ලංකාවට පැමිණෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. කෙසේ වෙතත් ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය ඇතුළු රටවල් රැසක් චීනයේ මෙම නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළකොට ඇතත් මෙරට වගකිව යුතු ආයතන කිහිපයක්ම ඊට ලංකාවට ඇතුළු වීම සඳහා දැනටමත් අවසරය ලබාදී තිබීම විශේෂ සිදුවීමකි. ඒ හේතුවෙන් ඉන්දීය සාගර කලාපය තුළ ලංකාව මුල්කරගෙන තවත් ජාත්‍යන්තර අර්බුදයක් මතුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට පුළුවන.

කල්දාන්න බැරිද?

කෙසේ වෙතත් නැව මුල්කරගෙන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව දැකගන්නට ලැබීමත් සමග පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් චීනය වෙත කෙරුණු ඉල්ලීමකින් කියැවුණේ ලබන නොවැම්බරය දක්වා චීන නෞකාවේ ගමන කල්දැමිය හැකිදැයි කියාය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ චීනය ලංකා ආණ්ඩුවේ එම ඉල්ලීමට එතරම් කැමැත්තක් දක්වා නොමැති බවය.

නැව තියෙන තැන!

මේ අතර සිරස රූපවාහිනිය පසුගිය බ්‍රහස්පතින්දා දින වාර්තා කොට තිබුණේ මෙම ෂි යැන්ග් 6 නෞකාව මේ වන විට ඉන්දීය සාගරයේ ඉන්දීය අනන්‍ය ආර්ථික කලාපයට සමීප වී ඇති බවකි. ජාත්‍යන්තර නෞකා ගමනාගමන දත්ත උපුටා දක්වමින් සිරස රූපවාහිනිය වාර්තා කළේ ලංකාවට මුහුණලා පැමිණි මෙම නෞකාව බ්‍රහස්පතින්දා දිනය වන විට ඉන්දියාවේ නිකොබාර් දූපත් ආසන්න කලාපයේ මද වේගයකින් ගමන් ගනිමින් තිබූ බවකි.

ජනවාරියේ තව නැවක්!

කෙසේ වෙතත් අලි මදිවාට කොටි කිව්වාක් මෙන් පසුගිය සඳුදා වන විට මෙරට මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම ‘ෂියැන්ග් 6’ පර්යේෂණ නෞකාවෙන් පසු තවත් චීන පර්යේෂණ නැවක් වූ ‘ෂියැන්ග් හොන්ග් 6’ නෞකාවද ලබන ජනවාරියේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවය. එම පුවතත් සමග ඉන්දියාවද යළිත් වරක් ඇවිස්සී ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට පුළුවන. ඒ අනුව ෂියැන්ග් 6 නෞකාවේ ලංකා ගමන කෙසේ හෝ නොවැම්බරය දක්වා කල්දමන ලෙස ආණ්ඩුව පැත්තෙන් චීනයට ඉල්ලීම් ඉදිරිපත් වූයේ එවැනි පසුබිමකය. නමුත් චීනය එම ඉල්ලීම කනකට නොගෙන සැලසුම් කර ඇති පරිදි ලබන 28 වැනි දින නැව ලංකාවට එවීමට කටයුතු කළහොත් ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකටය.

ජින් පින්ග් හමුවෙනවා!

ආණ්ඩුව මෙසේ චීනය නොවැම්බර් දක්වා නැව ප්‍රමාද කරන ලෙස දැනුම් දී ඇත්තේ ඔක්තෝබරයේදී ජනාධිපතිවරයාගේ චීන සංචාරය සඳහා දින නියම වී ඇති බැවිනි. ලබන ඔක්තෝබර් 16 සහ 17 යන දෙදින ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරන අතර 17 වැනි දින චීන ජනාධිපති ෂි ජින්පින් මහතා හමුවීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට තහවුරු කොට ඇත්තේ ලබන 17 වැනි දින චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත බවකි.

නන්දලාල්ගේ රහස් හමුවේ වෙච්ච දේ!

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා මෙසේ මුණගැහෙන්නේ චීනයේ ඉහළ පෙළ නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පැවැත්වූ අතිශය රහසිගත සාකච්ඡාවකින් පසුවය. අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් පසුගිය සතියේ අප මේ සම්බන්ධයෙන් රටට තොරතුරු වාර්තා කළ අතර එහිදී අප කියා සිටියේ මෙම ගමනට චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා එක්ව සිටි බවත්, මහබැංකු අධිපති නන්දලාල් සමග පැවති එම සාකච්ඡාව අතිශය රහසිගත ලෙස තබාගැනීමට පියවර ගෙන තිබූ බවත්ය. එහිදී චීනය පැත්තෙන් බරපතළ කොන්දේසියක් ඉදිරිපත්ව තිබූ බවත්, චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු බවත් එම කොන්දේසියෙන් කියැවුණු බව අපි අනාවරණ කොට සිටියෙමු. නන්දලාල් සහ සාකච්ඡාවට එක්ව සිටි භාණ්ඩාගර ලේකම් මහින්ද සිරිවර්ධන එම කොන්දේසිය වෙනස් කරගැනීමට කෙතරම් උත්සාහ දැරුවද චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද අපි එහිදී වාර්තා කොට සිටියෙමු.

චීනය මොනවා කියයිද?

එවැනි පසුබිමක් මැද ජනාධිපතිවරයා හා චීන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡා ඉතා තීරණාත්මක වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මන්ද චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ මාතෘකාව මෙම සාකච්ඡාවේ න්‍යායපත්‍රයේ අංක එකට තිබීම ඊට හේතුවය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ කොපමණ උත්සාහ කළද චීනය පැහැදිලිවම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේදී පැරිස් සමාජය ඇතුලු අනෙකුත් රටවල් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් බලා සිටින බවය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය අවසන් තීන්දුව ගනු ලබන්නේ පැරිස් සමාජයේ වැඩපිළිවෙළ කුමක්ද කියා දැනගැනීමෙන් පසුවය.

අයෝරා මේ පාර ලංකාවේ!

මේ සියල්ල අතරවාරයේ තවත් ගැටලුවක් මතුවනු ඇති බවට බොහෝ දෙනා සැක පහළ කරන සමුළුවක් ලබන ඔක්තෝබර් මාසයේ ලංකාවේ පැවැත්වීමට නියමිතය. එය හඳුන්වන්නේ ‘අයෝරා’ හෙවත් Indian Ocean Rim Association (IORA) ලෙසටය. ඉන්දීය සාගර කලාපයේ පිහිටි රටවල් 23ක විදේශ ඇමැතිවරන් මීට සහභාගි වීමට නියමිත අතර, 2023-2025 කාල පරිච්ඡේදය සඳහා සභාපති ධුරයද මෙවර ලංකාවට හිමිවීමට නියමිතව ඇත. පසුගිය වසරේ මෙම සමුළුව බංග්ලාදේශයේ ධකා අගනුවර පැවැති අතර, ඊට විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා සහභාගි වීමට පියවර ගෙන තිබිණි.

ජයශංකර් එයිද?

කෙසේ වෙතත් මේ වන විට මතුව ඇති ගැටලුව වන්නේ කලාපයේ ප්‍රබලම රට වන ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා මේ සමුළුවට සහභාගි වනු ඇතිදැයි කියාය. දැනට ඒ මහතාගේ කාර්යාලය මගින් සමුළුවට සහභාගි වන බව තහවුරු කොට තිබුණද මතුව ඇති අර්බුද හමුවේ එවැන්නක් සිදුවනු ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මතකනේ රාජ්නාත් කරපු වැඩේ!

අප මීට පෙරද මේ තීරය ඔස්සේ වාර්තා කළ කාරණාවක් වූයේ ආණ්ඩුවේ චීන හිතැති ප්‍රතිපත්තිය මුල්කරගෙන ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් යම් දේශපාලන ආරෝවකට මුලපුරා ඇති බවය. මීට සති තුනකට ඉහතදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණත් අන්තිම මොහොතේ නොවැළැක්විය හැකි හේතුවක් බව කියමින් එම සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ බව අපි වාර්තා කර සිටියෙමු. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ලංකාවේ පැවැත්වෙන අයෝරා සමුළුවට පැමිණේවිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.

113ට බැස්සා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම තමන්ට ජනාධිපති ධුරයට පත්වීම සඳහා සහාය දුන් පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළ බව අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. එම සාකච්ඡාව පැවැත්වීම සඳහා පසුබිම සැකසුණු ආකාරයද අපි එහිදී කියා සිටියෙමු. එහිදී අප කියා සිටියේ අවසන් වරට පැවැත්වුණු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පැවැති විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඡන්ද 113ක් පමණක් ලැබීමත්, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තමන්ගේ ඉල්ලීම් කනකට නොගන්නා අමාත්‍යවරුන් 6 දෙනකුට නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන අයවැයේදී පාඩමක් ඉගැන්වීමට සූදානම් බවත් ප්‍රකාශ කිරීම මීට හේතුවූ බවත්ය. අනෙක් අතට ජනාධිපතිවරයා පත්වූ දින සිටම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට කැබිනට් ඇමැති ධුර ලබාදෙන ලෙසට ලිඛිතව නම්ගම් සහිතව ලිපියක් ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුණත් මේ දක්වා එම ඉල්ලීම ඉටු නොවීම පිළිබඳ වූ ගැටලුවද බැසිල් සහ ජනාධිපතිවරයා අතර මෙම සාක්ච්ඡාවට මඟ පාදා තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සහ බැසිල් අතර පැවැති සාකච්ඡාවේදී ඇමැතිකම් ලබාදීම සම්බන්ධයෙන් යම් කතාබහක් සිදුවූ බවද අප එහිදී අනාවරණ කර සිටියෙමු.

කැබිනට් සංශෝධනයක්!

මෙම පසුබිම යටතේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයට පසු සහ 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ යම් සාකච්ඡාවක් පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති අතර එහිදී බැසිල් එවූ නම් ලැයිස්තුවේ සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, එස්.බී. දිසානායක සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව ආරංචිය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇමෙරිකානු සංචාරය සිදුකරද්දී බැසිල් රාජපක්ෂ හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතරද විශේෂ හමුවක් පසුගිය සතියේ සිදුවිය. ඊට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් නොලැබුණද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන කරුණු කාරණාවලින් කියැවෙන්නේ බොහෝ දේශපාලන ඉඟි මෙම හමුව හරහා පිළිබිඹු වන බවකි. මෙහිදී අගමැතිවරයාට බැසිල් දැනුම්දී ඇත්තේ ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට පෙර ඉදිරිපත් කරන අවසන් අයවැය ඉතා ජනප්‍රිය අයවැයක් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි සහන සහ වාසි ලැබෙන ආකාරයට අයවැය සකස් විය යුතු බවත්ය. එසේ නොවුණහොත් ආණ්ඩුව ඉදිරි මැතිවරණවලදී ජනතා අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවද එහිදී දිනේෂ්ට පෙන්වා දී ඇති බැසිල්, ඉදිරියේදී අයවැය යෝජනාවලියක් ආණ්ඩුවට ලබාදීමට තීරණය කොට ඇති බවද පෙන්වා දී තිබේ. ඊට දිනේෂ්ද සිය එකඟතාව පළකොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

බැසිල් මොනවා කරයිද?

ඒ අනුව ජනාධිපතිවරයා සිය චීන සංචාරයෙන් පසු කැබිනට් ඇමැතිකම් කිහිපයක් පොහොට්ටුවට ලබාදී බැසිල්ගේ බලපෑම නිෂ්ක්‍රීය කරගැනීමට පියවර ගනු ඇද්ද, එසේත් නැතිනම් බැසිල් ඉදිරි අයවැයේදී තීරණාත්මක තීන්දුවක් ආණ්ඩුව සම්බන්ධයෙන් ගනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවනු ඇත.

ෆොටෝ ෂූට් එක!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් සූදානම් කිරීමට දැඩි උත්සාහයක් දැරූ බවකි. මුලින් එම සාකච්ඡාවට කොළ එළිය පත්තු වී තිබුණත් අවසන් මොහොතේ ඇමෙරිකානු බලධාරීන් විසින් අදාළ හමුව පැවැත්විය නොහැකි බව දැනුම් දුන් බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඒ අනුව අප කී ආකාරයටම මෙවර ඇමෙරිකානු සංචාරයේදී ජනාධිපතිවරයා හා ජෝ බයිඩන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වුණේ නැත.

බයිඩන් එක්ක කතා කළාද?

නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට නිකුත් කළ ඡායාරූපයකින් දැක්වුණේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හා එම මහත්මිය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එකට සිටින ආකාරයකි. එම ඒකකය මගින් නිකුත් කළ නිවේදනයකින් වැඩිදුරටත් කියැවුණේ බයිඩන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලීව පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි බවකි. එය දකින බොහෝ දෙනාට එක්වරම හැඟෙන්නේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ අනාවරණය අසත්‍ය බවත්, බයිඩන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බවත්ය.

හැමදාම කරන දේ!

නමුත් එවැන්නක් මෙහි සිදුව තිබුණේ නැත. මෙහිදී සිදුව තිබුණේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපති බයිඩන් සමග ඡායාරූපයකට පෙනී සිටීම පමණි. සාමාන්‍යයෙන් සෑම වසරකදීම පාහේ ජගත් මහ සමුළුව ඇමෙරිකාවේ පවත්වද්දී ඊට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සිරිතය. එසේ පැමිණෙන සියලු රාජ්‍ය නායකයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ඡායාරූපයකට පෙනී සිටීම සිදුකරනු ලබයි. මෙහිදීද සිදුව තිබුණේ එය මිස දෙදෙනා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් නොවේ.

මහින්ද ඔබාමාත් කළා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එවකදී ජගත් මහ සමුළුව ඇමතීම සඳහා ඇමෙරිකාව බලා ගිය අවස්ථාවලදී එවක ජනාධිපතිවරයාව සිටි බැරැක් ඔබාමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියද එම අවස්ථාව හිමිව තිබුණේ නැත. ඊට හේතු වශයෙන් දැක්වුණේ මහින්දගේ ආණ්ඩුවට එවකදී එල්ල වී තිබුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාය. නමුත් ඔබාමාගෙන් සාකච්ඡාවක් නොලැබුණද මහින්ද එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතීම සඳහා ඇමෙරිකාවට ගිය සෑම අවස්ථාවකදීම ඔබාමා යුවල සමග සම්ප්‍රදායානුකූලව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව රාජපක්ෂ යුවලට හිමිවිය. අද මෙන්ම එදාද ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මහින්ද හා ඔබාමා හමුවූ බවට නිවේදන නිකුත් කරමින් මාධ්‍යයට නිකුත් කළේ එම ඡායාරූපයය.

උද්දිකට වෙඩි තැබීම!

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් අනුරාධපුර පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිටදී සිදුව තිබිණි. මේ සම්බන්ධයෙන් වහාම පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර, පසුව උද්දික පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පවතින ක්‍රමය විවේචනය කිරීම හේතුකොට ගෙන පවතින ක්‍රමයෙන්ම තමන්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවකි.

පස් වෙඩිල්ලක්ද?

උද්දික එසේ කියා සිටියත් එදිනම සවස සමාජ මාධ්‍ය ජාලවල මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ සැකසංකා මතුකොට ප්‍රශ්න කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී සමාජ මාධ්‍ය ජාලවල ප්‍රශ්න කර තිබුණේ කිසිදු මන්ත්‍රී ආරක්ෂක නිලධාරියකු හෝ රියැදුරකු නොමැතිව උද්දික මෙලෙස තනිවම ගමන් කළේ ඇයිද කියාය. එමෙන්ම උද්දික වාහනය නවත්වා රථයෙන් බැස ගිය නිවෙසට යද්දී රථයේ පසුපස වීදුරුවට වෙඩි ප්‍රහාරය එල්ල වීමද මෙහිදී ප්‍රශ්න කර තිබිණි. තවද සීසීටීවී කැමරා ක්‍රියා විරහිතව තිබීමද බොහෝ දෙනා ප්‍රශ්න කොට තිබිණ. ඒ අනුව බොහෝ දෙනා උපහාසයෙන් යුතුව කියා සිටියේ මෙය ‘කැලණියේ නයා’ හා සමාන සිදුවීමක් යැයි කියාය.

පරීක්ෂණ යනවා!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව පරීක්ෂණඅරඹා තිබීම හේතුවෙන් ඉදිරියේදී සියලු දෙනාටම මෙම වෙඩි තැබීමේ ඇත්ත නැත්ත සොයාගැනීමට හැකිවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මැලේසියාවේ ශ්‍රී ලාංකිකයෝ මරාගන්න පටන් අරන්! අත්පා ගැටගසා ඝාතනය කළ තිදෙනකුගේ සිරුරු නිවෙසකින් සොයාගනී! ඝාතන සිදුකළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පලා ගිහින්! Sri Lanka Latest News

Next Post

ඉන්දියාවෙ පැතිර යන නිපා වෛරසය ඉන්දියානු බිත්තරවලින් ලංකාවටත් එයිද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.