අප අනාවරණ කිරීමට සූදානම් වන ඊළඟ ජාත්‍යන්තර ප්‍රශ්නය පෙර කී කරුණුවලටත් වඩා අතිශය භයානකය. ඒ, ඉන්දියාව සම්බන්ධයෙන්ය. රාජපක්ෂවරු බලයේ සිටියදීත් රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් වී සිටියදීත් අප මෙම තීරය ඔස්සේ වරින් වර කී කරුණක් වූයේ කවුරු බලයේ සිටියත් අසල්වැසි ප්‍රබලයා වූ ඉන්දියාව සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගත යුතු යැයි කියාය. ඉන්දියාව සමග සමීපව කටයුතු කරද්දී ආණ්ඩු ආරක්ෂා වී තිබුණු ආකාරයත්, ඉන්දියාවේ මතයට එරෙහිව ගොස් ඉන්දියාව කෝප ගන්වා කටයුතු කරන්නට ගොස් ආණ්ඩු බිඳවැටුණු ආකාරයත් පසුගිය කාලය පුරාම අප මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.Sri Lanka Latest News
ඩොලර් බිලියන 4ක් දුන්නා!
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේදී කොරෝනා වසංතයට මුහුණ දීමට සිදුවූ අවස්ථාවේදී රට සිටියේ ඩොලර් අර්බුදයේ එළිපත්තට පැමිණය. විදෙස් ණයවාරික ගෙවනවා තබා එදිනෙදා කෑම බීම, ඖෂධ, ඉන්ධන මිලදී ගැනීමට පවා ඩොලර් නොමැතිව ජනතාව කෑම, බෙහෙත් නොමැතිව මියයන තත්ත්වයක් එකල මතුව තිබිණි. ඒ අවස්ථාවේදී ලංකාවේ පිහිටට ආවේ වෙන කවුරුවත් නොව ඉන්දියාවය. එවක මුදල් ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් බිලියන 4ක ණය මුදලක් ලබාගැනීමට පියවර ගත්තේය. එදා ලංකාවේ ජනතාව කන්න නැතිව, බෙහෙත් නැතිව මැරෙන්නට තිබූ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වූයේ ඉන්දියාව ලබාදුන් ඒ ඩොලර් බිලියන 4ක ණය මුදලට පින් සිදුවන්නටය.
කිව්වේ නම් ඔක්කොම හරි කියලා!
මේ තත්ත්වය යටතේ සියලු දෙනාම සිතුවේ රනිල් ආ විගස ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව සහ චීනය සමගද සමීප සබඳතාවක් පවත්වාගෙන යනු ඇතැයි කියාය. නමුත් මේ වන විට සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. චීන නැව් සිද්ධිය මුල් කරගෙන මේ වන විට ඉන්දියාව සිටින්නේ ලංකාව සමග තරමක විරසකයකින්ය. එමෙන්ම පසුගිය සතියේ සිදුවූ තවත් සිද්ධියක් හේතුකොට ගෙන ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවට කණ කොකා හඬන ආකාරයක් මතුව ඇති බවක්ද දැකගන්නට ඇත.
හේතුව කිව්වේ නෑ!
එම සිදුවීමට මුල් වූයේ ඉන්දීය ආරක්ෂක ලේකම් රාජ්නාත් සිං මහතාගේ ලංකා ගමන හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමගය. පසුගිය සෙනසුරාදා දින රාජ්නාත්ගේ ලංකා ගමනට සියල්ල සංවිධාන කොට තිබියදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සිකුරාදා රාත්‍රී 9ට නිවේදනය කළේ එම සංචාරය හදිසියේම ‘නොවැළැක්විය හැකි හේතුවක් මත’ අවලංගු කළා යැයි කියාය. නමුත් එම නොවැළැක්විය හැකි හේතුව කුමක්ද යන්න එම නිවේදනයේ සඳහන් නොවිණි.
ලංකාවේ උනන්දුවක් තිබ්බාද?
සාමාන්‍යයෙන් රාජ්නාත් සිං සැලකෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ අගමැති මෝදිගෙන් පසුව සිටින ප්‍රබලම නායකයා ලෙසය. එවැනි ප්‍රබලයකු ලංකාවට පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලංකාවෙන්ද යම් පෙර සූදානම් වීමක් සිදුවිය යුතුව තිබිණි. නමුත් එවැනි සූදානම් වීමක් හෝ එම සංචාරය ගැන උනන්දුවක් හෝ ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට ලැබුණේ නැත. අවම තරමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන බවක් දැකගන්නට තිබුණේද නැත. රාජ්නාත්ගේ ලංකා ගමන පිළිබඳ සියලු දෙනාටම තොරතුරු දැනගන්නට ලැබුණේ මෙරට මාධ්‍යවලින් නොව ඉන්දීය මාධ්‍යවල පළවූ පුවත්වලින්ය. එහිදී සමහරු කීවේ රාජ්නාත් ලංකාවට එන්නේ චීන නැව සම්බන්ධයෙන් කතා කිරීමට යැයි කියාය. තවත් සමහරු කිව්වේ උතුරු – නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය සහ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට රාජ්නාත් ලංකාවට පැමිණෙනවා යැයි කියාය. කෙසේ වෙතත් සිකුරාදා පස්වරු 4ටත් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කොට තිබුණේ රාජ්නාත් ලංකාවට පැමිණ ජනාධිපති සහ අගමැති මුණගැසී ත්‍රිකුණාමලයේත් නුවරඑළියේ සීතා කෝවිල ප්‍රදේශයේත් සංචාරය කිරීමට රාජ්නාත් සැලසුම් කොට ඇතැයි කියාය. එසේ තිබියදීත් ලංකා ආණ්ඩුව පැත්තෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් නොවීම විශේෂ සිදුවීමක් විය.
ප්‍රසන්නගෙන් නිවේදනය දුන්නේ පණිවුඩයක්ද?
එසේ තිබියදී සිකුරාදා පෙරවරුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම කැබිනට් අමාත්‍යවරයකුද වන ප්‍රසන්න රණතුංගගේ නමින් විශේෂ පුවතක් ඇතැම් වෙබ් අඩවිවල පළවිය. ඉන් කියැවුණේ පොලිස් ඉඩම් බලතල හැරුණු විට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනෙකුත් සියලු බලතල ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟ බවට ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇති බවකි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රාජ්නාත්ගේ සංචාරයට ප්‍රථම මෙවැනි පුවතක් පළකිරීම හරහා යම්කිසි පාර්ශ්වයක් 13 සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ මතය එළියට දමා තිබූ බවකි. එම පුවත පිළිබඳ ඉන්දියාවටද තොරතුරු වාර්තා වී තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නැවකුත් එව්වා!
ඒ කෙසේ වෙතත් රාජ්නාත්ගේ ලංකා ගමන තවදුරටත් තහවුරු කරමින් සිකුරාදා පස්වරුවේ ඉන්දීය ආරක්ෂක යුද නෞකාවක් වූ අයි.එන්.එස්. නෞකාව කොළඹ වරායට පැමිණ රාජ්නාත්ගේ ලංකා ගමනේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමකද නිරත වී තිබිණි. සාමාන්‍යයෙන් ඉන්දීය අගමැතිවරයා හෝ එම ආණ්ඩුවේ ප්‍රබලයකු විදෙස්ගත වන්නේ නම් ඉන්දීය යුද නෞකා එම රටට කල්තියා පැමිණ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. අයි.එන්.එස්. නෞකාව පැමිණියේ ඒ අනුවය. එසේ තිබියදීත් සිකුරාදා රාත්‍රී 9.04ට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ හදිසි නිවේදනයකින් කියැවුණේ නොවැළැක්විය හැකි හේතුවක් මත රාජ්නාත්ගේ ගමන දින නියමයක් නැතිව කල්දමා ඇති බවකි. මෙය ලංකාවේ මාධ්‍යවලට එතරම් ලොකු පුවතක් නොවුණද, ඉන්දීය මාධ්‍ය එයට විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතු වී තිබුණේ සෙනසුරාදා පෙරවරුවේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතව තිබියදී සිකුරාදා රාත්‍රියේ එම සංචාරය අවලංගු කිරීම බරපතළ තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය වටහාගෙන තිබීම නිසාය. කොටින්ම කියනවා නම් එය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එතරම් සුබ ලකුණක් නොවන බව ඉන්දීය මාධ්‍ය වටහාගෙන තිබීම ඊට හේතුවය.
රාජ්‍ය රහස්











