රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ.Sri Lanka Latest News
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය.
කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.
පසුව තෙන්නකෝන් මහතා මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.
ඒ අනුව තෙන්නකෝන් මහතා අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.










