ආණ්ඩුවෙන් පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට ගිය පණිවුඩය!
වහාම ඡන්දෙකට ලෑස්ති වෙන්න!
රනිල් හින්දි සිංදුවක් ඉල්ලයි!
සෙන්දිල් තොණ්ඩමන්ද-සෙන්දිල් මුත්තු විනයාගම්ද?
පළාත් සභා එනවා!
ජනාධිපති ධුරයට පත්වීමෙන් හරියටම වසරකට පසු රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පළමු වතාවට ඉන්දියාව බලා පිටත්ව ගියේය. ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුණේ සිය ඉන්දියානු සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාත්, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්දි මහත්මියත්, ඉන්දීය රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරුනුත් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ බවකි. මෙම සාකච්ඡාවලදී විවිධ මාතෘකා සාකච්ඡා මේසයට ගැනෙණු ඇති බවක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් කියා තිබුණේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ඇතුළුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මන් කිරීම ආදිය මෙම සාකච්ඡා න්යායපත්රයේ ඉහළින්ම ඇති බවකි. පසුගිය දින කිහිපය පුරා දේශපාලන පිටියේ සිදුවූ යම් යම් සිදුවීම්ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පසුබිම් කොටගෙනම සිදුවූ බවක් දැකගන්නට ලැබුණේ ඒ හේතුව මතය.Sri Lanka Latest News
ආණ්ඩුවෙන් පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්!
මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම අංක එකේ මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වුණේ පසුගිය සතිය ආරම්භයේ සිටම ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනකුම තමන්ගේ පළාත්වලට ගොස් පැවැත්වූ යම් යම් සාකච්ඡාවලදී හදිසි පළාත් සභා මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙසට හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කටයුතු කර තිබීමත් සමගය. ඒ අනුව මෙම නියෝජිතයන් පසුගිය සතිය ආරම්භයේදී තමන් නියෝජනය කරන පළාත්වලට ගොස් පොහොට්ටුව නියෝජනය කරන හිටපු ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගෙන තිබිණි. එහිදීද සියලු හිටපු මන්ත්‍රීවරුන් නොකැඳවා තෝරාගත් මන්ත්‍රීවරුන් පමණක් එසේ කැඳවීමට ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව පැවැති එක් රැස්වීමක හිටපු මන්ත්‍රීවරුන් 60ක පමණ පිරිසක් සිටි බව දැකගන්නට ලැබිණි. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් සියලු දෙනාම එම මන්ත්‍රීවරුන්ට කියා සිටියේ එකම එක කතාවකි. ඒ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් වහාම ඒ සඳහා සූදානම් වන ලෙසය. එමෙන්ම මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳවද මෙම ප්‍රබලයන් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.
අලුත් සන්ධානයක් එනවා!
‘හදිසි පළාත් සභා මැතිවරණයක් තියන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා. ඒ හින්දා ඒකට ලෑස්ති වෙන්න. ඒකට තරග කරන ආකාරය ගැනත් අපි ප්ලෑන් එකක් ගහලයි තියෙන්නේ. දැනටමත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැට දෙනෙක් විතර ජනාධිපතිතුමත් එක්ක අලුත් සන්ධානයක් හදන්න ලෑස්ති කරලයි තියෙන්නේ. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා වගේ මැති ඇමැතිවරු හුඟ දෙනෙක් පොහොට්ටුවෙන් අයින් වෙලා ඒ අලුත් සන්ධානය හදන්න මේ දවස්වල වැඩ කරනවා. ඒ සන්ධානයෙන් තමයි පළාත් සභා මැතිවරණය ඉල්ලන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඕගොල්ලොත් ඒ සන්ධානයෙන් ඉල්ලන්න ලෑස්ති වෙන්න….’ යන්න එහිදී ආණ්ඩුවේ නියෝජිතයන් පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටි කාරණය විය.
පක්ෂ කාර්යාලය රාජගිරියේ!
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ (20) ජනාධිපතිවරයාට අතිශය හිතවත් මන්ත්‍රීවරු කිහිප දෙනකු තවත් විශේෂ කටයුත්තක් සිදුකළහ. ඒ, අලුතින් බිහිකිරීමට නියමිත මේ නව දේශපාලන සන්ධානය වෙනුවෙන් නිල කාර්යාලයක් විවෘත කිරීමය. වැඩි ප්‍රසිද්ධියකින් තොරව විවෘත කරනු ලැබූ මෙම කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ රාජගිරිය ලේක්ඩ්‍රයිව් ප්රදේශයේය. මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලද මෙම දේශපාලන කාර්යාලය හරහා ඉදිරියේදී පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් එකතු කිරීමේ කාර්යය සහ පොහොට්ටුවේ ගම් මට්ටමේ ශක්තිය වන හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් එකතු කිරීමේ කටයුත්ත සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව එය නව දේශපාලන සන්ධානයේ පක්ෂ මූලස්ථානය ලෙස භාවිත කිරීමටත්, විශාල උත්සවයක් තබා විවෘත කිරීමටත් පොහොට්ටු මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බවත් දැනගන්නට ඇත.
අකිලගෙනුත් ප්‍රකාශයක්!
මීට සමගාමීව පසුගිය සතියේදී එජාප හිටපු මහලේකම්වරයකු වන අකිල විරාජ් කාරියවසම් මහතාද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සහ බිහිවීමට නියමිත අලුත් සන්ධානයක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් කර තිබිණි. එහිදී අකිල කියා තිබුණේ ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත්, ඒ සඳහා මේ වන විට පුළුල් සන්ධානයක් බිහිවෙමින් පවතින බවත්ය. එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වශයෙන් එජාපය කටයුතු කරන බවද අකිල එහිදී කියා සිටියේය. ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, පොහොට්ටුව කඩාගෙන අලුත් සන්ධානයක් ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන් බිහිවෙමින් පවතින බවය.
අපි කලින්ම කිව්වා!
මේ සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදීම මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කරුණු අනාවරණ කිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ ඉදිරි මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අලුත් සන්ධානයක් බිහි කිරීමේ කටයුතු දියත් වෙමින් පවතින බවකි. එහි වැඩකටයුතු පොහොට්ටුවේ ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා යන මැති ඇමැතිවරුන්ට ලබාදී ඇති බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසූ මලලසේකර මාවතේ පිහිටි සුවිසල් නිල නිවෙස ඒ වෙනුවෙන් ලබාදී ඇති බවත් අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එහි කාර්යාල දෙකක සිට ප්රසන්නත්, ලන්සාත් එම මෙහෙයුම දියත් කර ඇති බවද අප එහිදී වැඩිදුරටත් කියා සිටියෙමු.
ලන්සා මූලිකත්වය අරන්!
මීට අමතරව නිමල් ලන්සාට ලබාදී ඇති ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි කාර්යාලයද මේ දිනවල බොහෝ සක්‍රීය තැනක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එහි සිට ලන්සා ජනාධිපති මාධ්‍ය ඒකකය සමග වෙනම ප්රචාරක කටයුතු මෙහෙයවමින් සිටින අතර, මහින්දානන්දට එහි තවත් වැඩ කොටසක් භාරදී ඇති බවක් ආරංචිය. ඔවුන් දෙදෙනාම වෙන වෙනම විවිධ කණ්ඩායම් මුණගැසෙමින් සාකච්ඡා පවත්වමින් මෙම කටයුතු සක්‍රීයව ඉදිරියට රැගෙන යන ආකාරයක් දැකගන්නට ඇත. කෙසේ වෙතත් පොහොට්ටුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබීමත් සමගම පක්ෂයක් ලෙස ඊට විරෝධය පළකොට තිබුණද, එම විරෝධය නොතකා අදාළ දේශපාලන කටයුතු දිගටම සිදුවෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට පුළුවන.
උතුරේ ප්රශ්නය යළි එළියට!
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පසුබිම් කරගෙන කරළියට පැමිණ ඇති අනෙක් ප්‍රධාන කරුණ වූයේ 13 වැනි සංශෝධනය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමය. ඉන්දීය සාධකය දේශපාලන කරළියේ ඉහළට එන සෑම අවස්ථාවකදීම මෙරට දේශපාලනය තුළද නිතැතින්ම උතුරු නැගෙනහිර ප්රශ්නය මාතෘකාවක් බවට පත්වීම සාමාන්‍ය සිදුවීමකි. ඒ අනුව ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු අවස්ථා තුනකදී දෙමළ ජාතික සන්ධානය සහ උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැවැති පළමු සාකච්ඡාවේදීම ජනාධිපතිවරයා විසින් නිදහස් දිනයට ප්‍රථම උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදීමය. නමුත් නිදහස් දිනය පැමිණියද ජනාධිපතිවරයාගේ පැත්තෙන් කිසිදු දේශපාලන විසඳුමක් ඉදිරිපත් වූයේ නැත. ඒ අවස්ථාවේදී දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් මාධ්‍යයට සඳහන් කළ කාරණාව වූයේ ජනාධිපතිවරයා නැවත වතාවක් මෙරට දෙමළ ප්‍රජාව රැවැටීමකට ලක්කළා යැයි කියාය.
එකපාරක් වෙච්ච අවුල!
ඊට පසු තවත් අවස්ථාවකදීද ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් කැඳවා උතුරේ වාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී විශාල ප්‍රශ්නයක් මතුවූයේ උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා අත පැවැති විසඳුම් වාර්තාවක්ම ජනාධිපතිවරයා අතේ තිබෙනු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දැකීම නිසාය. ඒ අනුව ඊට දෙමළ සන්ධාන මන්ත්‍රීවරු විරෝධය පළකිරීම නිසා අදාළ සාකච්ඡාවද අවසන් විසඳුමක් නොමැතිව අතරමග අවසන් වී තිබිණි.
තවත් සාකච්ඡාවක්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය පළමු ඉන්දීය සංචාරය සඳහා දින නියම වීමත් සමග නැවත වතාවක් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු උතුරු නැගෙනහිර සියලු මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා ජනාධිපතිවරයා ලබාදී තිබූ දිනය වූයේ ඉකුත් අඟහරුවාදාය. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් උතුරු නැගෙනහිර සියලු මන්ත්‍රීවරුන්ට මේ සඳහා ආරාධනා කළද ගජේන්ද්ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා පමණක් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම විශේෂ සිදුවීමක් විය.
උතුරෙන් ලියුම් 4ක් මෝදිට!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට පළමුවෙන් සහ ජනාධිපතිවරයාගේ ඉන්දීය ගමනට පෙරාතුව උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය. ඉන් ප්‍රධානම සිදුවීම වූයේ ජනාධිපතිවරයාගේ ඉන්දීය ගමන මුල් කරගෙන උතුරෙන් විශේෂ ලිපි 4ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත යොමු වීමය. මින් පළමු ලිපිය යොමුකර තිබුණේ උතුරු නැගෙනහිර නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හයක නායකයන්ගේ අස්සනින් යුතුවය. දෙවැනි ලිපිය යොමුවී තිබුණේ උතුරේ වෘත්තිකයන්, ආගමික නායකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් විසිනි. තුන්වැනි ලිපිය යොමුකොට තිබුණේ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසිනි. කෙසේ වෙතත් මෙම ලිපි තුන මගින්ම එක් පොදු කාරණාවක් ඉන්දීය අගමැතිවරයා වෙත අවධාරණය කොට තිබිණි. ඒ, උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඉන්දියාවේ මැදිහත් වීම මත අස්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව සකස් කළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට බලකර සිටින ලෙසය. එම සංශෝධනයට අනුව පළාත් සභාවන්ට හිමිවිය යුතු ඉඩම් සහ පොලිස් බලතලද ඒ ආකාරයටම හිමිවිය යුතු බවටද අදාළ ලිපිවල සඳහන්ව තිබිණි.
වෙනස් ලියුමක් ගජේන්ද්‍රන්ගෙන්!
මෙම ලිපි තුනෙහි මෙම පොදු කාරණය අඩංගු වුවත්, හතරවැනි ලිපිය මගින් ඉන්දීය අගමැතිවරයාට දැනුම්දී තිබුණේ ඊට තරමක් වෙනස් කාරණයකි. එම ලිපිය යොමුකොට තිබුණේ වෙන කවුරුවත් නොව, ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව වර්ජනය කර තිබූ ගජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය. ගජේන්ද්‍රන් සිය ලිපිය මගින් ඉන්දීය අගමැතිවරයාට දැනුම් දී තිබුණේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට ඇති එකම විසඳුම ෆෙඩරල් විසඳුම බවත්, එම විසඳුම ලබාදීම සඳහා මෙම සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට බලපෑම් කර සිටිය යුතු බවත්ය. අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් මුණගැසුණේ මෙවැනි පසුබිමක් යටතේය.
පොලිස් බලතල බෑ!
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර බලය බෙදීම සම්බන්ධයෙන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දැනුම් දී සිටියද ඊට යම් කොන්දේසියක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඒ, පොලිස් බලතල සම්බන්ධයෙන්ය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පොලිස් බලතල හැරුණු විට අනෙකුත් කාරණා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්, නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් බවත්ය. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් ඊට අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී දෙමළ මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේය.
සුමන්තිරන් වෙනස් අදහසක!
නමුත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ අදහසට එරෙහිව කරුණු දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. සුමන්තිරන් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අවස්ථා ගණනාවකදීම 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට සූදානම් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට ඇති බවකි. එසේ තිබියදී දැන් මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිගත නොහැකි බවද සුමන්තිරන් එහිදී කියා සිටියේය. ඒ අනුව එම සාකච්ඡාවද අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවය.
ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කියපු දේ!
එසේ වුවත් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් සාකච්ඡාව අවසන් වීමත් සමග නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
‘උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලූ විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.
තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලූ විසඳීම මිස ඉන් දේශපාලන ප්රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟවන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.
තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලූ බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන් ඊට එකඟ වන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.
ජාතික සමගිය සහ ප්රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාලය ) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමග සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යාන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.
උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශිය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ත්රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි .
අතුරුදන්වූවහන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි අතුරුදන්වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවිමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
ජනාධිපති මාධ්‍ය අංශය
බංකොලොත් කමිටුව රැස්වෙයි!
පසුගිය කාලසීමාව පුරාම ආණ්ඩුව විවිධ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා තේරීම් කාරකසභා සහ කමිටු කිහිපයක්ම පත්කළේය. ඉන් එකක් වූයේ රට බංකොලොත් කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරකසභාවය. එහි සභාපති ධුරය පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් මහතාට ලබාදීම මුල් කොටගෙන විපක්ෂය එම කමිටුව වර්ජනය කිරීමට පියවර ගත්තේය. එහිදී සමස්ත විපක්ෂම චෝදනා කර තිබුණේ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රට බංකොලොත් කළ පිරිස් සෙවීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකට සමාන යැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වූ රට බංකොලොත් කළ පිරිස් සොයන කමිටුවට විපක්ෂයේ කිසිවෙක් සහභාගි වී සිටියේ නැත. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පමණක් රැස්වීම ආරම්භ කරන අවස්ථාවේදී එහි අසුන්ගෙන සිටියද, රැස්වීම ආරම්භ කිරීමත් සමග කමිටුවට සිය විරෝධය පළකොට ඔහු සාකච්ඡා කාමරයෙන් පිටව යෑමට පියවර ගෙන තිබිණි.
තවත් කාරක සභාවක් එයි!
මීට අමතරව පසුගිය සතියේදී ආණ්ඩුව තවත් තේරීම් කාරකසභාවක් පත්කිරීමට තීරණය කළේය. ඒ, මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගත් යම් යම් තීන්දු තීරණ හේතුකොට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති දැයි සෙවීම සඳහා පත්කළ තේරීම් කාරකසභාවය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අතර, ඊට දැඩි විරෝධය පළකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී කටයුත්තක් බවත්, මේ හරහා ආණ්ඩුව නව මැතිවරණ කොමිසමට පමණක් නොව, අධිකරණයට පවා අනිසි බලපැමක් කිරීමට සූදානම් වන බවත්ය. එපමණක් නොව, සජිත් මේ සම්බන්ධයෙන් පක්ෂයේ විරෝධය පළකොට නිවේදනයක් නිකුත් කිරීමට පවා පියවර ගත්තේය.
විපක්ෂය ඒකත් වර්ජනය කරයිද?
මීට අමතරව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යෝජනා වූ විට ජවිපෙ විජිත හේරත්, මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් වැනි විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට දැඩිව විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ මෙය ඉතා වැරැදි පූර්වාදර්ශයක් විය හැකි බවකි. ඒ අනුව කරුණු පෙළගැසෙමින් තිබෙන ආකාරයට පෙනී යන්නේ විපක්ෂය ආණ්ඩුව විසින් පත්කිරීමට යන මෙම තේරීම් කාරකසභාවද වර්ජනය කිරීමේ සැලසුමකින් පසුවන බවය.
රනිල්ගෙන් රෑ කෑමක්!
ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට ප්‍රථම ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් හට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තේය. මීට ප්‍රථමවද ජනාධිපතිවරයා එවැනිම ආකාරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට පියවර ගත් අතර, එය වට්ස්ඇප් මගින් සහ කෙටි පණිවුඩ හරහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් මාධ්‍ය වෙතද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ බව අපද ‘මව්රට’ පුවත්පත ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව මෙවර මෙම රාත්‍රී භෝජන සංග්‍රහය වැඩි සද්ද බද්දයකින් තොරව පැවැත්වීම සඳහා එසේ වට්ස්ඇප්, එස්.එම්.එස්. පණිවුඩ නොතබා දුරකතන ඇමතුම් මගින් පමණක් ආරාධනා කිරීමට ජනාධිපති කාර්යාලය මගින් පියවර ගෙන තිබිණි. එහිදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ටද ආරාධනා කිරීමට කටයුතු කොට තිබිණි.
දෙපාරක්ම එන්න කියයි!
එමෙන්ම පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීත්, අවසානයේදීත් දෙවරක්ම ජනාධිපතිවරයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වන ලෙසට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ආරාධනා කිරීමට පියවර ගත්තේය. නමුත් අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට සහභාගි වුවද, කිහිප දෙනෙක් ඊට සහභාගි නොවීමටද කටයුතු කොට ඇති බවකි.
රනිල් හින්දි ගීතයක් ඉල්ලයි!
මීට සති දෙකකට ඉහතදී ඉන්දීය ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඉන්දීය විධායක නිලධාරීන්ගේ සංසදයේ 10 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයක් ද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධාන කොට තිබිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනපති බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත්ය. උත්සවයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රකට සංගීතවේදියකු වන ශ්රීනිවාස්ටද ආරාධනා කර තිබිණි.
Main Shair To Nahin
මෙම උත්සවයේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයාද ශ්රීනිවාස්ගෙන් ගීතයක් ගායනා කරන ලෙස ඉල්ලීමක් කිරීමය. ඒ අනුව ශ්‍රීනිවාස් ගීත ගායනා කිරීම ආරම්භ කිරීමෙන් පසු උත්සව සභාවේ සිටි ජනාධිපතිවරයා තමන්ගේ විශේෂ ගීත ඉල්ලීමක් ඇති බව ශ්රීනිවාස්ට පණිවුඩයක් යවමින් දන්වා සිටියේය. ඒ, ‘බොබී’ චිත්‍රපටයේ Main Shair To Nahin ගීතය ගායනා කිරීමට හැකිදැකි කියාය. එම පණිවුඩය ලැබුණු සැණින් ඉතා ප්‍රීතියට පත්වූ ශ්‍රීනිවාස් තමන්ගේ ඊළඟ ගීතය ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටු කරද්දී ජනාධිපතිවරයාත්, ජනාධිපති බිරිය මෛත්‍රී වික්රමසිංම මහත්මියත් ඉතා ඕනෑකමින් යුක්තව එම ගීතය රස විඳිනු දැකගත හැකි විය.
සෙන්දිල් බාල්දියක් දාගනී!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා ලෙස පත්කළේ වියත් මගෙන් දේශපාලනයට ආ අනුරාධා යහම්පත් මහත්මියය. ගෝඨාභය ජනාධිපති ධුරය අතහැර පලා යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළද යහම්පත් මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ නැත. නමුත් මාස කිහිපයක් ගතවෙද්දී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරු කිහිප දෙනකු පමණක් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ අනුව නැගෙනහිරින් අනුරාධා යහම්පත් විසිවී ඒ වෙනුවට ජනාධිපතිවරයාට හිතවත් සෙන්දිල් තොණ්ඩමන්ට ආණ්ඩුකාර ධුරය ලබාදීමට පියවර ගැනිණි.
තොණ්ඩමන් කෙනෙක් නෙමෙයි!
කෙසේ වෙතත් සෙන්දිල් ආණ්ඩුකාරවරයා ලෙස නැගෙනහිරට පැමිණීමෙන් පසු මුලින්ම ගැටුම පටන්ගන්තේ නැගෙනහිර ආණ්ඩුවේ ප්‍රභලයා වන අමාත්‍ය නසීර් අහමඩ් සමගය. මෙම ගැටුම කෙතරම් දුරදිග ගියාද කියනවා නම් තනතුර භාරගෙන මාසයක් යන්න කලින් දෙදෙනා අතර ගැටුම් ආරම්භ වූ ආකාරයක් දැකගත හැකි විය. වරක් නසීර් අහමඩ් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සෙන්දිල් තොණ්ඩමන්ට ප්‍රහාර එල්ල කරන තැනට තත්ත්වය උග්‍ර වී තිබිණි. මෙම මාධ්‍ය හමුවේදී නසීර් කවුරුත් නොදැන සිටි රහසක් හෙළිකිරීමටද පියවර ගත්තේය. ඒ, සෙන්දිල් තොණ්ඩමන්ගේ නම පිළිබඳවය. එහිදී නසීර් කියා සිටියේ සෙන්දිල් තොණ්ඩමන්, ‘තොණ්ඩමන්’ පවුලට අයත් නොවන්නකු බවත්, තොණ්ඩමන් නම ගත් අයකු යැයි කියාය.
සෙන්දිල් මුත්තු විනයාගම්!
ඒ අනුව නසීර් අහමඩ් කළ අනාවරණය පිළිබඳ සොයාගෙන යද්දී එම කතාව ඇත්තක් බව අපටද දැනගන්නට ලැබිණි. සෙන්දිල් තොණ්ඩමන් යනු වතුකරයේ ප්‍රබලයා වූ ආරුමුගම් තොණ්ඩමන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාය. ඒ අනුව සෙන්දිල් තොණ්ඩමන් ආරුමුගම් තොණ්ඩමන්ගේ ඥාති පුතෙකි. ඔහුගේ සත්‍ය නම සෙන්දිල් මුත්තු විනයාගම්ය. සෙන්දිල්ගේ පියා ආහාර ද්‍රව්‍ය ආනයනය කොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන අතර පිටකොටුව 4 වැනි හරස් වීදියේ විශාල වෙළෙඳ ආයතනයක්ද ඔවුන්ට හිමිය.
කරුණානිධිට පණ දෙන්න යයි!
කෙසේ වෙතත් නැගෙනහිරට අඩිය තැබූ සැණින් ආණ්ඩුවේ නැගෙනහිර මුස්ලිම් නායකයන් සමග බකට් එකක් දමාගත් සෙන්දිල් මේ වන විට ආරම්භ කොට ඇති දේශපාලන ව්‍යාපෘතියක් හේතුවෙන් නැගෙනහිර දෙමළ ජනතාව සමගද යම් විරසකයක් ගොඩනගාගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුවී ඇත්තේ සෙන්දිල් මේ වන විට තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්. කරුණානිධි මහතාගේ ගුණසමරුවක් මහ ඉහළින් නැගෙනහිර පැවැත්වීමට සැලසුම් කර තිබීමය. ඒ සම්බන්ධයෙන් සෙන්දිල් දැනටමත් තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා වන කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවක්ද ආරංචිය.
ස්ටාලින්ටත් පණිවුඩයක්!
සාමාන්‍යයෙන් සෙන්දිල් වතුකරය නියෝජනය කරන නිසා තමිල්නාඩුව සමග දේශපාලන සබඳතා පැවැත්වීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මේ වන විට පැනනැගී ඇති ගැටලුව වී ඇත්තේ සෙන්දිල් එය නැගෙනහිර පළාතේ ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීමය. දැනටමත් නැගෙනහිර සිටින මුස්ලිම්, දෙමළ දේශපාලන නායකයන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ සෙන්දිල් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් නැගෙනහිර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම පක්ෂ නායකයන් දැනටමත් මීට විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ටද පණිවුඩ යවා ඇති බව සඳහන්ය. ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ සෙන්දිල් හරහා මෙවැනි උත්සවයක් නැගෙනහිර පැවැත්වීමට කටයුතු නොකරන ලෙසටය. ඒ අනුව ඉතා කෙටි කාලයක් ඇතුළත් සෙන්දිල් නැගෙනහිර පළාතේ මුස්ලිම් හා දෙමළ දේශපාලන නායකයන් සමග ගැටුම් කිහිපයක්ම ඇතිකර ගැනීමට කටයුතු කොට තිබීම හරහා සෙන්දිල්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
බන්දුලගේ කතා කරන ෆොටෝ!
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ දිනවල පත්ව සිටින්නේ පුවත් මවන්නකු ලෙසටය. විශේෂයෙන්ම පසුගිය දිනවල ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි ලංකාවට ආවේණික දැවැන්ත පඬු කරඳ ගස කපා ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් නැවත වතාවක් බන්දුල මාධ්‍ය අතර ප්‍රධාන චරිතයක් බවට පසුගිය සතියේ පත්ව තිබිණි. එහිදී බන්දුල කියා සිටියේ අදාළ ගස ඉවත් කොට අධිවේගී මාර්ගය නියමිත සැලසුමට අනුව ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත්, රාජ්‍ය සේවකයන් ඉතා කාර්යක්ෂම අයුරින් අදාළ ගස ඉවත් කිරීමට පියවර ගත් බවත්ය.
පැළ හිටවපු හැටි!
කෙසේ වෙතත් ඉන් අනතුරුව සමාජ මාධ්‍යවල පළව තිබූ විශේෂ ඡායාරූපයක් හේතුවෙන් බන්දුල නැවත වතාවක් මාධ්‍ය ඇතුළේ පුවත් මවන්නකු බවට පත්ව තිබිණි. එහිදී බන්දුල යාපනයේ කළ සංචාරයේදී ‘පඬු කරඳ’ පැල කිහිපයක්ම රෝපණය කිරීමට පියවර ගෙන තිබූ අතර, එක් ස්ථානයකදී මාධ්‍යවේදීන් විසින් ගෙන තිබූ ඡායාරූපයක් හේතුවෙන් මේ කතාබහ මතුව තිබිණි. එහිදී බන්දුල එම පඬු කරඳ පැලය සිටුවා ඉතා අසීරුවෙන් දෙතුන් දෙනකුගේ වාරුව ඇතිව නැගී සිටින ආකාරයක් එහිදී දැකගත හැකි විය. එම ඡායාරූපය සමාජ මාධ්‍යවල විවිධ පාඨයන් සහිතව වේගයෙන් සංසරණය වෙමින් පැවැති ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
යෝගා සිද්ධිය!
මේ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල බන්දුලගේ ඡායාරූපයක් ජනප්‍රිය වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට මසකට පමණ ඉහතදීද බන්දුලගේ තවත් ඡායාරූපයක් මේ ආකාරයන්ම සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්විය. ඒ, බන්දුල ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් යෝගා සිදුකළ ඡායාරූපයකි. එකල එයටද මේ හා සමානම ප්‍රසිද්ධියක් සමාජ මාධ්‍ය ජාලවල හිමිව තිබීමෙන් එම සතිය තුළද බන්දුලට රටේ ජනප්‍රියම දේශපාලකයා බවට පත්වීමට හැකියාව ලැබී තිබිණි.
ඡන්දවලට උතුරන සල්ලි!
ආණ්ඩුවත් සමග ගනුදෙනු කිරීමේදී රට ඇතුළේ දැවැන්ත ව්‍යාපෘති සිදුකරන සමාගම් ඒ ඒ ආණ්ඩුවල සිටින ඇතැම් ප්‍රධානීන්ට ‘තුටුපඬුරු’ ලබාදීම සාමාන්‍යයෙන් එදා සිටම සිදුකෙරෙමින් පැවැති එකකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී විපක්ෂය රාජපක්ෂවරුන්ට දැඩි චෝදනාවක් එල්ල කරමින් කියා සිටි කාරණයක් වූයේ ප්‍රධාන මැතිවරණවලදී රාජපක්ෂවරුන් හට දැවැන්ත මුදල් කන්දරාවක් ලබාදීමට චීන සමාගම් කටයුතු කර තිබුණා යැයි කියාය. අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබාගත් සමාගම් විසින් මෙසේ රාජපක්ෂවරුන්ගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් පොම්ප කර තිබූ ලිපි ලේඛන පවා එකල විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය වෙත ලබාදී තිබිණි. කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ගෙන් පසු එවැනි මහාපරිමාණ විදෙස් සමාගම් මෙරට දේශපාලකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් ලබාදුන් ආකාරයේ චෝදනාවන් එල්ල වී තිබුණේ නැත.
නම්ගම් එළියට!
නමුත් හදිසියේම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ කළ විශේෂ හෙළිදරව්වක් හේතුවෙන් නැවත වතාවක් විදෙස් සමාගම් විසින් දේශපාලකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් පොම්ප කිරීමේ මාතෘකාව එළියට ආවේය. එහිදී අනුර කියා සිටියේ මෙරටට මහාපරිමාණ වශයෙන් පිටි ගෙන්වීමේ ඒකාධිකාරියක් සතු ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් මැතිවරණවලදී ආණ්ඩුවේ ප්‍රධානීන්ට උදව් කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත්, ඒ වෙනුවෙන් පිටි මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදී ඉහළ මිලකට පිටි අලෙවි කරමින් සිටින බවත්ය. එහිදී ඇතැමුන්ගේ නම්ගම් පවා හෙළිකිරීමට අනුර කටයුතු කිරීමද විශේෂ සිදුවීමකි.