පොහොට්ටුව එළිපිට දෙකට බෙදෙයි!
අමරවීරලා අලුත් ගේමකට සෙට්වෙයි!
හැමෝම එපා කියද්දී සජිත් මිහින්තලේ යයි!
තීරණාත්මක අගෝස්තුව එළඹුණා!
ලංකා දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කෙරෙන අගෝස්තු මාසය ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා දිනයේදීය. අප මෙම අගෝස්තු මාසය ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සඳහන් කළේ හරියටම ලබන වසරේ අගෝස්තු මාසය වන විට ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබීම නිසාය. ඒ අනුව මේ අගෝස්තු මස ආරම්භයේ සිට තවත් දින 365ක් ගතවූ තැන නියත වශයෙන්ම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවනු ඇත. ඒ ආකාරයෙන් ගත් විට ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ඇත්තේ තවත් හරියටම දින 182ක් පමණි. අප එසේ කියන්නේ තවත් දින 182ක්, එසේත් නොමැති නම් මාස 06ක් ඉක්මවූ තැන මෙරට ජාතික දේශපාලනය තුළ පමණක් නොව ගමේ ගොඩේ හැමතැනම ජනාධිපතිවරණය පිළිබඳව කතාවෙන්නට පටන් ගන්නා නිසාය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ උණුසුම පටන් ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මාස 06කට පමණ පෙරාතුව සිටය. එවිට ජාතික දේශපාලනයේ පමණක් නොව රාජ්‍ය සේවය තුළත්, ආරක්ෂක අංශ තුළත්, පෞද්ගලික අංශයේත්, ගමේ ගොඩේ හැම තැනමත් කතාබහට ලක්වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැනය. ඡන්දය වැටෙන ආකාරය ගැනය. ජනාධිපතිවරණ ප්‍රතිපල ගැනය. ආණ්ඩුව මොන ඡන්දය නොතියා කල් ඇරියත් ජනාධිපතිවරණය එසේ කල්දැමීමට නොහැකි නිසා තවත් දින 182කින් ලංකාවේ ප්‍රධානතම මාතෘකාව බවට පත්වීමට නියමිතව ඇත්තේ මේ කියන ජනාධිපතිවරණ මාතෘකාවය.Sri Lanka Latest News
ජ්‍යොතිෂ උපදෙස්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙය නොදන්නවා නොවේ. එම නිසා ජනාධිපතිවරයාද මේ දිනවල සම්පූර්ණ අවධානය යොමුකර ඇත්තේ අනෙක් සියලු මැතිවරණ යටපත් කොට මැතිවරණ සිතියමේ ඉදිරියටම ජනාධිපතිවරණය ගැනීමටය. එමෙන්ම අප මීට කලින් වතාවකදී ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් මැතිවරණ සම්බන්ධයෙන් ජ්‍යොතිෂ උපදෙස් විමසා සිටි බවක් වාර්තා කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් ජ්‍යොතිෂ උපදෙස් විමසා ඇති බවත්, ඊට අනුව ලබන ඔක්තෝබර් මාසය දක්වා යහපත් කාලසීමාවක් පවතින බවත්, ඔක්තෝබර් 28 වැනි දින සිදුවන රාහු කේතු මාරුවෙන් පසු එම හොඳ කාලයේ අඩුවීමක් පෙන්වන බවත්, ලබන මාර්තුවෙන් පසු තරමක් නරක කාලයක් උදාවීමට නියමිත බවත්ය. ඒ අනුව පවත්වන මැතිවරණයක් ලබන මාර්තුවට පෙර පවත්වන ලෙසට ජ්‍යොතිෂ උපදෙස් ලැබී ඇති බවක්ද අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඒ අනුව ලබන මාර්තුවට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට මෙම ජ්‍යොතිෂ උපදෙස් බලපෑවාදැයි කියන්න දන්නේ නැත.
රනිල්ගේ ඔළුවේ මේකත් වැඩකළාද?
ඒ කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනය සහ ජ්‍යොතිෂය යනු එකම පීල්ලක ගමන් ගන්නා මාතෘකා දෙකකි. මෙතෙක් කල් සිටි රාජ්‍ය නායකයන්ට ඡන්ද තියන්නටත්, ඡන්ද කල් දමන්නටත්, නියමිත කාලයට කලින් ඡන්ද පවත්වන්නටත්, ඡන්ද සම්පූර්ණයෙන්ම අකුලා දමන්නටත් අඩු වැඩි වශයෙන් මෙම ජ්‍යොතිෂ උපදෙස් බලපා තිබූ බව රහසක් නොවේ. නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මනසේද මෙම ජ්‍යොතිෂ උපදෙස් වැඩකරමින් තිබෙන බවකි.
රනිල් ආයුධ එකතු කරයි!
ඒ අනුව ජනාධිපතිවරයා දැන් තියාම ලබන මාර්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ යුද්ධයට සිය පාර්ශ්වයෙන් අවි ආයුධ එකතු කරමින් සිටිනු දැකගන්නට තිබේ. එජාප නායකයා ලෙස එජාපයෙන් තරග කළහොත් ඇපත් නැතිවන බව හොඳින්ම දන්නා නිසා ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇත්තේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඇතුළු සියලු පක්ෂවල යම් යම් කොටස් එකතු කොට ගෙන පෙරමුණක් සාදා, ඒ හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටය. එයිනුත් ජනාධිපතිවරයාගේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබුණේ සමගි ජන බලවේගය දෙකට කඩා එහි පළුවක් තමන් යටතට ගැනීමටය. මේ වෙනුවෙන්ම සජබය ඇතුළේ සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු හට යම් කාර්යභාරයක්ද ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේදී බාර දී තිබිණි. එම කාර්යය වී තිබුණේ කෙසේ හෝ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා සමග සන්ධානකට යා යුතු බවට පක්ෂය සහ සජබ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා පොළඹවා ගැනීමය. ඒ හේතුව මත පසුගිය කාලය පුරාම මෙම ජ්‍යෙෂ්ඨයන් හැකි සෑම අවස්ථාවකදීම පක්ෂය ඇතුළේ ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකොට තිබිණි. නමුත් මේ වන විට සජබය ඇතුළේ එම දෙතුන් දෙනාගේ මතය සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
පොහොට්ටුව කඩන වැඩේ ලන්සාට!
පොහොට්ටුව කඩන වැඩේ ජනාධිපතිවරයා විසින් භාරදී තිබුණේ වෙන කාටවත් නොව, පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සා මහතාටය. ලන්සා ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම කාර්යාලයක්ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබූ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි සුවිසල් නිල නිවෙසද ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. මීට අමතරව පොහොට්ටුව කැඩීමේ කටයුත්ත වෙනුවෙන්ම ලන්සා ඇතුළු කණ්ඩායම මීට සති දෙකකට ඉහතදී රාජගිරිය ලේක් ඩ්‍රයිව් පාරේ නවතම දේශපාලන පක්ෂ කාර්යාලයක්ද විවෘත කිරීමට කටයුතු කොට තිබිණි. මේ සියලු තැන්වලින්ම පොහොට්ටුවේ ගමේ මන්ත්‍රීවරුන්ට ලැබුණු ඇමතුම්වලින් දැනුම් දී තිබුණේ පොහොට්ටු මන්ත්‍රීවරුන් 35ක පමණ කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග එක්වීමට තීන්දු කර ඇති බවත්, ඔවුන් සියලු දෙනා සමග අලුත් සන්ධානයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවත්, කුමන මැතිවරණයක් පැමිණියද එම සන්ධානයෙන් තරග කිරීමට පැමිණෙන ලෙසත්ය. මේ බව පොහොට්ටුවේ ප්‍රධානීන්ගේ කනටද වැටී තිබීම නිසා පසුගිය සති දෙක පුරාම ඔවුන් රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි විවෘත වූ මෙම දේශපාලන කාර්යාලය පිළිබඳ ඇස ගසාගෙන සිටි ආකාරයක් දැකගන්න ලැබිණි.
පොහොට්ටුව ලෑස්ති වෙයි!
එමෙන්ම ජනාධිපතිවරයාගේ පැත්තෙන් සිදුකිරීමට යන මෙම කටයුත්ත පිළිබඳ සෑහෙන කාලයක සිට ඉව වැටීම නිසා පොහොට්ටුවද පසුගය මාස කිහිපය පුරාම පක්ෂය නැවත ශක්තිමත් කරමින් රට වටා ආසන සම්මේලන පැවැත්වීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව පසුගිය සතිය වන විට ඔවුන් 70%ක් යළිත් ආසන බලමණ්ඩල පිහිටුවා අවසන් කිරීමට පියවර ගෙන තිබිණි.
රනිල්-බැසිල් රහස් හමුවක්!
කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ පසුගිය ඉරිදා දින ඉතා රහසිගත හමුවක් සිදුවිය. ඒ, පොහොට්ටුවේ නායකයා වූ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතරය. ජනාධිපති නිල නිවෙසේ සිදුවූ මෙම හමුව ඉතා රහසිගත එකක් බව අප කියා සිටියේ අඩුම තරමින් බැසිල් ජනාධිපති නිල නිවෙසට ගොස් ජනාධිපතිවරයා හමුවන බවක් රාජපක්ෂ පවුලේ දේශපාලන නායකයා වූ මහින්ද හෝ දැනුවත්ව නොසිටි නිසාය. වෙනදා නම් බැසිල්, ජනාධිපතිවරයා මුණගැසීමට යන්නේ නම් මහින්ද සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුවත්ව සිටි නමුදු මෙවර බැසිල්ගේ ගමන පිළිබඳ දැන සිටියේ ඔහු ළඟින්ම සිටින දෙතුන් දෙනකු පමණක් වීම විශේෂත්වයක් විය.
සාකච්ඡාව පැය එකහමාරක්!
ජනාධිපතිවරයා සහ බැසිල් මේ ආකාරයට හමුවක් සිදුවන්නේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව වීම නිසා මෙම හමුවේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. පැය එකහමාරක පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී මැතිවරණ සිතියම සම්බන්ධයෙන්ද, කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන්ද, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා විය. මීට අමතරව නිමල් ලන්සා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පවත්වාගෙන යන පක්ෂ කාර්යාලය පිළිබඳවද දෙදෙනා අතර අදහස් හුවමාරුවක් සිදුවිය. එහිදී බැසිල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මෙම කාර්යාලයෙන් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ලබාදී එම පක්ෂය සමග එක්වන ලෙසට දැනුම් දෙමින් සිටින බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙම ඇමතුම් ලැබෙන බැවින් පක්ෂය ඇතුළේ බරපතළ මතගැටුමක් මතුවෙමින් ඇති බවත්ය. නමුත් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ඡන්ද දෙකක් එනවා!
මීට අමතරව මැතිවරණ සිතියම සම්බන්ධයෙන් සිදුවූ අදහස් හුවමාරුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ ලබන වසරේ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් සැලසුම් කරගෙන සිටින බවකි. එහිදීද කලින් පවත්වන්නේ ජනාධිපතිවරණයද එසේත් නැතිනම් මහ මැතිවරණයද යන්න පිළිබඳ කෙළින් වචනයක් දීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත.
මහින්ද රහස හොයාගනී
මහින්දටත් තොරතුරු එයි!
මේ ආකාරයට පැවැති රනිල්-බැසිල් රහස් හමුව බොහෝ අයට රහසක් ලෙස පැවැතියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නම් එය තවදුරටත් රහසක් වශයෙන් තිබුණේ නැත. ඒ, අදාළ සාකච්ඡාව පවත්වා පැය 24ක් යෑමට මත්තෙන් කෙතරම් රහසිගත ලෙස පවත්වාගෙන යෑමට උත්සාහ කළත් ඒ පිළිබඳ යම් යම් තොරතුරු මහින්දගේ කනටද වැටීම නිසාය. තමන්ව දැනුවත් නොකර රනිල් මුණගැසීමට යෑම නිසා මහින්ද බැසිල්ගෙන් ඒ පිළිබඳ විමසා නොසිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. ඒ අනුව මහින්ද කළේ තමන්ට හිතවත් වෙනත් පාර්ශ්වයන් හරහා ඒ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමය. එවිට එම හමුව සත්‍යයක් බවත්, එහිදී කතාබහට ලක්වූ කරුණු පිළිබඳවත් මහින්දට තොරතුරු දැනගන්නට හැකිව තිබිණි.
අපේක්ෂකයා කව්ද?
මේ අතර ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින මතුවීමත් සමග ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මේ වන විට බරපතළ මතගැටුමක් මතුව ඇති බවක් දැකගන්නට තිබේ. ඊට හේතුවී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනකුම ආණ්ඩුව ඇතුළේ සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් වී තිබීම හේතුකොට ගෙනය. දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින් සිටින අතර, ඔහුගේ සැලසුම වී ඇත්තේ සජබය, පොහොට්ටුව, එජාපය යන පක්ෂ තුනේම යම් යම් පිරිස් ගෙන නිර්මාණය කරන නව සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමය. අවස්ථා කිහිපයකදීම අප වාර්තා කළ පරිදි ලන්සාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයක් පවා විවෘත කළේ එම අරමුණ ඇතිවය. ඊට සම්පූර්ණ පොහොට්ටුවේම සහාය ගැනීම රනිල්ගේ සැලසුම වී ඇත.
පොහොට්ටුව බෙදෙයි!
කෙසේ වෙතත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සිටින්නේ මීට හාත්පසින් වෙනස් ස්ථාවරයකය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ලබන ජනාධිපතිවරණයටද පොහොට්ටුවේ අපේක්ෂකයකු ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමටය. පසුගිය සතියේදී බැසිල්ගේ ප්‍රබල හිතවතකු ලෙස සැලකෙන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ පොහොට්ටු අපේක්ෂකයකු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සැලසුම් කර ඇති බවත්, බොහෝ දුරට එම අපේක්ෂකයා අකුරු තුනක නමකින් යුත් තැනැත්තකු විය හැකි බවත්ය. එම අපේක්ෂකයා බැසිල්ද, චමල්ද, නාමල්ද යන්න රංජිත් එහිදී කීවේ නැත.
එකම වේදිකාවේ ගැටුම්!
කෙසේ වෙතත් පොහොට්ටුව ඇතුළේ මේ වන විට කණ්ඩායමක් රනිල්ටත්, තවත් කණ්ඩායමක් රනිල්ට එරෙහිවත් එකම වේදිකාවේ මත පළකරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. පසුගියදා එලෙස පැවැති මාතර රැස්වීමකදී ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් පත්කළ යුතු බව කියද්දී, එම වේදිකාවේම කතා කළ රාජපක්ෂ පවුලේ ඥාති පුත්‍රයකු වන නිපුණ රණවක මහතා කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් පොහොට්ටුව අවසන් තීන්දුවක් ගෙන නැතැයි කියාය. එමෙන්ම බණ්ඩාරවෙල පැවැති ආසන බලමණ්ඩල රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද රනිල් ගැන හොඳ කියද්දී එම වේදිකාවේම කතා කළ නාමල් ආණ්ඩුවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩුව ඇතුළේ මත දෙකක් මතුව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට පුළුවන. ඊට අමතරව පසුගිය සතියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතාද කියා සිටියේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ 2024 වසර දක්වා පමණක් යැයි කියාය. එළඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට සූදානම් බවද රෝහිත එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අමරවීරලා වෙන ගේමක!
මීට අමතරව ශ්‍රීලනිපයේ යම් යම් පිරිස්ද මේ දිනවල රනිල් කේන්ද්‍ර කොට ගෙන ගොඩනැගීමට නියමිත සන්ධානය වෙනුවෙන් දරදිය අදින ආකාරයක් දැකගන්නට තිබේ. ඊට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෙන කවුරුවත් නොව ශ්‍රීලනිප කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වාත්, මහින්ද අමරවීරත්ය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ලන්සාගේ ප්‍රධානත්වයෙන් බිහිවන නව සන්ධානයට ශ්‍රීලනිපයේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් රැගෙන ඒමය. ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනාගේ සහාය රනිල්ට ලබාදීම මෙම පිරිසේ සැලසුම වී තිබේ.
සජබය අන්තිම වටයේ!
මේ ආකාරයට ආණ්ඩුව පැත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නම් ගම් සහ සන්ධාන පිළිබඳ කතා වෙද්දී සමගි ජන බලවේගය ප්‍රමුඛ කොට ගෙන ගොඩනැගීමට නියමිත දැවැන්ත සන්ධානය සම්බන්ධව සාකච්ඡාද අතිශය රහසිගත ලෙස තිරය පිටුපස මේ දිනවල සිදුකෙරෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවෙන් කැඩීගිය ස්වාධීන කණ්ඩායම්, දෙමළ මුස්ලිම් පක්ෂ ආදී සියල්ල එකතු වූ දැවැන්ත සන්ධානයක් මේ හරහා ඉදිරි සති කිහිපය ඇතුළතදී බිහිවීමට නියමිතව ඇතැයි කියාය. එම සියලු සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සජිත්-ඩලස් නැතිව!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට මෙතෙක් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වී නැත. එළඹෙන සතියේ සජිත් කොළඹ රැඳී සිටීමට නියමිත අතර, එම කාලසීමාවේදී මෙම සන්ධානය ගොඩනැගීමේ අවසන් සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ.
එජාපයේ තනතුරු වෙනසක්!
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය දිගු කලකට පසු පසුගියදා රැස්වුණේ පක්ෂය ඇතුළේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුකිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළවූ පසුබිමකය. ඒ අනුව එදින පක්ෂයේ ප්‍රධාන තනතුරු වූ නායක, සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික වැනි තනතුරු හැරුණු විට අනෙකුත් සියලු තනතුරු අහෝසි කිරීම සිදුවිය. එමෙන්ම ඉදිරියේදී නායකත්ව මණ්ඩලයක් පත්කොට පක්ෂය ඉදිරියට රැගෙන යෑමටද රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ. එමෙන්ම තවත් ප්‍රබල වෙනස්කමක් කරමින් මෙතෙක් පක්ෂ නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් තෝරනවා වෙනුවට එය පක්ෂ නායකත්වයට හිතෛෂී පුද්ගලයන් රැසක් සිටින විධායක සභාව මගින් තේරීමට තීන්දු වී ඇති බව දැනගන්නට තිබේ. මේ සියලු යෝජනා ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත පක්ෂ සමුළුවේදී සම්මත කරගැනීමටද එජාපය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
එපා කියද්දී සජිත් යයි!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතිය ගත කළේ අනුරාධපුරයේය. එම ගමනේ මූලික අරමුණ වී තිබුණේ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 73 වැනි බස් රථය නොච්චියාගම විiා ආදර්ශ විදුහලේ සිසුන්ට ලබාදීමය. කෙසේ වෙතත් අනුරාධපුර ප්‍රදේශයේ මෙම පාසල පිහිටා ඇති බැවින් සජිත් සැලසුම් කළේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය ඇතුලු අටමස්ථානයන්ද, මිහින්තලාවට ගොස් එහි නායක ස්වාමින්වහන්සේලා මුණගැසී ආශීර්වාද ලබාගෙන එම පූජනීය ස්ථානයන්හි ඇති අඩුපාඩු සොයාබලා සකස් කිරීමටය.
බැන්නොත් මොකද කරන්නේ!
ඒ අනුව මේ පිළිබඳ පක්ෂයේ බෞද්ධ කමිටුව සහ සිය හිතවත් මැති ඇමැතිවරුන්ද ආසන සංවිධායකවරුන්ද දැනුවත් කිරීමෙන් පසු බොහෝ දෙනා සජිත්ට පෙන්වා දුන්නේ අනෙක් පූජා ස්ථාන කෙසේ වෙතත් මිහින්තලාවට යන ගමන පිළිබඳ දෙවරක් සිතාබලන ලෙසය. මන්ද යත් මිහින්තලාවේ නායක හිමියන් වන පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පක්ෂ භේදයකින් තොරව දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කරන හිමිනමක් ලෙස ප්‍රකටව සිටින නිසා සජිත්වද උන්වහන්සේගේ විවේචනයට ලක්වනු ඇති බව මොවුන්ගේ අදහස විය. විශේෂයෙන්ම මෙම අවස්ථාවන්ට මාධ්‍යද සහභාගි වන නිසා මොන යම් හේතුවකින් හෝ මිහින්තලා නාහිමියන් සජිත්ව විවේචනය කළහොත් එය මාධ්‍යවල පළවීම වැළැක්විය නොහැකි බව එම පිරිසේ මතය විය.
මිහින්තලාවට විතරක් නොගිහින් බෑ!
නමුත් සජිත් ඊට කිසිසේත්ම එකඟ වූයේ නැත. සජිත් සියලු දෙනාටම පෙන්වා දුන්නේ තමන් අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට සැලසුම් කර ඇති බැවින් එම ස්ථානයන්ට ගොස් මිහින්තලාවට පමණක් නොයා සිටිය නොහැකි යැයි කියාය. නායක හාමුදුරුවන් තමන්ට කුමක් කියා සිටියද එම අවදානම ගෙන මිහින්තලාවට යා යුතු බව සජිත්ගේ ස්ථාවරය විය. නමුත් බොහෝ දෙනා සජිත්ට පෙන්වා දුන්නේ මිහින්තලා ගමන පිළිබඳ තවත් වරක් කල්පනා කර බලන ලෙසය.
දිනේෂ්ට හොඳටම බැන්නා!
සජිත්ගේ හිතවතුන් සජිත්ට මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ පසුගි කාලය පුරා මිහින්තලා නාහිමියන් පක්ෂ භේදයකින් තොරව දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමය. වරක් උන්වහන්සේ මිහින්තලාව වැඳපුදා ගැනීමට ආ අගමැති දිනේෂ් ගුණවර්ධන, දුමින්ද දිසානායක ඇතුළු පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඉතා දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව සමගි ජන බලවේගයේ බෞද්ධ කමිටුවේ ප්‍රධානීන් ගිය අවස්ථාවේදී පවා උන්වහන්සේ වත්මන් දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි. මේ හේතුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සෑම දේශපාලකයකුම අනුරාධපුරයට ගියද මිහින්තලාවට ගියේ නැත.
පොසොන් පිංකම කළා!
ඊට අමතරව මිහින්තලේ පැවැති රාජ්‍ය පොසොන් උත්සවය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව පැවැත්වීමට ධම්මරතන හිමියන්ට සිදුවූයේ ආරම්භයේ සිටම ආණ්ඩුව පැත්තෙන් ඊට විවිධ බාධක එල්ල වීම හේතුවෙන්ය. වෙනදා රාජ්‍ය පොසොන් උත්සවයට පළාතම විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීමට පියවර ගත්තද මෙවර විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුවේ මුදලින් එය කළ නොහැකි බවත්, මිහින්තලාවට එකතු වන මුදලින් එය සිදුකළ යුතු බවත්ය. එමෙන්ම උත්සව සංවිධානයට පැමිණි රාජ්‍ය නිලධාරීන්ද කතා කළේ පොසොන් උත්සවය කරනවාට වඩා නොකෙරෙන ස්ථාවරයක සිටය. වෙනදා ඊට වැයවූ කෝටි 3ක පමණ මුදලෙන් වැඩි හරියක් මෙන්ම විදුලි බිලද රාජ්‍ය අනුග්‍රහයෙන් පියවා දැමුවද මෙවර ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවුණේ ‘රාජ්‍ය මුදල් කළමනාකරණය’ හේතුවෙන් ලක්ෂ 30ක මුදලක් පමණක් මිහින්තලා පොසොන් රාජ්‍ය උත්සවයට ලබාදිය හැකි යැයි කියාය. අවසානයේදී මිහින්තලා නාහිමියන් කළේ එම මුදලම ආපසු ආණ්ඩුවටම ලබාදී දෙස් විදෙස් දානපතියන්ගෙන් මුදල් එකතු කොට පොසොන් පින්කම පැවැත්වීමය. මෙහිදී මිහින්තලා නාහිමියන් පෞද්ගලිකවම අනුරාධපුර පොළවල් ගානේ ගොස් දායකයන්ගෙන් රුපියල පවා එකතු කොට එම කටයුත්ත සාර්ථකව අවසන් කිරීම විශේෂ සිදුවීමක් විය.
එකට එක කියන්නේ නෑ!
රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පොසොන් පින්කම සිදුකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ වත්මන් දේශපාලකයන් සහ දේශපාලන තත්ත්වය නොබියව සහ දැඩිව විවේචනය කිරීම නිසා සජිත්ගේ හිතවතුන් නැවත නැවතත් සජිත්ට පෙන්වා දී තිබුණේ මිහින්තලාවට යන ගමන දේශපාලන වශයෙන් දැඩි අවදානම්සහගත බවකි. නමුත් ඒ අවදානම තමන් භාරගන්නා බව නැවතත් ඔවුන්ට පෙන්වා දුන් සජිත් නායක හිමියන් කුමක් කීවද තමන් එය අසා සිටිනවා විනා උන්වහන්සේ සමග එකට එක කීමට කටයුතු නොකරන බව පිරිසට දැනුම් දී සිටියේය.
‘උන්වහන්සේට පවතින තත්ත්වය ගැන වගේම මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන දැඩි කලකිරීමක් කෝපයක් තියෙනවා. අපි ඒක පිටකරන්න උන්වහන්සේට අවස්ථාව දෙන්න ඕනෙ. ඒ නිසා උන්වහන්සේ මට මොනවා කිව්වත් මම ඒක අහගෙන ඉන්නම්. අපි මේ ගමන අනිවාර්යයෙන්ම යන්න ඕනෙ. පන්සලට කරන්න යමක් තියෙනවා නම් ඒක අපි කරන්න ඕනෙ….’ යන්න සජිත්ගේ ස්ථාවරය විය.
60 පැනලාද?
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ 73 වැනි බස් රථය නොච්චියාගම විද්‍යා ආදර්ශ විද්‍යාලයට ලබාදීමට අනුරාධපුරයට ගිය ගමනේදී සජිත් සියලු දෙනා කැටුව මිහින්තලා පුද බිමටද යෑමට පියවර ගත්තේය. වෙනදා මෙන්ම නායක හිමියන් පූජා භූමිය තුළ ප්‍රසිද්ධියේ එම අවස්ථාවට ආසන පැනවීම නිසා සියලු දෙනා සිතා සිටියේ ආණ්ඩුවේ අනෙක් මැති ඇමැතිවරුන්ට මෙන්ම සජිත්ටද මිහින්තලා නාහිමියන් සිය දැඩි විරෝධය පළකරනු ඇතැයි කියාය. කෙසේ වෙතත් කලින් සිතා සිටි පරිදිම මිහින්තලා නාහිමියන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ අතර අවුරුදු 70, 80 ඉක්මවූ මහල්ලන් සිටින මහුල මඩමක් බවට අද පාර්ලිමේන්තුව පත්ව ඇති බව කියා සිටියහ. එහිදී නාහිමියන් සජිත්ගෙන්, ‘ඔබතුමාට අවුරුදු 60 පැනලා නෑ නේද…?’ යනුවෙන් ප්‍රසිද්ධියේ විමසා සිටින්නටද පියවර ගත්හ. සජිත් ඊට සිනහවකින් පිළිතුරු දුන්නා විනා නාහිමියන් කී කිසිදු කරුණකට එරෙහිව එකට එක කියන්නට ගියේ නැත.
සජිත් සියල්ල බාරගනී!
කෙසේ වෙතත් අවසානයේදී සජිත් ඊළඟ පොසොන් පින්කම සිදුකරන ආකාරය, එහි වියහියදම් මෙන්ම විහාරස්ථානයේ අඩුපාඩු පිළිබඳවද නාහිමියන්ගෙන් විමසා සිටීමට කටයුතු කළේය. එහිදී උන්වහන්සේ කියා සිටියේ පොසොන් උත්සවයට කෝටි 3 ඉක්මවූ මුදලක් වැයවනු ඇති බවත්, මෙවර කළාත් මෙන්ම දෙස් විදෙස් දායකයන්ගේ ආධාරයෙන් එය සිදුකිරීමට කටයුතු කරන බවත්ය. නමුත් සජිත් කියා සිටියේ ඊට වැයවන සියලු මුදල සමගි ජන බලවේගයේ බෞද්ධ කමිටුව මගින් දැරීමට සූදානම් බවය. සජිත් එසේ කියා සිටියදී මිහින්තලා නාහිමියන් එය එක්වරම විශ්වාස කිරීමට සූදානම් වූයේ නැත. ඒ නිසා උන්වහන්සේ මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේ එම පොරොන්දුව වාර්තා කර තබාගන්නා ලෙසය. නමුත් සජිත් එහිදී කියා සිටියේ තමන් කී වචනය එලෙසම ආරක්ෂා කරන දේශපාලනඥයකු යැයි කියාය.
එකට එක කියනවා නෙමෙයි!
‘මම මේ ඔබවහන්සේ එක්ක එකට එක කියනවා නෙවෙයි. මම වචනයක් දුන්නොත් ඒක ඒ විදියෙන්ම ආරක්ෂා කරනවා. ලබන පාර පොසොන් පින්කම සිදුකිරීම සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම භාරගන්නවා…’ යැයි කී සජිත් පුදබිමේ වෙනත් අඩුපාඩු මොනවාද කියා නාහිමියන්ගෙන් විමසා සිටීමටද අමතක කළේ නැත.
එහිදී නාහිමියන් කියා සිටියේ හෙට අනිද්දාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරනු ඇති බවත්, ඒ හේතුවෙන් සූර්ය පැනල පද්ධතියක් ඉදිකිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බවත්ය. ඒ මොහොතේම සජිත් උන්වහන්සේට කියා සිටියේ මිහින්තලා පුදබිම සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ඒකාලෝක කිරීමේ කටයුත්ත තමන් භාරගන්නවා යැයි කියාය. පිළිගත් ආයතනයක් ලවා එම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කිරීමට තමන් කටයුතු කරන බවද සජිත් එහිදී කියා සිටියේය.
තවත් ඉල්ලීම් දෙකක්!
එමෙන්ම නායක හිමියන් තවත් විශේෂ ඉල්ලීම් දෙකක්ද එහිදී ඉදිරිපත් කරනු ලැබීය. ඉන් එකක් වූයේ මිහින්තලා නගරයේ ප්‍රධාන පාසල් දෙකක් ඇති බැවින් සජිත්ගේ සක්වල වැඩසටහන යටතේ ඒවාටද බස් රථ පරිත්‍යාගයක් සිදුකරන ලෙසටය. දෙවැනි ඉල්ලීම වූයේ තැබෑරුම්, මස් කඩ නොමැති ලංකාවේ එකම නගරය වූ මිහින්තලාවට මේ වන විට බියර් බලපත්‍රයක් නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවත්, රජරට විශ්වවිiාලයට ආසන්නයේ එම තැබෑරුම විවෘත කිරීමට කටයුතු කොට ඇති බවත්, වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නා ලෙසත්ය.
නාහිමියන්ගේ මෙම ඉල්ලීම් දෙකටම ඒ මොහොතේම යහපත් ප්‍රතිචාර දැක්වූ සජිත් කියා සිටියේ බස් රථය ලබාදීමේ කටයුත්ත තමන් ඉටුකරන බවත්, තැබෑරුම පිළිබඳ ගැටලුව තමන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත්ය.
පොහොට්ටු මන්ත්‍රීත් ඇවිත්!
කෙසේ වෙතත් මෙම ගමනේදී තවත් එක් විශේෂ පුද්ගලයෙක්ද සජිත් සමග එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ වෙන කවුරුවත් නොව පොහොට්ටුව නියෝජනය කරමින් අනුරාධපුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි කේ.ජී.එස්. කුමාරසිරි මහතාය. සජිත් අනුරාධපුරයට පැමිණෙන බව වාර්තා වීමත් සමග සජිත්ට කතා කළ කුමාරසිරි දැනුම් දී සිටියේ තමන්ද මෙම අවස්ථාවට එක්වීමට කටයුතු කරනවා යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් සජිත් කියා සිටියේ ඊට කිසිදු ගැටලුවක් නැතැයි කියාය. ඒ අනුව සජිත්ගේ අනුරාධපුර ගමනේදී පොහොට්ටු මන්ත්‍රී කුමාරසිරිද ඉදිරියෙන්ම සිටිනු සියලු දෙනාටම දැකගත හැකිව තිබිණි.
15ක් එන්න ඉන්නවා!
අප මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කිරීමටද කටයුතු කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකයකු සහ සජිත් අතර විශේෂ දුරකතන සංවාදයක් පැවැත්වී ඇති බවත්, එහිදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයා තමන් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් 15 දෙනකු සිටින බවත්, ඉදිරියේදී පොහොට්ටුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමග එක්ව දේශපාලනය කිරීමට සූදානම් බව සජිත්ට දැනුම් දී ඇති බවත්ය. එහිදී සජිත්ද ඉදිරියේදී තමන් ගොඩනගන පුළුල්තම දේශපාලන සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස පොහොට්ටු ජ්‍යෙෂ්ඨයාට දැනුම් දී සිටි බවක්ද අපි එහිදී වාර්තා කර සිටියෙමු. මේ බව දැන සිටි සජබ මන්ත්‍රීවරුන් එකිනෙකා සමග කසුකුසු ගාමින් කියා සිටියේ එකත් එකටම පොහොට්ටු මන්ත්‍රි කුමාරසිරිද මෙම කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයකු විය හැකි යැයි කියාය.
ජගත් කුමාරත් ඇවිත්!
මීට අමතරව සජිත් පසුගිය සතියේදී ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී විහාරයේ වස් ආරාධනා කිරීමේ පින්කමටද එක්ව සිටියේය. ඒ සිය බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියත්, සජබ මන්ත්‍රීවරුත් පෙරටු කරගෙනය. මෙම ගමනේදීද සජිත් සමග තවත් පොහොට්ටු මන්ත්‍රීවරයකු එක්ව සිටින ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. ඒ මන්ත්‍රීවරයා වෙන කවුරුවත් නොව, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු ප්‍රබලයකු වූ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ‘අස්වැසුම’ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජගත් පොළොන්නරුවේ සංචාරයක නිරතව සිටි අතර සජිත් එදින සෝමාවතියට එන බව ජගත්ට ආරංචි වී තිබිණි. මේ නිසා ජගත්ද කළේ සිය සංචාරය අතරතුර සෝමාවතියට පැමිණ සජිත් හමුවී සාකච්ඡා කිරීමය. මෙම සාකච්ඡාව පැවැතියේ පින්කම ආරම්භ වීමට පළමුව විහාරස්ථානයේ වෙනත් ස්ථානයකය. මෙහිදී අස්වැසුම වැඩසටහන පිළිබඳ මතුව ඇති බරපතළ ගැටලු ගණනාවක් ජගත් කුමාර, සජිත්ගේ අවධානයට යොමු කළේය. එම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු සජිත්, ජගත්ට කියා සිටියේ තමන් මේ පිළිබඳ විවාදයක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නවා යැයි කියාය. එහිදී මෙම ගැටලු සියල්ල ඉදිරිපත් කරන ලෙස සජිත්, ජගත්ට දැනුම් දීමක්ද කළේය. එමෙන්ම වස් ආරාධනා කිරීමේ පින්කමට එක්වන ලෙසට මෙහිදී සජිත් කළ ආරාධනාව පිළිගෙන ජගත්ද සජිත් සමග එම පින්කමට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
දෙමළ සන්ධානය මෝඩි හමුවෙයිද!
මීට අමතරව පසුගිය සතියේ නැවතත් දේශපාලනයේ ලොකුම මාතෘකාව බවට පත්ව තිබුණේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණද අවසන් තීන්දුවක් නොමැතිවම එය අවසන් වූ ආකාරයක් දැකගන්නට තිබිණි. එහිදී ජනාධිපතිවරයා පොලිස් බලතල නොමැතිව 13 ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දැනුම් දුන්නද දෙමළ සන්ධානය ප්‍රමුඛ උතුරේ අනෙකුත් පක්ෂ කියා සිටියේ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, වහාම පළාත් සභා මැතිවරණය පවත්වා 13 ක්‍රියාත්මක වීම තහවුරු කළ යුතු බවත්ය.
බාග්ලේ හමුවෙයි!
මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පසුගිය සතියේ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එම සාකච්ඡාවට සහභාගි වීමට පෙරාතුව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් තම පක්ෂය තවදුරටත් පෙනී සිටින බවකි. ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවැති සාකච්ඡාවේදීද උතුරු නැගෙනහිරට ලබාදෙන දේශපාලන විසඳුම් මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද නැවත වතාවක් දීර්ඝව සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මීට අමතරව තවත් විශේෂ ඉල්ලීමක්ද දෙමළ ජාතික සන්ධාන පාර්ශ්වයෙන් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් විය. ඒ, පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසටය. ඊට ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් සාධනීය පිළිතුරක් ලැබී ඇති බවක්ද නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
පෞද්ගලික යෝජනාවක්!
මීට අමතරව මේ වන විට සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස කර ඇති යෝජනාවද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරගැනීමට දෙමළ සන්ධානය මේ වන විට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.