රංගගේ අබිරහස
මහා භාණ්ඩාගරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිදුවීම මේ වනවිට හරියට හින්දි සිනමා පටයක මෙන් වරෙක ත්‍රාසජනක බවක්ද, තවත් වරෙක භීතිය මුසු ආකාරයේ එකක් බවටද පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව පසුගිය මාස කීපය පුරා වරින් වර ආණ්ඩුව ඉලක්ක කරගෙන මතුවූ විවිධ මාතෘකා යටපත් කරගෙන අද වනවිට මේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් අතුරුදන් වීම දේශපාලන කරළියේ ඉහළටම පැමිණ ඇති ආකාරයක්ද දැකගැනීමට තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජය ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් මතුවූයේ ආණ්ඩුව මුල සිටම ඒ සම්බන්ධයෙන් ගෙනගිය ක්‍රියාකලාපය මුල්කරගෙනය. විශේෂයෙන්ම ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාස අතරතුරදී මෙම සිදුවීම සිදුව තිබුණද, මීට සති දෙකකට ඉහතදී විපක්ෂ ක්‍රියාකාරිකයකු වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කතානායකවරයාට යොමුකළ ලිපියක් මාර්ගයෙන් එය එළියට එන තෙක්ම ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මෛත්‍රී මෙම සිදුවීම හෙළිකිරීමෙන් පසු ආණ්ඩුව පැත්තෙන් විවිධ පිළිතුරු ලබාදීම නිසාද මේ සම්බන්ධයෙන් බරපතළ සැකයක් සමාජය තුළ මතුවිය. මුලින්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටියේ මෙම සිදුවීම මුලින්ම දැනගත්තේ ජනවාරි මාසයේ යැයි කියාය. නමුත් ඉන් අනතුරුව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙම සිදුවීම මුලින්ම දැනගත්තේ මාර්තු මස 21 වැනිදා යැයි කියාය. නමුත් අප්‍රේල් මස අවසන් සතියේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසන විට හෙතෙම කියා සිටියේ තමන්ද මෙවැනි සිදුවීමක් දැනගත්තේ මෙම ලිපිය ලැබීමත් සමග යැයි කියාය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් මුල සිටම පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ වනු දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
එමෙන්ම මෙම සිදුවීම කරළියට පැමිණීමත් සමග පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගත්තද මුල් අවස්ථාවේදී හර්ෂණ පාර්ලිමේන්තු මුදල් කමිටුවට පැමිණියේ නැත. ඒ වෙනුවට හර්ෂණ මුදල් කමිටුවට ලිපියක් යොමුකරමින් කියා සිටියේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින නිසා තමන් ඉන් අනතුරුව මුදල් කමිටුවට පැමිණ පැහැදිලි කිරීමක් සිදුකරන්නම් යැයි කියාය. නමුත් ඊට එරෙහිව මතුවූ බරපතළ විරෝධය හේතුකොට ගෙන සිය ස්ථාවරය දිනක් ඇතුළත වෙනස් කරමින් අවසානයේදී හර්ෂණ ඊට පසු දින මුදල් කමිටුව හමුවට පැමිණීමට එකඟතාව පළකොට තිබිණි.
කෙසේ වෙතත් මෙහි ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට වැඩ තහනම් කොට සිටි මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයකු වූ රංග නිශාන්ත රාජපක්ෂ මහතා සියදිවි නසාගත් බවට වාර්තා වීමත් සමගය. නමුත් ඒ මරණය සම්බන්ධයෙන් මුල් වරට බරපතළ සැකයක් ඇති බව රටට අනාවරණ කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේවත් නැති චරිතයක් වන උදය ගම්මන්පිලය. හැමදාම වාගේ ආන්දෝලනාත්මක අනාවරණයන් සිදුකරන ගම්මන්පිල වහාම මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම මරණය සැක සහිත එකක් බවට සාක්ෂි පවතින බවත්, රංග නිශාන්තගේ බිරිය එම මරණය සැක සහිත බවට පැමිණිල්ලක් කොට ඇති බවත්ය. එමෙන්ම ඊට අදාළ සිද්ධි ගණනාවක් සිය මාධ්‍ය හමුවේදී රටට ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කළේය.
ඉන් අනතුරුව ඉකුත් අඟහරුවාදා දින පැවැති පාර්ලිමේන්තුවේ රැස්වීමේදීද රංග නිශාන්තගේ මරණය විශාල මාතෘකාවක් බවට පත්වූයේ සජබය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමත් සමගය. විශේෂයෙන්ම මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් දිගටම ප්‍රශ්න කරද්දී ඊට අභියෝග කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ ගම්මන්පිල ඇතුළු විපක්ෂයේ ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවත්, රංග නිශාන්තගේ බිරිය අදාළ මරණය සැක සහිත බවට කිසිදු ස්ථානයක පැමිණිල්ලක් කොට නොමැති බවත්ය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රංග නිශාන්ත මහතාගේ ඥාතීන් සූදානමින් සිටින බවද ආණ්ඩුව පැත්තෙන් කියැවිණි.
කෙසේ වෙතත් ඒ සමගම නැගී සිටි අජිත් පෙරේරා මහතා අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් ලිපි දෙකක් සභාගත කිරීමට පියවර ගත්තේය. ඉන් පළමු ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අසේල ගුණවර්ධන මහතා විසින් හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත ලියා තිබූ අතර, එහි තිබුණේ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත එකක් බවට බිරිය ප්‍රකාශ කොට ඇති බවකි. දෙවැනි ලිපියෙන් දැක්වුණේ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියකි. එහිද අදාළ මරණය සැක සහිත එකක් බවට වාර්තා කර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
එමෙන්ම සිය කතාවේදී අජිත් පී. පෙරේරා මරණ පරීක්ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳවත්, ඊට සහභාගි වී සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධවත් බරපතළ ප්‍රශ්න ගණනාවක් පවතින බවත් සිය කතාවේදී අවධාරණය කර සිටියේය. එදිනම පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී නැවතත් ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස රංග නිශාන්තගේ බිරිය කිසිදු පොලිස් ස්ථානයකට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර නොමැති බවත්, බණ සහ දානමය පින්කම් අවසන් වූ පසු එම පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත්, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට සිදුකෙරෙනු ඇති බවත් කියා සිටියේය.
සිද්ධිය හැංගුවේ කව්ද?
කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් සිදුවෙද්දී භාණ්ඩාගාරයෙන් මුදල් අතුරුදන් වීමේ සිද්ධිය මුලින්ම එළියට දැමූ මෛත්‍රී ගුණරත්න මහතා තවත් විශේෂ කරුණක්ද මෙහිදී අනාවරණ කර තිබිණී. ඒ, තමන්ට මෙම තොරතුර භාණ්ඩාගාරයේ පාර්ශ්වයෙන් ලැබීමට පෙර විපක්ෂයේ ප්‍රබලයන් තුන්දෙනෙකුට භාණ්ඩාගාරය ඇතුළෙන් මෙම තොරතුරු ලබාදී ඇති බවත්, ඔහු විසින් එය රටට හෙළිදරව් කිරීම ප්‍රමාද කිරීම නිසා තම පාර්ශ්වයෙන් එය රටට අනාවරණ කළ බවත්ය. මෛත්‍රී එහිදී නොකියා කීවේ භාණ්ඩාගාරය ඇතුළෙන්ම විපක්ෂයේ සිටින ප්‍රබල මන්ත්‍රීවරු කීපදෙනකුට මෙම තොරතුර මුලින්ම ලබාදී ඇති බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ නොකියා නිහඬව සිටි බවත්ය. මෛත්‍රීගේ මෙම ප්‍රකාශයත් සමග බොහෝ දෙනා සැක පහළ කොට තිබුණේ පසුගිය ආණ්ඩු සමයේදී විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග ඩීල් දමාගෙන සිටි ආකාරයටම වත්මන් මාලිමා ආණ්ඩුව යටතේද විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඩීල් දමාගෙන සිටිනවාදැයි කියාය. එසේ නම් මේ ඩොලර් මිලියන 2.5 අතුරුදන් වීම සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලැබී නිහඬව සිටි විපක්ෂයේ ප්‍රබලයන් කවුද?
මෛත්‍රී ගුණරත්නගේ මෙම ප්‍රකාශය මාධ්‍ය මගින් පෙන්වා දෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට ලැබිණි. ඒ වනවිටත් මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදී දැඩිව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට සජබය තීන්දු කොට තිබීම නිසා සජිත් වහාම කළේ තොරතුරු ලැබී තිබියදීත් මේ සම්බන්ධයෙන් කිසිවකුත් දැනුවත් නොකොට නිහඬව සිටි විපක්ෂයේ ප්‍රබලයන් කවුරුන්ද කියා දැනගැනීමට මෛත්‍රී ගුණරත්නට දුරකතන ඇමතුමක් ලබාදීමය. මෛත්‍රී ගුණරත්න යනු සජබයට හෝ සජිත්ට ආගන්තුකයකු නොවේ. සජිත් හා මෛත්‍රී අතර අතීතයේ සිටම ඉතා සමීප හිතවත්කමක් තිබිණි. ඒ හිතවත්කම කොපමණද කියනවා නම් එජාපයේ සිට සජිත් සජබය නිර්මාණය කොට එළියට එද්දී මෛත්‍රීද ඒ ගමනේ ඉදිරියෙන්ම සිටි අයකු විය. නමුත් පසුව විවිධ මතගැටුම් හේතුකොට ගෙන මෛත්‍රී සජබයෙන් ඉවත් විය. නීතිඥවරයකු ලෙස ක්ෂේත්‍රයේ ඉහළ කීර්ති නාමයක් අත්පත් කරගෙන සිටින නිසා මෛත්‍රී පසුව තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වී උසාවියේ නඩුවලට පෙනීසිටි ආකාරයක් දැකගන්නට තිබිණි.
ඒ අනුව කලකට කතා කිරීම නිසා මුලින් ආගිය තොරතුරු කතාකිරීමෙන් අනතුරුව සජිත් කෙළින්ම මෛත්‍රීගෙන් විමසා සිටියේ භාණ්ඩාගාරයෙන් මුලින්ම මෙම තොරතුර ලබාදී තිබුණේ විපක්ෂයේ කුමන මන්ත්‍රීවරුන්ටදැයි කියාය.
‘ඔයා ප්‍රෙස් එකේදි කියලා තිබුණා මුලින්ම මේ තොරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙක්ට දීලා තියෙනවා කියලා. මට දැනගන්න ඕනේ ඒ තුන්දෙනා අතර අපේ පක්ෂයේ කවුරු හරි ඉන්නවද කියලා. මොකද ඒ වගේ අතිශය බරපතළ තොරතුරක් අපේ කෙනෙක්ට දුන්නා නම්, ඒක පක්ෂයටවත්, රටටවත් දැනුම් නොදී නිශ්ශබ්දව හිටියා නම් ඒක බරපතළ වැරැද්දක්. එහෙම නම් එයාට ආණ්ඩුවත් එක්ක ලොකු ඩීල් එකක් තියෙන්න ඕනේ…’ යනුවෙන් සජිත් කියද්දී කවදත් කෙළින් කතාකරන මෛත්‍රී එදිනද සජිත්ට කෙළින්ම භාණ්ඩාගාරයෙන් තොරතුරු ලැබුණු ඒ විපක්ෂ මන්ත්‍රීවරයාගේ නම සජිත්ට දැනුම් දී සිටියේය. එහිදී මෛත්‍රී කියා සිටියේ තුන් හතරදෙනකුට තොරතුරු ලැබුණු කතාව අසත්‍යයක් බවත්, තොරතුරු ලැබුණු එකම කෙනා එම මන්ත්‍රීවරයා බවත්ය. ඒ අනුව එම මන්ත්‍රීවරයාගේ නම කන වැකුණු සැණින් සජිත්ද පුදුමයට පත්විය.
කෙසේ වෙතත් අපට නම් මෛත්‍රීගේ මේ හෙළිදරව්වේ කිසිම පුදුමයක් නැත. ඒ මන්ද යත් අප මෙම මන්ත්‍රීවරයා පිළිබඳ සහ ඒ මන්ත්‍රීවරයාගේ රහස් ඩීල් පිළිබඳ කාලයක් තිස්සේ ‘රාජ්‍ය රහස්’ තීරයේ තොරතුරු වාර්තා කරමින් සිටීම නිසාය. මේ හේතුව නිසා මෙම මන්ත්‍රීවරයා ‘මව්රට’ සමග විශාල කේන්තියකින් සිටින බවද අප නොදන්නවා නොවේ. නමුත් ඒ කිසිවක් මායිම් නොකොට මෙම මන්ත්‍රිීවරයාගේ යටගියාව, පැවැති ආණ්ඩු කිහිපයක් සමග ඔහුගේ ඇති සම්බන්ධකම් සහ ගනුදෙනු වසර ගණනාවක් තිස්සේ අප වරින් වර හෙළි කළේ සජබ පාක්ෂිකයන්ද මේ මන්ත්‍රීවරයාගේ යථා තත්ත්වය, නියම ස්වරූපය තේරුම්ගත යුතු වීම නිසාය. මෛත්‍රී එදා සජිත්ට හෙළි කර සිටියේද වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට හෙළිකළ එම මන්ත්‍රීවරයාගේ නම මිස වෙන නමක් නොවේ.
නමුත් මෙවරද අප ‘රාජ්‍ය රහස්’ තීරයේ එම මන්ත්‍රිීවරයාගේ නම හෙළිකිරීමට කටයුතු කරන්නේ නැත. නමුත් අප නොකීවාට ‘රාජ්‍ය රහස්’ කියවන සියලු පාඨකයන් දැනටමත් මේ මන්ත්‍රීවරයාගේ නම හොඳාකාරවම දන්නා බව අපගේ විශ්වාසයය. නමුත් අප තවමත් එම නම ප්‍රසිද්ධ නොකරන්නේ නියම අවස්ථාවේදී තවත් විශාල තොරතුරු රැසක් සමග මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අප සූදානම් නිසාය. විශේෂයෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් සමග මෙම විපක්ෂ මන්ත්‍රීවරයා ලොකු ලොකු හෝටල්වල කා බී දැමූ ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳවත්, ඇතැම් මහාපරිමාණ ගනුදෙනු යටගැසූ ආකාරය පිළිබඳවත් එහිදී සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.
හර්ෂණට තවත් බාල්දියක්
කෙසේ වෙතත් භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලබා සිටින හර්ෂණ සූරියප්පෙරුම මහතාට පසුගිය සතියේ තවත් ප්‍රබල චෝදනාවක් සර්ව ජන බලයෙන් එල්ල විය. එහි මහලේකම් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හර්ෂණ යනු ශ්‍රී ලංකා සහ ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියකු යැයි කියාය. ඊට අදාළව හර්ෂණගේ විදෙස් ගමන් බලපත්‍රයේ අංකයද මෙහිදී අනාවරණ කිරීමට හෙතෙම කටයුතු කළේය. ඉන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ විපක්ෂය චෝදනා කරන ආකාරයට හර්ෂණ ද්විත්ව පුරවැසිභාවය සහිත වූවකු නම් ඔහු පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ කෙසේදැයි කියාත්, අමාත්‍යවරයකු වශයෙන් රාජකාරි කළේ කෙසේදැයි කියාත්ය. සාමාන්‍යයෙන් ලංකාවේ නීතිය අනුව ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය. ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ යන දෙදෙනාටම පසුගිය ආණ්ඩු සමයේදී සිය මන්ත්‍රී ධුර අහිමි කරගැනීමට සිදුවූයේ ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දෙන විට විදෙස් රටක පුරවැසිභාවය හිමිකරගෙන සිටි නිසාය. කෙසේ වෙතත් කැබිනට් මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී අමාත්‍ය නලින්ද ජයතිස්සත්, පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් ඇමැති අනිල් ජයන්තත් කියා සිටියේ එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවකි. එසේ කීවද ඒ කිසිදු තැනකදී හර්ෂණගේ පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත් ලිපිලේඛන ඉදිරිපත් කිරීමක් සිදුවූයේ නැත. එමෙන්ම පසුගිය බදාදා දිනයේදී නැවත වතාවක් මෙම ප්‍රශ්නය කරළියට ගෙනා සර්ව ජන බලයේ මහලේකම්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අභියෝග කර සිටියේ හැකි නම් හර්ෂණට සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් ලිපිය ප්‍රසිද්ධියට පත්කරන්නැයි කියාය. එය හරියට ආචාර්ය අශෝක රන්වල මහතාගේ ජපන් උපාධිය හා සමාන කතාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව දෙපැත්තට විවිධ කරුණු හුවමාරු වන පසුබිමක් යටතේ කවුරුන් හෝ යම් හෙයකින් අධිකරණය හමුවේ මෙම සිද්ධිය අභියෝගයට ලක්කළහොත් එය ලංකා ඉතිහාසයේ තවත් ආන්දෝලනාත්මක නඩුවක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
මාලිමා කැරැල්ල
අනෙකුත් ආණ්ඩුවල මෙන් නොව මාලිමා ආණ්ඩුව ඇතුළේ සිදුවන සිදුවීම්, මතුවන අර්බුද, මතගැටුම් ආදිය එළියට එන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ මාධ්‍යයන් එවැනි මතගැටුම් පැවැතියද ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ලියූ ආකාරයක්ද පසුගිය කාලසීමාවේ දැකගන්නට ලැබුණේ නැත. නමුත් ‘මව්රට’ පුවත්පත ආරම්භයේ සිටම අනෙකුත් පක්ෂ ඇතුළේ මෙන්ම මාලිමා ආණ්ඩුව ඇතුළේ ඇති මතගැටුම්, අර්බුද, වාද විවාද, සංවාද ආදිය පිළිබඳවද නිරන්තරයෙන්ම වාර්තා කිරීමට කටයුතු කළේය. උදාහරණයක් ලෙස ආණ්ඩුව ඇතුළේ අගමැති ධුරය සම්බන්ධයෙන් මාලිමාව සහ ජවිපෙ අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අනාවරණ කළේ මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස එකහමාරක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළතදීය. එමෙන්ම පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ආණ්ඩුව ඇතුළේ සිටින මන්ත්‍රීවරුන් 12 දෙනකු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අසතුටින් සිටින බව සඳහන් කරමින් ජවිපෙ වෙත ලිපියක් යොමුකොට තිබූ බවක්ද වාර්තා කළෙමු. එම ලිපිය ඔස්සේ ඔවුන් ඉදිරියේදී දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව සඳහන් කොට තිබූ බවක් වාර්තා කළ අප එම ලිපිය හරහා ආණ්ඩුව ඇතුළෙන්ම බරපතළ සංඥාවක් නිකුත් වී ඇති බවක්ද වාර්තා කළෙමු.
කෙසේ වෙතත් මෙම ලිපිය ලැබීමත් සමග දේශපාලනය පිළිබඳ හරිහැටි දන්නා කියන ජනාධිපතිවරයා නම් ඒ හරහා මතුවිය හැකි අනතුර කල්තියාම වටහාගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. මාලිමාවෙන් මන්ත්‍රීවරු 159ක් පාර්ලිමේන්තුවට පැමිණියද, එහි උපන්ගෙයි මන්ත්‍රීවරුන් සිටින්නේ 60කට ආසන්න ප්‍රමාණයකි. ඉතිරි 90ම වෙනත් ක්ෂේත්‍රවලින්, වෙනත් පක්ෂවලින්, විවිධ වෘත්තීන්වල නියැලී සිට පාර්ලිමේන්තුවට පැමිණි පිරිස්ය. ඒ හේතුවෙන් සිය පක්ෂයේ සාමාජිකයන් පාලනය කරනවාක් මෙන් දරදඬු පාලනයක් මේ පිරිස අරබයා ගෙනයෑමට පැලවත්තට නොහැක. පසුගිය කාලය පුරා සිදුවූ යම් යම් සිදුවීම්වලදී ඇතැම් මාලිමා මන්ත්‍රීවරුන් පාලනය කිරීමට පැලවත්ත දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන.
එමෙන්ම මුල් කාලයේදී මෙන් නොව මාලිමා මන්ත්‍රීවරුන්ගේ යම් යම් වෙනස්කම්ද මේ වනවිට පාර්ලිමේන්තුව පැත්තෙන් දැකගන්නට තිබේ. මුල් කාලයේදී නම් මේ මාලිමා මන්ත්‍රීවරුන් කිසිවකුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සජබයේ මන්ත්‍රීවරුන් සමග කිසිදු කතාබහක් සිදුකළේ නැත. කිසිදු ඇයිහොඳැයියක් පැවැත්වූයේ නැත. අඩුම තරමේ මුහුණට මුහුණ හමුවුවද හිනාවූයේ හෝ නැත. පාර්ලිමේන්තු භෝජනාගාරයේදී හමුවුවද එකට කන්න බොන්න ගියේ නැත. එක මේසයේ වාඩිවී සිටියේ නැත. ඒ කාලයේ මේ මාලිමා මන්ත්‍රීවරුන් හැසිරුණේ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වඩා අපි වෙනස් යැයි කියන අලුත් දේශපාලන සංස්කෘතියක් යටතේය.
නමුත් දැන් දැන් මාලිමා මන්ත්‍රීවරුන්ගේ මේ අලුත් දේශපාලන සංස්කෘතිය වෙනස් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ සියල්ලන්ම නොව මාලිමාවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 15ක් 20ක් පමණ එම සංස්කෘතියෙන් ගැලවී සජබයේ මන්ත්‍රීවරුන් සමග ඉතා කුලුපග හිතවත්කමක් ඇතිකරගෙන තිබීම නිසාය. ඒ අනුව මේ වනවිට මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ භේදයකින් තොරව සජබයේ මන්ත්‍රීවරුන් සමග කතාබහ කරන, සිනාසෙන, පාර්ලිමේන්තු භෝජනාගාරයේදී එකට කන බොන දසුන් නිතර දැකගත හැකිය. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට ගිය විට බොහෝ දුරට කතාබහ කරන්නේද මාලිමාවේ මැති ඇමැතිවරුන් සමගය. සජිත්ද බොහෝ වේලාවලදී මාලිමා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සමග එකම මේසයේ ඉඳගෙන කතාබහ කරමින්, සිනාසෙමින් දිවා ආහාරය ගන්නා ආකාරයක් දැකගන්නට පුළුවන.
ඒ අනුව මාලිමාවේ මන්ත්‍රීවරුන් අතර ඇතිවී ඇති මෙම වෙනස කුමක්ද?
මෙම මාලිමා මන්ත්‍රීවරුන් ජවිපෙ මන්ත්‍රීවරුන් මෙන් නොව රටේ වෙනත් පිළිගත් ඉහළ පෙළේ වෘත්තීන්වල කාලයක් පුරා රැකියාවන්වල නිරත වූවෝ වෙති. නමුත් ජවිපෙ ප්‍රතිපත්තියක් ලෙස වැටුප් සහ වරප්‍රසාද නොගැනීම නිසා ඉහළ වෘත්තීන්හි සිට පාර්ලිමේන්තු පැමිණි මෙම මන්ත්‍රීවරුන්ටද වැටුප් සහ වරප්‍රසාද අහිමිව ගොස් තිබේ. ඒ හරහා ඔවුන්ට මේ වනවිට ඔවුන් මෙතෙක් ගතකළ සුවපහසු, වරප්‍රසාද සහිත ජීවිතය ගතකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ ඒ මාලිමා මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මේ ගැටලු කතාකිරීමේ තැනක් නොමැති වීමය. පැලවත්තට ඔවුන්ගේ ප්‍රශ්න දැනුම් දුන්නද ඊට පැලවත්තෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා අවමය. අමාත්‍යාංයකට වැඩක් කරගන්නට ගියද එහිදී ප්‍රමුඛතාව හිමිවන්නේ ජවිපෙ මැති ඇමැතිවරුන්ටය. පසුගියදා මාලිමාවේ මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ ලිපියක් මගින් එළියට පැන්නේ කාලයක් පුරා මාලිමා ආණ්ඩුව ඇතුළේ පැසවමින් පැවැති මේ කැරැල්ලය.
පාර්ලිමේන්තු කැමරාව
ඉතිහාසයේ පැවැති ආණ්ඩුවලදී පවා මේ ආකාරයට මන්ත්‍රීවරුන් අතර යම් යම් කැරැලි ඇති නොවුණා නොවේ. මේ හේතුකොටගෙනම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉඟරු කල්ලිය, මිරිස් කල්ලිය, කරපිංචා කල්ලිය වැනි විවිධ කල්ලි කණ්ඩායම්ද පසුපෙළ මන්ත්‍රීවරුන් අතර නිර්මාණය වී තිබිණි. නමුත් ඒ ඒ ආණ්ඩුවලදී මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කැරැලි විසඳා ගැනීම සඳහා ඒ ඒ ආණ්ඩුවල සිටි ජනාධිපතිවරුන් විවිධ උපක්‍රම දියත් කොට තිබිණි. ඉන් එක් උපක්‍රමයක් වූයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්බන්ධතාවක් ඇතිකිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළේ විශේෂ බලයක් ඇති තනතුරක් පිහිටුවීමය. එම තනතුර හැඳින්වූයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා යැයි කියාය. බොහෝ දුරට මෙම නිලධාරියා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ දුක්ගැනවිලි ජනාධිපතිවරයා සමීපයට ගෙනයන දුක්ගන්නාරාළ විය. මන්ත්‍රීවරුන්ට ඇති ප්‍රශ්න ඒ මොහොතේම ජනාධිපතිවරයා සම්බන්ධ කොට විසඳා දුන්නේ පාර්ලිමේන්තුවේ සිටින මේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියාය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී මේ තනතුර සඳහා පත්කොට තිබුණේ චන්ද්‍රිකාට අතිශය සමීප සහ විශ්වාසවන්ත පුද්ගලයකු වූ පී. දිසානායක මහතාය. ඔහුට ඕනෑම අවස්ථාවක චන්ද්‍රිකා සමග ඍජුව සම්බන්ධ වීමේ හැකියාව තිබිණි. ඒ අනුව එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේද ප්‍රශ්න ඒ මොහොතේම චන්ද්‍රිකාට දැනුම්දී ඒවාට විසඳුම් ලබාදීමට එකල මේ කියන දිසානායක කටයුතු කොට තිබිණි.
මෙම තනතුර ඉතා ප්‍රබල තනතුරක් බවට පත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වසර 10ක් වූ පාලන සමයේදීය. එවක මහින්දගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරියා වූයේ කුමාරසිරි හෙට්ටිගේය. හෙට්ටිගේ යනු මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි. මේ නිසාම හෙට්ටිගේට එකල සිටම ඕනෑම පක්ෂයක පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සමග සමීප හිතවත්කම් තිබිණි. එකල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නිතරම සිය පෞද්ගලික මෙන්ම රාජකාරිමය ප්‍රශ්න රැගෙන දුක කියන්න ගියේ හෙට්ටිගේගේ කාමරයටය. හෙට්ටිගේද වහාම එම ප්‍රශ්න මහින්දට දැනුම් දෙමින් ඒවා විසඳා දීමට කටයුතු කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා ජනාධිපතිවරයා ලවා යම් යම් කටයුතු කරගත්තේ හෙට්ටිගේගේ කාමරයේ සිටය. ඒ නිසාම ඒ කාලයේදී හෙට්ටිගේගේ කාමරය දේශපාලන ඩීල්වලට, දේශපාලන ගේම්වලට කියාපු දේශපාලන තිප්පොළක් විය. හෙට්ටිගේද මේ සියල්ල බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගැසූ නිසා එකල ඒ තනතුරට විශාල බලයක්, හයියක් තිබිණි.
නමුත් මහින්දගෙන් පසු බලයට ආ ගෝඨාට මේ වැඩේ හරියට කරගන්නට බැරිව ගියේය. ගෝඨා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග සම්බන්ධීකරණය නිසි අයුරින් පවත්වාගෙන යෑමට හැකි චරිතයක් එකල ගෝඨාට සිටියේ නැත. මේ නිසා ගෝඨා හා පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර විශාල දුරස් බවක් තිබුණා පමණක් නොව, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තම ප්‍රශ්නයක් හෝ ගේඨා වෙත ගෙන යෑමට වාතාවරණයක් තිබුණේ නැත. ගෝඨාගේ ආණ්ඩුව දුර්වල වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස එය දැකගන්නට ලැබිණි.
ගෝඨාගෙන් පසුව පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත්වූ රනිල්ගේ ආණ්ඩුවේදී සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරියා ලෙස රනිල් පත් කළේ මහාචාර්ය ආශු මාරසිංහය. ආශුද හෙට්ටිගේ මෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දුක් ගැනවිලි රනිල්ට දැනුම් දෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳාලමින් ලොකු වැඩකටයුත්තක් සිදුකළ ආකාරය දැකගත හැකි විය.
අනුර කැමරාව හයිකළා
නමුත් රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ ගෙවුණු වසර එකහමාරක කාලය පුරාම ජනාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බැලන්ස් කරන කටයුත්ත සිදුකරන්නට කිසිවෙකුත් සිටියේ නැත. නමුත් ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කම, කලකිරීම, විපක්ෂය සමග අමුතු ඇඟෑලුම්කම් පෑම වැනි හේතු නිසාදෝ පසුගිය 27 වැනි දින ජනාධිපතිවරයා පළමු වතාවට මෙම පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ තනතුර සඳහා පුද්ගලයකු පත්කිරීමට පියවර ගත්තේය. ඔහු නමින් කේ.එන්.එම්. කුමාරසිංහය. ඊට පෙරාතුව මෙම කුමාරසිංහ රාජකාරි කරනු ලැබුවේ ජනාධිපති අතිරේක ලේකම් (දූෂණ විරෝධී හා විශේෂ විධිවිධාන) තනතුරේය. ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිංහව පත් කළේ මේ කියන ජනාධිපති අතිරේක ලේකම් තනතුරේ රාජකාරිවලට අමතරවය. මේ කුමාරසිංහ අතීතයේ සිටම ජවිපෙට ඉතා සමීපව කටයුතු කළ අයකු ලෙස ඇතැමුන් හඳුන්වා දුන්නත්, එහි ඇත්ත නැත්ත පිළිබඳ අප වෙත වැඩිදුර තොරතුරු නැත.

ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම අලුත් වෙනස දුටු බොහෝ දෙනා පාර්ලිමේන්තුවේදී සිය හිතවතුන් සමග අදහස් දක්වමින් කියා තිබුණේ අනුරද දැන් මහින්දගේම අඩිපාරේ යන්න පටන්ගෙන ඇතැයි කියාය. එය සත්‍යයක් වුවහොත් මින් මතුවට කුමාරසිරි හෙට්ටිගේගේ කාලයේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරුන් පෝලිමේ පැමිණ හෙට්ටිගේට දුක කීවා සේ ඉදිරියේදී කුමාරසිංහගේ පාර්ලිමේන්තු කාර්යාලයටද මාලිමාවේ මන්ත්‍රීවරුන් පෝලිමේ පැමිණ සිය දුක්ගැනවිලි දැනුම්දෙනු ඇත. කුමාරසිංහ ඒවා ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම්දී මාලිමාවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ නොහොඳ නෝක්කාඩු කලකිරීම් අවසන් කරනු ඇත. එමෙන්ම හෙට අනිද්දා වනවිට මාලිමාවේ මන්ත්‍රීවරුන්ට පමණක් ඇරී තිබූ මෙම කුමාරසිංහගේ පාර්ලිමේන්තු කාර්යාලයේ දොරටු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ඇරෙනු නොඅනුමානය.
ජනාධිපතිවරයා සිදුකළ මෙම වෙනසත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගිය තවත් කසුකුසුවකින් කියැවුණේ බිමල්ගේ පාර්ලිමේන්තු බලය බිඳහෙළීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ක්‍රියාත්මක කොට ඇති බවය. පසුගිය වසර එකහමාරක කාලය තුළදී බැලූ බැල්මට ඕනෑම කෙනකුට පෙනෙන්නට තිබුණේ ජනාධිපතිවරයා ආර්ථික කටයුතු, ජාත්‍යන්තර කටයුතු, දේශපාලන කටයුතු මෙහෙයවද්දී පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ බිමල්ගේ සහ පැලවත්තේ උපදෙස්වලට අනුව ක්‍රියාත්මක කෙරුණු බවය. ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට ඇඟිලි ගසන්නට ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් කුමාරසිංහගේ පත්කිරීම හරහා ජනාධිපතිවරයාට දැන් මාලිමාවේ මන්ත්‍රීවරු සමග පමණක් නොව, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පවා ඍජුව ගනුදෙනු කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ. ඒ හරහා මෙතෙක් බිමල්ට තිබූ පාර්ලිමේන්තුවේ 100%ක බලය හරි අඩකින් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් කපාදැමීමට ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අලුත් පාර්ලිමේන්තු නිලධාරියා වූ කුමාරසිංහද ඉකුත් ජනාධිපතිවරුන්ගේ කාලයේ සිටි පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරුන් කටයුතු කළ ආකාරයටම කටයුතු කළහොත් වැඩිකල් නොයාම එම කාමරය පාර්ලිමේන්තුවේ ඇති ප්‍රබලම දේශපාලන කාමරය බවට පත්වනු නොඅනුමානය.
එමෙන්ම ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා හා බදාදා යන දින දෙකේම පාර්ලිමේන්තුවට පැමිණ කුමාරසිංහවත් ඉදිරියේ තබාගෙන මන්ත්‍රීවරුන් සමග සුහදව කතා කොට තිබුණේ ඔහුට තවත් හයියක් වීමේ අරමුණින් විය යුතුය.
උපදෙස් දුන්නේ ප්‍රභාත්
මේ ආකාරයට ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දුරස්ථභාවය අකා මකා දැමීම සඳහා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නේ කවුද?
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු සොයද්දී ජනාධිපතිවරයාගේ ඔළුවට මෙම අදහස දැමූ පුද්ගලයාගේ නම ‘රාජ්‍ය රහස්’ තීරයට සොයාගත හැකි විය. ඒ, වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ප්‍රභාත් චන්ද්‍රකීර්තිය. තරුණයකු වන ප්‍රභාත් අතිදක්ෂ නිලධාරියකු ලෙස ගෙවුණු කෙටි කාලය ඇතුළත ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර නමක් දිනාගෙන සිටින අයකු බව කියැවේ. මෙම තනතුර සඳහා කුමාරසිංහගේ නම ප්‍රභාත් විසින්ම යෝජනා කළාද නැද්ද යන්න පිළිබඳ තොරතුරු නැතත්, මේ වනවිට ප්‍රභාත් ජනාධිපති කාර්යාලයේ තමන් වෙත වෙන්කොට ඇති කාර්යාලයේ සිට ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපාලනමය ව්‍යුහය නැවත නිසි මගට ගැනීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බවක් ආරංචිය.
විජේ යාපනයට
පසුගියදා අවසන් වුණු තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණයෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවුණු පරිදි පළමු වතාවට පක්ෂයක් ගොඩනගාගෙන දේශපාලනයට පිවිසි සුපිරි නළු තලපති විජේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය තමිල්නාඩුවට පමණක් නොව ලංකාවටද විශාල වශයෙන් බලපාන සිදුවීමක් වන්නේ මැතිවරණයට පෙරාතුව සිටම තලපති විජේ ලංකාව සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම නිසාය. එහිදී විජේ කියා සිටියේ කලක් ඉන්දියාවට අයත්ව මේ වනවිට ලංකාවේ අයිතියට පවරා ඇති කච්චතිව් දූපත යළිත් වතාවක් ඉන්දියාවට පවරාගත යුතු බවය. විජේ කළ එම ප්‍රකාශය ලංකාව ඇතුළේ කෙතරම් අර්බුදයක් නිර්මාණය කළාද කියනවා නම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම කච්චතිව් දූපතට ගොස් විජේගේ ප්‍රකාශය හාස්‍යයට ලක්කරමින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් එකක් බවත්, එය කිසිදු අවස්ථාවක යළි පවරා දීමට කටයුතු නොකරන බවත් ප්‍රකාශ කර සිටියේය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය එකල මෙරට මාධ්‍යවල පමණක් නොව ඉන්දියාවේ මාධ්‍යවල පවා ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ ආකාරය දැකගත හැකි විය.
කෙසේ වෙතත් තලපති විජේගේ ජයග්‍රහණයත් සමග නායකයකු නොමැතිව සිටි උතුරේ ජනතාවට කලකට පසු දේශපාලන වීරයෙක් බිහිවූ ආකාරය දැකගත හැකි වූයේ එම ජයග්‍රහණය රතිඤ්ඤා දල්වමින් මහත් ඉහළින් සැමරීමට ඔවුන් කටයුතු කර තිබීම නිසාය. තලපති විජේ පැමිණිමට පෙර උතුරේ වීරයා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව එල්.ටී.ටී.ඊ.යේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. නමුත් ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු ගෙවුණු වසර 17ක කාලය පුරාම උතුරේ ජනතාවට හරිහමන් නායකයෙක් සිටියේ නැත. තමිල්නාඩුවේ මාධ්‍ය පවා විජේගේ ජයග්‍රහණය වාර්තා කොට තිබුණේ කාලයකට පසුව තමිල්නාඩුවේ බලය ‘නියම දමිළයන්’ (පියෝ ද්‍රවිඩියන්ස්) අතට පත්ව ඇතැයි කියාය. ඒ අනුව අද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ තලපතිගේ තමිල්නාඩු ආක්‍රමණයත් සමග ලංකාවේ දේශපාලනයද විශාල අර්බුදයක් කරා යෑමේ ලකුණු පහළ කොට ඇතැයි කියාය.
තලපති විජේ යනු අතීතයේ සිටම ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකි. යුද සමයේදී අවස්ථා කීපයකදීම තමිල්නාඩුවේ සුපිරි නළුවන් එල්.ටී.ටී.ඊ.යට පක්ෂපාතී උද්ඝෝෂණ උපවාස කරද්දී විජේද නිරතුරුවම එහි ඉදිරිපෙළ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. එමෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න, උතුරේ ධීවර ප්‍රශ්න මෙන්ම කච්චතිව් දූපත පිළිබඳවද අවස්ථා කීපයකදීම විජේ ප්‍රබල ලෙස අදහස් දක්වා තිබිණි. ඒ අනුව බොහෝ දෙනා කියා සිටින්නේ විජේගේ මේ තමිල්නාඩු ආක්‍රමණයත් සමග ඉදිරියේදී විජේ උතුරේ නැගෙනහිර දේශපාලනය මුල්කරගෙන ඉතා ප්‍රබල චරිතයක් වනු ඇතැයි කියාය.
මෝදිගේ පාලම් සිහිනය
එවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ තවත් සුවිශේෂ සිදුවීමක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා කළ විශේෂ ප්‍රකාශයක් හරහා සිදුවිය. කොළඹ පැවැති උත්සවයක් අතරතුරදී කාලයක් තිස්සේ රතු පලස් යට දමා සඟවා තිබූ මාතෘකාවක් යළි කරළියට ගෙනා සංතෝෂ් ජා ප්‍රකාශ කොට සිටියේ වහාම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමෙන් යාකරන පාලම ඉදිකළ යුතු බවත්, එය දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති බවත්ය. විජේගේ ආක්‍රමණයත් සමග සංතෝෂ් ජා හිටිහැටියේම එළියට පැමිණ මෙවැනි ප්‍රකාශයක් කළේ ආවාට ගියාට විය නොහැකි බව බොහෝ දෙනාගේ අදහසය. මන්ද යත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගෙඩබිම් පාලමකින් යාකිරීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාලයක පටන් සිතේ තිබූ ලොකුම සිහිනයකි. මෙම පාලම ඉදිකිරීම මෝදිගේ සිතේ කෙතරම් ප්‍රබලව පැළපදියම් වී තිබෙනවාද කියනවා නම් ඉකුත් වතාවේ මෝදි ලංකාවට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඉන්දියාව බලා යළි පිටත්ව ගියේ මෙම පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රබල ඉඟියක් ඉතිරි කරමිනි.
සාමාන්‍යයෙන් මෙතෙක් ලංකාවට ආ ඉන්දීය අගමැතිවරුන් හෝ වේවා වෙනත් රාජ්‍ය නායකයන් හෝ වේවා යළි රටින් පිටව ගියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙනි. නමුත් පසුගිය අවස්ථාවේදී මෝදි ලංකාවට පැමිණ කොළඹ සියලු සාකච්ඡා අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දියාව බලා යෑමට තෝරාගත්තේ කටුනායක නොව, අනුරාධපුරයය. ඒ අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ මිලිටරි හෙලිකොප්ටර් යානයක් ගෙන්වාගත් මෝදි වෙනත් කිසිදු රාජ්‍ය නායකයකු නොකළ පරිද්දෙන් අනුරාධපුරයේ සිට ඉන්දියාව බලා ගුවන් මගින් යෑමට කටයුතු කළේය. එහිදී මෝදි ගුවනින් ගමන් කළේ හරියටම මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා අතීතයේදී ඉන්දියාව සහ ලංකාව යාකොට තිබූ සේතු සමුද්‍රම් මාවත ඔස්සේය. ඊට සාක්ෂි වශයෙන් ඒ මොහොතේම මෝදි හෙලිකොප්ටර් යානයේ සිට සේතුසමුද්‍රම් මාවත දෙස බලා සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීමටද පියවර ගෙන තිබිණි. මෙරට මාධ්‍ය එම ඡායාරූප සාමාන්‍ය ඡායාරූප ලෙස සලකා තම තමන්ගේ මාධ්‍යවල පළකිරීමට පියවර ගත්තද මෝදි එළියට දැමූ එම ඡායාරූප දුටුමනතින්ම සහ මෝදි කිසිදු රාජ්‍ය නායකයකු නොකළ ආකාරයට අනුරාධපුරයෙන් මන්නාරම ඔස්සේ ඉන්දියාව බලා ගුවන් මගින් යෑමට කටයුතු කිරීමත් සමග මෙහි සැඟවුණු බරපතළ ඉඟියක් ඇති බව වටහා ගැනීමට අපට නම් ඒ තරම් වෙලාවක් ගියේ නැත. ඒ අනුව එදා අප ‘රාජ්‍ය රහස’ තීරයේ මේ කතාව සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරමින් විශේෂ අනාවරණයක් කිරීමටද පියවර ගත්තේ ඒ නිසාය.
සුමන්තිරන්ට ආ පණිවුඩය
මීට අමතරව මෙම සිද්ධි දාමය සමගම තවත් සුවිශේෂ තොරතුරක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට සූදානම්ය. ඒ, විජේගේ තමිල්නාඩු ආක්‍රමණයත් සමග උතුරු නැගෙනහිර ප්‍රධානම දෙමළ පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂය මේ දිනවල සිදුකරමින් පවතින අලුත්ම දේශපාලන මෙහෙයුමක් පිළිබඳවය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද උතුරු නැගෙනහිර දෙමළ -මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් වැටුණේ අනුරගේ නායකත්වයෙන් යුත් මාලිමාවටය. ඊට හේතු වූයේ අනුර යාපනයට ගොසින් අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවටත්, උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවටත්, පළාත් සභා මැතිවරණය පවත්වන බවටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් ලබාදුන් පොරොන්දු ගණනාවක් නිසාය. නමුත් වසර එකහමාරක් ගතව තිබියදීත් තවමත් මෙම පොරොන්දුවලින් ප්‍රධාන පොරොන්දු කිසිවක් ඉටුකරලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව මේ දක්වා සමත්ව නැත. ඒ අනුව මේ වනවිට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද තවදුරටත් ආණ්ඩුව සමග සිටිනවාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති ආකාරයක් දැකගත හැකිය.
එවැනි පසුබිමක් යටතේ තමිල් අරසු කච්චි පක්ෂය මීට දින කීපයකට ඉහතදී වැඩි ප්‍රසිද්ධියකින් තොරව ලොකු වැඩකට අතගැසුවේය. ඒ, උතුරු නැගෙනහිර සිටින පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සම්බන්ධ කරගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමය. ඒ සඳහා ඔවුන්ට ඩයස්පෝරාවේ සිටින ප්‍රබල දෙමළ කණ්ඩායම් විශාල ප්‍රමාණයක සහාය ලැබී තිබූ ආකාරයද දැකගන්නට ලැබිණි. වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට මෙසේ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ප්‍රාණය 12,000ක් පමණ වන බව කියවේ. ඒ අනුව මෙම පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමග පළමු රැස්වීම මන්නාරමේත්, දෙවැන්න වවුනියාවේත් පැවැත්වීමට තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම්වරයා වූ එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගිය දිනෙක පියවර ගෙන තබිණි. ඊට සැලකිය යුතු ආකාරයේ පිරිසක් සහභාගී වී සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
මෙම මෙහෙයුම හරහා තමිල් අරසු කච්චි පක්ෂය මේ වනවිට සූදානම් වන්නේ උතුරු නැගෙනහිර අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමටය. මෙම මෙහෙයුමට ඉන්දියාවේ සහායද ලැබෙනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ඒ අනුව දැන් බලාගෙන සිටිය යුත්තේ උතුරෙන් ආරම්භ වන මෙම නව දේශපාලන ව්‍යාපාරයත්, තමිල්නාඩුවේ අලුත්ම ආක්‍රමණිකයා වන තලපති විජේ අතරත් ඉදිරි කාලවකවානුව තුළ කුමන ආකාරයේ සබඳතාවක් ඇතිවන්නේදැයි කියාය.
මේ ආකාරයට තමිල් අරසු කච්චි පක්ෂය හිටපු එල්.ටී.ටී.ඊ. පවුල් ඒකරාශී කොටගෙන අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත්තේ ඇයි? බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඉදිරි මාස කීපය ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳන ලෙස ඉල්ලමින් දැවැන්ත දේශාපාලන සටනක් ආරම්භ කිරීමට තමිල් අරසු කච්චි පක්ෂය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටිනවා යැයි කියාය. තමිල්නාඩුවේ විජේගේ ආක්‍රමණය ඊට විශාල රුකුලක් වී ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
ඒ අනුව තවදුරටත් පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුවට විශාල අභියෝගයක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. දැනටමත් මැතිවරණ කොමිසම පවා ලිපි කීපයක්ම යොමුකරමින් ආණ්ඩුවට දැනුම්දී තිබුණේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසටය. එමෙන්ම හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වූ මහින්ද දේශප්‍රිය මහතාද පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැති ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම පැෆ්රල් සංවිධානයද බ්‍රහස්පතින්දා දින විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව අවධාරණය කර සිටියේය. ඒ අනුව ආණ්ඩුවටද තවදුරටත් පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටිය නොහැකි වාතාවරණයක් මතුවෙමින් පවතින බවක් මේ සිදුවන සිදුවීම් හරහා දැකබලා ගැනීමට පුළුවන.
භූතයන් දෙන්නා මෙන්න
සජබය සහ එජාපය එකතු කිරීමේ සාකච්ඡා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සහ රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ඉදිරියට යද්දී එය කඩාකප්පල් කිරීම සඳහා එජාපයේ සිටින භූතයන් දෙදෙනකු කටයුතු කරන බව අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කළේ වරක් දෙවරක් නොවේ. එම වාර්තා කිරීම්වලින් පසුව සෑම අවස්ථාවකදීම අප පාඨකයන් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත කතාකොට මෙම භූතයන් කවුරුන්දැයි කියා විශාල වශයෙන් විමසීම් සිදුකොට තිබිණි. ඒ අනුව සියල්ලන්ගේම සැකසංකා දුරුකරනු වස් අප මෙවර සූදානම් වන්නේ සජබ – එජාප සමගිය කඩන මෙම භූතයන්ගේ නම් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පළමු වතාවට හෙළි කිරීමටය. ඒ අනුව මේ භූතයන් දෙදෙනා වෙන කවුරුවත් නොව එජාපයේ සභාපති වජිර අබේවර්ධනත්, එජාප ජාතික සංවිධායක සාගල රත්නායකත්ය. වරෙක එජාප නියෝජ්‍ය නායකයාව සිටි රවී කරුණානයක මහතාද එජාපයේ සිටින භූතයන් දෙදෙනකු පක්ෂය විනාශ කරමින් සිටිනවා යැයි කීවේ මේ දෙදෙනා ගැන විය යුතුය.
බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මේ දෙදෙනාම සෑම අවස්ථාවකදීම මෙම සජබ – එජාප එකමුතුව කැඩීමට කුමන්ත්‍රණ සිදුකරන්නේ වෙන කිසිවක් නිසා නොව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එජාපයේ නායකත්වය තමන් යටතට ගැනීමේ සිහිනය ඔළුවේ තියාගෙන බවය. යම් හෙයකින් පක්ෂ දෙක එකතු වුවහොත් ඒ අලුතින් ගොඩනැගන සන්ධානයේ ඔවුන් දෙදෙනාට කිසිදු තැනක් හිමි නොවන බව ඔවුන් දෙදෙනා විසින්ම වටහාගෙන තිබීම නිසා මෙසේ පක්ෂ දෙකේ සමගිය කඩන බව ඔවුන්ගේ අදහස වී තිබේ. එමෙන්ම රනිල්ගේද සැලැස්ම වී ඇත්තේ පක්ෂයේ ඡන්ද පදනම දාහට දෙදාහට බැස්සත් තමන්ගෙන් පසු කෙසේ හෝ පක්ෂ නායකත්වය සාගල රත්නායක යටතට පත්කිරීමය.
අවසන් වතාවට වජිර සහ සාගල සජබ – එජාප එකමුතුව කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ඉකුත් මැයි දිනයේදීය. සජිත් සහ සජබය ප්‍රසිද්ධියේම සජබ මැයි රැලියට පැමිණෙන ලෙස එජාපයට ආරාධනා කරද්දී මුලින්ම එජාපය පෝය දිනට දේශපාලන රැලි එජාපය නොපවත්වන බව කියමින් රැලියෙන් කරඇරීමට කටයුතු කළේ මේ භූතයන්ගේ සැලසුමකට අනුවය. නමුත් ඊට එරෙහිව රුවන් සහ හරීන් ගොස් රනිල් හමුවී කරුණු දැක්වීමෙන් පසු අවසානයේදී රනිල් රුවන්ට පමණක් සජබ මැයි රැලියට සහභාගි වීමට අවසර ලබාදුන්නේය. නමුත් අවසානයේදී එයද කඩාකප්පල් කිරීමට මෙම පිරිස් කටයුතු කොට තිබිණි. අන්තිමේදී එජාපය සජබයේ මැයි රැලියට නොගොස් මරදාන බුහාරි හෝටලයේදී බුරියානි පාර්සල් 3000ක් බෙදීමට කටයුතු කළත්, ඉන්ද හත්අට සීයක් ඉතිරිවී වීසි කිරීමට සිදුව තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
රනිල් ගහපු ගැටේ
කෙසේ වෙතත් එජාපය සජබ මැයි රැලියට සහභාගි නොවුණද රනිල් ඊට සුබපතා සුභාශිංසන පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. නමුත් වජිර සාගල මෙන්ම රනිල්ද සිටින්නේ මෙම එකමුතුව සිදු නොවිය යුතු යන ස්ථාවරයේ නිසා සිය සුභාශිංසන පණිවුඩයේ අවසන් භාගයේ පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් පත්කොට ඇති කමිටුව හමුවී ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන ලෙසට වාක්‍යයක් ඇතුළත් කිරීමට රනිල් කටයුතු කොට තිබිණි. එම සුබපැතුම් පණිවුඩය සජිත්ගේ අතට ලැබීමෙන් පසු එය කියවාගෙන යද්දී මෙම වාක්‍යය දුටු සැණින්ම රනිල් ගසන්නට යන ගේම කුමක්ද යන්න වටහා ගැනීමට සජිත්ට අපහසු නොවීය. මන්ද යත් රනිල් පත්කළ එම කමිටුවේ නායකත්වය භාරදී ඇත්තේ වෙන කාටවත් නොව සාගල රත්නායකට වීම ඊට හේතුවය. ඒ අනුව සජබ මැයි රැලියේ තමන් කළ කතාවේදී රනිල්ගේ එම කමිටු කතාවට ප්‍රසිද්ධියේම පිළිතුරු සැපයීමට සජිත් කටයුතු කළේය. ඒ අනුව සජිත් කියා සිටියේ තවදුරටත් කමිටු පත්කිරීමෙන් ඵලක් නොමැති බවත්, එම කමිටුවලද කුමන්ත්‍රණකරුවන් සිටිය හැකි බැවින් ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත්, දැනටමත් පක්ෂ දෙක ගම් මට්ටමින් එකමුතු වී අවසන් බවත්ය.
කෙසේ වෙතත් සජිත් කළ මෙම ප්‍රකාශය සමග එජාපය ඇතුළේ සිටින මෙම භූතයන් කලබලයට පත්වූ ආකාරයක් පෙනෙන්නට තිබුණේ සජබ එජාප සමගියට අකැමැති තවත් චරිතයක් වූ අජිත් මාන්නප්පෙරුම ලවා ඊට පිළිතුරු ලබාදීමට ගත් පියවරත් සමගය. එහිදී මාන්නප්පෙරුම කියා සිටියේ කමිටු ප්‍රතික්ෂේප කරමින් සජිත් වන් මෑන් ෂෝ එකක් කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එහිදී සජිත්ගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාටද ප්‍රහාර එල්ල කරමින් මාන්නප්පෙරුම අදහස් දක්වා තිබීම විශේෂ සිදුවීමක් විය. නමුත් මාන්නප්පෙරුම එසේ කීවද සජබ ප්‍රධානීන් හා් සජබ පාක්ෂිකයන් මාන්නප්පෙරුමගේ ඒ කතාව තඹයකට මායිම් කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මේ අතර, පසුගිය සතියේදී හරීන් ප්‍රනාන්දුටද එජාපය ඇතුළේ යම් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබිණි. වත්තල ප්‍රදේශයේ කතෝලික පාසල්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හරීන් මල් පාරේ එජාප කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද, පසුව රනිල් ඒ සඳහා පක්ෂ කාර්යාලය ලබාදිය නොහැකි බව හරීන්ට දැනුම්දී තිබිණි. ඒ අනුව හරීන් පසුව එම මාධ්‍ය හමුව බොරැල්ලේ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වීමට කටයුතු කොට තිබිණි. මේ වනවිට හරීන් සැලකෙන්නේ සජබ – එජාප එකමුතුව අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට වන ස්ථාවරයේ සිටින චරිතයක් ලෙසටය. ඒ අනුව එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීද හරීන් කියා සිටියේ දැනටමත් ගම් මට්ටමින් පක්ෂ දෙක එකතු වී අවසන් බවත්, පක්ෂ දෙකේ එකමුතුව අනිවාර්යයෙන් සිදුවන බවත්ය.
කෙසේ වෙතත් සජබ මැයි රැලියට අතිවිශාල පිරිසක් සහභාගි වී සිටීමෙන් පසු සජිත් මේ වනවිට තීරණය කොට ඇත්තේ දිස්ත්‍රික්ක මට්ටමින් සජබ රැලි පවත්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයක් ඉලක්ක කොට පක්ෂය සංවිධාන කිරීමටය. ඒ අනුව එහි පළමු රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමටත්, ඉන් අනතුරුව ආසන මට්ටම දක්වා එම රැස්වීම් ව්‍යාප්ත කිරීමටත් සජිත් තීරණය කොට ඇති බවක් ආරංචිය.










