වෙන්නප්පුව අංගම්පිටියේ පිහිටි ග්රාමීය බැංකුවට හොරු පැන සේප්පුව කපා රුපියල් කෝටි 6කට අධික වටිනාකමක් ඇති උකස් ලෙස ලබාගත් රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇත. (Sri Lanka Latest News)
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා සවස 1.45ට බැංකුව වසා දැමීමෙන් පසුව බවත් බැංකුවට හොරු පැන ඇති බව අනාවරණ වී ඇත්තේ පෙරේදා (30) උදෑසන 8.30ට නැවත විවෘත කිරීමේදී බවත් එහි කළමනාකාරිණිය විසින් වෙන්නප්පුව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.
මෙම ග්රාමීය බැංකුව පිහිටා ඇත්තේ නගරයෙන් ඈත ගම්මානය තුළ බව පොලිසිය කියයි. මෙහි සේවයේ නිරතව සිටින්නේද කළමනාකාරිණිය ඇතුළු සේවිකාවන් තිදෙනෙක් පමණක් බව පොලිසියට නිරීක්ෂණය වී ඇත.
දීර්ඝ සති අන්ත නිවාඩුව ඉලක්කරගෙන මෙම සොරකම සැළසුම්කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ග්රාමීය බැංකුව පිහිටි ගොඩනැඟිල්ලෙහි කුඩා ජනේලයක පියන විවෘතකර එහි යකඩ ග්රිල් එක ග්රයින්ඩරයකින් කපා ග්රාමීය බැංකුවට සොරා හෝ සොරුන් ඇතුළු වී ඇති බව පොලිසිය කියයි. පොලිසිය විශ්වාස කරනු ලබන්නේ බොහෝ විට මෙම සොරකම තනි පුද්ගලයකුගේ වැඩක් විය හැකි බවය.
සේප්පුව කපා ඇත්තේද ග්රයින්ඩරයකිනි. ගෙවුණු තල 08ක්ද බිම තිබී හමුවී ඇත. බොහෝ විට සොරා විසින් භාවිත කරනු ලබන්නේ නැවත ආරෝපනය කළ හැකි බැටරි භාවිත කරනු ලබන ග්රයින්ඩරයක් විය හැකි බව පොලිසිය විශ්වාස කරයි. පසුගිය වසරේ සිට දිගින් දිගටම රටපුරා තැපැල් කාර්යාල රැසක් ද සේප්පු කපා මුදල් හා මුද්දර සොරාගෙන ගොස් තිබුණේ ද මේ ආකාරයටය.
මෙම ග්රාමීය බැංකුවේ ඇති සේප්පුවේ කුටීර 26ක් ඇති බවත් එයින් කුටීර 07ක්ම කපා ඇති බවත් පොලිසිය කියයි. රුපියල් කෝටි 06කට අධික රන් භාණ්ඩ තිබී ඇත්තේ එම කුටීරවලය. සෙසු කුටීරද කපා එහි ඇති රන් භාණ්ඩද සොරාගත්තේ නම් සොරාගත් රන් භාණ්ඩවල ප්රමාණය දෙතුන් ගුනයකින් ඉහළ යාමට ඉඩ තිබී ඇත.
මෙම සොරකම සිදුකර රන් භාණ්ඩ රැගෙන සොරුන් පළාගොස් ඇත්තේ ග්රාමීය බැංකුවේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත පටිගත යන්ත්රය ද රැගෙන බව පොලීසිය කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
dinamina