අති ප්‍රවේගවත් T10 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබේ.
ඒ දැනට පැවැත්වෙන අබුඩාබි T10 ලීග් තරගයකදී ය.
ඒ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ලකුණු 8කට කඩුලු 5ක් දවා ගනිමිනි.
එය එම තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා විය.
අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 140කි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 39කදී ලකුණු 96ක් රැස් කළ අතර හයේ පහර 5කින් සහ හතරේ පහර 12කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණි.
ඇන්ඩ්‍රේ රසල් නොදැවී ලකුණු 26යි.
ලකුණු 141ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 78ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංග සිය පන්දුවාර 2කේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
ඔහුගේ දෙවන පන්දුවාර නිලකුණු පන්දුවාරයක් වන අතර එම පන්දුවාරයේදී වනිඳු කඩුලු 3ක් දවාගත්තේය.
මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු හසරංග මෙවර තරගාවලියේදී කඩුලු 18ක් බිඳහෙලා ඇති අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවද සම කිරීමට වනිඳු ඊයේ සමත් වී තිබේ.
එමෙන්ම අබුඩාබි ටී 10 තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවද තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වනිඳුට ඊයේ හැකි වුණා.










